අලුත් අවුරුදු සුබපැතුම් සමග 2019 අනාවැකි

 ඡායාරූපය:

අලුත් අවුරුදු සුබපැතුම් සමග 2019 අනාවැකි

ජනවාරි 01 වැනිදා යනු තවත් එක් දවසක් පමණක්ම වුවත් කැලැන්ඩර් ඇරඹෙන්නේ එදාය. එතැන් සිට තුන්සිය හැටපස් දවසක් ගෙවෙන තෙක් කාලය ලිත් වර්ෂයක් ලෙස සැලකේ. ඉතින් මේ දවස, ඒ කියන්නේ ජනවාරි 01 දින අලුත් අවුරුද්දක් උදාවන බව සම්මතයයි. ඒ නිසා මිනිස්සු එකිනෙකාට සුබ පතා ගනිති. ඒ අර්ථයෙන් අපිද සුබ නව වසරක් වේවා!’යි පාඨක සැමට සුබ පතමු.

අනෙක් අය විසින් සුබ පැතුම් යොමු කළාට අවුරුද්ද සුබදායක ලෙස පවත්වා ගැනීමේ වගකීම පැවරෙන්නේ තමාට බවද ඒ සමඟම සිහියේ තබා ගන්නා ලෙසද ඉල්ලා සිටිමු.

අවුරුද්දක් උදාවනවාත් සමඟ සුබ පැතුම් සමග එන අනෙක් දේ වනුයේ අනාවැකිය. අනාවැකි විවිධාකාරය. ග්‍රහචාරය අනුව අවුරුද්ද මුල අනාවැකි කීම සාමාන්‍ය දෙයක් වන නමුත් ඒවායෙන් කීයක් හරි යන්නේදැයි වර්ෂාවසානයේ සමාලෝචනය කරන කෙනෙක් නැත.

ලෝක ආර්ථිකය සහ දේශපාලනය අනුව ඉදිරි වසරේ සැබැවින්ම සිදුවිය හැක්කේ මොනවාද? මේ සම්බන්ධයෙන් ලන්ඩනයේ පළවන Financial Times පත්තරය ලෝක ආර්ථික සමාජයීය හා දේශපාලනික මාතෘකා යටතේ අනාවැකි විස්සක් වාර්ෂිකව පළ කරයි. එහි කර්තෘ මාණ්ඩලිකයන් විසින් සාමූහිකව ලෝක තත්ත්වය විශ්ලේෂණය කොට ඉදිරිපත් කරන මේ අනාවැකි බොහෝ දුරට සාර්ථක බව ඔවුහු පෙන්වා දෙති. එහෙත් පසුගිය වසරේ ඔවුන්ගේ අනාවැකිවලින් අටක් සාර්ථක වී නොමැත.

2019 වසර සඳහා ඔවුන් ඉදිරිපත් කරන අනාවැකි විස්ස හා ඒවාට දළ හේතු මෙසේය.

1. බ්‍රෙක්සිට් (බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම) නවත්වනු ලැබේද?

අනාවැකිය: එසේය. බ්‍රිතාන්‍ය අවසන් හෝරාවේ ස්වයං ඝාතන තීරණය වෙනස් කරනවා ඇත. අමිහිරි වාද විවාදවල නිමක් නොමැත. අගමැති ‘මේගේ’ කන්සර්වේටිව් පක්‍ෂය පවා ඊට පූර්ණ අනුමැතිය දී නැති අතර පාර්ලිමේන්තුව එහි එකදු වගන්තියකටවත් එකඟත්වය පළ නොකරයි. ඒ අනුව නැවත එය ඡන්ද දායකයන්ටම යොමු කෙරෙනු ඇත.

2. බ්‍රිතාන්‍ය විපක්‍ෂ නායක ජෙරමි කෝබි මීළඟ අගමැති වනු ඇත්ද?

