අලුත් අමුත්තා

 ඡායාරූපය:

අලුත් අමුත්තා

තනතුරු අහිමි වූ විට අලුත් පිරුවටයකින් සැරසී සිටී. මේ වන විට ඔහු කටයුතු කරන්නේ McLarti නම් ආයතනයට අනුබද්ධවය. මුදල් උපයන්නේ ගෝලීය ව්‍යාපාරික ආයතන, දේශපාලනඥයන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ට එක් එක් ඉලක්ක සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් උපදෙස් සහ මැදිහත්වීම් සිදුකරමින්ය.

 

'කොහොමද, ඝෝඨාභය හොඳයි කියලා දැන් කියන්නේ ඇමෙරිකාවේ රොබෙටෝ බ්ලේක්'

මාධ්‍ය මිතුරෙක් කීවේ එහෙමය. කතාව ඇහුවම නම් හරි අපූරුය. ඔවුන් කියන විදිහට ඝෝඨාට චරිත සහතිකය ඇමෙරිකාවෙනි. බ්ලේක්ගේ චරිත සහතිකය කරේ තියාගෙන දුවන සමහරුන්ට අතීතය අමතකය.

'මොකක්ද අතීතය?'

මහින්දගේ කාලයේ විමල් වැඩියෙන්ම චෝදනා කරපු විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනෙක් සිටියේය.

එක් අයෙක් බැංකී මූන්ය. අනෙකා නවනීදන් පිල්ලේය. ඊළඟට හිටියේ රොබටෝ බ්ලේක්ය.

ජාත්‍යාන්තර කුමන්ත්‍රණයේ මහ මොළකරු බ්ලේක් බව ඒ දවස්වල උදේ හවා කියැවිණි. මහින්ද යුගයේ ලංකාවට එරෙහි ලෝකයේ දරුණුතම පුද්ගල ලැයිස්තුවක් විමල් අතේ තිබුණා නම් එහි මුල් නම් කිහිපය අතර බ්ලේක් සිටියේය.

එහෙව් බ්ලේක් දැන් මෙහේ තරුවකි.

“ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය චීනයට දකුණු ආසියාවට සහ ශ්‍රී ලංකාවට බලපාන ආකාරය” යනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා ප්‍රචාරක සම්මන්ත්‍රණයක් පැවැත්විණි.

එහි ප්‍රධාන සම්පත්දායකයා වශයෙන් දේශනය පැවැත්වූයේ ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ. බ්ලේක්ය.

එහිදී ඝෝඨාට බ්ලේක් ලොකු චරිත සහතිකයක් දුන්නේය. ඔහු කියන්නේ ඝෝඨාගේ කාලයේ ආරක්ෂාව මරු කියාය.

හිටි ගමන් බ්ලේක් ඝෝඨාට චරිත සහතික දෙන්නේ ඇයි?

2009 - 2013 කාල සීමාවේ බ්ලේක් මෙරට රාජකාරි කළේය. ඒ කාලයේ විමල්ලා බ්ලේක්ට කුඩුවෙන්න ගැසුවේය. කොටි නායකයන්ට පලා යෑම සඳහා එක්සත් ජාතීන්ගේ උදව් ඇතිව ආරක්ෂිත මාර්ගයක් විවෘත කර දීමට කටයුතු යෙදෙමින් තිබෙන බව එවක විමල් වීරවංශ කීවේය. එහි මූලිකයා බ්ලේක් බව පැවසිණ.

එවක අමෙරිකානු තානාපති රොබර්ටෝ බ්ලේක් ඒසියන් ට්‍රිබියුන් වෙබ් අඩවියට හෙළිදරව් කර ඇති කරුණු අනුව වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු මිනීමරු කොටි නායකයන් ආරක්ෂිතව මේ රටින් රැගෙන යෑමේ මෙහෙයුමක් දියත් කර තිබෙන බව පැහැදිලි බව විමල් කීවේ 2008දීය.

