අැමරිකානු රාජ්‍ය සේවකයන් හිඟමනට අර්බුදය දිග්ගැසෙයි

 ඡායාරූපය:

අැමරිකානු රාජ්‍ය සේවකයන් හිඟමනට අර්බුදය දිග්ගැසෙයි

මීළඟ ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත්තේ 2020 නොවැම්බර් මස මුල සතියේය. තවත් මාස 21කට අධික කාලයක් තිබේ. ඒ ඒ පක්‍ෂය සිය ජනාධිපති අපේක්‍ෂකයන් කවුරුන් විය යුතු ද යන්න ගැන හාංකවිසියක් හෝ නැත. එහෙත් වර්තමාන අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඩිමොක්‍රටික් පක්‍ෂය ඔවුන්ට දිනන්නට කොහෙත්ම ඉඩක් නැති 2020 ජනාධිපතිවරණය ගැන සිහින මවමින් රටේ ප්‍රගතියට තමා ගන්නා පියවරවලට අකුල් හෙළමින් කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදෙන්නට පටන් ගෙන ඇති බවයි.

ජනාධිපති ට්‍රම්ප් කි.මී. 1,933ක් දිග මෙක්සිකෝ දේශ සීමාවේ තාප්පයක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 5.7ක් වැය කරන්නට ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ඉල්ලා සිටියි. එහෙත් ව්‍යවස්ථාදායකයේ පහළ මන්ත්‍රණ සභාව හෙවත් කොංග්‍රසය වෙතින් ඊට නිසි පරිදි අනුමැතිය ලැබී නැත. ඒ නිසා ජනාධිපතිවරයා මුදල් වැය කිරීමට අදාළ අනෙකුත් යෝජනා අනුමත නොකොට සිටියි.

එරට අයවැයට අදාළ පනත් ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරනු ලැබිය යුතුය. එසේ සම්මත වන පනත් නීතිගත වනුයේ ජනාධිපතිවරයා ඒවාට අත්සන් තැබුවහොත් පමණි.

ඉංගිරිසියෙන් shutdown යනුවෙන් හැඳින්වෙන මේ අවස්ථාව ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිම කාලයක් පවත්වා ගෙන යෑමේ ගෞරවය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමි වෙයි. එය ඇරැඹියේ පසුගිය 22 දින වන අතර අදට හරියටම මාසයකි.

මේ කඹ ඇදිල්ල නිසා එරට ආර්ථිකයට මහා හානියක් සිදුව ඇත. එහෙත් කිසිවකුත් එය මායිම් කරන බවක් නම් පෙනෙන්නට නැත.

එරට ඇති අමාත්‍යාංශ 15න් 9ක්ම අකර්මණ්‍ය වී පවතියි. ඒවා යටතේ ක්‍රියාත්මක 800,000 පමණ වන සේවක ජනයාට පසුගිය මාසයේ වැටුප ලැබුණේ නැත. ඔවුන් අතරින් බොහෝ දෙනාට වෙනත් ආදායම් මාර්ග නොමැති නිසා ඔවුන් මුහුණ පා සිටින්නේ මහා අර්බුදයකටය.

ඇමරිකානු රාජ්‍ය සේවකයන් මේ වනවිට හිඟමනට වැටී ඇතැයි බීබීසී වාර්තාවක දැක්වේ. මුදල් එකතු කිරීමේ විවිධ ක්‍රම 1,500ක් පමණ මේ වන විට ක්‍රියාත්මක වන අතර ඊයේ පළ වූ වාර්තාවක දැක්වුනේ ඒ වන විට ඇ.ඩො. 300,000 ඉක්මවන ප්‍රමාණයක් ඔවුන් විසින් එක් රැස් කැර ගෙන ඇති බවයි. ෆේස්බුක් ඇතුළු සාමාජ මධ්‍ය ජාල ඔස්සේ විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙමින් ඔවුහු මුදල් එකතු කරති. GoFundme# නම් ජාලයක් මගින්ද මුදල් රැස් කෙරේ.

