ආණ්ඩුවක් වසා දැමීම!

 ඡායාරූපය:

ආණ්ඩුවක් වසා දැමීම!

අමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට ආංශික අකර්මණ්‍ය බවකට පත් ව තිබේ. අමෙරිකානුවන්ගේ බසින් එය හැඳින්වෙන්නේ partial government shutdown යනුවෙනි. අමෙරිකානු ඉංග්‍රීසියේ වචන යෙදෙන්නේ තරමක් වෙනස් ආකාරයෙන් නිසා shutdown යන්න ඔවුන් යොදන්නේ සම්පූර්ණයෙන් වසා දැමීම ගැන කියන්නට නොවන බවත් අකර්මණ්‍ය වීම ගැන කියන්නට බවත් වටහා ගත යුය.

ඉතින් ආණ්ඩුව ආංශික වශයෙන් අකර්මණ්‍ය වී තිබෙන්නේ ඇයි? පිළිතුර සරලය. මුදල් නැති නිසාය. මුදල් නැත්තේ ඇයි? එවිට නම් සරල පිළිතුරක් දිය නොහැකිය.

අමෙරිකා එක්සත් ජනපදයේ මුදල් නැතැයි කිවහොත් එය කිසිවකු විශ්වාස කරන දෙයක් නොවේ. මුදල් තිබේ. එහෙත් ගෙවන්නට මුදල් නැත. ‘අනේ යන්න බොරු නොකියා’ කියා නොකියන්න. ඇත්තටම මුදල් නැත.

නැත. මුදල් නැතුවා නොවේ. වියදම් කරන්නට අනුමැතිය නැත. ඒ නිසා වැටුප් ගෙවන්නටවත් ක්‍රමයක් නැත. නියමිත දිනට වැටුප් නොලැබුණහොත් වන දේ ගැන අමුතුවෙන් කිවයුතු නැත.

සාමාන්‍යයෙන් රාජ්‍යයක මුදල් වැය කිරීමට රජයේ ආයතනවලට හැකි වන්නේ සීමාවන් ඇතිව බව සියල්ලන් දන්නා කරුණකි. ඒ සීමා පනවන්නේ ඒ රටේ ව්‍යවස්ථාදායකය විසිනි. ව්‍යවස්ථාදායකය විසින් පනවනු ලබන සීමාවන්ට යටත්ව වියදම් කරන්නට රජය බැඳී සිටියි. මෙම සීමා ඇතුළත් කරමින් වාර්ෂිකව ව්‍යවස්ථාදායකය විසින් වසර මුල සම්මත කැර ගන්නා ලේඛනය විසර්ජන පනත නමි. අපේ රටේ නම් විසර්ජන පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීමෙන් එය නීත්‍යනුකූල වෙයි. ඉන් පසු සිදු වන්නේ මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන අයවැය ඇස්තමේන්තුව මගින් යෝජනා කරන ආකාරය පාර්ලිමේන්තුවේ සම්මත වන ප්‍රමාණයට අය කිරීමත් වැය කිරීමත් ය.

එහෙත් අමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රමය අප රටට වඩා බොහෝ වෙනස්ය. එබැවින් සන්සන්දනයක් කිරීම පවා අපහසුය. ඒ රටේ ඕනෑම පනතක් නීතිගත වන්නට නම් එය පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍ර‍රසයෙන් සහ සෙනෙට් සභාවෙන්ද අනුමත වූ පසු එයට ජනාධිපතිවරයා අත්සන යෙදිය යුතුය.

මෙහිදී තවත් කාරණයක් වැදගත් වෙයි. ඒ රටේ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් නොවන බවයි ඒ. කැබිනට් සාමාජිකයකු අමෙරිකා එක්සත් ජනපදයේ දී හැඳින්වෙන්නේ ‘අමාත්‍ය’ යන අභිධානයෙන් නොව ‘ලේකම්’ යනුවෙනි. විෂයයන් 15ක් සඳහා ලේකම්වරු 15 සිටිති. ඔවුන් විශාල කාර්ය මණ්ඩල තිබේ. රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීම සඳහා ජනාධිපතිවරයාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම මේ ලේකම්වරුන්ගේ කාර්යයි.

