ලොවටම අහිතකර චීන-අමෙරිකා වෙළෙඳ හබය

 ඡායාරූපය:

ලොවටම අහිතකර චීන-අමෙරිකා වෙළෙඳ හබය

ව්‍යාපාරිකයකු ලෙස සාර්ථක වන්නට නම් ප්‍රතිමල්ලව ව්‍යාපාරිකයන්ට හොඳ තරගයක් දිය යුතු අතර ඔවුන්ගේ තරගයට සාර්ථක ලෙස මුහුණ දෙන්නට පමණක් නොව ඉන් ජය ගන්නට පවා හැකියාවක් ඇත්තකු ද විය යුතුය.

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වන්නට පෙර කිසි දා දේශපාලනයේ යෙදුණෙක් නොවේ. ඔහු මහා පරිමාණ වෙළෙඳ කුවේරයෙකි. නිව්යෝක් නුවර පිහිටි ‘ට්‍රම්ප් ටවර්’ ඔහුගේ ආයතනය වන අතර එනමින් යුත් විශාල ගොඩනැගිල්ල එහි මූලස්ථානයයි. 2016 ජනාධිපතිවරණයට තරග වදින විට එම ව්‍යාපාරය රුසියාවේද එවැනි ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටියේය.

ඔහු රුසියාවේ ව්‍යාපාරික කටයතුවල නිරතව සිටින්නේ 1987 තරම් ඈත සන්දියේ සිටය. එවකට පැවැතියේ රුසියාව නොව සෝවියට් දේශය බව සැලකුව මනාය. ව්‍යාපාරිකයකු වශයෙන් සිටි කාලයේ ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දරුවෝ, ව්‍යාපාරික සහායකයෝ සහ සමාගම් සේවකයෝ නිතර මොස්කව් වෙත පැමිණියහ. ජනාධිපති දියණි ඉවන්කා මොස්කව් නුවර මහා පරිමාණ ස්පා නිකේතනයක හිමිකාරියකි. ඒ ගැන දිගු වශයෙන් ලියන්නට ගියොත් අපේ මැයෙන් බොහෝ දුර යා යුතු බැවින් ඒ විස්තර මෙතැනින් නවත්වා දමනු ලැබේ.

ට්‍රම්ප් සහ ඔහුගේ ව්‍යාපාර ගැන මේ හැඳින්වීම කළේ ඔහුගේ ව්‍යාපාරික ඥානය සහ ව්‍යාපාරික උපක්‍රම කෙසේ විය හැකිදැයි පාඨකයාට ඒත්තු ගැන්වීම පිණිසය. ලොව බලගතුම රාජ්‍යයේ ජනාධිපතිවරයා වශයෙන් ඔහු මේ දැනුම සහ කෞශල්‍යය ඒ අකාරයෙන්ම ව්‍යවහාර කරනු දැකිය හැකිය.

ව්‍යාපාරිකයකු ලෙස සාර්ථක වන්නට නම් ප්‍රතිමල්ලව ව්‍යාපාරිකයන්ට හොඳ තරගයක් දිය යුතු අතර ඔවුන්ගේ තරගයට සාර්ථක ලෙස මුහුණ දෙන්නට පමණක් නොව ඉන් ජය ගන්නට පවා හැකියාවක් ඇත්තකු ද විය යුතුය. ඒ අනුව ට්‍රම්ප් අමෙරිකාවට පිටුපසින් ආසන්නයෙන්ම දෙවැනි ස්ථානයේ සිටින චීනයට ප්‍රහාරයක් එල්ල කළේය. ඇත්තටම නම් චීනය එයින් අන්දමන්ද විය.