යුද අපරාධ, දරුණු ගණයේ මානව හිමිකම් උල්ලංඝනය වීමට අදාළව ජිනීවා හිදී ලංකාව පරාජයට පත්වූ යෝජනාවේ මුල් පුරුක බ්ලේක්ය.

හැබැයි තනතුරු අහිමි වූ විට බ්ලේක් අලුත් පිරුවටයකින් සැරසී සිටී. මේ වන විට ඔහු කටයුතු කරන්නේ McLarti නම් ආයතනයට අනුබද්ධවය. මුදල් උපයන්නේ ගෝලීය ව්‍යාපාරික ආයතන, දේශපාලනඥයන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ට එක් එක් ඉලක්ක සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් උපදෙස් සහ මැදිහත්වීම් සිදුකරමින්ය.

ඔහු McLarti ආයතනය නියෝජනය කරන කුලී හේවායාය.

ඔහුව මෙහි කැඳවන්නේ මිලින්ද මොරගොඩගේ පාත් ෆයින්ඩර් ආයතනය විසින්ය. ඔහුගේ දේශපාලනය කවුරුත් දනී.

එහෙව් බ්ලේක් ඝෝඨාභයට සහතික දෙන විට බ්ලේක් නොදන්නා දෙයක් තිබේ.

බුද්ධි අංශ දුර්වල කළා කියා කියන අයට කියන්න තියෙන්නේ කොටකෙතන එක දිගට භීතියෙන් මුසපත්වෙන ඝාතන සිදු වූයේ යුද්ධෙ ඉවරවෙලා තිබියදී බවයි. සමහරු කොටකෙනට කීවේ "පුංචි නන්දිකඩාල් ප්‍රදේශයක්" කියාය. ඒ තරමට හමුදාව යොදා ආරක්ෂාව දමා තිබිණ. 2008 මරණ 19ක් සාහසික ලෙස සිදු විය. "මීටර් 200, 300 වගේ පොඩි පොඩි කෑම්ප් දාගෙන ඉන්නවා. ස්වර්ණලතා මැරුණ තැනට මීටර් 300ක්වත් නැහැ පොලිස් මුරපොළ. දැන් නැතත් පාපු මැරුණු තැනට මීටර් 300ක් විතර පහළින් පොඩි මුරපොළක් තියෙනවා." ඒ දවස්වල මිනිස්සු කීය. ගමක්, රටක් සසල කළ අපරාධ ජාලය වෙනකොට ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂය. ඒවා ත්‍රස්තවාදී ප්‍රහාර නොවීය. හැබැයි සාහසික ඝාතන විය. හමුදා අණු ඛණ්ඩ, පොලිසිය, බුද්ධි අංශ සේරම තිබියදීත් ඝාතන සිදුවිය. අපරාධකාරයෝ කියකිය වෙන වෙන අය අල්ලා කුදලාගෙන ගියහ. බුද්ධි අංශ විතරක් නොවේ රටම මේ අපරාධකරුවන් අල්ලන්න කියද්දීත් මහින්දවත් ගෝඨාවත් කරපු දෙයක් නැත.

මෙහිදී එදා ඝෝඨාභය ගැන චරිත සහතික දෙන බ්ලේක්ට අමතක තවත් දෙයක් තිබේ.

සුදු වෑන්වලින් පැහැර ගැනීම්, මාධ්‍ය ආයතන ගිනිබත් කිරීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්වල අඳුරු ඉතිහාස කතාව හිමි ඔය කියන ඝෝඨාභය ආරක්ෂක ලේකම්ව සිටි යුගයටය.

එදා මෙදා බුද්ධි අංශ හොඳ නරක ගැන කියමින් ඝෝඨාට සහතික දෙන බ්ලේක්ට අමතක තවත් දෙයක් තිබේ. ඒ පසුගිය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයන් සියල්ලම පාහේ මේ දින කිහිපය තුළ ඝාතනය විය. තවත් මර්මස්ථාන සහ සමීපතමයන් අත්අඩංගුවට පත් විය.

