හොංකොංවල නිමක් නැති විරෝධතා

 ඡායාරූපය:

හොංකොංවල නිමක් නැති විරෝධතා

පෙබරවාරිවල සුළු වශයෙන් ඇරැඹුණු හෙංකොංහි විරෝධතා මෙතෙක් අවසන් වී නොමැත. මෙම විරෝධතාවලට ජුනි අග 500,000 පිරිසක් සහභාගි වූ බව වාර්තා වූ අතර දැන් ඒ සංඛ්‍යාව ඉන් දහයෙන් පංගුවක් තරම් පහළ බැස ඇතත් විරෝධතා අඛණ්ඩව ඉදිරියට යයි. පසුගිය 01දා විරෝධතාකරුවෝ හොංකොංහි ව්‍යවස්ථාදායක කවුන්සිලයේ සභා ගොඩනැගිල්ලට ඇතුඵව එතුළ විරෝධතාවල නිරත වූහ. හොංකොං දේශයේ නව ලාංඡනය ඉවත් කළ ඔවුහු බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාඡනය ඒ වෙනුවට එහි ස්ථානගත කොට බ්‍රිතාන්‍ය කොඩිය එසැවූහ. ඒවා ඊට වසර 22කට පෙර එනම් 1997 ජුලි 01දා වසර 156ක බ්‍රිතාන්‍ය පාලනය අවසන් වුණු දිනයේ ඉවත් කරන ලදි. සභාගැබේ බිත්තිවල නොයෙක් සටන්පාඨ ලියා තිබෙන ඡායාරූප මාධ්‍යයේ පළ වි තිබිණි.

හොංකොං යනු චීන අධිරාජයයට අයත්ව තිබූ දිවයිනකි. 1841දී බ්‍රිතාන්‍යය විසින් එය ආක්‍රමණය කරන ලදි. එවක චීනය පාලනය කළ ක්විං අධිරාජයා බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය සමග 1842 අගෝස්තු 29 දින ගිවිසුමක් අත්සන් කොට එය බ්‍රිතාන්‍යයට පවරා දුන්නේය. ගිවිසුම 1997 ජුනි 30 දින අවසන් වූ අතර එය මහජන චීන සමූහාණ්ඩුවට පවරා ගනු ලැබීය. ඉන්පසු මහජන චීනයේ කොටසක් බවට පත් වූ හොංකොං ‘එක් රටක් - පාලන ක්‍රම දෙකක්’ ලෙස ස්වයං පාලිත දේශයකි. ඒ අනුව එහි පාලනය චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පවත්වාගෙන යන චීන මහජන සමූහාණ්ඩුවේ පාලනයෙන් වියුක්තය. එහිදී ප්‍රධාන දේශයේ නොමැති හිමිකම් පුරවැසියන්ට භුක්ති විඳිය හැකිය. එයට තමන්ගේමය කියා ව්‍යවස්ථාදායකයක් පවතින අතර ව්‍යවස්ථා සම්පාදනය එහි කර්තව්‍යයකි. හොංකොංහි නීතිය මතු නොව අධිකරණය, අයවැය යනාදී ස්වාධීන රාජ්‍යයක තිබිය යුතු බොහොමයක් අංගද ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට අනුව සිව් වසරකට වරක් තෝරා ගැනෙන එකී ව්‍යවස්ථාදායකය විසින් සහ එසේම තෝරා ගැනෙන ප්‍රධාන විධායක විසින් තීරණය කොට අනුමත කොට ක්‍රියාත්මක කෙරේ. ප්‍රධාන විධායක යනු වෙනත් රටක ජනාධිපතිවරයකු සතු ඇතැම් බලතල ඇති එහෙත් මුළුමනින්ම විධායක නොවන පාලකයකු වන අතර ඔහු තෝරා ගනු ලබන්නේ මහජන ඡන්දයෙනි. වර්තමානයේ එම ධුරය හොබවනු ලබන්නේ කැරී ලෑම් නමැති කාන්තාවක විසිනි.