අමෙරිකා එක්සත් ජනපදය චීනයෙන් ඇ.ඩො. බිලියන 510 වටිනා භාණ්ඩ මිලදී ගන්නා විට චීනය තමන්ගෙන් මිල දී ගන්නේ 130ක් තරම් සොච්චමක් බව ට්‍රම්ප් වටහා ගත්තේය. ඒ නිසා කළ යුත්තේ තමන්ගෙන් බඩු මිල දී ගන්නටය කියා චීනයට යැදීම නොව චීනයෙන් එන භාණ්ඩ ඇවිරීමය. ඒ අනුව ඔහු චීනයෙන් සිය රටට ආනයනය කරන භාණ්ඩවලට අධික තීරු ගාස්තු පැනවීමට රජය මෙහෙයවීය. අමෙරිකා එක්සත් ජනපදය චීනයෙන් මිල දී ගන්නේ ප්‍රමුඛ වශයෙන් පරිගණක, ජංගම දුරකතන, නිමි ඇඳුම් හා පාවහන්ය. 2017 වසරේ ඒවා සඳහා පිළිවෙළින් ඇ.ඩො. බිලියන 77, 70 සහ 54 එරට චීනයට ගෙවීය. එම වසරේ චීනය අමෙරිකාවෙන් මිල දී ගෙන තිබි භාණ්ඩ අතර ප්‍රමුඛ වූයේ ඇ.ඩො. බිලියන 16ක් වටිනා වාණිජ ගුවන් යානා, බිලියන 12ක් වටිනා සෝයා බෝංචි සහ බිලියන 10ක් වටිනා වාහනය.

කෙසේ වෙතත් අමෙරිකාව විදෙස්වලින් ලබා ගත් මුළු ණය ප්‍රමාණයෙන් 20% ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ චීනයෙනි.

මුලින්ම බදු පැනවූයේ රෙදි සෝදන යන්ත්‍ර සහ සූර්ය පැනලවලටය. පසුව වානේ සහ යකඩවලට පිළිවෙළින් 25% සහ 10% බැගින් බදු පනවන ලදි. මේවා ඕනෑම නිෂ්පාදක රටකට පොදු විය. ඉන්පසු චීනයට පමණක් විශේෂ වන අයුරින් භාණ්ඩ නම් කොට වැඩිපුර තීරු ගාස්තු නියම කරන ලදි. මෙයින් චීනයට විශාල වෙළෙඳපොළක් අහිමි වී ගියේ ය. භාණ්ඩ ලැයිස්තුවට 800 ඉක්මවන සංඛ්‍යාවක් ඇතුළත්ය.

මෙය වෙනස් කර ගැනීම සඳහා දෙරට නිලධාරී මට්ටමින් සාකච්ඡා වට කිහිපයක්ම පැවැති නමුත් අමෙරිකානු තීරණය වෙනස් කිරීමක් මෙතෙක් සිදු වී නැත. ආර්ථික අනාවැකිකරුවන්ට අනුව එය ඉදිරි වසර තුළ වෙනස් වනු ඇතැයි සිතිය නොහැකිය.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත ට්‍රම්ප් රජයේ මෙම ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටිමින් කියන්නේ මේ ක්‍රියාව චීනය සමග පුළුල් ද්විපාර්ශ්වීය වෙළෙඳ සබඳතා වෙනුවෙන් එකඟතාවලට එළැඹීමක් බවයි. ලොව විශාලතම ආර්ථික අතර පවතින වෙළෙඳ අවුල් ලිහා දමා සවිමත් සබඳතා ගොඩ නගන්නට එය ඉවහල් වනු ඇතැයි එලෙස පෙන්වා දෙන්නේ මෙය හුදෙක් අමෙරිකා එක්සත් ජනපදයේ දැඩි ආරක්‍ෂණවාදී පිළිවෙත නිසා වූවක්ය යන්න නොතකා හරිමිනි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස චීන ආර්ථිකය ලැග් ගැහෙමින් ගාටමින් පවතින බවත් එය ලෝක ආර්ථිකයට අහිතකර බලපෑමක් ඇති කරන්නට ඉඩ තිබෙන බවත් පසුගිය සතිය තුළ ලෝක ව්‍යාප්ත මාධ්‍යවල පළ වී තිබිණි. බටහිර මාධ්‍යවල චීනය, රුසියාව වැනි සිය මතයට නම්මා ගත නොහැකි ශක්තිමත් ආර්ථික සහිත රටවලට එරෙහිව පළ කරන පුවත්වල විශ්වසනීයත්වය අවිනිශ්චිත නමුත් ඇපල් සමාගමේ නිෂ්පාදන එනම් අයිෆෝන්, අයිපෑඩ්, අයිපොඩ් සහ මැක් පරිගණකවල විකුණුම් අඩු වී ඇති බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් විසින් කොටස් හිමියන්ට දන්වන ලද බව සඳහන් වාර්තා බැහැර කළ නොහැකිය. එම සමාගමේ කොටස් අගයද සියයට 8කින් පමණ පහළ බැස ඇති බව ද සඳහන්ය. තවත් වාර්තාවකට අනුව ඊ-මිනි කොටස් වෙළෙඳපොළ දර්ශකවල වටිනාකමද අඩු වී ඇත. එම ආකාරයේ නැස්ඩැක් දර්ශක සියයට 2.2 කින් සහ S&P 500 දර්ශක 1.3කින් පහළ බැස ඇත.

අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යමින් පවතින අතර අනෙක් රටවල මුදල් ඒකකවල අගය පිරිහෙමින් පවතින බවත් මූල්‍ය වෙළෙඳ පොළේ සංසරණය අතින් තුන්වන ස්ථානය ගන්නා ජපාන් 'යෙන්' හි වටිනාකම පළමුවන සහ දෙවෙනි ස්ථානවල පසුවන අමෙරිකන් ඩොලරයට හා යුරෝට සාපේක්‍ෂව පිරිහී ඇති බවත් එහි සඳහන්ය. මේ තොරතුරු උපුටා ගෙන ඇත්තේ පසුගිය 03 දින පළවූ ෆිනෑන්ෂල් ටයිම් වාර්තාවකිනි.

දෙරට අතර වෙළෙඳ සබඳතා බිඳී යෑම හැඳින්වීමට අමෙරිකානු මාධ්‍ය මේ දිනවල භාවිත කරන වචනය වන්නේ ‘වියෑඳීම’ (decoupling) ය. මේ හබය හැඳින්වීමට වෙළෙඳ යුද්ධය (trade war) මෙන්ම නව සීතල යුද්ධය (new cold war) යන පද ද භාවිත කරනු ලැබේ. අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු භාණ්ඩාගාර ලේකම්වරයකු හෙවත් මුදල් අමාත්‍යවරයකු වන හෑන්ක් පෝල්සන්ට අනුව මෙය පැසිෆික් අහස අරා පාත්වුණු යකඩ තිරයකි.

පසුගිය සතියේ ලොව ප්‍රමුඛ ආර්ථික සහිත රටවල ඇති වූ අවපාත සැලකිල්ලට ගන්නා විට ඉහත සඳහන් වියෑඳීමේ ප්‍රතිඵල වටහා ගත හැකිය. ඇපල් සමාගමට ඉන් අහිතකර බලපෑමක් ඇතිව තිබෙන බව ඍජුවම සඳහන් කෙරෙන්නේ එය එම සමාගම පිළිගන්නා හෙයිනි. අමෙරිකානු සෝයා ගොවීන්ට පසුගිය කන්නයේ නිසි වෙළෙඳ පොළක් නොතිබුණු නිසා රජයට විකල්ප ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන්නට සිදු වූ බවත් සහනාධාර ගෙවන්නට පවා සිදු වූ බවත් බොහෝ මාධ්‍යවල පළ වූයේ නැත. එසේ වූයේ චීනය සෝයා මිලදී ගැනීමට වෙනත් රටවල් කරා යොමු වූ හෙයිනි.

විශාල වෙළෙඳ පරතරයක් තිබීම යනු රැකියා අවස්ථා අහිමි වීමය යන්න පිළිගත යුතු කාරණයකි. රටකට අවශ්‍ය භාණ්ඩ සිය රටේම නිපදවා ගත හැකි නම් රැකියා සුලබ වෙයි. ආනයන සීමා වීම් නිසා අමෙරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා සුලබ වූ බව පසුගිය වසර අවසාන වනවිට වාර්තා විය. එයින් ආර්ථිකයේ ඉහළ යෑමක්ද සිදු විය. ඩොලරය ශක්තිමත් වූයේ ඒ අනුවය. ආරක්‍ෂණවාදයට ඒ සියල්ල ඇතුළත්ය. එහෙත් ලෝකය සමස්තයක් වශයෙන් ගත් කළ අමෙරිකා එක්සත් ජනපදය වැනි ප්‍රබල ආර්ථිකයක ආරක්‍ෂණවාදී පිළිවෙත් පොදු වශයෙන් ඇති කෙරෙන බලපෑම අහිතකරය.

