අරාබි සරත් සමය

 ඡායාරූපය:

අරාබි සරත් සමය

2011 වසරේ අරාබි රාජ්‍යය ගණයෙහි ලා ගැනෙන රටවල පාලකයන්ට එරෙහිව පොදුජන නැඟී සිටීම් ඇතිවිණි. උද්ඝෝෂණ හා කැරලි හට ගත් අතර ප්‍රචණ්ඩත්වය ඉහවහා ගියේය. 2011 දෙසැම්බර් දෙවන සතියේ ටියුනීසියාවෙන් ඇරැඹි මේවා පසුව මැදපෙරදිග ඕමානය, යේමනය, ඊජිප්තුව, සිරියාව යන රටවල මෙන්ම ලිබියාව සහ මොරොක්කෝව යන උතුරු අෆ්‍රිකාවේ රටවල ද ව්‍යාප්ත විණි. මේ සියල්ල අරාබි බස වහරන, ඉස්ලාම් ලබ්ධිය ප්‍රමුඛ රාජ්‍යයෝ වෙති. මේ නැඟීසිටීම් නිසා අඩුම හානිය සිදු වූයේ මොරොක්කෝවටය. මන්දයත් ඒ රටේ රජතුමා නම්‍යශීලී ලෙස ජනතාවට පිළිගත හැකි රාජ්‍යපාලන ප්‍රතිසංස්කරණවලට එළැඹි හෙයිනි.

අන්තිමටම කැරැල්ල පැන නැඟුණු ලිබියාවේ තත්ත්වය වඩාත් දරුණු විය. ජනයා කැකෑරෙන වෛරයකින් යුතුව 2012 ඔක්තොබර් 20දා වසර 43ක් සිය රට පාලනය කළ මෙන්ම තමන්ට සෞභාග්‍යය කැන්දූ පාලකයා ව සිටි කර්නල් ගඩාෆි කෲර ලෙස ඝාතනය කළෝය. ඊට හේතුව ඔහු කෙතරම් සේවයක් කළත් ජනතාවට ඔහු විසින් ඇති කරන ලද පීඩනය දරා ගන්නට අසීරු වීම විය හැකිය.

මේ සංක්ෂෝභය නිසා උද්ගත වූ අනර්ථකාරී තත්ත්වය තවමත් අවසන් නැතැයි කිවහොත් නිවැරදිය. මන්දයත් එයින් විකරණය වූ වෙනත් ආකාරයක සටන් මේ වන විටත් සිරියාවේ, ලිබියාවේ සහ යේමනයේ පවතින හෙයිනි.

ඉංග්‍රිසියෙන් මේ සංසිද්ධිය හැඳින්වීමට යොදන ලද්දේ Arab Spring යන පදයයි. ඉංගිරිසි ඍතු හැඳින්වීමේදී යෙදෙන Spring සිංහලෙන් වසන්තය වෙයි. ඒ අනුව අපගේ බස් වඩුවෝ එයට ‘අරාබි වසන්තය’යි නම් තැබුවෝය. එහෙත් ඇත්තටම නම් එය අරාබි නැඟී සිටීම් විය යුතුය.

කෙසේ වෙතත් ඉංගිරිසියේද එහි යෙදෙන spring යන්න වසන්තය ලෙස ගෙන මේ වනවිට එහි පවතින්නේ කටුක 'ශරතය'ය යන අදහසින් Arab Autumn ලෙස නම් කෙරෙමින් වාර්තා හා විශේෂාංග පළවනු දැකිය හැකිය.

මේ රාජ්‍ය එවකට පාලනය කළේ ජනතාව මත දැඩි පීඩන මුදාහළ ඒකාධිපති ස්වරූපයේ පාලකයන්ය. ඔවුන්ගෙන් බහුතරය සන්නද්ධ හමුදාවල ඉහළ නිල දැරූවන් වූ අතර එසේ නොවූ සිරියාවේ බෂිර් අල්- අසාද් පවා පීඩකයෙක්ම වූයේය.

මේ ක්‍රියාන්විතවලදී ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ඇලිය විසින් තිරය පිටුපස සිට කරන ලද කාර්භාරයද ඉතා විශාලය.

1969 දී හමුදාවේ අප්‍රධාන නිලයක් දැරූ කර්නල් මුවමර් අල්-ගඩාෆි ලිබියාවේ බලය අල්ලා ගත්තේ එවකට ලිබියාව පාලනය කළ පළමුවන ඉද්රිස් රජු පලවා හැරීමෙනි. එය ලේ නොසෙල්වූ විප්ලවයකි. විප්ලවකාරී ආඥා කවුන්සිලය නම් පාලන ඒකකයක් පිහිටැවූ ගඩාෆි එහි ප්‍රධානියා ලෙස රට පාලනය කළේය. ඔහුගේ ආදර්ශ පාඨය වූයේ ‘නිදහස, සමාජවාදය සහ එක්සත්බව’යි.