හොංකොං නිල වශයෙන් හැඳින්වෙන්නේ ‘මහජන චීන සමූහාණ්ඩුවේ හොංකොං විශේෂ පරිපාලන ඒකකය’ යනුවෙන් වන අතර එය රටක් ලෙස පිළිගැනෙන්නේ නැත. ඒ සමග සඳහන් කෙරෙන විට චීනය හැඳින්වෙන්නේ ප්‍රධාන දේශය (mainland China) නමිනි.

අතීතයේ සිටම හොංකොං කාලීනව නූතන නිදහස් සාමකාමී ජනතාවක් සිටින සහ චීනයේ නම් දඬුවම් ලැබිය හැකි අනාචාර දුරාචාර කිසිදු බාධාවකින් තොරව පවතින දේශයක් ලෙස ප්‍රකටය.

මිලියන 7.5ක් වෙසෙන වර්ග කිමි 1,108 පමණ වපසරියකින් යුත් හොංකොංහි ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට 6800ක් තරම් අධිකය. එහෙත් එහි මානව හිමිකම් දර්ශකයේ පාඨාංකය ඉහළ අගයක පවතියි. එහි ජනගහනයෙන් සියයට 92ක් චීනුන් වන අතර ඉතිරිය පිලිපීන, ඉන්දුනිසියානු වැනි ආසියාතිකයන් මෙන්ම බ්‍රිතානින්ගෙන් ද සමන්විත වෙයි.

හොංකොං හැඳින්වීමේ දී ඇතැම්විට ‘ගෝලීය නගරය’ හෝ ‘ඇල්ෆා නගරය’ හෝ භාවිත කෙරේ. එය අන්තර්ජාතික වෙළෙඳාමේ මෙන්ම සංචාරක කර්මාන්තයේ ද ප්‍රමුඛ හවුල්කරුවකු මෙන්ම හුවමාරුකරුවකුද වීම ඊට හේතුවයි. ආසියාවේ මූල්‍ය කේන්ද්‍රස්ථාන අතර පැරණිතම එයට වර්තමානයේ ඒ ක්‍ෂෙත්‍රයේ වැදගත් තැනක් හිමිය. චීන බස එහි මූලික සන්නිවේදන භාෂාව ලෙස පිළිගැනෙන අතර ව්‍යාපාර කටයුතුවලදී ඊටම ආවේණික ඉංගිරිසියක් භාවිත වෙයි.

එහෙත් මේ වනවිට හොංකොංහි සාමකාමීත්වය උක්ත විරෝධතා ව්‍යාපාර නිසා පිරිහී පැවැතීම අපූර්වය.

විරෝධතාවට හේතුව ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරන්නට සූදානම් වන නීතියකි. උදර්පණයට අදාළ මෙම නීතිය ‘2019 අපරාධ කෘත්‍යවලදී පලායිත වරදකරුවන් අන්‍යොන්‍ය හුවමාරුව සඳහා වන නීති සහාය (සංශෝධන) පනත’ (Fugitive Offenders and Mutual Legal Assistance in Criminal Matters Legislation (Amendment) Bill 2019) නමි. 2018 මාර්තු 29 දින ප්‍රකාශයට පත් කරන ලද මෙම පනත පසුගිය අප්‍රෙල් තුන්වනදා පළමුවරට ව්‍යවස්ථාදායකය ඉදිරියේ කියවනු ලැබීය.

මෙහි මුල් පනතේ සාමාන්‍ය උදර්පණයට අදාළ විධිවිධාන ඇත්තේ වුවත් චීනය, චීන ජනරජය ලෙස නිල වශයෙන් හැඳින්වෙන ස්වාධීන රාජයයක් වන තායිවානය සහ චීන මහජන සමූහාණ්ඩුවේ තවත් පරිපාලන ඒකකයක් වන මැකාඋ යන ඒවායේ දී කෙරෙන අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නට හොංකොං පොලිසියට හෝ අධිකරණයට හෝ බලතල නැත. මේ නිසා ඒ රටවල අපරාධ සිදු කොට හොංකොං වෙත පැමිණි විට දණ්ඩ මුක්තිය ලැබේ. පනතේ අරමුණ එය නිෂේධ කිරීමයි.