ඇමරිකානු රාජ්‍ය සේවකයන් එතෙනට ඇද දැමීමේ වගකීම ගන්නේ කවුරුන්ද? ජනාධිපතිවරයාත් කොංග්‍රස් මණ්ඩලයත් එකිනෙකාට චෝදනා කර ගනිමින් බෝලය පාස් කරමින් සිටිනවා විනා ගැටලුව විසඳන්නට පියවර ගන්නා බවක් පෙනෙන්නට නැත.

කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප්ට ගෞරව පිණිස මාධ්‍ය සඳහන් කරන කාරණයක්ද වෙයි. පසුගිය වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ රැකියා උත්පාදනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගිය බවත් වැටුප්ද වැඩි වූ බවත්ය ඒ. ඊට හේතු වූයේ ට්‍රම්ප්ගේ ආර්ථික විධික්‍රම වේ. එහෙත් ගිය වසරේ කොටස් වෙෙළඳපොළ පසු බෑමක් වූ බවද සඳහන්ය.

මෙක්සිකෝ දේශ සිමාව හරහා සරණාගත ආගමනය වැළැක්වීම සඳහා තාප්පයක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 5.7ක ඉල්ලීම ප්‍රතික්ෂෙප කරන්නට හේතු දෙකක් දක්වනු ලැබ තිබේ. පළමුවැන්න නම් එය ජාතික ආර්ථිකයට අධික වැය බරක් බවය. දෙවැන්න පිළිසරණ පතා පැමිණෙන අනවසර සංක්‍රමණිකයන්ට වැට බැඳීම ඇමරිකා එක්සත් ජනපදයේ ලිබරල් චින්තනයට පටහැනි බවය. එහෙත් ට්‍රම්ප්ගේ අදහස මොවුන් යුද්ධ වැනි වියවුල් හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනයවීම් නිසා හෝ ස්වාභාවික ආපදා හෝ නිසා පීඩාවට පත් වූවන් නොව ආර්ථික සමෘද්ධිය සොයා ඇමරිකාව දෙසට යොමුවන්නන් බවය. එවැන්නන්ගෙන් ඇමරිකානු ආර්ථිකයට දැරිය නොහැකි පීඩාවක් එක් වෙයි. අනෙක් අතට එන තර්කය නම් මොවුන් කුලී කාරයන් වන අතර ඇමරිකානුවන් අත නොගසන පන්නයේ බරවැඩ මොවුන් ලවා අඩු ශ්‍රමයට කරවා ගත හැකි බවයි. ඒ නිසා ඔවුන්ගේ පැමිණීම රටේ ආර්ථිකයට හානිකර නොවේ.

පසුගිය සෙනසුරාදා ජනාධිපති ට්‍රම්ප් එකඟතාව සඳහා කොංග්‍රසයට යෝජනා දෙකක් ඉදිරිපත් කළේ ය. පළමුවැන්න වයස අවුරුදු 18ට වැඩි සරණාගතයන්ට අවුරුදු 3ක සහන කාලයක් ලබා දෙන්නටය. ඉන් පසු ඔවුන් ඇමරිකා එක්සත් ජනපද භූමියෙන් පිටව යා යුතුය. දෙවැන්න වයස අවුරුදු 18ට අඩු සරණාගතයන් සඳහා එවැනි සීමා කිරීමක් නොපනවා රඳවා තබා ගැනීමය. ‘ඩොලර් මිලියන 5.7 දෙන්න. මම ඒ දෙක කරන්නම්’

මෙය ජනාධිපතිවරයා ඉදිරිපත් කළේ කැපිටෝල්හි සිට ජාතිය අමතමිනි. එහෙත් ප්‍රකාශය අවසන් වන්නටත් මත්තෙන් කථානායක නැන්සි පෙලොසි විසින් ඒ යෝජනාව ප්‍රතික්ෂෙප කරන ලද බව සඳහන්ය. සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් කණ්ඩායමේ නායක චක් ශුමර් කියන්නේ මෙය හරියට සරණාගතයන් ප්‍රාණ අැපයට ගැනීමක් හා සමාන බවය.

