නැවත හිස ඔසවන සුදු අධිපතිවාදය

 ඡායාරූපය:

නැවත හිස ඔසවන සුදු අධිපතිවාදය

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 11 දින සමාජ මාධ්‍ය හමුවක් පවත්වන්නට තීරණය කොට ඇති අතර ඒ සඳහා යුදෙව් විරෝධී කාටූන් ශිල්පියකු ලෙස චෝදනාවට බඳුන් වී සිටින බෙන් ගැරිසන්ට ආරාධනා කිරීම ඇමෙරිකානු ලිබරල් ප්‍රජාව තුළ විමතියටත් විවේචනයටත් බඳුන් වී තිබේ. මේ හමුව පැවැත්වෙන්නේ 2020 ජනාධිපතිවරණය ඉලක්ක කොට ගනිමින් බව පැවසේ.

ජනාධිපති ට්‍රම්ප් සිය 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී සුදු ආධිපත්‍යවාදී (white supremacist) මත ඉදිරිපත් කළේ යැයි චෝදනා එල්ල විය.

එහෙත් ජනාධිපති ට්‍රම්ප්ගේ බෑණා වන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජාරෙඩ් කුශ්නර් යුදෙව්වකු වන අතර ට්‍රම්ප්ගේ දියණි ඉවන්කා, කුශ්නර් සමග විවාහ වීම සඳහා යුදෙව් ලබ්ධිය වැලඳ ගත්තාය. එවිට ඇයට එම ආගමානුකූලව යාඒල් යන මුල්නම ලැබිණි.

පසුගිය සතියේ නෛතික හේතු නිසා නම හෙළිදරව් නොකරන ලද 16 හැවිරිදි සිසුවකුට ජාතිවාදී චෝදනා මත බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් දඬුවම් නියම කරනු ලැබීය. යුදෙව්වන්ගේ දේවස්ථාන වන සිනගෝගවල තොරතුරු රැස්කොට ඒවායේදී පිපිරවීම සඳහා බෝම්බ නිෂ්පාදනය කළේය යන්න ඔහුට එරෙහිව නැඟී ඇති ප්‍රමුඛ චෝදනාවයි. වෙනත් ජනවර්ගයකට අයත් 12 වියැති දැරියකට ලිංගික වශයෙන් හිරිහැර කරන ලද්දේය යන්නද ඔහුට නැඟී ඇති තවත් චෝදනාවකි.

මෙලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ බටහිර රටවල සුදු ජාතිකවාදය, සුදු අධිපතිවාදය සහ සුදු බෙදුම්වාදය ගැන අඩංගු පුවත් නිතර අසන්නට ලැබෙන ප්‍රවණතාවක් දක්නා ලැබේ. මේවා එකිනෙක අතර සම්බන්ධයක් ඇති අතර ජනමාධ්‍යවල ඒවාට භාවිත වන්නේ ලේඛකයගේ පෑනට ඒ වෙලාවේ ආ වචනය බව කිසියම් උපහාසයකින් යුතුව වෙබි අඩවියක සඳහන් වී තිබිණි.

ජාති සංයෝජනය, සංස්කෘති මිශ්‍ර වීම සහ සුද්දන්ගේ අධික උපත් පාලනය නිසා සුදු ජාතිය මෙලොව සුඵ ජාතිය බවට පත්වනු ඇතැයි බියක් පැතිරයෑම මෙම ව්‍යාපාර පැතිරෙන්ට හේතු වී තිබේ.

