බ්‍රිතාන්‍ය නෞකාවට බාධා කළ ඉරාන බෝට්ටු පලායයි

 ඡායාරූපය:

බ්‍රිතාන්‍ය නෞකාවට බාධා කළ ඉරාන බෝට්ටු පලායයි

බ්‍රිතාන්‍ය ඉන්ධන නෞකාවකට නවතින ලෙසට තර්ජනය කළ ඉරාන බෝට්ටු බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ අනතුරු ඇඟවීමත් සමඟ පළාගොස් තිබේ.

පලාගිය බෝට්ටුවල සිටියේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ සාමාජිකයන් බවට බ්‍රිතාන්‍ය සැක පළ කරයි. පර්සියානු සහ ඕමාන බොක්ක අතර හෝමෝස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ බ්‍රිතාන්‍ය ඉන්ධන නෞකාවට නවත්වන ලෙස ආයුධ සන්නද්ධ ඉරාන බෝට්ටු කිහිපයකින් බාධා මතු විය.

මෙම චෝදනාව පිළිබඳ අදහස් දක්වන ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ මහජන සම්බන්ධතා නිලධාරියෙක් උපුටා දක්වන 'ෆාස්' ප්‍රවෘත්ති සේවය, 'ඇමෙරිකානු මූලාශ්‍ර මගින් හෙළි කරන මෙම පුවත තමන් ප්‍රතික්ෂේප කරන' බව ප්‍රකාශ කර ඇත. ඉරාන විදේශ කටයුතු අමාත්‍ය මොහොමස් ජාවෙබ් සරීෆ් පවසන්නේ ගැටලුවක් ඇති කිරීමේ අරමුණින්ම බ්‍රිතාන්‍යය මෙම චෝදනාව සිදු කරන බවයි.

පසුගිය ජුනි මාසයේදී තෙල් නැව් දෙකකට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන පාලනය වගකිව යුතු බවට තමන් දැඩිව විශ්වාස කරන බවට බ්‍රිතාන්‍ය බලධාරීන් පැවසීමත් සමඟම ඉරානය සහ බ්‍රිතාන්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා දැඩි ලෙස අර්බුදයකට ලක්ව ඇත.

මාතෘකා