ඔහු බටහිර ධනවතුන්ගේ පිහිට කිසිවිටෙක නොපැතූ අතර ස්වීය වූ සැලැස්මක් මගින් රට සංවර්ධනය කළේය. ඉද්රිස් පාලන සමයේ එරට පුරා ව්‍යාප්ත විදේශීය සමාගම්, දේශීය සමාගම් මගින් ප්‍රතිස්ථාපනය කැරිණි. තෙල් සමාගම් ජනසතු කෙරුණු අතර එමඟින් නොරටට ඇදි ගිය විශාල ධනයක් සිය රටේම රඳවා ගන්නට ඔහුට හැකි විය. සේවකයන්ගේ ස්වයං කළමනාකරණ කමිටු මගින් ව්‍යවසාය පාලනය කළ අතර ඉන් සාර්ථක ප්‍රතිඵල අත්විය. ගඩාෆි අනෙක් අෆ්‍රිකානු රටවල් මෙන්ම මැදපෙරදිග බොහෝරටවල් සමග සහයෝගයෙන් වැඩ කළේය. එහෙත් ඉද්රිස් රජ සමයේ ඊස්‍රායෙලය සමග පැවැති සබඳතා බිඳ හෙළීය. ඉද්රිස් රජු ඇමෙරිකාවේ හිතවතකුටත් වඩා ගැත්තකු ලෙස පාලනය ගෙන ගියත්, ගඩාෆි, සෝවියට් සංගමය ඇතුඵ නැඟෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් රාජ්‍ය බිඳවැටී විසිරී යන්නට පෙර පැවැති නොබැඳි ව්‍යාපාරයේ සක්‍රිය සාමාජිකයකු ලෙස ක්‍රියා කළේය. එනයින් ලිබියානු නායකයා ලෙස එවකට ලොව පැවැති අංක 1 කඳවුර වූ ඇමෙරිකාවත් බටහිර රාජ්‍යත් විවේචනය කිරීමෙන් නොනැවතී ගර්හාවට පාත්‍රකිරීම නිසා කොමියුනිස්ට් කාරයකු නොවූවත් ගඩාෆි කමියුනිස්ට් පාලකයන් තරමටම සමහරවිට ඊටත් වඩා ඇමෙරිකා එක්සත් ජනපදයේ ද්වේෂයට ලක්ව සිටියේය. එසේ වුවද ගඩාෆිගේ ලිබියාව යනු සශ්‍රීක මෙන්ම උසස් ජීවන තත්ත්වයකින් යුත් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා නොමිලේ ලබා දුන් රටකි. ලිබියාව සාමාන්‍ය ජනයා පෙළන බදු අය නොකළ අතර ඒ වෙනුවට රජයේ ආදායමෙන් නොයෙක් පහසුකම් සැලසීය. අනෙක් අතට ගඩාෆි අනෙක් අෆ්‍රිකානු නායකයන් මෙන් තමාගේත් තම පවුලේ අයගේ අධික සුඛවිහරණය පතා පොදු දේපළ කොල්ල කෑවේද නැත.

ගඩාෆි ඇත්තටම සමාජවාදියෙක් වූයේය. වරින්වර සිය රටේ ව්‍යවස්ථාව වෙනස් කළ ඔහු කමියුනිස්ට් රටවල ව්‍යවස්ථා ආශ්‍රයෙන් ලිබියාවටම අනන්‍ය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සාදා ගත්තේය. එහෙත් ඔහු ආගමට විශේෂ තැනක් දුන්නේ නැත. කෙසේවෙතත් ඉස්ලාම් ලෙජිනයක් (Islamic Legion) ඇරඹීමේ අදහසක් ඔහු තුළ තිබූ බව පැවසේ. ලෙජිනයක් යනු පුරාතනයේ පැවැති ඉස්ලාමිකයන්ගේ හමුදා විශේෂයකි. ගඩාෆිගේ යෝජිත ලෙජිනය ආගම් ව්‍යාප්තිය උදෙසා නොව දුප්පත් ඉස්ලාමීය රටවලට ආධාර කිරීම සඳහාය.

ගඩාෆි කිසිදා තමන්ට මෙබඳු ඉරණමක් අත්වනු ඇතැයි නොසිතුවාට සැක නැත. ඔහු ඡන්දයකින් තේරී පත් වූ නායකයකු නොවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට තිබුණේ පුත් ආචාර්ය යසිෆ් අල්-ඉස්ලාම් ගඩාෆිය. ඔහු විසින් බොහෝ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කරන ලදැයි චෝදනා නැඟිණි. පසුව ඔහු නිදොස්කොට නිදහස් කරන ලදි.