ජුනි 02දා අලුයම ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ගේ නායකත්වයෙන් යුත් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය නම් දේශපාලන පක්‍ෂයේ ප්‍රාදේශීය දේශපාලන නායකයකු වූ කසෙල් නම් නගරයේ පළාත්පාලන ආයතනයේ ප්‍රධානි වෝල්ටර් ලුබ්කෙ සිය නිවසේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීම මෑතක සිදු වූ ආනදෝලනිත්මක සිද්ධියක් විය. මේ සාහසික ක්‍රියාව සම්බන්ධයෙන් වගකිව යුත්තකු අත්අඩංගුවට ගන්නට ජර්මනියේ පොලිසියට හැකි වූයේ 20 වැනිදාය. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා ස්ටෙෆාන් අර්නස්ට් නමි. ඔහු හුදෙක් එකලා ඝාතකයකු නොවන බවත් මේ මිනීමැරුම සංවිධානාත්මක කල්ලියක වැඩක් බවත් පසුව අනාවරණය කැර ගනු ලැබිණි. එම කල්ලියේ නම රිවොලූෂන් චෙම්නිට්ස් (Revolution Chemnitz) ය. සුදු අන්තවාදී නව නාසි (Neo-Natzi) සංවිධානයක් වන එය 2013 වසරේ චෙම්නිට්ස් නම් නගරයේ ඇරඹුණකි. ජර්මානු ඉතිහාසය වෙනස් කිරීම සිය අරමුණ යැයි ඔවුන්ගේ නිවේදනවල දැක්වෙන බව එරට පොලිස් වාර්තාවල සඳහන්ය.

මෙම ඝාතනය පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීමට නොව ජනවාර්ගික අරමුණක් සමග සම්බන්ධ බව අනාවරණය වීමත් සමග ජර්මනියේ දේශපාලන කුණාටුවක් ඇති විය.

සුදු ආධිපත්‍යය සමග බැඳුණු විවිධ රටවල විවිධ නම්වලින් සිය ගණනක් වෙති. ඒ අතරින් පැරණිතම වන ජර්මනියේ නව නාසි ව්‍යාපාරය ඉන් එකක් පමණි. එය ඇරැඹී ඇත්තේ හිට්ලර්ගේ නාසි ව්‍යාපාරය පරාජයට පත් කළ ඉක්බිතිවම වාගේය. වසර කිහිපයක සිට එය නැවත සක්‍රිය වෙමින් පවතින අතර ත්‍රස්ත ක්‍රියාවල නියැලෙයි. එම ව්‍යාපාරය විවිධ නම්වලින් යුත් ඝාතක කණ්ඩායම් සම්බන්ධය. රිවොලූෂන් චෙම්නිට්ස් ඉන් එකක් පමණි.

මෙලෙස සුදු අධිපතිවාදී කල්ලි ජර්මනියේ වැඩට බසින්නට හේතු කිහිපයකි. යුරෝපය කරා ඇදී එන සරණාගත ප්‍රවාහයෙන් ජර්මනිය පැත්තට හැරෙන දහරාව ගැන සුද්දන්ගේ විරෝධය ඉන් එකකි. ජර්මනිය සරණාගතයන් සාදරයෙන් පිළිගන්නා රටක් ලෙස ප්‍රකටය. යුරෝපයේ අනෙක් රටවලටද මේ ප්‍රශ්නය තිබෙන නමුත් ජර්මනියේ රජය එය පාලනය කරන්නට දැඩි පියවර නොගන්නා නිසා ඇත්තේ බරපතළ තත්ත්වයකි. යුරෝපයේ දේශ සීමා බාධක නොමැති හෙයින් එක් රටකට ඇතුඵ වුවහොත් එතැන් සිට ඕනෑම රටකට යා හැකිය. සමස්ත දේශසීමාව අනුව ජර්මනියේ වෙරළ දේශ සීමාව අල්පයක් වන අතර ඒ නිසා මුහුදෙන් එන සරණාගතයන් අඩු නමුත් ප්‍රංශය සහ ඉතාලිය වැනි රටවල දේශ සීමාවලින් පැන එන අය අධිකය.

ආසියාවේ ඇෆ්ගනිස්තානය, මැද පෙරදිග කලාපයේ යේමනය, සිරියාව, ඉරාකය සහ අෆ්‍රිකාවේ නයිජීරියාව, ලිබියාව සහ එරිත්‍රියාව ‘සරණාගත නිෂ්පාදක රාජ්‍ය’ අතර ඉහළින් වැජඹෙයි. මේ රටවලින් එන බහුතරය ඉස්ලාම් ලබ්ධික මුස්ලිමුන්ය. ජර්මනියේ සුද්දන්ට ලොකුම ප්‍රශ්නය වී ඇත්තේ ඔවුන්ය.

