බෙන්ජමින් කාසන් කියා දෙන අධ්‍යාපනය ගැන පාඩම

 ඡායාරූපය:

බෙන්ජමින් කාසන් කියා දෙන අධ්‍යාපනය ගැන පාඩම

"විශේෂ ආබාධයක් නැත්නම් ලෝකෙ ඉන්න හැම දරුවෙක්ම බුද්ධිමත්. ඒත් එම බුද්ධිය ක්‍රියාත්මක වීමේදී යම් යම් වෙනස්කම් දක්නට ලැබෙනවා. සමහර දරුවන්ට මවුපියන්ගෙන් ගුරුවරුන්ගෙන් නිසි උත්තේජනය නොලැබුණොත් එම දක්ෂතා නිකරුෙණ් විනාශයට පත්වෙනවා. ඒ වගේම කුඩා කාලයේදී දක්ෂතා නොදැක්වූ දරුවන් පසුකාලීනව මුහුණදෙන පාරිසරික උත්තේජන නිසා ශීඝ්‍රයෙන් සාර්ථකත්වයට පත්වෙනවා. දරුවන්ගේ දක්ෂතා එකින් එක මතු වෙන්නේ මලක පෙති දිග ඇරෙන ගානටයි. සමහර ඒවා ඉක්මනින් මතුවෙනවා. තවත් සමහරක් මතු වෙන්නේ කාලයක් ගතවෙලයි .මෙවැනි දේ මවුවරුන් සියුම්ව තේරුම්ගත යුතු වෙනවා."

ළමා මනෝ වෛද්‍ය විශේෂඥ ස්වර්ණා විජේතුංග

දිනක් ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන්හි පදිංචි සෝන්යා කාසන්ගෙන් ඇගේ බාල පුතා බෙන්ජමින් කාසන් උදව්වක් ඉල්ලීය.

‘‘අම්මේ මට ෙම් වචනය තේරෙන්නෙ නෑ. ඒකෙ තේරුම කියල දෙන්නකෝ “

‘‘හ්ම්ම්.... කෝ බලමු මටත් පේනවා හොරයි පුතේ දැන් කන්නාඩි දෙකක් නැතිව. කෝකටත් පුතා ඒක ශබ්ද කරන්නකෝ ‘‘

අකුරු කියවන්නට බැරි කන්නාඩි නැති නිසා නොව තමාට අකුරු බැරි නිසා බව නූගත් වුවත් ඒ බුද්ධිමත් මව සිය දරුවාට කීවේ නැත. කළු ඇමෙරිකානු ගැහැනියක වූ ඇය විවාපත් වන විටද යන්තම් වයස අවුරුදු 13කි. තවත් වසර කිහිපයක් ඇය සමඟ ගතකළ චපල සැමියා ඇයට දරුවන් දෙදෙනකු තෑගි කොට සිය පවුලම අතරමංකොට පලා ගියේය. ඇය කම්පා වුවද සැලුණේ නැත. දරුවන් දෙදෙනකු ජීවත් කරවීමේ මහා බරක් ඇය හිස මත තිබිණි. එහෙයින් ඇය සුදු මිනිසුන්ගේ ගෙවල මෙහෙකාරියක ලෙස සේවය කළාය. ඇය නැවත කිසිදා විවාහ වීමට තීරණය නොකළ අතර සිය දරු දෙදෙනාට මනා අධ්‍යාපනයක් දීම තුළින් පමණක් මෙම කටුක ජීවිතයට සමුදිය හැකි බව ස්ථිරවම නිගමනය කළාය. ඇය ඒ වෙනුවෙන් දිවිහිමියෙන් වෙහෙස වූවා. එහෙත් බාල පුතා බෙන් කාසන් උපන්ගෙයි මෝඩයෙකි. හේ හැම විටම පන්තියේ අන්තිමයාය. ප්‍රගති වාර්තාවෙහි සෑම විෂයයක් ඉදිරියේම තිබුණේ විවිධ ප්‍රමාණයට බිංදු සලකුණුය. එහෙත් එක් තීරණාත්මක දිනයක් මෙම සරල විවිධත්වයක් නැති ඒකාකාරී චක්‍රය වෙනස් කළේය. ඒවා වෙනස් කළේ බෙන් තම පන්තියේ සිසුවකුට නළලට මැහුම් පහක් දැමීමට ගැසූ දිනයේය. බෙන්ගේ මව වහා පාසලට කැඳවන ලදුව පන්තිය බාර ගුරුවරයා ඇයට මෙසේ පැවැසීය.

"නෝනා ! මේක තමයි මම ඔබට දෙන අවසන් අවස්ථාව. මොකද බෙන් අර ළමයට ගහල තියෙන්නෙ බෙන්ට ගොබ්බයා ගොබ්බයා කියල දිගටම කියපු නිසයි. ඒත් නෝනා ඒ ළමයගෙ කතාවෙ යම් ඇත්තක් තියෙනව. බලන්න ඔබේ පුතා වසර මැද විභාගයට දීපු ප්‍රශ්න 25න් එක ප්‍රශ්නයකටවත් උත්තර ලියලා නෑ.. ඒක නිසා මේ අවුරුද්දේ අවසාන විභාගයෙන් පස්සෙ අපි ඔබේ දරුවා නියත වශයෙන්ම පාසලෙන් අස්කරලා දානවා"

ඇය පාර දිගේ බෙන් අල්ලාගෙන ගමන් කළේ හඬමිනි. ගෙදර මුල්ලකට දරුවා හේත්තු කළ ඇය ඔහු ළග දණින් වැටී මෙසේ කීවාය. "රත්තරන් පුතේ, ඔයාගෙ අම්මා උදේ 6ට නැඟිටලා හැන්දෑවෙ 6 වෙනකන් අනුන්ගෙ ගෙවල්වල කක්කුස්සි හෝදනවා, කානු හෝදනවා, උන්ගෙ ළමයින් නාවනවා. ඒ ඇයි පුතාගෙ අම්මා ගොබ්බියක් නිසා. ඉගෙනගෙන නැති නිසා .