2001 වසරේ සැප්තැම්බර් 11 වැනි අඟහරුවාදා උදෑසන ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට අල්කයිඩා ත්‍රස්තවාදීන් ප්‍රහාරය එල්ල කළේ මුළු ඇමෙරිකාවම සෙල්ලමට ගනිමින්ය. අල්-කයිඩා ත්‍රස්තවාදීන් 19 දෙනකු විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපළ 3කින් පිටත් වූ වාණිජ ගුවන් සේවා දෙකකට අයත් මගීන් සහිත වාණිජ ගුවන් යානා හතරක් අතරමඟදී පැහැරගෙන එල්ල කළ ප්‍රහාරය, ලෝකය සොලවා දැමුවේය. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය පමණක් නොව ආරක්ෂාවේ මහා දෙවොල 'පෙන්ටගනය' පවා කුඩු පට්ටම් කළේය. ප්‍රහාරය එල්ල වන්නේ 2001දීය. බින් ලාඩන් සොයන මෙහෙයුම එතැන් සිට ආරම්භ කරන නමුත් 2010 වනතුරු ඔහු සොයා ගන්නට නොහැකි විය. නෙප්චූන් ස්පියර් ලෙස අවසන් මෙහෙයුම සැලසුම් වීම ආරම්භ වන්නේ 2010 අගෝස්තු මාසයේදීය.

ඒ වෙනකොට ජනපති ඔබාමාය. ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA), ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA), ජාතික භූගෝලීය බුද්ධි ඒජන්සිය (NGA) යන ආයතන මෙහි බුද්ධි අංශ ලෙස කටයුතු කළහ. මෙහෙයුමට අණ ලැබුණේ 2011 අප්‍රේල් 11 වැනිදා උදෑසනය.

පාස්කු ප්‍රහාරය ගැන බුද්ධි අංශවලටයි ආණ්ඩුවටයි දස අතේ චෝදනා කරන අයට කිව යුතු දෙයක් තිබේ. ඒක කියන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු බුද්ධි තොරතුරු විශ්ලේෂණ උපදේශක ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේය. ඔහු මෙහෙම කීවේය.

'බුද්ධි අංශ කියන්නෙත් උපරිම වශයෙන් දැනුවත් වෙන්න උත්සාහ කරන පිරිසක්. නමුත් ඒ අයටත් අතපසුවීම් වෙන්න පුළුවන්. මම අන්තර්ජාතික උදාහරණයක් දෙන්නම්. ඇමෙරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයට කලින් ඔවුන්ගේ ගුවන් නියමුවන් පුහුණුකරන පාසලකින් ආරංචියක් ආවා.

“ඔවුන් ළඟට පුහුණුවට පැමිණි කෙනකුට අවශ්‍ය වෙලා තියෙනවා කියලා විශේෂ පුහුණුවක් ලබන්න. ඒ ගුවන් යානයක් ගුවන්ගත කරන්න හෝ ගොඩබස්වන්න නොවෙයි; අවශ්‍ය තැනට පදවාගෙන යෑමට පමණක් පුහුණු වෙන්න. ඒක අසාමාන්‍ය ඉල්ලීමක් නිසා ඒ අය

එෆ්.බී.අයි. එකට දැන්නුවා. එෆ්.බී.අයි. එකේ හිටපු ප්‍රධානියා කොලින් රම්ලි ඒක ඉහළ බලධාරීන්ට දැන්නුවා. නමුත් ඔවුන් ඒ ගැන සැලකිල්ලක් දැක්වූයේ නැහැ. එදා සැප්තැම්බර් 11 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුලුනු දෙකෙන් එකකට කඩා වැදුණු ගුවන් යානයක් පදවාගෙන ගිහින් තිබුණේ ඒ පුහුණු වූ පුද්ගලයා කියලා පසුව දැනගත්තා.'