2018 වසරේ මුල් දවස්වල චෑං තොං කායි නම් හොංකොං වැසියෙක් තායිවානයේදී සිය පෙම්වතිය ඝාතනය කොට හොංකොං වෙත පෙරළා පැමිණ ඒ බව හොංකොං පොලිසියට පැවසීය. එහෙත් ඔහුට එරෙහිව කිසිවක් කරන්නට ඊට බලයක් නොතිබිණි. හේතුව සිය රටේදී අපරාධය සිදුකළ හොංකොං පුරවැසියාට එරෙහිව නීතිමය පියවර ගන්නට සහ අපරාධයෙන් පසු ඔහු හොංකොං වෙත පලාගියහොත් ඔහු තම පොලිසියට බාර දෙන ලෙස ඉල්ලා සිටින්නට තායිවානයට බලය නොතිබීමත්, බාර දෙන්නට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හොංකොං පාලනාධිකාරියට නොතිබීමත් ය. උදර්පණ නීතිය සංශෝධනය කළ යුතුය යන මූලික අදහස ඉස්මතු වූයේ ඒ ආශ්‍රිතවය.

හොංකොං යනු ස්වායත්ත රාජ්‍යයක් නොවන බැවින් එක්සත් ජාතීන්ගේ උදර්පණ ගිවිසුම් ඊට අදාළ නොවන අතර හොංකෙං බලධාරීන්ගේ අදහස වනුයේ මෙබඳු අවස්ථාවක තමන්ට නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරන්නට අවස්ථාව තිබිය යුතු බවයි. මේ පනත ගෙන එන්නේ ඒ සඳහාය.

එම නිසා චීනය, තායිවානය සහ මැකාඋ යන රටවල්ද ඇතුළත් කෙරෙන සේ සංශෝධිත පනත ඉහත සඳහන් පරිදි ඉදිරිපත් කැරිණි. එමගින් 1997 පළායිත වැරදිකරුවන් පිළිබඳ ආඥාපනත සහ 1997 අපරාධ කෘත්‍යයන්හිදී අන්‍යොන්‍ය නෛතික හුවමාරුව යන පනත් දෙක සංශෝධනය කරන්නට අපේක්‍ෂා කරන ලදි.

පනතට එරෙහි වන්නන්ගේ මූලික විරෝධතාව පැන නගින්නේ චීනය සහ හොංකොං අතර නීතියේ පවත්නා අතිමහත් පරතරයයි. චීන මහජන සමූහාණ්ඩුව පාලනය කරන්නේ එරට කොමියුනිස්ට් පක්‍ෂයයි. එහි නීතිය සැකැසී ඇත්තේ කොමියුනිස්ට් මූලධර්ම පදනම් කැර ගනිමිනි. එහෙත් බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ව තිබූ හොංකොං නිදහස් හා ලිබරල් පෙදෙසකි. කොමියුනිස්ට් පාලනය යටතේ පුරවැසියන්ට පනවා ඇති බරපතළ සීමාකිරීම් හොංකොංහි නැත. මේ නිසා චීනයේ නීතිය ඉදිරියේ වරදක් හොංකොහි වරදක් නොවන්නට ඉඩ තිබේ. එසේම චීනයේ අධිකරණ ක්‍රමය දැඩි අනම්‍ය ස්වරූපයක් ගන්නා අතර චුදිතයකුට චෝදනාවලින් ගැලවීම අපහසුය.

පනත සම්මත කරන්නේ වෑන් තොං කායි විසින් කරන ලද මනුෂ්‍ය ඝාතනය පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්නට නම් එය අවසන් වීමෙන් පසු පනතද අහෝසි වන පරිදි ප්‍රතිපාදන ඇතුළත් වගන්තියක් ඊට එක් කළ යුතු බව විරුද්ධව අදහස් දක්වන්නෝ පෙන්වා දෙති.

