අයිසීස් පරාදයි ඒත් මර්දනය වුණේ නෑ

 ඡායාරූපය:

අයිසීස් පරාදයි ඒත් මර්දනය වුණේ නෑ

IS යනුවෙන් කෙටියෙන් හැඳින්වෙන්නේ ‘ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය’ (Islamic State of Iraq and Syria) නම් සංවිධානයයි. ඔවුන් විසින් සිරියාවේ පවත්වාගෙන ගිය ත්‍රස්ත ක්‍රියා සම්පූර්ණයෙන්ම අවසන් කෙරෙන පරිදි ඔවුන් පරාජයට පත් කරන ලද බව ඔවුන්ට එරෙහිව යුද පෙරමුණේ පෙරමුණ ගත් කුර්දිශ් සටන්කාමීන්ගේ නායක මුස්තාපා බාලි විසින් ට්විටර් පණිවුඩයක් මගින් පසුගිය සෙනසුරාදා (මාර්තු 23) තහවුරු කරනු ලැබූ බව සඳහන්ය.

ඊට දින කිහිපයකට පෙර එනම් පසුගිය 20 වැනි බදාදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඒ වන විට අයිසීස් ත්‍රස්තයන් සිරියාවේදී සම්පූර්ණයෙන්ම පරාජයට පත් කොට ඇති බවයි. ජනාධිපති ට්‍රම්ප්ගේ ඒ ප්‍රකාශය සිරියාවේ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත බෂාර් ජාෆාරි විසින් එදිනම ප්‍රතික්ෂේප කරන ලදි.

සිරියාවේදී අයිසීස් ව්‍යාපාරය මුළුමණින්ම පරාජයට පත් වූ නිසා සිය හමුදා ආපසු කැඳවන බව ජනාධිපති ට්‍රම්ප් පසුගිය දෙසැම්බරයේ ස්ථිරවම ප්‍රකාශයට පත් කළේය. එහෙත් එරට ප්‍රධාන ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මෙන්ම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ද ඊට එකඟ නොවීම නිසා එම තීරණය අත්හිටුවන්නට ජනාධිපතිවරයාට සිදු විය. දැන් සියලු මාධ්‍ය වාර්තා කරන්නේ මේ ඇමෙරිකානු හමුදා ලද ජයග්‍රහණයක් ලෙසය.

රුසියාවේ RT පුවත් ඒජන්සිය එය වාර්තා කළේ Total elimination of ISIS in Syria? US-backed forces confirm” Damascus calls it a bluff (අයිසීස් සිරියාවෙන් මුළුමනින්ම විලෝපනය කළා? එක්සත් ජනපදයේ පිටුබලය සහිත හමුදා තහවුරු කරයි. බොරු මවාපෑමක් බව දමස්කස් කියයි) යන හිසිනි. මෙහි ‘දමස්කස්’ යනු සිරියා රජයයි.

Arab spring යනුවෙන් හැඳින්වෙන අරාබිකරයේ පොදුජන නැඟීසිටීම්වල එක් අවස්ථාවක් ලෙස සිරියාවේ සිවිල් යුද්ධය 2011 මාර්තු 15 වැනි දින ආරම්භ විය. මේ ක්‍රියාවලිය අමෙරිකා එක්සත් ජනපදයේ පිටුබලය ඇතිව සිදුවූවක් බවට සාධක තිබේ. ලිබියාවේ මෙන් එතරම් බලගතු ගඩාෆි නෙරපා ඝාතනය කිරීම සඳහා එරට කැරලිකරුවන් මෙහෙයවන්නට කුමන්ත්‍රණකරුවන්ට හැකි වූ නමුත් සිරියාවේ එය ඉටු කර ගන්නට නොහැකි වූ බව ප්‍රකටය. වසර 7කට අධික කාලයක් සිරියාවේ ඇදි ඇදී යන යුද්ධයක් පවතින්නේ එනිසාය.

මේ අතර කපුටකු සත්ත්ව කුණපයක් මත පාත්වන්නාක් මෙන් සිරියාවට හිමිකම් කියන අයිසීස් ඒ මත ‘වැහුවේය’. සිරියාවෙන් වැඩි කොටසක් අයිසීස් විසින් අල්ලා ගන්නා ලද අතර ඔවුන් පලවාහැරීම ජනාධිපති බෂිර් අල්-අසාද්ගේ රජයේ අවශ්‍යතාව විය. ඉරානය සහ රුසියාවද හිස්බුල්ලා සංවිධානයද ඍජුවම සිරියානු රජයට සහාය පළ කළේය.

