සුඩානය ඉඟුරු දී මිරිස් ගැනීම

 ඡායාරූපය:

සුඩානය ඉඟුරු දී මිරිස් ගැනීම

1989 ජුනි 30 සිට සුඩානයේ ජනාධිපතිව සිටි ඔමාර් අල්-බෂිර් බලයෙන් පහකොට එරට හමුදාව විසින් පසුගිය අප්‍රේල් 12 වැනි දින බලය සියතට ගනු ලැබීය. මෙය සිදු වූයේ ජනතා උද්ඝෝෂණවල ප්‍රතිඵල ලෙසිනි. මාර්තු අවසානය වනවිට වෘත්තිකයන් පාරට බැස සිටි අතර අප්‍රේල් දෙවැනිදා වෛද්‍යවරුද ඊට එක් වූහ. ඉන්පසු ජනතාව විසින් හමුදා මූලස්ථානය යාබද ඉඩමේ පිහිටි ජනාධිපති නිල නිවස වටලන ලදී.

සුඩාන හමුදාව ජනාධිපති ඔමාර් අලි-බෂිර්ගේ නියමයෙන් මිනිසුන් අති විශාල සංඛ්‍යාවක් මරා දැමූ එකකි. එහෙත් මෙවර විරෝධතාකරුවෝ ජනාධිපතිට එරෙහි විරෝධතා පාඨ කියනා අතරතුරේ තමන්ට පහර නොදෙන්නැයි හමුදාවෙන්ද ඉල්ලා සිටියහ.

ජනයා ලක්ෂ ගණනක් සිටි උද්ඝෝෂණ රැල්ල මැඩපැවැත්විය නොහැකි තරමින් උත්සන්න වී තිබිණි. එය විසුරුවා හරින්නට නම් විශාල ප්‍රහාරයක් එල්ල කළ යුතු විය. වෙනදා නම් හමුදාව නීතිය හා සාමය ආරක්‍ෂා කරන්නට කළේ එවැනි දේය. කී දෙනකු මැරෙනු ඇත්ද යන්න ඔවුන්ට ප්‍රශ්නයක් වූයේ නැත.

අල්-බෂිර් සුඩානය පාලනය කළේ නියම ඒකාධිපතියකු සේය. එසේම ඔහු අතිශය දරුණු දාමරිකයෙක්ද විය.

ඔහුගේ පාලන සමය තුළ රටේ සම්පත් කොල්ලකන ලද බව ප්‍රකටය. සුඩානය තෙල් සම්පතින් අනූන රටක් වන අතර එම සම්පත් බහුලව තිබි දකුණු පෙදෙස, දකුණු සුඩානය නමින් වෙනම රාජ්‍යයක් ලෙස වෙන් වීමෙන් පසු ෆොසිල ඉන්ධනවලින් ලැබෙන අස්වැන්න අඩු විය. ඒ අතර සුඩාන තෙල් ක්‍ෂේත්‍ර සියල්ලම වාගේ විදේශ සමාගම්වලට බාරදී හෝ විකුණනු ලැබ පවතියි. චීන ජාතික පෙට්රෝලියම් කෝපරේෂණය ඒවායින් එරට විශාලම පිරිපහදුව වන කාටුම් තෙල් පිරිපහදුවේ කළමනාකරණය පවත්වා ගෙන යයි. මෙහි ප්‍රතිඵලය වූයේ සුඩානයේ ඉන්ධන මිල ඉහළ යෑමය. කෙතරම් ඉහළ ගියාද කිවහොත් ලොව ඉහළම ඉන්ධන මිල පසුගිය වසරේ වාර්තා වූයේ එරටිනි.

ඊට අමතරව රන් ඇතුඵ වටිනා ලෝහ වර්ග නිස්සාරණයද එරට ප්‍රධාන පෙළේ කර්මාන්ත වන නමුත් ජනගහණයෙන් 80%ක් කෘෂි අංශයේ සේවා නියුක්තිකයන්ය.

පසුගිය තිස් වසරක පාලන සමයේ දූෂණය ඉහවහා ගොස් තිබුණේය. ජනාධිපතිවරයා සහ ඔහුගේ ඇතුළත කවයේ සාමාජිකයෝ ජාතික ධනය රිසිසේ කොල්ල කෑහ.

ජනාධිපති අල්-බෂිර්ට හිට්ලර්ට තිබි පන්නයේ උමතුවක් තිබුණේය. ලොව අන් හැමටම වඩා අරාබි වර්ගයා උතුම්ය යන අදහස ඔහුගේ සිතේ කාවැදී තිබිණි. මේ නිසා සිය රටේ ජීවත් වන අරාබි නොවන ජනතාව සමූලඝාතනය කිරීම මගින් සිය රට පිරිසුදු කැර ගැනීම ඔහුගේ අභිප්‍රාය විය.