සිය 18 වන ජන්ම දිනයට ඇමරිකා භූමියට සංක්‍රමණය වූ සරණාගතයන් සඳහා අලුත් වචනයක් ඇමරිකානු රජය භාවිත කරයි. DREAMers. ඇමරිකානුවන් වචන සාදා ගන්නේ අමුතුම පිළිවෙළකටය. ඔවුන් සිහින දකින්නන් බව ඇඟවෙතත් මේ වචනය යොදන්නට හේතුව මෙම පුද්ගලයන්ට නෛතික පුරවැසිභාවය ප්‍රදානය කිරීම නිතිගත කරන්නට ඔබාමා පාලන සමයේ ගෙනා පනතේ නම එය වීමයි. අනවසර සංක්‍රමණිකයන් අතර තාවකාලිකව ආරක්‍ෂිත පුද්ගලයන් හෙවත් TPS නම් කණ්ඩායමක්ද සිටිති. ඔවුන් පිටුවහල් කරන්නට ට්‍රම්ප් පාලනය විසින් දෙන ලද නියෝගයක් තාවකාලිකව අත්හිටුවමින් ඇමරිකාවේ අධිකරණයක් විසින් පසුගිය ඔක්තෝබර් මුල දුන් තීන්දුවක් අනුව සිටිනා අය මේ ගණයට වැටෙති.

ඩිමොක්‍රටික් ප්‍රතිචාරය ජනාධිපතිවරයා කෝපයට පත් කළ බව මාධ්‍ය වාර්තා කළේය. ‘ඔවුන් මගේ යෝජනාව ඉදිරිපත් කරන්නටත් කලින් එය ඉවත දැම්මා’යි ජනාධිපතිවරයා සැර වචන භාවිතයෙන් ඔවුන්ට දොස් පවරන අතරවාරයේ පවසා ඇත.

සිය දේශයට සියලු ආකාර නපුර එන්නේ මෙක්සිකෝ දේශ සිමාව හරහා බව ජනාධිපතිවරයාගේ අදහසයි. ඒ නිසා ඒ හරහා තාප්පයක් ඉදිකිරීම අනාගත ආයෝජනයකි. ඔහු පවසන්නේ ඩිමොක්‍රටික්ලාට මෙය නොවැටහෙනවා නොවන බවයි. ඔවුහු මේ අවස්ථාවේ රටේ ආර්ථිකයට අහිතකර ලෙස හැසිරෙමින් තමා අපකීර්තියට පත් කිරීමේ ක්‍රියා පිළිවෙතක සිටිති.

පසුගිය 17දා පෙන්ටගනයේ ඉදිරි ආරක්‍ෂක සැලසුම් ගැන සමුළුවක් පැවැත්විණි. එය අමතමින් ජනාධිපති ට්‍රම්ප් මෙක්සිකෝ දේශ සීමාවේ තාප්පය ගැනද කෙටියෙන් සඳහන් කරන්නට අමතක නොකළේය. ඩිමොක්‍රටික් පක්‍ෂය අන්තගාමී වාමාංශිකයන් සමග එක්ව සිටිති’යි චෝදනා කළ හේ එම පක්‍ෂය ‘විවෘත දේශ සීමා වළල්ල විසින් කොල්ලකනු ලැබ ඇත’ යි පැවසීය. මෙය ද්වි අරුත් ඇති කියමනකි.

රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභික ලින්ඩ්සේ ජොන්සන්, ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යෝජනාව වඩාත් සාධනීය එකක් ලෙස පිළිගැනේ. ඔහු යෝජනා කරන්නේ තීරණයක් ගැනීමට කොංග්‍රස් මණ්ඩලයට අඩුම තරමින් දින 30ක කාලයක් දිය යුතු බවයි. ඒ අතර තමන්ගේ නැමියාව පෙන්වීම සඳහා ජනාධිපතිවරයා රජය අකර්මණ්‍ය කිරීමේ පිළිවෙතින් බැහැර විය යුතු බවයි. එහෙත් එය පිළිගන්නට ජනාධිපතිවරයා සූදානම් නැත.

දේශ සීමා තාප්පය ගැන ජනාධිපතිවරයාගේ හදිසිය කොතෙක්ද කිවහොත් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කොට එනයින් ව්‍යවස්ථාදායකය මඟහැර හෝ මුදල් අනුමත කරන්නට තමා අදහස් කොට සිටින බව ඔහු වරෙක තර්ජනාත්මක ලෙස පැවසීය. එහෙත් එය නොකළ යුත්තක් බව ඔහුගේ දියණියගේ සැමියා වන ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක ජාරෙඩ් කුශ්නර් විසින් පෙන්වා දීමෙන් පසු ඔහු ඒ අදහස අතහැර දමන ලද බව පැවසේ. සිය අදහස්වලට එරෙහිව යන කවර හෝ උපදෙසක් කිසිවකු විසින් දෙන්නේ නම් නොපිළිගැනීම ජනාධිපති ට්‍රම්ප්ගේ සිරිතය. එහෙත් කුශ්නර්ගේ උපදෙස්වලට පමණක් එය අදාළ නැත.

ජනාධිපති ට්‍රම්ප් අපේ ක්‍රමය අනුගමනය කරමින් ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීන් මිලට ගැනීමේ උපක්‍රමය භාවිත කරන්නට ද වරක් උත්සාහ කළ බව වාර්තා විය. ඒ සඳහා ඔහු විසින් ඩිමොක්‍රැටික් මන්ත්‍රීන් කිහිප දෙනෙකුට රාත්‍රී භෝජනයක් සඳහා ඇරයුම් කරන ලද නමුත් කිසිවකු ඊට සහභාගි නොවීමෙන් ඒ සැලසුමද ව්‍යර්ථ වී ගිය බැව් සඳහන්ය.

පසුගිය සති දෙකක් වැනි කාලයක් තුළ නිව්යෝක් ටයිම්ස් සහ වොෂිංටන් පෝස්ට් යන පත්තර දෙක ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලදිමිර් පුටින් සමග ඇතැයි කියන සබඳතා දැඩිව විවේචනය කළේය. ට්‍රම්ප්, පුටින්ගේ රූකඩයක් ලෙස මේ මාධ්‍ය විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.

ජනාධිපතිවරයා මේවාට පිළිතුරු දෙන්නේ මහා කඨෝර බසකින් ඒකාධිපති ස්වරූපයෙන් වචන හසුරුවමිනි.

රට තුළ පවතින අයහපත් ආර්ථික පරිසරය නිසා ස්විට්සර්ලන්තයේ ඩවෝස් නගරයේ දී ජනවාරි 22 දින ඇරඹෙන ලෝක ආර්ථික සංසදයේ සිව් දින සමුළුවට මෙවර ඇමරිකානු ජනාධිපතිවරයා සහභාගි නොවේ.

මේ සියලු දැයින් සිදුව ඇත්තේ ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිරූපයට හානි පැමිණීමයි. ඩිමොක්‍රටික් මතු නොව ජනාධිපතිවරයාගේම රිපබ්ලිකන් පාක්‍ෂිකයන්ට පවා මේ වනවිට ට්‍රම්ප් පෙනෙන්නට බැරි තත්ත්වයක් උද්ගත වී ඇති බව අන්තර්ජාතික පුවත් බලන විට පැහැදිලිව දිස්වෙයි.

මාතෘකා