නේරු වංශය අවසන්?

 ඡායාරූපය:

නේරු වංශය අවසන්?

පසුගිය සතියේ නිකුත් වූ ඉන්දිය මහමැතිවරණ ප්‍රතිඵල අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ කණ්ඩායමට එනම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට (ජාප්‍රස) එරට පාර්ලිමේන්තුවේ හෙවත් ලෝක් සභාවේ ආසන 543න් 353ක් දිනා ගන්නට හැකි විය. මෙය මෑත ඉතිහාසයේ අග්‍රාමාත්‍යවරයකු දෙවන ධුර කාලය සඳහා ඉදිරිපත්ව ලබාගත් වැඩිම ආසන සංඛ්‍යාව වෙයි. 2014 මහමැතිවරණයෙන් මෝදිගේ නායකත්වයෙන් යුත් එම සන්ධානයට ලබා ගත හැකි වූයේ ආසන 282ක් පමණි. ඒ කියන්නේ ලෝක් සභාවේ බහුතරය ඉක්මවා ආසන 10ක් පමණක් ලබා ගත් බවය. එහෙත් මෙවර බහුතරය ඉක්මවා ආසන 81ක් ඔවුන්ට හිමිය.

මෝදිගේ ජයග්‍රහණය එක් අතකින් විකෘතියක් පෙන්වයි. මන්දයත් ඔහු ආර්ථික වශයෙන් රට ශීඝ්‍ර දියුණුවක් කරා ගෙන ගිය හෝ ඉන්දියාවේ වෙසෙන බහුතරයක් දිළිඳු ජනතාවට සහන සැලසූ හෝ නායකයකු නොවන නිසාය. සිය මුල් පාලන සමය අවසන් වෙමින් පැවැති සමයේ ඔහු තරමක් දුරට අැමෙරිකා එක්සත් ජනපදයට නැමෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව ප්‍රකටය.

භාරතීය ජනතා පක්‍ෂය ආරම්භයේ සිටම හින්දුත්වවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව නොරහසකි. මෝදි යටතේ එම තත්ත්වයේ වර්ධනය වීමක් සිදු වූ බවට සාක්ෂි තිබේ. මේ කාරණය ඔහුගේ මෙම 'භූමි පාඵ ජයග්‍රහණයට' හේතු වුණා විය හැකි බව පැවසෙතත් එක් එක් ප්‍රාන්තවල ජන අනුපාතය සහ දිනාගත් ආසන සංඛ්‍යාව පිළිබඳ විශ්ලේෂණයක් නොකොට එය නිශ්චිතවම කිව හැකිය.

මෝදිගේ ජයග්‍රහණය ගැන සැම දෙනාම විග්‍රහ කරන මෙසමයේ අපගේ අවධානය යොමු වන්නේ ඊට පෙර රට පාලනය කළ ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සහ එහි නායක රාහුල් ගාන්ධිගේ පරාජය ගැනය.

ඇත්තටම නම් ජාප්‍රස ජයග්‍රහණයට එක් හේතුවක් වුණේ ප්‍රතිවාදී ඉන්දිය කොංග්‍රස් පක්‍ෂය දුබල තරගකරුවකු වීම නිසාය යන්නද බැහැර කළ නොහැකිය. එහෙත් මේ ඉන්දිය කොංග්‍රස් පක්ෂය 'භූමිපාඵ' පරාජයක් ලැබූ පළමුවැනි අවස්ථාවද නොවේ.