හොං‍ෙකාංහි චීන වෘත්තිකයන්ගේ සහ ව්‍යාපාරික සංධානය සහ හොංකොං ලිබරල් පක්‍ෂය නව පනතේ ඇති ආර්ථික අපරාධ 15ක් දැනට හොංකොං හි අපරාධ සේ නොගැනෙන හෙයින් ඒවා ඉවත් කරන ලෙස ඉල්ලා සිටිති.

නව පනත ප්‍රධාන දේශයේ හෙවත් මහජන චීනයේ අවශ්‍යතාව අනුව සැකසණක් බව හොංකොංහි අමෙරිකානු වාණිජ මණ්ඩලය පෙන්වා දෙයි. මේ යටතේ අපරාධකරුවන් ලෙස ගැනෙන අයට චීන මහජන සමූහාණ්ඩුවේදී නඩු විභාගවලට පෙනී සිටින්නට සිදුවුවහොත් මුහුණ දෙන්නට සිදුවනු ඇත්තේ කනගාටුදායක ඉරණමකට බව ඔවුන්ගේ අදහසයි. එහි අධිකරණය ස්වාධීන නැති අතර රඳවාගැනීම් ප්‍රශ්නකාරීය. නඩු විභාග බොහෝවිට විවෘත අධිකරණවල නොව රහසිගතව අප්‍රසිද්ධියේ පැවැත්වෙයි. නීතිඥ සහාය ලබා ගැනීම ඉතා අපහසුය. චීන රජය නඩු පැවරුවොත් පැවරුවාමය. නිදොස් වන්නන් නැත. අච්චු කරනු ලැබූවන් ගාල් කෙරෙන බන්ධනාගාරවල තත්ත්වය ඉතා අයහපත්ය. මේ නිසා මහජන චීනයේ අපරාධ යුක්ති විනිශ්චයට හොංකොං අපරාධ යුක්ති විනිශ්චය ඈඳීම කිසිසේත්ම යුක්ති යුක්ත නැත.

මේ අතර හොංකොංහි නීතිඥ සංගමයද නව පනතට විරෝධය පළ කරන්නේ එකිනෙකට ඉතා වෙනස් සහ දැඩි පරතරයක් ඇති ප්‍රධාන දේශයේ නීතිය සමග සිය දේශය ඈඳීමෙන් බලවත් අකටයුත්තක් සිදුවනු ඇති බව පෙන්වා දෙමිනි. එමගින් හොංකොං හි හිමිකම් නීති අහෝසි වනු ඇත. ප්‍රධාන දේශයේ මානව හිමිකම් වාර්තාව කවුරුත් දනිති. අනෙක් අතට හොංකොංහි ප්‍රධාන විධායකට අවසාන සමථය පිළිබඳ තීන්දුව ගැනීමේ බලතල ලබා දීමෙන් අධිකරණ ක්‍රමයද හෑල්ලුවට ලක්වනු ඇත.

මහජන චීනයේ ජනයාට එරට පාලනය විවේචනය කරන්නට නීතියෙන් තහනම්ය. එහෙත් හොංකොං වැසියන්ට එය අදාළ නොවේ. ඉදිරියේදී චීනයේ පවත්නා අදාළ නීති හොංකොංහි ක්‍රියාත්මක වනු ඇති අතර චීනයේ සහ හොංකොංහි පාලනය විවේචනය කරන හොංකොං වැසියකුට එරෙහිව චීනයේ නඩු පැවරීමටත් චුදිතයන් උදර්පණය කරන්නටත් බලය පැවරෙන බව මානව හිමිකම් සංවිධාන සිය විරෝධය පළ කරමින් පෙන්වා දෙති. එනයින් මේ පනතේ ඇත්තේ දේශපාලන අභිලාෂයක් බව ඔවුහු පෙන්වා දෙති.