නීති රීති යනාදිය මේ ලේකම්වරුන්ගේ උපදෙස් අනුව ජනාධිපතිවරයා විසින් ඒ ඒ කමිටු මගින් කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන අතර මන්ත්‍රී මණ්ඩල දෙකෙන්ම සම්මත වන යෝජනා පනත් ලෙස ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.

ඒ ඉතා සංකීර්ණ ක්‍රියාවලියක සාරාංශයයි.

එරට අයවැය ඇස්තමේන්තු සකස් කරන්නේ කොංග්‍රසීය අයවැය කාර්යාලයයි. මේ සඳහා ලේකම්වරුන්ගේ උපදෙස් අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා මෙන්ම කාර්යාලය විසින් සකස් කරනු ලබන යෝජනාද එක් කොට ජාතික අයවැය සකස් කරනු ලැබේ. ඉන්පසු එය උභය මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව සම්මත වූ විට නීතිගත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අත්සනට යොමු කෙරෙනු ඇත.

කොංග්‍රසීය අයවැය කාර්යාලය ආර්ථික සහ මූල්‍ය විශේෂඥයන් බොහෝ සංඛ්‍යාවක් සේවය කරන, සෑම කාර්තුවකටම වරක් වාර්තාවක් ඉදිරිපත් කරන්නට නීතියෙන් බැඳී සිටින, අනාවැකිවල නිරවද්‍යතාව සම්බන්ධයෙන් කීර්තිමත්, අපක්‍ෂපාතීය කියා පිළිගැනීමක් ඇති ෆෙඩරල් ඒජන්සියකි.

මෙම ඒජන්සියේ සම අධ්‍යක්‍ෂවරු ලෙස කොංග්‍රසයේ කථානායක සහ සෙනෙට් සභාවේ උප සභාපති කටයුතු කරති.

අමෙරිකා එක්සත් ජනපදයේ වර්තමාන තත්වයට හේතු වන්නේ අයවැය සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් කොන්ග්‍රසිය අයවැය කාර්යාලය විසින් පසෙක ලීමය.

එසේ ඉවත ලූ යෝජනාව වන්නේ මෙක්සිකෝ දේශ සීමාවේ දේශ සීමා තාප්පයක් ඉදි කිරීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් වැය කිරීම සඳහා අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාවයි. අයවැය කාර්යාලයය ඒ යෝජනාව නිර්දේශ නොකළේය. ඒ අනුව කොංග්‍රස් මණ්ඩලය 217 - 185ක් ලෙස අයවැය සම්මත කළේ දේශ සීමා තාප්පය ගැන සඳහන් යෝජනාව තාවකාලික එකක් ලෙසිනි. ඒ නිසා එය ක්‍රියාත්මක කිරීමට බාධා පැමිණෙයි. කොංග්‍රසය එසේ අනුමත කළේ රජයේ අංශ 9ක් අකර්මණ්‍ය වීමෙන් වැළැක්වෙනු පිණිසය. සෙනෙට් මණ්ඩලය ද එය සම්මත කරන ලදි. එහෙත් ජනාධිපති ට්‍රම්ප් කියන්නේ ස්ථිර වශයෙන්ම තමා ඉල්ලා සිටි මුදලට අනුමැතිය ලැබෙන තෙක් තාවකාලික මුදල් වැය කිරීම සඳහා වන පනතට තමා අත්සන් නොකරන බවයි. එසේ පවසමින් ඔහු පනතට අත්සන් තැබීම තවමත් ප්‍රතික්‍ෂෙප කරයි.

අමෙරිකානු රජයට වැය කරන්නට මුදල් නැති හේතුව එයයි. මෙය ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර කඹ ඇදිල්ලක් බවට පත් ව තිබේ.