ඉන්දිරා ගාන්ධිගේ අභාවයෙන් පසු 1984දී ඉන්දීය කොංග්‍රස් පක්ෂයට නායකත්වය දුන්නේ ඇයගේ පුත් දැන් එම පක්ෂයට නායකත්වය දෙන රාහුල් ගාන්ධිගේ පියා වන ගුවන් නියමු රජීව් ගාන්ධිය. ආසන 533න් 415ක් දිනා ගන්නට දේශපාලනයට හැම අතින්ම ආධුනිකයකු වූ ඔහු යටතේ එම පක්ෂයට හැකි විය. ඉන්දිරා ගාන්ධි සමයෙන් පසු කොංග්‍රස් පක්ෂය ලැබූ වැඩිම ආසන අනුපාතය ඒ ය. ඉන් පසු ඔහු යටතේම 1989දී ආසන සංඛ්‍යාව 197ක් දක්වා පල්ලම් බැස්සේය. රජීව් ගාන්ධි ඝාතනය කරනු ලැබීමෙන් පසු පක්ෂ නායකත්වය සඳහා නේරු පරපුරෙන් කිසිවකු නොවූයෙන් නරසිංහ රාඕ එය බාරගත් අතර ඔහු යටතේ 1991දී එම පක්ෂය ආසන 244ක් දිනා වෙනත් පක්ෂ කිහිපයක සහායෙන් ආණ්ඩුව පිහිටුවීය. 1996දී ඔහු යටතේ එම පක්ෂයට ලබා ගත හැකි වූයේ ආසන 140 පමණක් වූ නමුත් ආණ්ඩුව පිහිටුවන ලදි. එහෙත් වසර දෙකකින් එය කඩා වැටිණි. දෑවුරුද්දක් ඉකුත් වන්නටත් මත්තෙන් නැවත මහ මැතිවරණයකට යන්නට ඉන්දියාවට සිදු වූ අතර එවර කොංග්‍රස් පක්ෂය සීතාරාම් කේශ්‍රිගේ නායකත්වයෙන් සටන් බිමට බැස ආසන 141 පමණක් දිනා ගත්තේය. එවර විපක්ෂයේ අසුන් ගන්නට ඔවුන්ට සිදු විය. 1999දී නැවත මහ මැතිවරණයක් පැවැත්විණි. එවර රජීව් ගාන්ධිගේ ඉතාලි ජාතික බිරිඳ වන සෝනියා ගාන්ධිට නායකත්වය දෙන්නට ඉන්දිය කොංග්‍රස් පක්ෂය තීරණය කළාය. ඇය යටතේ 1999 මහ මැතිවරණයේදී ලබා ගත හැකි වූ ආසන සංඛ්‍යාව 114ක් පමණි. එවර ආණ්ඩුව සම්පූර්ණ ධුර කාලය වන වසර පහ සම්පූර්ණ කළෙන් මහමැතිවරණය පැවැත්වුණේ 2004 වසරේය. අසරුවා කීර්තිමත් ආර්ථිකඥ ආචාර්ය මන්මෝහන් සිං විය. එවර මැතිවරණයෙන් දිනා ගත හැකි වූයේ ආසන 145ක් පමණක් වූ නමුත් වැඩිම ආසන සංඛ්‍යාව තනි පක්ෂයක් ලෙස ජය ගෙන තිබුණේ ඔවුන් බැවින් සභාග ආණ්ඩුවක් පිහිටුවන්නට මතු නොව අවුරුදු පහ පාලනය ගෙන යන්නටත් එම පක්ෂයට හැකි විය. 2009දී ආචාර්ය සිංගේ නායකත්වයට ඉන්දීය ජනයා වැඩිපුර ආසන 51 ලබා දුන් නමුත් බහුතරය පෙන්විය හැකි වූයේ වෙනත් පක්ෂවල අනුග්‍රහයෙනි. 2014 මහ මැතිවරණයට ඉන්දීය කොංග්‍රස් පක්ෂය මුහුණ දුන්නේ නේරු පරපුරෙන් ඊට සුදුසුකම් ලබන එකම පිරිමියා වන රාහුල් ගාන්ධි සමඟය. ඔහු යටතේ එවර කොංග්‍රස් පක්ෂයට ලබා ගත හැකි වූයේ ආසන 44ක් පමණි. මෙය අති ඛේදනීය තත්ත්වයක් වූයේය. මෙයට හේතුව රාහුල් ගාන්ධි නම් ආධුනිකයාගේ දුර්වල නායකත්වයම නොවේ. පෙර අවුරුදු දහය තුළ එම පක්ෂය රට පාලනය කළ සමයේ ආණ්ඩුවට එල්ල වූ විවිධ දූෂණ හා වංචා පිළිබඳ චෝදනාය.