මේ අතර තායිවානයද මේ පනතට විරෝධය පළ කළේය. තායිවාන් චීන්නුද සෑහෙන පමණක් හොංකොං හි දිවි ගෙවති. තායිවානය මහජන චීනයේ කොටසක් නොව ස්වායත්ත රාජ්‍යයක් වන බැවින් සිය පුරවැසියන් හෝ තායිවාන සම්භවයක් ඇති හොංකොං පුරවැසියන් මහජන චීනයේදී නඩු පවරනු ලබනවාට එරටේ කැමැත්තක් නැත. පනත ප්‍රකාශයට පත් කළ දා සිට තායිවානය සාකච්ඡා සඳහා අවස්ථාවක් හොංකොං බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් එවැන්නකට අවස්ථාවක් නොවී ය.

මේ වනවිට එය ‘මළ නීතියක්’ (Dead Law) බවට පත්ව ඇති බවත් ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් නොකෙරෙනු ඇති බවත් විධායක නිලධාරිනී කැරී ලෑම් පැවසුවාය. මේ පනත නැවත ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කරන්නට නම් මුල සිටම යායුතු අතර ව්‍යවස්ථාදායකයේ නිල කාලය අවසන් වන්නට පෙර එබන්දකට ඉඩ ප්‍රස්ථා නොමැත. ව්‍යවස්ථාදායකයේ නිල කාලය 2020 සැප්තැම්බරයේ අවසන් වෙයි. ඒ සමගම ඇය පැවසුවේ විරෝධතා මුවාවෙන් විනාශකාරී ක්‍රියාවල යෙදුණු අයට ඉදිරියේදී දඬුවම් විඳින්නට සිදුවනු ඇති බවයි.

එහෙත් විරෝධතාකරුවන් පමණක් නොව විරෝධතාවල නොනියැලි නමුත් පනතට විරුද්ධව අදහස් දක්වන සියලු දෙනා පවසන්නේ ව්‍යවස්ථාදායකය හමුවේ ඇති එය නියමිත ක්‍රමයට ඉවත් කැර ගන්නා තෙක් සිය විරෝධතා අවසන් නොකෙරෙනු ඇති බවයි.

මේ ක්‍රියා සම්බන්ධයෙන් චීන රජය සිය දැඩි විරෝධය පළ කොට ඇති අතර කඩාකප්පල්කාරීන්ට දැඩි දඬුවම් දිය යුතු බව පෙන්වා දී ඇත. ඒ ගැන සඳහන් කරන ප්‍රධාන විධායක නිලධාරිනී ලෑම් කියන්නේ මේ සිද්ධිය නිසා ඉදිරියේදී චීන රජය හොංකොං හි පාලන කටයුතුවලට මැදිහත් වන්නට ඉඩ ඇති බවයි. ඒ අදහස විචාරකයන් විසින්ද ඉදිරිපත් කොට ඇති අතර ප්‍රධාන දේශය හොංකොං පාලනය සියතට ගෙන එහි කොමියුනිස්ට් නීති පද්ධතිය ස්ථාපිත කරන්නට මේ සිද්ධිය දඩමීමා කර ගනු ඇතැයි අදහසක් ඉදිරිපත්ව තිබේ.

මේ විරෝධතා නිසා හොංකොංහි ව්‍යාපාරික කටයුතු බිඳවැටී ඇති බව බ්‍රෝකර්වරුන්ගේ අදහසයි. ඒ නිසා විරෝධතා අවසන් කරන්නට පියවර ගැනීම පාලනාධිකාරියේ වගකීමක් බව කනස්සල්ල පළ කරමින් ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. ‘ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින වෙළෙඳ යුද්ධය නිසා දැනටමත් සෞභාග්‍යය හොකොං වෙතින් පලා ගොසිනි. ව්‍යාපාරික කටයුතු බලා සිටිද්දි පිරිහේ. ඒනිසා මෙයට විසඳුමක් ලබා දෙන්නට පාලනය අප්‍රමාදීව කටයුතු කළ යුතුයි.’

මාතෘකා