ව්‍යවස්ථාදායකය සමන්විත වන්නේ කොංග්‍රස් මණ්ඩලයෙන් සහ සෙනෙට් සභාවෙනි. ඒ අතරින් කොන්ග්‍රස් මණ්ඩලයේ ආසන 435 න් 199ක් ජනාධිපතිවරයාගේ රිපබ්ලිකන් පක්‍ෂයට හිමි අතර එය සුලුතරය වේ. බහුතරය වන 235 සතු ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්‍ෂයටය. එක් අසුනක් හිස් ව පවතී. සෙනෙට් සභාවේ ආසන 100න් බහුතරය හිමි රිපබ්ලිකන් පක්‍ෂයටය. සංඛ්‍යාව 53කි. ඩිමොක්‍රටික් පක්‍ෂය සතුව ආසන 45ක් ඇති අතර ස්වාධීන 2කි.

කොංග්‍රයේ කථානායක මෙන්ම අයවැය කාර්යාලයයේ සම අධ්‍යක්‍ෂිකා නැන්සි පෙලොසි අයත් වනුයේ ඩිමොක්‍රටික් පක්‍ෂයට වන අතර ඇය ස්වාධීන නොවී ජනාධිපතිවරයාගේ යෝජනාවට අසාධාරණ ලෙස ප්‍රතිපක්‍ෂ බවට චෝදනා නැගෙයි.

අමෙරිකා එක්සත් ජනපද - මෙක්සිකෝ දේශ සිමාවේ දිග කිලෝමීටර් 1,933කි. එයින් 1,279ක් සඳහාම වැටක් හෝ නැත. ඒ නිසා මෙක්සිකෝ දෙසින් විවිධාකාර පුද්ගලයන් අමෙරිකා එක්සත් ජනපදයට ඇතුඵ වීම වැළැක්විය නොහැකිය. සිය රටට සකලවිධ නපුර ළඟා වන්නේ මේ හරහා වන බැවින් ආරක්‍ෂක වැටක්, ආවේක්‍ෂණ කැමරා සහ ආරක්‍ෂක භටයන් කොහෙත්ම ප්‍රමාණවත් නොවන බව ජනාධිපතිවරයාගේ අදහසයි. ඒ සඳහා කොන්ක්‍රීට් තාප්පයක්ම අවශ්‍යය.

එහෙත් විශේෂඥයන්ගේ මතය එය නොවේ. ඩොලර් බිලියන 6කට ආසන්න මුදලක් යනු සෙල්ලමක් නොවේ. අනෙක් අතට දේශ සීමාවේ භූ විසමතා සලකා බැලූ විට මේ තාප්පය ඉදි කිරීම පහසු කටයුත්තක් නොවනු ඇත.

මානව හිමිකම් ගැන සැලකිල්ලක් දක්වන අය දේශ සීමාව කොන්ක්‍රීට් තාප්පයකින් වසා දැමීමට එකඟ වන්නේ නැත. එහෙත් ජාතික වාදීන්ගේ මතය වන්නේ කොන්ක්‍රීට් තාප්පයක් මගින් දේශ සීමාව සදාකාලයටම සීමා වසා දැමිය යුතු බවයි.

ඩොනල්ඞ් ට්‍රම්ප් අමෙරිකා එක්සත් ජනපදයේ ලිබරල්වාදී පිළිවෙත කෙමෙන් ජාතික වාදය දෙසට ආනත කරමින් සිටින්නකු ලෙස ප්‍රකටය. මෙක්සිකෝ දේශ සීමා තාප්පය ඔහුගේ ජනාධිපතිවරණ පොරොන්දුවලින් එකකි.

එහෙත් දැන් කොංග්‍රසය ඊට බාල්ක හරස් කරයි. කොංග්‍රසය තමාගේ යෝජනාව සඳහා ස්ථිර වශයෙන්ම මුදල් අනුමත කරන තෙක් තමා අයවැයට අත්සන් තබන්නේ නැත. ආංශික අකර්මණ්‍යවීමට වගකිව යුත්තා තමන් නොවේ. කොංග්‍රස් මණ්ඩලයයි.