රටට ඇතුඵවන මේ සරණාගතයෝ ඉන්පසු කොහේ යන්නෝද කොතැන දිවි ගෙවන්නෝදැයි ජර්මන් රජය හරිහැටි නොදනී. ඔවුහු නගරවල සැරිසරති. හැබැයි පදිංචිය රහසක්ය. පොලිසිය සමග ගැටුම් ඇති කැර ගනිති. ඇතැම්විට නිලධාරිනියන්ට පහර දී පලා යති.

‘උඹලාට එක බිරිඳයි, දරුවො එකයි නැත්නම් දෙකයි, සමහරවිට ඇත්තෙම නෑ. බල්ලෙක් නම් ඉන්නවා. අපිට බලාපන් එහෙමද කියලා, එක මිනිහට ගෑනු හතර දෙනයි, ළමයි විසි දෙනයි, එතකොට ඔක්කොම විසි දෙකයි’ යනුවෙන් වහසිබස් දොඩන සරණාගතයන් එරට හිඟ නැති බව gatestoneinstitute.org නම් වෙබ් අඩවියේ සඳහන්ය. 2020 වන විට ජර්මනියේ මුස්ලිම් ජනගහනය මිලියන 20 ඉක්මවනු ඇති බව වාර්තාවක දැක්වේ. ඉස්ලාම් ලබ්ධික සරණාගතයන් සහ අනෙක් සරණාගතයන් අතර ප්‍රධාන වෙනසක් නම් ඔවුන්ගේ ආගමික අවශ්‍යතාය. සතියකට වරක් පල්ලි යන ක්‍රිස්තියානි සහ යුදෙව් ලබ්ධිකයන් මෙන් නොව මොවුන්ට දවසකට පස්වතාවක් යාඥා කිරීම සහ සෑම සිකුරාදාවකම පල්ලි යෑම අනිවාර්යය. මෙයද ජර්මන් ප්‍රජාවට ගැටලුවකි. ඇතැම් ඉස්ලාම් ලබ්ධිකයන් ආගමික උමතුවකින් පෙළෙන බවද ප්‍රකටය. මේ තත්ත්වය පාරම්පරික ජර්මානුවන් කුපිත කරවයි. ඔවුන් කියන්නේ සිය ජන්ම භූමිය තමන්ට අහිමි වී යෑමේ හෝ වාසයට ඉඩකඩ සීමා වීමේ තත්ත්වයට පත්වීමේ හෝ අවදානමක් මේ මුස්ලිමුන් නිසා ඇති බවයි.

1937 සිට ඇරැඹී ලොවම වසා පැතිර ගොස් 1945 අවසන් වූ දෙවන ලෝක මහා යුද්ධයෙන් සිවිල් වැසියන් මිලියන 5කට අධික සංඛ්‍යාවක් සිය ජීවිත අහිමි කැර ගත් බැව් සඳහන්ය. දෙපාර්ශ්වයෙන්ම මරණයට පත් හමුදා භට සංඛ්‍යාව 25,000ක් පමණ වෙතියි ගණන් බලා ඇත, වැනසුණු දේපළ වටිනාකම අසංඛ්‍යය වේ.

නාසින් විසින් මෙහෙයවන ලද ඒ යුද්ධය අරැඹුණේ යුදෙව්වන්ට එරෙහිවය. නාසීන් පරාජයට පත් වීමෙන් සාමය උදා වූ පසු තැන්තැන්වල විසිරී සිටි යුදෙව්වන් සඳහා ඊශ්‍රායලය නමැති රාජ්‍යය පිහිටුවන ලදි. මේ වන විට එය ලෝක සාමයට ඇති කරන විනාශකාරී බලපෑම ප්‍රකටය.

එසමයේ යුදෙව්වන්ට එරෙහි වූ ජර්මානු ලේ දැන් කකියන්නේ සරණාගතයන්ට එරෙහිවය. ඒ කියන්නේ මුස්ලිමුන්ට එරෙහිවය. එහෙත් දැන් පවතින්නේ හිට්ලර්ගේ පාලන ක්‍රමයවත් එකල පැවැති නීතිවත් නොවේ. දැන් ඇත්තේ වෙනස් ලෝකයකි. අනෙක හිට්ලර්ගේ නායකත්වයෙන් යුත් නාසින්ට එරට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබිණි. එහෙත් නව නාසීන්ට එබඳු බලයක් නොමැත.