එසේම අනෙක් පැත්තෙන් අලුත් තරුවක් පායා ආවේය. ඒ පාර්ලිමේන්තු අත්දැකීම් රහිත හින්දු ජාතිකත්වවාදී නරේන්ද්‍ර මෝදි නම් ප්‍රාන්ත මහ ඇමතිවරයාය.

2019 ප්‍රතිඵලය එය තවත් ඉදිරියට යෑමකි. එහෙත් මෙවර කොංග්‍රස් පක්ෂය සිය ආසන සංඛ්‍යාවට තවත් අටක් එක් කැර ගන්නට සමත් විය.

මේ මැතිවරණයේ තවත් විශේෂ ප්‍රතිඵලයක් වනුයේ 1980 සිට ගාන්ධි පවුලේ සාමාජිකයකු විසින් වැඩි කලක් නියෝජනය කරන ලද එනිසාම 'වංශයේ බළකොටුව' ලෙස හැඳින්වෙන උත්තර් ප්‍රදේශ්හි අමෙති අසුනින් රාහුල් ගාන්ධි පරාජයට පත් වීමය.

ඇත්තටම 1967 වසරේ ප්‍රතිසංස්කරණ අනුව ඉන්දිය පාර්ලිමේන්තුවට අලුතින් එක් වූ අමෙති අසුන නේරු පරපුරේ නොව ඉන්දිය කොන්ග්‍රසයේ බූදලයකි. එසේ කියන්නේ එය එම පක්ෂයෙන් බැහැර දේශපාලන පක්ෂයක් විසින් එය ජයග්‍රහණය කරන ලද්දේ ඉන් පසු පැවැත්වූ මැතිවරණ දෙකකදී පමණක් නිසාය. 1977 සහ 1998 එසේ පරාජයට පත් වූ අවස්ථා දෙකයි. එය නේරු පරපුරේ පසුප්‍රාප්තිකයන් විසින් නතු කැර ගන්නේ මුල්වරට 1981දී සංජේ ගාන්ධි විසිනි. නේරු පරපුරේ උරුමක්කාරයා ලෙස කරලියට ගෙන එන ලද තරුණ නවකයකු වූ ඔහු නොපනත්කම්වලට ප්‍රසිද්ධියක් ඉසුලුවෙකි. සමාන චරිතයක් එසමයේ ලංකාවේද සිටි බව 70 - 77 සමය අමතක නැති අයට සිහිපත් වනු ඇත. ගුවන් නියමුවකු නොවූ ඔහු ගුවන් යානයක් පදවන්නට ගොස් එය කඩා වැටීම නිසා මරණයට පත් විය. නේරු පරපුරේ දේශපාලන උරුමය ගෙන යන්නට ඊළඟට සිටියේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ රජීව්ය. කිසිදා දේශපාලනය ගැන උනන්දුවක් නොතිබි ඔහු වෘත්තියෙන් ගුවන් නියමුවකු වූ අතර ඉතාලියෙන් පෙළවහක්ද කරගෙන එරට පදිංචිව සිටියේය. කොතෙක් ප්‍රතික්‍ෂේප කළත් සිය පරපුරට හිමි බලය ඉදිරියටත් පවත්වා ගෙන යනු රිසි සිය මවගේ බලවත් ඇවිටිල්ල බැහැර කරනු නොහැකි වූයෙන් ඔහු දේශපාලනයට එළැඹියේය.