සිරියාවට හිමිකම් කියන; එසේම අයිසීස් සමඟ බලවත් සේ විරුද්ධ තවත් සන්නද්ධ කණ්ඩායමක් වන කුර්දි සටන්කාමීහුද අයිසීස් සමඟ සටනට එළැඹුණෝය. එය මතු විස්තර කෙරෙන පරිදි අමෙරිකාවේ අවශ්‍යතාව අනුව සිදු වූවකි.

සාමාන්‍ය යුද්ධයක් යනු පාර්ශ්ව දෙකක් අතර පවතින්නක් වුවත් සිරියානු යුද්ධයට සම්බන්ධ වන්නේ පාර්ශ්ව දෙකක් පමණක් නොවේ; හතරකි. රටේ පවතින යුද්ධයකදී රජය පාර්ශ්වකරුවකු වීම අනිවාර්යය. විරුද්ධ පක්‍ෂයේ කණ්ඩායමක් මෙහිදී රජයට එරෙහිව සටන් වදිමින් සිටියි. ඔවුන්ගේ අරමුණ බෂිර් අල්-අසාද් පලවා හැර පාලනය සියතට ගැනීමය. අමෙරිකාවේ පිටුබලය ලැබුණේ එම කණ්ඩායමටය. පසුව ප්‍රධාන විරුද්ධ පාර්ශ්වය බවට පත් වූ අයිසීස් තවත් කණ්ඩායමක් විය. පරාජය කළ නොහැකි බරපතළ ප්‍රහාරකයන් වූයේ ඔවුන්ය. ඔවුන්ගේ එළැඹීමෙන් පසු කුර්දි සටන්කාමීන් පෙරටුකොට ගත් අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ විදෙස් හමුදා තවත් පෙරමුණකි.

ජර්මනිය, ඉතාලිය, බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ ප්‍රංශය යන යුරෝපීය රටවල්ද ජෝර්දානයද ඔස්ට්‍රේලියාවෙද මෙහිදී අමෙරිකා එක්සත් ජනපදයට සහාය පළ කරයි. එම හමුදා රජයට එරෙහිව සටන් කරන්නේ නැත. වෙනත් කණ්ඩායමක් මඟින් යුද්ධය පවත්වාගෙන යාම (proxy war) මෙහිදී සිදුවේ. ඒවායේ පිටුබලය සහිතව පෙරමුණේ සටන් කළ කුර්දිවරුන්ගේ අරමුණ අයිසීස් පලවා හැරීම පමණක්ම නොවේ. සිරියාවේ ‘තමන්ගේ’යැයි ඔවුන් හිමිකම් පාන ප්‍රදේශ අත්පත් කර ගැනීමද ඊට අයත්ය.

IS යනු සුන්නි ඉස්ලාමයේ සලාෆි ජිහාදීය සටන්කාමී කණ්ඩායමකි. 1999 වසරේ එය ආරම්භ වූ බව පැවසේ. එය මුලදී අල්-ඛයිඩා සංවිධානය සමඟ සබඳකම් පවත්වා ඇති අතර පසුව ස්වාධීන විය. ඔවුන්ගේ ක්‍රියාන්විතවල කූටප්‍රාප්තිය සනිටුහන් වන්නේ 2014 ජුනි මස මුල ඉරාකයේ මොසුල් නගරය අල්ලා ගැනීමත් සමඟය. ඒ අවස්ථාවේ ඉරාක හමුදාව තමන් සතු අවි සහ වාහනද අනෙකුත් මෙවලම්ද ඔවුන්ට ගන්නට ඉඩ හැර පලා ගිය හෙයින් ඔවුන්ගේ පාලනය එහි ස්ථාපිත විය. ඉරාක මහ බැංකුවේ මොසුල් ශාඛාව බිඳ ඔවුන් විසින් පැහැර ගන්නා ලද මුදල ඇ.ඩො. මිලියන 500ක පමණ වටිනාකමකින් යුක්ත බව පැවසේ.