2016 වසරේ ජර්මන් රජය අපූරු තීරණයකට එළැඹිණි. ‘යුරෝ 1,200ක් බැගින් ගෙවන්නම් අපේ රටෙන් යන්න’ කියා එරට රජය සරණාගතයන්ගෙන් ඉල්ලා සිටියේය. මෙය නව නාසීන් තවත් කුපිත කළේය. රජයේ එම ඉල්ලීම පිළිගෙන සරණාගතයන් කී දෙනෙක් ජර්මනියෙන් පිටව ගියාද කියා කියන්නට නිශ්චිත සංඛ්‍යා නොමැත.

ඝාතනයට ලක් වූ ලුබ්කෙ, සරණාගතයන් වෙනුවෙන් පෙනීසිටි සමාජ ක්‍රියාධරයෙකි. ඒ නිසා ඔහු තර්ජනවලට ලක්ව සිටි බව පැවසේ. ජර්මන් ජනාධිපති ෆ්‍රෑන්ක් වෝලටර් ස්ටෙයින්මෙයිර්ට අනුව අඩුම තරමින් තවත් නගරාධිපතිවරු දෙදෙනෙක්වත් අන්තවාදීන්ගේ තර්ජනවලට ලක්ව සිටිති.

මේ ගැන මුලින් ම බීබීසී පුවතක් පළ කළේ 9 වැනිදාය. ඒ වාර්තාවේ දැක්වෙන පරිදි මෑතක ඇති වූ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ක්‍රියා නිසා සුදු අධිපතිවාදීන්ගේ ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බව ආරක්‍ෂක අංශවලට අනාවරණය වී ඇති බැවින් ඔවුන් ගැන සෙවිල්ලේ සිට ඇත. නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය ඉස්ලාම් අන්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියාවලට දක්වන ලද එකලා ප්‍රතිචාරයක් විය. ඝාතකයා කිසියම් සංවිධානයකට සම්බන්ධ ව සිටි බවට තොරතුරු අනාවරණය නොවූ නමුත් සුදු අධිපතිවාදී මත දැරූ බව එසමයේ වාර්තා පළ විය.

ලුබ්කෙ ඝාතන සිද්ධිය සාමාන්‍ය මිනීමැරුමක් නොවන බව මාධ්‍ය විසින් හෙළිදරව් කරන ලද්දේ සතියකට පසු 9 වැනි සෙනසුරාදාය. එතෙක් පොලිසිය පරීක්‍ෂණ පැවැත්වූ නමුත් තොරතුරු කිසිවක් හෙළිදරව් නොකෙරිණි. එහෙත් ලුබ්කෙ යනු චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ පක්‍ෂයේ ජනප්‍රිය දේශපාලන චරිතයක් වූ නිසා ඇයට ද මේ ගැන අවධානය යොමු නොකොට සිටින්නට නොහැකි විය. එමෙන්ම පවුලේ අය විසින් මෙය දේශපාලනමය ඝාතනයක් ලෙස හඳුන්වනු ලැබූ අතර පොලිසියේ පරීක්‍ෂණ නියම පීල්ලට වැටුණේ මහජන උද්ඝෝෂණ නිසාය. එසේම තමන්ද අන්ත දක්ෂිණාංශිකයන්ගේ ගොදුරක් වන්නට ඉඩ ඇති බවද ප්‍රමුඛ දේශපාලනඥයන්ට සංජානනය වීමද හේතුවක් වන්නට ඇත.

ඩෙර් ස්පීගල් සතිපතා සඟරාවේ ජුනි 21 කලාපයේ ඝාතක ස්ටෙෆාන් අර්න්ස්ට්ගේ ඡායාරූපයක් පළ කොට තිබිණි. ඉන්පසු ඔහු ගැන තොරතුරු ලැබුණු නමුත් ඔහු පෙර වැරදි ඇති පුද්ගලයකු සේ හඳුනා නොගැනිණි.

ඔහු ජාතික සමාජවාදී පාතාලය (National Socialist Underground-NSU) නමැති සංවිධානයට අයත්ව සිටි බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ. මෙම සංවිධානය ජර්මනිය පුරා විසිරී සිටින සාමාජිකයන්ගෙන් යුත් අන්ත දක්ෂිණාංශික මිනීමරු කල්ලියක් බව පොලිසිය පවසයි.