ඔයාටත් ඕන ඔයා ලොකු වුණාම අනුන්ගෙ වැසිකිළි හරි කානු හරි හෝදන්නද? ලොකු වෙලත් ගොබ්බයා කියන වචනෙ අහගන්නද? ඉතිං මගෙ පුතේ හෙට දවසෙ ඔයා ගොබ්බයෙක් වෙනවද නැද්ද කියන එක ඔයාට බාරයි. ඒක වෙනස් කරන්න පුළුවන් ඔයාටම මිසක් මට නොවෙයි. ඒ වගේම දෙන්නටම අද ඉඳන් ටීවී බැලීම තහනම්. මම කියන තුරු.."

ප්‍රතිඵල සිත් කාවදිනසුලුය. ඇය ඔවුනගේ ඉරණමට අභියෝගයක් එල්ල කර තිබේ. බෙන් වසර අවසානයේ ප්‍රශ්න 25න් 10කට සාර්ථක පිළිතුරු ලියා තිබිණි. ඊළඟ වසරේ ප්‍රශ්න 15කටද ඊළඟ වසරේ ප්‍රශ්න 25ටම පිළිතුරු ලියා වසරේ දීප්තිමත්ම ශිෂ්‍යයා බවටද පත්විය.

වසරේ දීප්තිමත් ශිෂ්‍යායාට ත්‍යාගය පිරිනමමින් සුදු ජාතික විදුහල්පතිනිය මෙසේ කීවාය. ‘‘බෙන් කියන්නෙ කල්ලෙක්. තාත්ත නැති අම්මා කක්කුස්සි හෝදන කල්ලෙක්. බෙන් දක්ෂයෙක් වෙන්නෙ මහන්සිවෙලා. ඒකෙන් කියවෙන්නෙ ඔයගොල්ලො බෙන් විතර මහන්සි වුණේ නෑ කියන එක මිසක් වෙන මොකක්වත් නෙවෙයි. සුදු ජාතිකයො හැටියට ඔයාල ලැජ්ජා වෙන්න ඕන කල්ලෙකුට පැරදුණාට."

සෝන්යා පසුවදාම තම දරු දෙදෙනා පාසලෙන් අස්කරගත් අතර, එම නපුරු මිනිසුන් වෙසෙන ප්‍රදේශයෙන් පවා පලා ගියාය. අනතුරුව ඇය සුදු සහ කළු දෙවර්ගයම අධ්‍යාපනය හදාරන පාසලකට දරුවන් දෙදෙනා ඇතුළත් කළාය. "අපි දුප්පත් කල්ලො තමයි.

ඒත් අපිට තියෙනව ආත්ම ගෞරවයක්. මගේ දරුවො දෙන්නගෙ ආත්ම ගෞරවය මගේ ඉස්සරහ නැතිවෙනවට වඩා මම මැරෙන එක ඊට හොඳයි" පසුව සෝන්යා කියා තිබිණි.

නව පාසල බෙන් කාසන්ව ඉතාමත් දක්ෂ දරුවකු බව පිළිගත්තේ මුළු පාසලේම ඔසියානු පාෂණ නියැදියක් හඳුනාගත් එකම සිසුවා ඔහු වූ විටය.

ඔහු නව පාසල අවසන් කළේ මිචිගන් සරසවියේ වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරීමටය.

අප දැන් කතා කරන්නේ සෝන්යා විසින් ඉරණමට අභියෝග කොට තැනූ බෙන් කාසන් බෙන්ජමින් යනු කවරෙක්ද කියාය.

1980 මිචිගන් සරසවි වෛද්‍ය විද්‍යාලයේ මොළය හා ස්නායු පිළිබඳ වෛද්‍ය බෙන්ජමින් කාසන් තමයි ලෝකෙ පළමුවෙන්ම මොළයෙන් බද්ධ වූ නිවුන් දරුවන් සාර්ථකව වෙන්කළ ප්‍රථම වෛද්‍යවරයා. ඒ ජර්මනියේ දී 1987 සැප්තැම්බර් 07දාය.

ඔහු තමයි 1988 ෙජා්න්ස් හෝප්කින්ස් මහ රෝහලේ අධ්‍යක්ෂ.

2016 ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වීම සඳහා රිපබ්ලිකන් පක්ෂයේ තේරීම් ලැයිස්තුවට.

2017 ඇමෙරිකා එක්සත් ජනපද නිවාස සහ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්

සෑම දරුවෙක්ම බුද්ධිමත් දරුවෙකි. අවශ්‍ය වන්නේ ඔහුව තේරුම් ගෙන මනා ලෙස ඔහුට තේරුම් කර දීම පමණි. එය විශ්වසනීය ලෙස කළ හැක්කේ දයාබර මවකට පමණි. සෝන්යා කාසන් එය අපට පෙන්වා දී තිබේ. තවත් බොහෝ මවුවරු එය පෙන්වා දී ඇති වග නිසැකය. අප වෙත නැත්තේ ඔවුනගේ තොරතුරු පමණි.

[උපාලි ජයසිංහ]

මාතෘකා