ඔවුහු එසමයේ බටහිර සිරියාවේ සිට නැඟෙනහිර ඉරාකය දක්වා භූමියේ වර්ග කි.මී. 88,000ක් පමණ නතු කරගෙන සිටියාහුය. ඉරාකයේ ඛනිජ තෙල් කර්මාන්තය මුළුමනින්ම පාහේ ඔවුන් විසින් අල්ලා ගන්නා ලද අතර එමඟින්ද පැහැරගෙන යෑම්, වහල් බවට විකිණීම්, කප්පම් ගැනීම්, මං පැහැරීම් යනාදියෙන්ද ඩොලර් බිලියන හත අටක් උපයා ගන්නට ඇති බව විශ්වාස කෙරේ.

පසුගිය වසරේ නොබල් සාම ත්‍යාගය සමව දිනූ යිඩිශ් ජාතික නාදියා මුරාද්ගේ නොබල් දේශනයේ ඔවුන් පිළිබඳ බොහෝ විස්තර ඇතුළත්ය.

අයිසීස් විසින් සිය මතවලට එරෙහි වූවන් ඝාතනය කරන ලද්දේ දහස් ගණනිනි. මේ ඝාතන ගෙල සිඳීමෙන්ද කරන ලදි. එසේ කිරීමෙන් අනතුරුව ඔවුහු ඒවායේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරියෝය.

කැලිඵ් (Caliph) පාලනයක් හෙවත් කැලිඵේටයක් (Caliphate) ගැන සිහින මවමින් සිටි ඔවුන් එය අතහැර පලා ගිය බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. කැලිඵ් යනු අල්ලාගේ නියෝජිතයාය.

ඔවුන් විසින් අන්තර්ජාලයේ ඉංග්‍රීසියෙන් පළ කරන ලද ඩබික් (Dabiq) සඟරාවෙන් සිය මතවාදය ප්‍රචලිත කෙරේ. ඒවා කියවූ බටහිර තරුණියන් අයිසීස්හි නායකයන්ට දාව ගැබ් ගෙන පසුව සිය රටවලට පැමිණ දරුවන් බිහිකොට යුරෝපයේ සහ අමෙරිකාවේ ඊළඟ අයිසීස් පරපුර ඇති කිරීමේ ප්‍රයත්නයක නිරතව සිටි බවද ඇතැම් තැනෙක සඳහන්ය. අයිසීස් පැරදී ගෙන යන විට එබඳු කාන්තාවන් බ්‍රිතාන්‍යයට සහ අමෙරිකාවට පෙරළා පැමිණි බවත් දෙරටම ඔවුන් ආපසු භාරගැනීම ප්‍රතික්ෂේප කළ බවත් මීට මසකට පමණ පෙර මාධ්‍ය වාර්තාවල දැක්විණි.

එම සඟරාවේ දැක්වෙන පරිදි සමස්ත පෘථිවියම එක් කැලිඵෙටයක් බවට පත් කිරීම ඔවුන්ගේ අභිලාෂයයි.

බරක් ඔබාමා 2008 ජනාධිපතිවරණයේදී දුන් එක් පොරොන්දුවක් වූයේ ඉරාකයෙන් අමෙරිකානු හමුදාව ආපසු කැඳවීමය. මෙය පූර්වගාමී ජෝජ් බුෂ්ගේ ප්‍රතිපත්තිවලින් මුළුමණින්ම ආපසු හැරීමකි. ඒ අනුව ඔහු 2011 අවසානය වන විට ඉරාකයෙන් සිය හමුදා ආපසු කැඳවීය. එහෙත් ඒ වන විට වැඩෙමින් සිටි අයිසීස් 2014දී මොසුල් නගරය අත්පත් කරගත් හෙයින් අමෙරිකා එක්සත් ජනපදයට ඉවත බලාගෙන සිටින්නට නොහැකි විය. මන්දයත් සෞදි අරාබිය ප්‍රමුඛ අමෙරිකාවේ මැදපෙරදිග ඇලිය අයිසීස් සමග බලවත්සේ විරුද්ධ හෙයිනි. ඒ නිසා ඔවුහු මැදිහත් වන ලෙස අමෙරිකාවට බල කරන්නට වූහ. අයිසීස් ව්‍යාප්තිය වැළැක්වීමට අමෙරිකාවට වගකීමක් ඔවුන් විසින් පෙන්වා දෙන ලද බව සඳහන්ය.