අනාවැකිය: නැත. ඔහු තරමක් ජනප්‍රිය බව සැබැවි. එහෙත් ලේබර් පක්‍ෂයේ ඡන්ද පදනමෙන් ඉහළට යන්නට අසමත්ය. 2019 මහ මැතිවරණය පැවැත්වෙනවා ඇත. ජනමත සමීක්‍ෂණ අනුව ඔහු සිටින්නේ අගමැති ‘මේ’ට වඩා ජනප්‍රියත්වයෙන් පහළ තලයකය.

3. කහ උඩුකබා විරෝධතා නිසා ප්‍රංශයේ එමානුඑල් මැක්‍රෝන්ගේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාර හකුළා ගන්නට සිදුවේද?

අනාවැකිය: එසේය. ප්‍රංශ ජනාධිපතිට විකල්ප නොමැත. ඔහුට දේශපාලනික වශයෙන් පැවැත්මක් ඇත්තේ එසේ කළහොත් පමණි. නිවාස බදු කපා හරින්නටත් වැටුප් ඉහළ නංවන්නටත් සිදුවනු ඇත. එහෙත් ඔහු විශ්‍රාම වැටුප් මත බදු‚ විරැකියා රක්‍ෂණය සහ ව්‍යාපාර නියාමනය දිගටම පවත්වා ගෙන යනු ඇත.

4. යුරෝපා පාර්ලිමේන්තුව ජනකාන්තවාදීන්ට (Populists) නතු වනු ඇත්ද?

අනාවැකිය: එසේය. ඡන්ද පැවැත්වෙන්නේ ජනකාන්තවාදීන්ට සහ ජාතිකවාදීන්ට වැඩි බලයක් ලබා ගත හැකි පරිද්දෙනි. ජනමත සමීක්‍ෂණවලට අනුව යුරෝපයේ බොහෝ රටවල ඉහළම අර්බුදය අනවසර ආගමනයයි. ඉතාලිය, ජර්මනිය, ස්වීඩනය යනාදී රටවල ජාතිකත්ව ව්‍යාපාර බලය අල්ලමින් සිටියි. යුරෝපා පාර්ලිමේන්තුවට එන්නේ ඒ සංවිධානවල නියෝජිතයන්ය. ඒ නිසා යුරෝපා පාර්ලිමේන්තුවේ ලිබරල් තත්ත්වය ගිලිහී යනු ඇත.

5. ඩිමොක්‍රටික් පාක්‍ෂිකයන් දෝෂාභියෝගයක් මඟින් ජනාධිපති ට්‍රම්ප් ඉවත් කරන්නට තැත් කරනු ඇත්ද?

එසේය: ජනාධිපති ට්‍රම්ප්ගේ හිටපු නීති උපදේශක රොබර්ට් ම්‍යුලර්ට අච්චු කරනු ලැබීම ජනාධිපතිවරයාගේ මුහුණේ දැලි ගෑවේය. එසේම ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්‍ෂිකා හිලරි ක්ලින්ටන්ට එරෙහි ව්‍යාපාරයක් රුසියානු පරිගණක විශේෂඥයන්ගේ සහායෙන් ගෙන ගිය බවට මේ වන විට සාක්‍ෂි අනාවරණය වී ඇත. නීතියට පටහැනි ප්‍රචාරක ව්‍යාපාරයද එවැනිම කළු පැල්ලමකි. දෝෂාභියෝගයක් ඉදිරිපත් වුවහොත් කථානායක නැන්සි පෙලොසි එය බාර ගනු නිසැකය. දෝෂාභියෝගයක් කොංග්‍රසයේදී බහුතරයකින් සම්මත වනු ඇතත් එය තුනෙන් දෙකක ඡන්දයෙන් සෙනෙට් මණ්ඩලයේදී අනුමත විය යුතු බැවින් ජනාධිපතිවරයාට හානියක් නොවනු ඇත.

6. එක්සත් ජනපදය සහ චීනය අතර වෙළෙඳ යුද්ධය සමථයකට පත්වනු ඇත්ද?

අනාවැකිය: නැත. දැනට ජනාධිපති ට්‍රම්ප් විසින් ගෙනයනු ලබන තීරු බදු ප්‍රතිපත්තිය අනුව ඉදිරි වසරේදී එසේ වන්නට ඉඩක් නැති බව කිව හැකිය.