රට පුරා අවතාර නිවාස(safe house) කිහිපයක් ම හමුදාව විසින් පවත්වාගෙන යනු ලැබූ අතර අල්ලා ගෙන ඒ වෙත ගෙනු එනු ලැබූ මිනිසුන් ඒ වායේදී දෙතිස්වද පමුණුවා මැරෙන්නට ඉඩ හළ බව අනාවරණය වී තිබිණි. ඊට අමතරව රෝහල්වල උපකරණ, ඔසු සහ නවීන පහසුකම් යනාදිය නොමැති වීම නිසා ප්‍රතිකාර ගනු වස් ඒවාට ඇතුළු වන විශාල පිරිසක් මරණයට ගොදුරු වීම සුඩාන බලධාරීන්ට එතරම් ලොකු ප්‍රශ්න වූයේ නැත. ඒ අතරින් බහුතරය කුඩා දරුවන්ය. ගැබිනි මවුවරුන් සහ වෘද්ධයන්ටද මුහුණ දෙන්නට සිදු වූයේ නපුරු ඉරණම්වලටය.

පාලනයේ පිටුබලය ලැබූ හමුදාව මිනිසුන් මරා දැම්මේ නාසින්ටත් වඩා කුරිරු ලෙස බව පැවසේ. ස්ත්‍රී දූෂණය යුද අවියක්(rape as a weapon of war) ලෙස භාවිත කළ මුල්ම රාජ්‍යය සුඩානයද යන්න නිශ්චිත නැතත් මෑත එය බහුලවම භාවිත කළ රට එය බව ප්‍රකටය. මිනිසුන් සිය නිවෙස් තුළට කොටු කොට අගුළු ලා

පිටතින් ගිනි තැබීම සුඩාන හමුදාවේ තවත් එක් ‘සංග්‍රාමෝපක්‍රමයකි’. අල්-බෂිර්ගේ පාලන සමය තුළ 400,000 ඉක්මවන මිනිස් ජීවිත සංඛ්‍යාවක් විනාශ වූ අතර මිලියන තුන ඉක්මවන පිරිසක් රටින් පලා ගොස් ඇත. පසුව දකුණු සුඩානය ලෙස වෙන් වූ රාජ්‍යය සමග දිගටම පවත්වා ගෙන ගිය යුද්ධයේද අවසන් ප්‍රතිඵලය වූයේ කොයි යුද්ධයේදීත් මෙන්ම කෲර මරණයයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ හියුමන් රයිට්ස් වොච් විසින් සුඩානයේ මනුෂ්‍යත්වයට එරෙහිව කෙරෙන සැහැසිකම් පිළිබඳ පරීක්‍ෂා කොට මව් සංවිධානය වෙත වාර්තා ඉදිරිපත් කොට ඇත. මේ වාර්තා අනුව එක්සත් ජාතීන් විසින් ක්‍රියා මාර්ග දෙකක් අනුගමනය කරනු ලැබීය.

පළමුවැන්න එක්සත් ජාතීන් සහ ඒ අනුව ලොව ප්‍රබල රාජ්‍ය සුඩානයට එරෙහිව සම්බාධක පැනවීමයි. අැමෙරිකා එක්සත් ජනපදය සුඩානය සිය අසාධු රාජ්‍ය ලේඛනයට ඇතුළත් කොට ත්‍රස්ත රාජ්‍යයක් ලෙස නම් කළේ 1993 වසරේය. මේ සම්බාධක යනාදියෙන්ද හිංසනයට ලක් වූයේ රටවැසි දුගී ජනතාවය. මේවා නිසා භාණ්ඩ මිල ඉහළ ගියේය.

දෙවැන්න එක්සත් ජාතීන්ගේ අපරාධ අධිකරණය (International Criminal Court - ICC) හෙවත් ඕලන්දයේ හේග් නුවර පිහිටා ඇති හෙයින් ‘හේග්’යන කෙටි නමින් හැඳින්වෙන යුක්තිය පසිඳලීමේ ආයතනය විසින් ජනාධිපති ඔමාර් අල-බෂිර්ට එරෙහි චෝදනා පත්‍රයක් ගොනු කිරීමයි. චෝදනා පත්‍රය සකස් කරන ලද නමුත් එය ඔහුට බාර දීම දුෂ්කරය. මන්දයත් සුඩානය හේග් අධිකරණය පිහිටුවන්නට පදනම් වූ ඔස්ලෝ සම්මුතියට අත්සන් තබා නොමැති හෙයිනි. ඊට අත්සන් තබා නොමැති අැමෙරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව සහ බොහෝ අෆ්‍රිකානු රටවල පිටුබලය ඔහුට ලැබේ. ඒ නිසා ඔහුගේ දාමරිකකම්වලට අමතරව අන්තර්ජාතික සවිමත් බවද තිබේ.