ගඩාෆි ඝාතනය වීමෙන් පසු ලිබියාව අරාජික විය, ඉන්පසු පාලනය අල්ලා ගැනීමට අරගල පැවැතිණි. නේටෝ හමුදාව ක්‍රියාත්මක වී කැරලිකරුවන් හා සටන් කොට ප්‍රජාතන්ත්‍රවාදයට දොර ඇර දුන් අතර මැතිවරණ පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ පිටුබලය ඇතිව නව ව්‍යවස්ථාවක් සම්මත කොට ආසන 200කින් යුත් ව්‍යවස්ථාදායකයක් ස්ථාපිත කරන ලදි. 2014 ජුනි 14දා ප්‍රථම මහමැතිවරණය පැවැත්වුණු අතර 2018 අගෝස්තු 04දා පළමුවරට ව්‍යවස්ථාදායකය රැස්විණි. එහි ධුර කාලය මේ වනවිට ඉක්මගොස් ඇතත් නැවත මහමැතිවරණයක් පැවැත්වෙන දින නියම කොට නැත.

ලිබියාවේ පාලනය ගඩාෆිගෙන් පසු එක දිගට එක විධියට පැවැතියේ කෙටි කාලසීමාවක් තුළ පමණි. වර්තමානයේ එහි පවතින්නේ ජනාධිපතිත්ව මණ්ඩලයක් (Presidential Council) විධායකය ලෙස සහ ජාතික එකඟතාවේ ආණ්ඩුව (Government of National Accord) ව්‍යවස්ථාදායකය ලෙස පවතින රජයකි. මෙහි විශේෂය වන්නේ මේ දෙකේම ප්‍රධානියා එකම පුද්ගලයකු වීමයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆායෙස් මුස්තාපා අල්-සරාජ් ජනාධිපතිත්ව මණ්ඩලයේ සභාපති සහ අගමැති යන ධුර දෙකම දරයි.

2014 මැයි 16 දින ට්‍රිපොලි නගරයට සන්නද්ධ කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කරන ලද අතර ව්‍යවස්ථාදායකයේ රැස්වීම් ටොබ්රුක් නම් දුරස්ත නගරය වෙත ගෙන යන ලදි. මෙය දෙවන ලිබියානු සිවිල් යුද්ධය ලෙස හැඳින්වේ. මන්ත්‍රීන් කණ්ඩායමක් සහ ලිබියානු ජාතික හමුදාව එක්ව වෙනත් පාලනයක් ස්ථාපිත කිරීම එහි ප්‍රතිඵලයක් ලෙස සිදු විය. මේ අනුව දැන් ලිබියාවේ ආණ්ඩු දෙකක් තිබේ. පළමුවැන්න ඉහතින් සඳහන් පරිදි ව්‍යවස්ථාපිතව තේරී පත් වූ ජනාධිපති කවුන්සිලයේ විධානය යටතේ ක්‍රියාත්මක වන ෆායෙස් සරාජ්ගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවයි. අනෙක ලිබියානු ජාතික හමුදාවේ අණදෙන නිලධාරී ඛලිෆා හෆ්ටාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවයි.

ඛලිෆා හෆ්ටා යනු ව්‍යවස්ථාදායකයේ බහුතර ඡන්දයෙන් 2015 මාර්තු 02 දින පත් කැර ගන්නා ලද හමුදාපතිවරයාය. 2018 අරැඹි සිවිල් කැරැල්ලට නායකත්වය දීමට ඔහු යොමු වුණේ පසුගිය මැයි මාසයේය. මේ වන විට ඔහුගේ සේනාංක ට්‍රිපොලි පාලනය පෙරළා දමන්නට යුධ වැදී සිටියි.

ලිබියාවේ මේ වන විට නිමක් නැති සන්නද්ධ කැරලිකාර කණ්ඩායම ක්‍රියාත්මක අතර සරාජ්ගේ ආණ්ඩුවට සහ හෆ්ටාගේ කැරැල්ලට යන දෙකටම විවිධ කණ්ඩායම් එක්ව සිටීම නිසා තත්ත්වය බරපතළ මෙන්ම සංකීර්ණද වන බව ප්‍රකටය.

පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා මේ දෙපාර්ශ්වය අතර පවතින බරපතළ අවි ගැටුම් නිසා මේ වන විට මිය ගිය සිවිල් පුරවැසියන් සංඛ්‍යාව 1,100 ඉක්මවන බව සඳහන්ය.