7. රුසියාව යුක්රේනයට එරෙහි මිලිටරිමය ක්‍රියාමාර්ග ක්‍රමිකව වැඩි කරනු ඇත්ද?

අනාවැකිය: නැත. රුසියාව පසුගිය නොවැම්බරයේදී යුක්රේන යාත්‍රා තුනක් අත්අඩංගුවට ගත් අතර මෙතෙක් මුදා හැර නැත. මෙය අනතුරු හැඟවීමකි. ජනාධිපති පුටින් ඊට එහා ගිය ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් වැළැකී සිටිනු ඇත. එය උපායමාර්ගික වශයෙන් සාර්ථකව ඵල දරනු ඇත. දැන් යුක්රේන හමුදා බලවත් වන අතර ඒ අනුව ප්‍රති ප්‍රහාරද බලවත් විය හැකිය. මෑතක් වන තුරුම එකට සිටි ජාතියකට ප්‍රහාර එල්ල කිරීම රුසියානුවන්ගේ අප්‍රසාදයට හේතු වනු ඇත.

8. 2019 වසරේ ගෝලීය මූල්‍ය අර්බුදයක් ඇති වනු ඇත්ද?

අනාවැකිය: එසේ වන්නට ඉඩක් නැත. වෙන් වෙන් වශයෙන් රට රටවල අර්බුදකාරී තත්ත්ව උද්ගත විය හැකි නමුත් ලෝකය සමස්තයක් වශයෙන් අවපාතයකට නොයනු ඇත. 2008 වසරේ අවපාතයෙන් පසු ගත් ආරක්‍ෂණ ක්‍රියාමාර්ග සාරථක ප්‍රතිඵල පෙන්වයි.

9. නරේන්ද්‍ර මෝදි අගමැති ධුරය තවදුරටත් රැකගනු ඇත්ද?

අනාවැකිය: එසේය. ඉන්දීය මහ මැතිවරණය 2019 මැයි මාසයේ පැවැත්වෙනු ඇත. පසුගිය මාසයේ ප්‍රාන්ත තුනක මැතිවරණවලින් ඔහුගේ භාරතීය ජනතා පක්‍ෂය පරාද වූ නමුත් පොදු වශයෙන් මහ මැතිවරණයකදී තත්ත්වය වෙනස් නොවනු ඇත. මෝදිගේ ජනප්‍රිය බව තවමත් අඩු වී නොමැත.

10. දකුණු චීන මුහුදේ අර්බුදය 2019දී පුපුරා යනු ඇත්ද?

අනාවැකිය: නැත. තවදුරටත් ජනාධිපති ට්‍රම්ප්ට තුරුම්පු සපයන්නට චීනය කටයුතු නොකරනු ඇති අතර ආරක්‍ෂණවාදී පියවර පමණක් ගනු ඇත.

11. ජනාධිපති ජායිර් බොල්සොනාරෝ බ්‍රසීල ආර්ථිකය ඔසොවා තබනු ඇත්ද?

අනාවැකිය: එසේය. අලුතින් පත් වූ ජනාධිපතිවරයා සහ ඔහුගේ කැබිනට්ටුව රටේ ආර්ථික සංවර්ධනය සඳහා කැපවීමෙන් සහ ජනප්‍රිය පියවර ගැනීමෙන් තොරව කටයුතු කරනු පෙනේ. මේ වන විට ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගන්නට නව රජය සමත්ව සිටියි.

12. ජමාල් ඛෂෝගි ඝාතනය මොහමඩ් බින්-සල්මාන්ගේ අනාගතයට නරක බලපෑමක් ඇති කරනු ඇත්ද?

අනාවැකිය: නැත. ඔහුගේ පියා වන රජතුමා ඔහුට පිටුබලය සපයයි. අමෙරිකා එක්සත් ජනපදයේ සහායද ඔහුට ලැබෙන බව පෙනෙයි. කාලය ඛෂෝගි පාර්ශ්වයේ වේදනා යටපත් කර දමනු ඇත.