මනුෂ්‍යත්වයට එරෙහිව ක්‍රියා කරන අයකුට චෝදනා කෙරෙන ක්‍ෂේත්‍ර පහක් තිබේ. මිනී මැරීම, සමූලොත්පාඨනය, බලය පා පදිංචි ස්ථානවලින් බැහැර කිරීම, නිරන්තර වධ දීම් සහ ස්ත්‍රී දූෂණය ඒ පහයි. මේ චෝදනා පත්‍රය සකස්කොට ඉදිරිපත් කරන ලද්දේ 2008 ජූලි මාසයේ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අභිචෝදක ලුසි මොරානො ඔකැම්පො විසිනි. එවකට ලිබියානු නායකයා වූ මුවමර් අල්ගඩාෆි මේ සම්න්ධයෙන් ඔකැම්පෝට බොහෝ පරිභව කළේය.

සුඩාන ජනතාව පාරට බැස්සේ තවදුරටත් පීඩනය දරාගත නොහැකි වූ හෙයින් මියෙම්වා රැකෙම්වා යන හැඟීමෙනි. ඒ ආකාරයට ජීවත් වී ඵලක් නොමැති බව ඔවුන් වටහා ගෙන කලකි. ඔවුන්ගේ අත තිබූ පුවරුවල සඳහන් වූවේ සිය රටේ නොමැති ‘නිදහස, සාමය හා සාධාරණත්වය’යි.

මෙවර උද්ඝෝෂණ වෙනස් මුහුණුවරක් ගත්තේ වෛද්‍යවරුන්ද ඇතුළු සෞඛ්‍ය සේවයේ සේවා නියුක්තීන් උද්ඝෝෂණවලට එක් වීම නිසාය. ඒ මතු නොව ඉංජිනේරුවන්, නීතිඥයන් යනාදි වශයෙන් වෙනත් ක්‍ෂේත්‍රවල සුදු කරපටි ධාරීහු ඊට එක්වුවෝය.

ඉතින් අප්‍රේල් 11 දින ඔවුන් සියලු දෙනාගේ සාමූහික ප්‍රාර්ථනාව වූ අල්-බෂිර් ජනාධිපතිවරයාට අසුනින් බැස යන්නට සැලැස්වීම මල්ඵල ගැන්වුණේය. එහෙත් ඒවා නෙළා ගත්තේ හමුදාවය.

රට පාලනය සඳහා මිලිටරි කවුන්සිලයක් පත් කැරිණි. එහි ප්‍රධානියා වන්නේ ලුතිනන් ජනරාල් අබ්දෙල් ෆාටා අල්-බුහ්රාන්ය. ඔහු විශිෂ්ට හමුදා නිලධාරියකු ලෙස ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය හඳුන්වා දෙයි. විශේෂයෙන්ම ඔහු ආගමික නායකයන් අතේ දුරින් තබා ගන්නා අයකු බව එහි සඳහන්ය. එහෙත් අල්-බෂිර්ට හේග් අධිකරණයෙන් එක් චෝදනාවක් වන ඩාර්ෆුර් හි අරාබි නොවන ජනයා සමූලඝාතනයට අණ දුන් නිලධාරියා මොහුය.

අල්-බෂිර්ගේ කැබිනට් මණ්ඩලය මිලිටරි කවුන්සිලය යටතේ තවමත් ක්‍රියාත්මකය. මහජන උද්ඝෝෂණවලට සවන් දීමෙන් පසුව මිලිටරි කවුන්සිලය විසින් ආරක්‍ෂක ඇමතිවරයා ඉවත් කොට ඒ බලතල කවුන්සිලය යටතට පවරා ගන්නා ලදී. ඊට අමතරව කරන ලද ප්‍රධාන වෙනස්කම් දෙකක් වන්නේ නීතිපති සහ ගුවන්විදුලි ආයතනයේ ප්‍රධානියා ඉවත් කිරීමයි. පසුගිය පාලන සමයේ හදිසි නීතිය යටතේ රැඳවුම්භාරයට ගන්නා ලද සියලු විරෝධතාකරුවන් නිදහස් කරන්නටද ලුතිනන් ජනරාල් බුර්හාන් විසින් පියවර ගනු ලැබ ඇත.