(රැස) පුවත්පත 2019 මැයි 8

අවසන් වශයෙන් මෙහෙම කිව යුතුය. දෙවැනි ලෝක යුද්ධයේදී ජපානය පර්ල් වරායට බෝම්බ දාන බව කියලා අමෙරිකා බුද්ධි අංශ කලින් දැනගත්තේය. ඒ මෙහෙමය. ඇමෙරිකානුවෝ කාලයක් තිස්සේම ජපාන රහස් පණිවිඩවලට සවන් දෙන්න සමත් වී හිටියහ. ජපන් යුද ආඥාදායකත්වය පර්ල් වරායට පහර දීමේ නියෝගය නිකුත් කිරීම ඔවුහු ඒ අනුව දැන ගත්හ. පර්ල් වරායට එල්ල කරන ප්‍රහාරය ගැන දැනගත්ත ගමන්ම බුද්ධි අංශ විසින් ඒ කාලේ හිටිය ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් ඇතුළු ඉහළම බලධාරීන් දැනුවත් කිරීමය. නමුත් ඊට නිසි පියවර නොගත් නිසා ප්‍රහාරය වළක්වන්න බැරි වූ අතර බුද්ධි අංශ නිලධාරීහු මෙයින් කම්පා වූහ.

ඒ එක්කම ජනාධිපතිවරණය පැමිණියේය. රූස්වෙල්ට් ජනාධිපතිට එරෙහිව තරග කළේ ඩිවේ කියන අපේක්ෂකයෙක්. එයාට බුද්ධි අංශ එක්ක සමීප සම්බන්ධකම් තිබුණු අතර බුද්ධි අංශ නිසි පරිදි තොරතුරු දුන්නත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධව ක්‍රියා නොකළ බවත් ඒ වන විටත් බුද්ධි අංශ දැඩිව කලකිරී සිටින බවත් ඔහු දැන ගත්තේය. මේ අවස්ථාවේදී සී. අයි. ඒ. ප්‍රධානියා හිටියේ ජෙනරාල් මාෂල්ය. ඔහු ඩිවේ මුණගැසී කියා සිටියේ පර්ල් වරායට පහරදීම වළක්වන්න ජනාධිපතිවරයා කිසිවක් නොකර සිටීම ගැනත් බුද්ධි අංශ කලකිරී සිටින බවත් ඩිවේ දන්න බව තමන් දන්නා බව ය. ඒ වුණත් මේ සිදුවීම මැතිවරණ වේදිකාවේදී පාවිච්චි කරන්න එපා කියා ජෙනරාල් මාෂල්, ඩිවේගෙන් ඉල්ලුවේය. 'ඒ ඇයි. ඒකෙන් මට දිනන්න පුළුවන්' ඩිවේ කීවේය. මාෂල් මෙහෙම කීවේය.

'ඔබ ඒක කීවොත් ජපානය දැනගන්නවා ඔවුන්ගේ රහස් පණිවිඩවලට ඇමෙරිකාව සවන් දෙනවා කියලා. ඒවා ඔවුන් වෙනස් කරන්න පුළුවන්, ඒ වගේම ඒවා වෙනස් නොකර ඒ මඟින් වැරදි තොරතුරු අමෙරිකානුවන්ට ලැබෙන්න සලස්වන්නත් පුළුවන්. එහෙම වුණොත් රටම අනතුරක. ඔබ හිතන්න රට ගැන හිතනවද... ජනාධිපතිවරණය ගැන හිතනවාද කියා.' යැයි මාෂල් කීවේය. අවසානයේ ඩිවේ ඒක පිළිගත්තේය. මැතිවරණ වේදිකාවේ කිසිම තැනක පර්ල් වරාය හෝ බුද්ධි අංශ කතා ඔහු නොගෙනාවේය. අන්තිමට මැතිවරණයෙන් ජනාධිපති රූස්වෙල්ට්ම දිනුවේය.

මාතෘකා