මෙයින් රජයේ අංශ හෙවත් අමාත්‍යාංශ 15න් 9කට මුදල් ප්‍රතිපාදන නොලැබී යන බව පෙර සඳහන් කරන ලදී. ඒවා වන්නේ භාණ්ඩාගාර, කෘෂිකර්ම, අභ්‍යන්තර ආරක්‍ෂාව, අභ්‍යන්තර කටයුතු, නිවාස සහ නාගරික සංවර්ධනය, ප්‍රවාහන, වාණිජ, අධිකරණ සහ රාජ්‍ය යන ඒවාය. මේවායින් සැපයෙමින් පවතින සේවා මේ වනවිට අකර්මණ්‍ය වී පවතියි. මිලියනයකට ආසන්න සේවකයන්ට පසුගිය සිකුරාදා ලැබිය යුතු වේතන නොලැබිණි. විවිධ සේවා සපයන ආයතනවලට ගෙවීම් නතර වී ඇති බැවින් ඒවා ද ක්‍රියාත්මක නොවේ.

රේගු, දේශසීමා ආරක්‍ෂණ, ඖෂධ නියාමන අදිකාරිය, වන සත්ත්ව සහ තුරුලතා ආරක්‍ෂණ, එෆ්බී අයි ආයතනය, සීඅයිඒ ආයතනය, වෙරළාරක්‍ෂක හමුදාව එසේ අකර්මණ්‍ය වන ඉහත සඳහන් අමාත්‍යාංශවලට අයත් අත්‍යවශ්‍ය සේවා සිය ගණනක් අතරින් වැදගත් ඒවා කිහිපයකි.

කම්කරු, බලශක්ති, ආරක්‍ෂක, සෞඛ්‍ය හා මානුෂීය සේවා, අධ්‍යාපන සහ රණවිරු කටයුතු යන අමාත්‍යංශ හය සඳහා පරිපූරක ඇස්තමේන්තු මගින් මුදල් අනුමත කරවා ගෙන තිබූ බැවින් ඒවාට එම මුදල් අවසන් වනතුරු අල්ලා ගෙන සිටිය හැකිය.

මේ පාර්ශ්වික අකර්මණ්‍යභාවය ආර්ථිකයට ඉතා අහිතකර ලෙස බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ. වැටුප් නොලැබෙන නිසා තාවකාලික සේවකයන් සහ සේවා සැපයුම් අත්හිට ඇති අතර එයින් ද ආර්ථිකයට පාඩු සිදුවන බව පෙන්වා දෙනු ලැබ තිබේ. රේගු සහ දේශ සීමා සේවා ඇනහිටීම යනු ඉතා බරපතළ කාරණයකි. ඒ නැතත් රාජ්‍ය සේවයේ එක් අංශයක් එක් දිනක් තුළ වසා තැබුණත් සිදුවන හානි මැකිය නොහැක.

ජනාධිපතිවරයා සිය ස්ථාවරයේ දැඩිව සිටින අතර කොංග්‍රසයද ඊට නොදෙවෙනි ලෙස ඔහුගේ අදහස ප්‍රතික්‍ෂෙප කරයි. තමා හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කොට මුදල් අනුමත කැර ගන්නා බව එක් අවස්ථාවක ඔහු පැවසීය. ඊට හේතුව මෙක්සිකෝ දේශ සීමාව හරහා සරණාගතයන්ගේ ආගමනයත්, මත්ද්‍රව්‍ය සහ විවිධ අපරාධ කල්ලි සංක්‍රමණය වීමත් නිසා එහි ආරක්‍ෂාව තර කිරීම හදිසි තත්ත්වය යටතේ හෝ කළ යුතු එකක් නිසාය. එහෙත් එසේ කළහොත් බොහෝ ප්‍රශ්න ඇති විය හැකි බව උපදේශකයන් විසින් පෙන්වා දෙනු ලැබීම නිසා එසේ කරන්නට තමාගේ අදහසක් නැතැයි පසුව ඔහු පැවසීය.

මාතෘකා