ඉන්පසු වීදි බැස සිටින ජනතාවට උද්ඝෝෂණය කරන්නට සිදු වූයේ සිවිල් පාලනයක් ස්ථාපිත කරන ලෙස ඉල්ලමිනි.

මිලිටරි කවුන්සිලය කියන්නේ සිවිල් පාලනය ස්ථාපිත වීමෙන් අනතුරුව මහ මැතිවරණයක් පවත්වා බලය මහජන නියෝජිතයන්ට බාර දෙන බවයි. ඒ සඳහා දෙවසරක් ගතවනු ඇති අතර එතෙක් මිලිටරි පාලනයට සහාය පළ කිරීම සිවිල් පුරවැසියන්ගේ වගකීම වෙයි.

එහෙත් සිවිල් පුරවැසියන් මීට එකඟ නැත. විශේෂයෙන්ම වෘත්තිකයන් මිලිටරි පාලනයක් යටතට පත් වීමට අකැමැතිය. ඒ අතරිනුත් වෛද්‍යවරුන් ප්‍රමුඛය. දැන් මිලිටරි කවුන්සිලයට ලොකුම හිසරදය වී ඇත්තේ ඔවුන්ය. ඛාටුම් අගනුවර නයිල් වීදියේ කඳවුරු ලා සිටින වෛද්‍යවරුන් වෙත පසුගිය සෙනසුරාදා ජීවී උණ්ඩ භාවිතයෙන් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයක් නිසා අඩු තරමින් එක් අයකු මියගොස් දහ දෙනකුට තුවාල සිදුව ඇතැයි අල්-ජසීරා වාර්තාවක දැක්වෙයි. විරෝධතාකරුවන් සිටිනා දිශාවට එල්ල කොට වූ එම ප්‍රහාර මාලාව එදින සවස දෙකට ඇරැඹී හය දක්වා පැවැත්විණි’යි එම වාර්තාවේ කියැවෙයි. මේ වනවිට අල්-ජසීරා කාර්යාලය වසා දමන්නට රජය විසින් පියවර ගනු ලැබ තිබේ.

ශීඝ්‍ර සහාය හමුදාව නම් පැරාමිලිටරි ඒකකයක් විසින් ඛාටුම් හි සියලු මාවත් අවහිර වන සේ හමුදා වාහන ස්ථානගත කොට ඇති අතර ඔවුහු විරෝධතාකරුවන්ට පොලුවලින් පහර දෙමින් සිටිති’යි සඳහන්ය. විරෝධතාකරුවකු උපුටා දක්වන අල්-ජසීරා පවසන්නේ එම අතුරු හමුදා ඒකකය භීෂණය වපුරන බවයි. එක් නිරායුධ විරෝධතාකරුවකුට පහර දෙන්නට ඔවුන් කිහිප දෙනෙකුම සහභාගි වන බව ඒ විරෝධතාකරුවා පැවසීයැයි එහි පළ වේ.

විරෝධතාකරුවන් එම හමුදා ඒකකයේ වාහනවලට ප්‍රහාර එල්ල කරන බව නව පාලනයේ ප්‍රකාශකයෙක් රූපවාහිනියේ පෙනී සිටිමින් පවසා ඇත. එම අනීතික මූලයන් වහා හඳුනාගෙන ඔවුන්ට නීත්‍යනුකූල දඬුවම් පැනවීම රජයේ කාර්යය බවද එම නිලධාරියා පවසයි. එහෙත් විරෝධතාකරුවන් පවසන්නේ වාහනවලට අලාබහානි සිදු කරන්නේ තමන් නොව සිවිල් ඇඳුමින් යුත් එම ඒකකයේම අය බවයි.

රට තුළ පනවන ලද හදිසි නීතිය තවමත් පවතී. ඒ යටතේ සියලු විද්යුත් සහ මුද්‍රිත මාධ්‍යවලට දැඩි සීමා කිරීම් පනවා ඇති අතර සමාජ මාධ්‍යවලට බාධා පැමිණවීම් තිබේ. සුඩාන පුරවැසියන්ගෙන් අඩක් පමණ මේ වන විට ඒවා පරිහරණය කරන බව විශ්වාස කෙරේ. එහෙත් ඔවුන්ට ඊට ළඟා වන්නට ඇති ඉඩ ප්‍රස්තා දැඩිව සීමා කරන ලැබ ඇති අතර ඬේටා සඳහා අය කෙරෙන මිල ඉහළ නංවනු ලැබ තිබේ. තමන් සමාජ මාධ්‍යවල පළ කරන දෑ නිසා මේ වන විට එරට සමාජ ක්‍රියාධරයෝ සිරභාරයට පත්කරනු ලැබීමේ අවදානමකට මුහුණ දී සිටිති.

මාතෘකා