1981 වසරේ අමෙති අසුනට තරග කළ ඔහු එය ජය ගත්තේය. ඒ මැතිවරණයේදී ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂිකාව වූයේ සිය නෑනණ්ඩිය වූ මනේකා ගාන්ධිය. නැන්දනිය වූ ඉන්දිරා සමග බිඳී සිටි ඇයට කොංග්‍රස් පක්ෂයෙන් අපේක්ෂකත්වය නොදෙන ලද නිසා ජනතා දාල් පක්ෂයෙන් ඇය තරග බිමට එළැඹ සිටියාය. අවාසනාවන්ත ලෙස රජිව් ගාන්ධි ඝාතනය වූයෙන් සතිශ් ෂර්මා නම් කොංග්‍රස් පාක්ෂිකයෙක් අතුරු මැතිවරණය ජය ගත්තේය. ඔහු 1998 දක්වා එහි මන්ත්‍රීවරයා වූ අතර භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂකයා ජය ගත්තේය. එම වසරේ පැවැත් වූ අතුරු මැතිවරණයෙන් රජිව් ගාන්ධිගේ බිරිය වන සෝනියා ජයගත් අතර 2004 වසරේ ඇය සිය පුත් රාහුල්ට වඩාත් ආරක්ෂිත ඒ අසුන පිරිනමා වෙනත් අසුනකින් තරග වැදුණාය.

රාහුල් ගාන්ධි ඒ මැතිවරණයේදී වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 66% ලබා ගෙන ජයග්‍රහණය කළ අතර 2009 දී 71%ක් ලබා ගත්තේය. ඉන්පසු ඔහුගේ ජයග්‍රහණය පිරිහුණු සෙයක් දක්නා ලැබේ. 2014දී ඔහු ජයග්‍රහණය කළත් ලබා ගත හැකි වූයේ 46%ක් පමණක් වීමෙන් ඒ බව පැහැදිලිය.

මේ මහ මැතිවරණයේදී ඔහුට ලබාගත හැකි වූයේ 44%කට අඩු ප්‍රමාණයකි. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ භාරතීය ජනතා පක්ෂයේ මහ ලේකම් මෙන්ම කැබිනට් අමාත්‍යවරියකද වන ඉරාණි ස්ම්‍රිති ය. 2014 මැතිවරණයේද අමෙති අසුනට තරග වැදුණු ඇයට ලබා ගත හැකි වූයේ 24%ක් වැනි ප්‍රතිශතයක් වුවත් මෙවර එය 49.7%කි. ඇගේ ඡන්ද ප්‍රමාණය දහස් 300 සිට දහස් 408 දක්වා ඉහළ ගොස් ඇත.

තමන් වසර 15ක්ම නියෝජනය කළ සහ සිය බාප්පා, ඉන්පසු පියා සහ ඔහුගේ ඇවෑමෙන් මව නියෝජනය කළ අමෙති අසුන අහිමි වුවද කේරළ ප්‍රාන්තයේ වයනාද් නම් අසුන ජයගත් රාහුල් ගාන්ධිට පාර්ලිමේන්තු වරම අහිමි වන්නේ නැත.

1934 පිහිටුවන ලද ඉන්දීය ව්‍යවස්ථාදායකයේ එදා සිටම කොංග්‍රස් පක්ෂයේ ඉහළ නියෝජනයක් තිබිණි. 1947 නිදහස ලබා ගැනීමෙන් පසු නව ව්‍යවස්ථාවක් යටතේ ද්වාංග සමන්නාගත ඉන්දීය ව්‍යවස්ථාදායකයේ පහළ මන්ත්‍රණ සභාව වන ලෝක් සභාව හෙවත් පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා පත් කැර ගැනීම සඳහා මුල්වරට මැතිවරණයක් පැවැතී ඇත්තේ 1951 වසරේය. රාහුල්ගේ මිත්තනියගේ පියා වූ පණ්ඩිත් ජවහර්ලාල් නේරු ඉන්දීය කොංග්‍රස් පක්ෂයට නායකත්වය දෙමින් තරග තළ අතර එම පක්ෂය ආසන 489න් 364ක් දිනා ගත්තේය. එතැන් සිට 2014 දක්වා කොංග්‍රස් පක්ෂය ආසන 100ට අඩුවෙන් ලබා ගෙන නැත.