මේ අවස්ථාවේ ජනාධිපති ඔබාමා අධිපතිවාදී ස්වරූපයෙන් පෙනී සිට යුද්ධයකට එළැඹෙන්නට කැමැත්තක් දැක්වූයේ නැත. ඒ නිසා තමන්ගේ පිටුබලය සහිතව යුද්ධයේ නිරත විය හැකි දේශීය කණ්ඩායමක් ගැන අමෙරිකාවේ ඇස යොමු විය. කුර්දිශ් සටන්කාමීන් අමෙරිකා එක්සත් ජනපදය සමඟ එකඟත්වයකට එන්නේ ඒ අනුවය.

කුර්දි යනු ඉරාන මූලය ඇති ජන කණ්ඩායමකි. 20 සියවසේ මුල දී ඉංග්‍රීසින් විසින් රටවල මායිම් බෙදා වෙන් කිරීමේදී මොවුන්ගේ නිජ බිම තුර්කිය, සිරියාව, ඉරාකය, ඉරානය, අසර්බයිජානය, ආර්මේනියාව සහ ජෝර්ජියාව යන රටවලට ඇතුළත් කොට සිතියම් සැකසීම නිසා ඔවුන්ට දේශයක් නැති විය. ඔවුහු මේ සෑම රටකම සහ ඩයස්පෝරාවේද දිවිගෙවති. ලොව පුරා ඔවුන්ගේ මුළු ජනගහනය මිලියන 45ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. ඉරාකයේ කුර්දිස්තානය නම් කොටසක් පැවැති අතර 2003 සිට සිරියාවේ ඔවුන් වෙසෙන පෙදෙසේ වෙනම පාලන ඒකකයක් ලෙස ඔවුන්ගේ රජයක් තිබේ. එය හැඳින්වෙන්නේ ‘උතුරු සිරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ෆෙඩරේශනය’ යනුවෙනි. එහි ප්‍රධාන දේශපාලන ධාරා දෙකක් ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්‍ෂය ආණ්ඩුව පාලනය කරයි. එහි සන්නද්ධ අංශය, එය හැඳින්වෙන කුර්දි බසේ වචනවල මුලකුරු භාවිතයෙන් YPG ලෙස හැඳින්වේ. හරියට ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ PLF ලෙස නොව JVP ලෙස හැඳින්වෙනවා මෙනි. අනෙක කුර්දි ශ්‍රමික පක්‍ෂයයි. එය ඒ ආකාරයෙන්ම PKK නමි.

ඔවුන්ගේ ප්‍රශ්නයට එක්සත් ජාතීන්ට පවා විසඳුමක් නැති අතර ඔවුන්ගේ ජීවන තත්ත්වය පලස්තීනුවන්ටත් වඩා අන්තය. සමහරවිට මෙහිදී ඔවුන් සිය ගැටලුවලට විසඳුම් සඳහා අමෙරිකාවේ පිහිට අපේක්ෂා කරනවා විය හැකිය.

මොවුන් සංග්‍රාමොපක්‍රමයෙහි අතිදක්ෂ දරුණු ගණයේ සටන්කාමීන් බව ප්‍රකටය. ඔවුන්ගේ සටන්කාරියන් පවා දක්ෂතා අතින් ඉතා ඉහළ අය බවට පිළිගැනීමක් ඇත.

කුර්දි සටන්කාමීන්ට සම්බන්ධ සිරියා රජයේ පිටුබලය ලබන කණ්ඩායම, SDF යනුවෙන් කෙටියෙන් හැඳින්වෙන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවයි. ඔබාමා පරිපාලනය විසින් SDF ගරිල්ලන්ට පුහුණුව, අරමුදල් සහ ආම්පන්න නොමඳව සපයන ලදී. අයිසීස්ලා අභිභවනය කරන ලද්දේ එම හවුල විසිනි.

එහෙත් ඇත්තටම අයිසීස් මර්දනය වීද? ජනාධිපති ට්‍රම්ප් පවා කියන්නේ ඔවුන් සිරියාවෙන් පසුබැස ගිය නමුත් සම්පූර්ණයෙන්ම මර්දනය නොවූ බවයි. මේ සම්බන්ධ බීබීසී වාර්තාවක සිරස වන්නේ Caliphate defeated but is remains a threat (කැලිඵෙටය පරාජය කළා. ඒත් අයිසීස් තර්ජනයක් ලෙස පවතියි) යන්නය.

මාතෘකා