පෙරේදා හෙවත් 28වැනි ඉරිදා හෆ්ටා පාර්ශ්වය විසින් ට්‍රිපොලි නගරෝපාන්තයේ රජයේ රෝහලකට එල්ල කරන ලද වගවිභාගයක් නැති ගුවන් ප්‍රහාර නිසා වෛද්‍යවරුන් 5ක් මියගිය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. එම රෝහල ශික්ෂණ රෝහලක් වැනි ආයතනයක් වන අතර සෞඛ්‍ය සේවාවට සම්බන්ධ වෛද්‍යවරුන්ද ඇතුළත් වෘත්තිකයන් පුහුණු කෙරෙන්නකි. පෙර සතියේ ඒ ප්‍රදේශයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයක් නිසා සිවිල් පුරවැසියන් 10ක් පමණ තුවාල ලබා රෝහල් ගත කරන ලද බවද වාර්තා වෙයි.

මේ ප්‍රහාර සඳහා හෆ්ටා පාර්ශ්වයට ප්‍ර‍ංසයේ සහ ඊජිප්තුවේ ආධාර ලැබෙන බව සඳහන්ය.

අෆ්‍රිකානු රටවලින් යුරෝපයට සංක්‍රමණය වන්නන්ගේ අතරමැදි නවාතැනක් ලෙස ට්‍රිපොලි යෙදෙයි. අවට කඳවුරු තිබේ. මෙම කඳවුරු වසා දමන ලෙස එක්සත් ජාතීන් විසින් ලිබියාවට දැනුම් දෙනු ලැබ ඇතත් එක්සත් ජාතීන්ගේ පිටුබලය ඇතිව පවත්වා ගෙන යන වත්මන් ලිබියා පාලනය ඊට එකඟ වී නැත. හෆ්ටා පාර්ශ්වය පෙර සතියේ ටජෝරා හි එවැනි කඳවුරද ප්‍රහාරයක් එල්ල කළ අතර එයින්ද 40ක් මිය ගිය බව සඳහන්ය.

මේ අතර ලිබියාවේ අභ්‍යන්තර යුද්ධයට සම්බන්ධ නොමැති වෙනත් කාරණයක් සඳහන් නොකරන්නේ නම් මෙහි අඩුවක් ඇති බවක් හැඟෙයි. පසුගිය සෙනසුරාදා ලිබියා වෙරළෙන් ඉතාලිය බලා පිටත් වූ යාත්‍රාවක් පෙරැළීමෙන් වූ වින්නැහියක් ගැනය ඒ. මේ යාත්‍රව පෙරැළී ඇත්තේ ලිබියාවෙන් කි.මී. 15ක පමණ දුරිනි. තමන්ට දරාගත නොහැකි තරම් සංඛ්‍යාවක් ඒ කියන්නේ මිනිසුන් 300ක් පමණ ගෙන යමින් සිටි යාත්‍රාව පෙරැළීම නිසා ඔවුන්ගෙන් අඩක් පමණ දියේ ගිලී මිය ගිය බව වාර්තා වෙයි. ලිබියා වෙරළාරක්‍ෂක සේවාව ඉතිරි වූ මිනිසුන් ගෙනවුත් ගාල් කර ඇත්තේ පෙර සඳහන් ප්‍රහාරයට ලක් වූ කඳවුරේය. එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය මේ සම්බන්ධයෙන් බලවත් කනස්සල්ල පළ කොට ඇති අතර නැවත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති හෙයින් ඔවුන් එයින් ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා ඇත.

ජනරිල් හෆ්ටාගේ හමුදාව ලිබියා පාලනය සියතට ගන්නට ඉතා ආසන්න බව මැයි සිටම වාර්තාවල සඳහන් විණි. එහෙත් තවම එය සිදු වී නොමැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස නීත්‍යනුකූල ලිබියා ආණ්ඩුවට රට එකසේසත් කළ නොහැකිව තිබේ. මෙයින් පීඩාවට පත් වන්නේ සාමාන්‍ය ජනතාව බව අමුතුවෙන් කියන්නට දෙයක් නැත.

අන්තර්ජාතික රහස් ඔත්තු සේවා විසින් උසිගන්වන ලද ලිබියාවේ වියරු ජනයා ගඩාෆි ඝාතනය කළේ ස්වර්ගයෙන් බසින පාලකයකු තමන්ගේ රටේ පාලනය බාර ගනු ඇතැයි සිතා විය හැකිය. එහෙත් දැන් ඔවුන්ට තමන් කළ ක්‍රියාවේ අනුවණකම වැටහී ඇතිවාට නම් සැක නැත.

මාතෘකා