චීනයේ මතු නොව ජර්මනියේ සහ ජපානයේද කොටස් වෙළෙඳපොළ අවපාතනය වෙමින් බෙයා මාකට් තත්ත්වයට පත්ව ඇති බව ලෝක සමාජවාදීන්ගේ වෙබ් අඩවිය සඳහන් කරයි. bear market තත්ත්වය යනු මාස තුනක් ඇතුළත කොටස් වෙළෙඳපොළ වටිනාකම් 20%ක් හෝ වැඩියෙන් පහළ බැසීමයි. එම වාර්තාවේ දැක්වෙන පරිදි අමෙරිකානු රථවාහන වෙළෙඳපොළ කඩා වැටී ඇති අතර ඒ නිසා රැකියා අවස්ථා අඩු වී ඇත. වානේ සහ ඇලුමිනියම්වලට බදු පැනවීම නිසා අමෙරිකාවෙන් ආනයනය කෙරෙන බෝබොන් විස්කි, හාලේ ඩේවිඩ්සන් මෝටර් බයිසිකල්, විවිධ ජීන්ස් සහ ටී ෂර්ට් වර්ග, පීනට් බටර් ඇතුළු නිෂ්පාදන සියයකට පමණ තීරුබදු පැනවීමට යුරෝපා සංගමය තීරණය කළ බව පසුගිය වසරේ ජුනි මස අග මාධ්‍ය වාර්තා කළ අතර දැන් ඒවායේ ප්‍රතිඵල අමෙරිකානු ජනතාවට දැනෙමින් පවතියි.

මේ අතර ෆෙඩරල් රිසර්ව් හෙවක් ෆෙඩ් ලෙස කෙටියෙන් හැඳින්වෙන අමෙරිකානු මහ බැංකුව පසුගිය දෙසැම්බර් අග පොලී ප්‍රතිශත 2.25 සිට 2.5 දක්වා 0.25කින් ඉහළ නැවීය. මේ වසර තුළ තවත් දෙවරක් එය ඉහළ නංවනු ඇතැයි අනාවැකි පළ කෙරේ. bankrate.com නමැති වෙබ් අඩවියක ඒ ගැන සඳහන් වාර්තාව පළ වන්නේ ‘බැංකු අනුපාත 2019 දිගටම ඉහළ යාම් පවත්වා ගනියි. එහෙත් ගෑටීමක් ක්‍ෂිතිජයෙන් පායා එයි’ (Interest rates will keep rising in 2019, but a slowdown is on the horizon) යන හිසිනි. මහ බැංකුව පොලී ප්‍රතිශත ඉහළ දමා ඇත්තේ ආර්ථිකය යහපත් වීම නිසා වන නමුත් එය එසේ නොවන බව එහි සඳහන්ය. එහි එක් ඡේදයක් මෙසේය:

“දෛනික පුවත් සංසරණයට ප්‍රතිචාර ලෙස කොටස් වෙළෙඳපොළ වඩාත් චංචල බවක් පෙන්වති’යි බෑන්ක්රේට්හි ප්‍රධාන මූල්‍ය විශ්ලේෂක ග්‍රෙග් මැක්බ්‍රයිට් පෙන්වා දෙයි. ඒ සියල්ල චීනය සමග පවත්වා ගෙන යන වෙළෙඳ කතාබහ අවසන් වන ආකාරය මත රඳා පවතින නමුත් මුල් කාර්තුවේ දී S&P 500 කොටස් අවපාතයෙන් මිදෙන්නට සියයට 10ක් කොටස් වෙළෙඳපොළට එක් වනු ඇත. වසර ඉදිරියට යන විට ළං ළං ව එන ප්‍රතිගමනය වැඩි වත්ම ආර්ථිකය ලැසි වනු ඇත.”

අඥාත ව්‍යාපාරිකයකු උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නල් ජර්නල් පෙන්වා දෙන්නේ ආර්ථිකයේ ගෑටීම හෙවත් ලැග් ගැහීම දැන් ලැගුම් සොයා සිය රටට සේන්දු වී ඇති බවයි. මේ තත්ත්වය අමෙරිකානු පාලක පැලැන්තිය බියපත් කිරීමට සමත් බව ලෝක සමාජවාදීන්ගේ වෙබ් අඩවිය පවසයි.

මාතෘකා