සුදු අධිපතිවාදීන් සම්බන්ධයෙන් ජර්මන් පොලිසියේ හැසිරීම දෙබිඩි බව ප්‍රකට ය. නීතිය ක්‍රියාත්මක කළ යුතු නිසා නොකරම බැරි තැන සුදු අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළද හැකි සෑම විටම නොදුටුවා සේ සිටීම ඔවුන්ගේ ප්‍රතපත්තියයි. මේ සරණාගතයන් රාජකාරිවලදී ඇත්තටම ඔවුන්ට හිසරදයකි. ඉඳහිට මිනීමැරුම් සිදු වේ. ඒවා සිරියාව හෝ ඉරාකය පැත්තෙන් ආ සරණාගතයන්ගේ වැඩය.

ලුබ්කෙ ඝාතනය අන්ත දක්ෂිණාංශික කල්ලියක වැඩක් බව දැනගත් විට චාන්සලර් මරකෙල් සැබැවින්ම තැති ගත් බව පැවසේ. ඝාතනයට ලක් වූ දේශපාලනඥයා තමාගේ පක්ෂයේ ක්‍රියාධරයකු වීම නිසාම පමණක් නොවේ; සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටීම මරණීය දණ්ඩනය නියම කිරීමට තරම් වරදක් වීමද නිසාය. මේ අනුව රටේ ආරක්‍ෂාව පිළිබඳ විශ්වාසය මුඵමනින්ම බැඳ වැටුණු බවත් දක්ෂිණාංශික අන්තවාදීන්ගේ ප්‍රවණතා සහ ඔවුන් පිළිබඳ සලකුණු සොයා අන්තර්ජාලය පිරික්සන බවත් ඒ අතර රජය සෑම ආකාරයකම තොරතුරු අනාවරණය කැර ගන්නට දැඩි උත්සාහයක නිරත වන බවත් ඇය පැවසුවාය. ඝාතකයාගේ දුරකථන ඇමතුම් සහ සමාජමාධ්‍ය ජාලවල සබඳතා අනාවරණය කැර ගැනීමෙන් පසු පොලිසියට බොහෝ තොරතුරු සොයාගන්නට හැකි වූ බවද පැවසේ. මේ අතර බීබීසී වාර්තාවක දැක්වෙන්නේ සුදු අන්තවාදී 24,000ත් පමණ ජර්මනිය පුරා විසිරී සිටින බවත් ඔවුන්ගෙන් අඩක්ම සක්‍රිය බවත්ය. එයිනුත් 450ක් දෙනා පසුපස හඹා යන බවත් බොහෝ දෙනකුට එරෙහිව මේ වනවිටත් සෝදිසි වරෙන්තු ලබා ගෙන ඇති බවත් එහි සඳහන්ය.

විපත්තිදායක අනතුරක් වන මෙයින් ආරක්‍ෂාවීම සඳහා ගතයුතු සියලු පියවර ගන්නා ලද බවත් එසේම එය මැඩ පවත්වන්නට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය හොර්ස්ට් සීහොෆර් පැවසූ බව සඳහන්ය.

එරට විදේශාමාත්‍ය හෙයිකෝ මාස් පවසන්නේ ජර්මනියට ත්‍රස්ත තර්ජනයක් ඇති බවත් ඒ තර්ජනය එල්ල වන්නේ අන්ත දක්ෂිණාංශික සුදු අධිපතිවාදීන්ගෙන් බවත්ය.

කෙසේවෙතත් මේ අන්ත දක්ෂිණාංශිකයන් ජර්මනියේ දේශපාලන ක්‍ෂෙත්‍රයේ ජනප්‍රිය බවත් ඒ ජනප්‍රියතාව කෙමෙන් ඉහළ යමින් බවතින හෙයින් නුදුරේදීම ඔවුන් පාලනය අතට ගන්නට ඉඩ ඇති බවත් එවිට තත්ත්වය භයානක විය හැකි බවත් නිරීක්‍ෂකයෝ පෙන්වා දෙති.

මාතෘකා