ඉතින් මේ නේරු වංශයේ අවසානයද?

අමෙති අසුන පිහිටි උත්තර් ප්‍රදේශ් නම් ප්‍රාන්තයේ ලෝක් සභාවේ ආසන 85ක් පිහිටා ඇති අතර මහ මැතිවරණයකදී එය ජයගන්නා පක්ෂය ආණ්ඩුව පිහිටුවන බව සාමාන්‍ය පිළිගැනීමයි. මෝදිට පෙර සිටි ඉන්දීය අගමැතිවරුන් අතරින් අට දෙනෙක්ම එම ප්‍රාන්තයෙන් ආවාහු වූහ.

රාහුල් ගාන්ධි අභිභවනය කළ ඉරාණි ස්ම්‍රිති ගැන ද කිසියම් සඳහන් කිරීම අවශ්‍යතාවකි. මෙරට රූපවාහිනි නාලිකාවක විකාශය කරන ලද කිසියම් ඉන්දීය මෙගා නාට්‍යයක චරිතයක් නිරූපණය කළ හෙයින් ඉන්දීය වැල් කතා බලන බොහෝ දෙනා ඇය දනිති. ඇය ගැන කියවන විට වැටහෙන්නේ ඇය ඉතා ශඨ ප්‍රයෝගයේ සමත් කාන්තාවක් බවය. නිරූපිකාවක් සහ දෙවන තුන්වන පෙළේ නිළියක් වන ඇය තමා උපාධිධාරිනියක් බව මුල් දවස්වල කීවත් පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වීමේ දී අදාළ පෝරමවල එසේ නොවන බව සඳහන් කොට තිබි බව අනාවරණය විය. ඇය 2004 වසරේ එවකට ගුජරාට ප්‍රාන්තයේ මහ ඇමති ව සිටි නරේන්ද්‍ර මෝදිට විරෝධය පළ කරමින් මාරාන්තික උපවාසයකට ගියාය. පසුව මෝදි සමග එකඟතාවකට එන්නට ඇය සමත් වූ බව පෙනේ. අනතුරුව මෝදි විසින් ඇය භාරතීය ජනතා පක්ෂයේ මහ ලේකම් තනතුර දක්වා ඔසොවන ලද අතර රාජ්‍ය සභාවට හෙවත් උත්තර මන්ත්‍රී මණ්ඩලයට පත් කොට මානව සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලබා දෙන ලදි. ඇය වැනි හරිහමන් අධ්‍යාපනයක් නැති කෙනෙකුට එබඳු බාරදූර තනතුරක් පැවරීම ගැනද විරෝධතා එල්ල වූ නමුත් මෝදි හෝ ඉරාණි හෝ එවා සවනට ගත්තේ නැත.

මැතිවරණයෙන් පසු පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වීම පිණිස රාහුල් ගාන්ධි විසින් යොමු කරන ලද ලිපිය එහි මධ්‍යම කාරක සභාව විසින් ප්‍රතික්‍ෂේප කොට ඇති අතර එහි සාමාජිකයන්ගේ මතය වනුයේ පරාජයට ඔහු පමණක් වගකිව යුතු නොවන බවයි.

කෙසේ වෙතත් නෙරු වංශයේ උරුමක්කාරයන් ඉන්දීය පාලනයේ සක්‍රියව නොසිටිති’යි නොසිතිය යුතුය. මක්නිසාද යත් පණ්ඩිත් නෙරුගේ මුණුබුරාගේ බිරිය වන මනේකා ගාන්ධි භාරතීය ජනතා පක්ෂයෙන් තරග වැදී දිගින් දිගටම ජයග්‍රහණය කරමින් සිටින හෙයිනි. පසුගිය ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරියක් ව සිටි ඇයට මෙවරද අමාත්‍යාංශයක් පැවරෙනු ඇති බව නිශ්චිතය.

මාතෘකා