13. S&P500 දර්ශකය 2019 වසරේ 3,000 ඉක්මවනු ඇත්ද?

අනාවැකිය: නැත. මේ වන විට එහි අගය 2,475 මට්ටමේ පවතියි. නොයකුත් ආරක්‍ෂක උපාය මාර්ග නිසා එය එතරම් ඉහළ යාමක් අපේක්‍ෂා නොකෙරේ.

14. ඉතියෝපියාවේ නව අගමැති අබි අහම්ඩ්ට ඔහුගේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සාර්ථක කර ගත හැකි වනු ඇත්ද?

අනාවැකිය: එසේය.

15. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 2019 වර්ෂාවසානය වන විට ඇඩො 60කට වඩා අඩු වනු ඇත්ද?

අනාවැකිය: එසේය. මීට හේතු ගණනාවක් බලපානු ඇත. මේ වන විටත් තෙල් මිල පහළ යමින් පවතින අතර ඉදිරියේදී එය තවත් පහළටම යනු ඇත.

16. Uber ආයතනය 2019 වසරේදී විශාලතම කොටස් සහිත වෙළෙඳ ව්‍යාපාරය වනු ඇත්ද?

අනාවැකිය: එසේ වන්නට ඉඩක් නැත.

17. මාර්ක් සකර්බර්ග්ට ෆේස්බුක් සමාගමේ සභාපතිත්වයෙන් ඉවත් වන්නට සිදුවනු ඇත්ද?

අනාවැකිය: නැත.

18. එක්සත් ජනපදයේ ආයෝජන ආදායම පහළ යනු ඇත්ද?

අනාවැකිය: එසේ වන්නට ඉඩක් නැත.

19. හුආවෙයි සමාගම චීනයෙන් පිටත වෙළෙඳ ස්ථාවරත්වය නැති කැර ගනු ඇත්ද?

අනාවැකිය: එසේ වන්නට ඉඩක් නැත. අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව මේ වන විටත් ඒ සමාගමේ නිෂ්පාදන තහනම් කොට ඇති අතර යුරෝපයේ ඇතැම් රටවල් සීමා කොට ඇත. එහෙත් 5S තාක්‍ෂණයත් සමඟ එය නැවත නැඟී සිටිනු ඇත.

20. ප්‍රධාන විධායක නිලධාරිව සිටි කාලොස් ඝොෂන් නොමැතිව නිසාන්-රෙනොල්ට් සමාගමේ ව්‍යාපාර කටයුතු අඩාල වනු ඇත්ද?

අනාවැකිය: නැත. කාලොස් ඝොෂන් සමාගමෙන් ඉවත් කැරුණේ මහා පරිමාණ වංචා හා දූෂණ නිසාය. ඒ නිසා ඔහු ඉවත් වීම සමාගමට පාඩුවක් නොවනු ඇත.

මීට අමතරව අනාවැකි කිව යුතු ලොවටම බලපාන වැදගත් මාතෘකා කිහිපයක්ම තිබේ. සිරියාව, යේමනය වැනි රටවල පවතින ජන සංහාරක යුද්ධ ගැන අනාවැකි කියන්නට කිසිවකුත් නැත. එසේම නිරායුද පලස්තීන ජනයාට ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර නවතිනු ඇත්ද කියා සිතන්නටවත් වෙලාවක් නැත. කාලගුණය පිළිබඳ පැරිස් සම්මුතියට 2019 වසරේ කුමක් වනු ඇත්ද යන්නද එබඳුවම අවධානය යොමු කළ යුතු මාතෘකාවකි.2019 වසරේ තවත් අනාවැකියක් නම් ජනාධිපති පුටින් ආරක්‍ෂක අංශවල ප්‍රහාරයකට ලක් විය හැකි බවයි. සමහරවිට ඔහුගේ ජීවිතයට හානි සිදුවන්නට පවා ඉඩ ඇති බව ඒ අනාවැකිකරු පවසා ඇති බව මාධ්‍ය වාර්තාවල දක්වේ.

මාතෘකා