සෞදි ඔටුන්න හිමි කුමරාට ආසියාවේදී මහත් හරසර

 ඡායාරූපය:

සෞදි ඔටුන්න හිමි කුමරාට ආසියාවේදී මහත් හරසර

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වන MbS යන කෙටි නාමයෙන් ලොවම දන්නා මොහමඩ් බින් සල්මාන් පසුගිය සතියේ ආසියාවේ සංචාරයක නිරත විය. ඇත්තටම නම් ඔහුගේ ආගමනය සිදු වූයේ දකුණු ආසියාවේ විශාලතම රාජ්‍ය දෙක වන ඉන්දියාවට සහ පාකිස්තානයටය. පාකිස්තානය වාස භූමි කැරගත් ජායිශ්-ඉ-මොහමඩ් (Jaish-e-Mohamad - JeM) නම් ත්‍රස්ත කල්ලියක් විසින් කාශ්මීර දේශ සිමාවේ ස්ථාන ගත කොට සිටින ඉන්දීය පැරා මිලිටරි අනු ඛණ්ඩයක් වන පොලිස් බළකායේ ප්‍රධාන සංචිතය (Central Reserve Police Force - CRPF) වෙත ස්වයංඝාතක ප්‍රහාරයක් එල්ල කොට සෙබලුන් 47 දෙනෙකු ඝාතනය කරන ලද්දේ ඔහුගේ සංචාරයෙන් දින තුනකට පෙරය.

දෙරට ආණ්ඩු ප්‍රධානීන් හමු වූ අවස්ථාවල ඔහු අවුරුදු 74ක් තිස්සේ අඛණ්ඩ ව පවතින මේ ආරවුලට ස්ථිරසාර විසඳුමකට එළැඹිය යුතු ආකාරය ගැන ඔවුන් සමග සංකච්ඡා කිරීමේ ද නිරත විය.

ලොව පුරා වෙසෙන හෘදයසාක්‍ෂියක් ඇති මිනිසුන් එම්බීඑස් ගැන එතරම් පැහැදීමක් නැත. ඊට හේතුව මානව හිමිකම් සම්බන්ධයෙන් ඔහුගේ වාර්තාවත් විශේෂයෙන්ම ජමාල් ඛෂෝගි නමැති සුප්‍රකට මාධ්‍යවේදියාගේ ඝාතනයට ඔහුගේ නම ඈඳී තිබීමත්ය.

පසුගිය ඔක්තෝබර් 02 දින ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයයට පිවිසි ජමාල් ඛෂෝගි ආපසු ආයේ නැත. ඔහු හා විවාහ ගිවිසගෙන සිටි හැටිස් සෙන්ගිස් ඒ ගැන තුර්කි ජනාධිපතිවරයාට පැමිණිලි කරන ලදුව වහා පරීක්‍ෂණ ඇරඹිණි. එම්බීඑස්ගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ සෞදි නිලධාරී කණ්ඩායමක් විසින් කන්ස්‍යුලේටය තුළ දී ඛෂෝගි පණ පිටින්ම විදුලි කියතකින් කෑලිවලට කපා පසුව පුළුස්සා දමන ලද බවට හෙළි වී තිබිණි. සීඅයිඒ පවා එය සනාථ කළේය.

එම්බීඑස්ට එරෙහිව මුලදී තුර්කි රජය නැගී සිටියත් ඔවුන්ගේ පිහාටු කෙමෙන් තෙමී ගොස් පසුව තෙතබත් වූ නියාව මේ වනවිට දැකිය හැකිය. සීඅයිඒ වාර්තා එන්නට පෙර පවා අමෙරිකා එක්සත් ජනපදය එම්බීඑස්ට අවලාද ස්වරූපයෙන් යම් යම් දේ කියුවත් රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සෞදි අරාබියට ගොස් ඔහු සැනසීය.

මේ අතර එම්බීඑස් එයට ඍජුවම සම්බන්ධ බවට සාක්‍ෂි කිසිවක් ඉදිරිපත් නොවීය. ඛෂෝගි ඝාතනය වූ බව මුලින් ප්‍රතික්‍ෂෙප කළ සෞදි රජය පසුව එය පිළි ගත්තේය. ඒ අනුව ඊට සම්බන්ධ නිලධාරීන් 11ක් හඳුනා ගන්නා ලද අතර ඔවුන්ට එරෙහිව ‘තරාතිරම නොබලා’ නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රකටය.

එහෙත් ම් නඩු විභාගය විනිවිදභාවයෙන් තොර බව එක්සත් ජාතීන් විසින් නිරීක්‍ෂණය කරනු ලැබ ඇති බව දැක්වේ. කිසිවකු ඔටුන්න හිමි කුමරාට ඒ සම්බන්ධයෙන් චෝදනා කරන්නේ නම් එය ‘රතු ඉර පැන යාමකි’යි සෞදි අරාබියේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අදෙල් අල්-ජුබෙයිර් වොෂින්ටනයේදී මාධ්‍ය හමුවේ කියා සිටියේය.

එම්බීඑස් සෞදි අරාබිය තුළ ධනාත්මක ප්‍රතිසංස්කරණ රැසක් කළ තරුණ නායකයකු ලෙස පිළිගැනේ. ඔහු 2015 ජනවාරි 23දින එරට ආරක්‍ෂක ඇමතිවරයා ලෙස පත්කරනු ලබන විට තිස් වියවත් සපුරා නොතිබිණි. තවමත් ඔහු ලොව ළාබාලතම ආරක්‍ෂක අමාත්‍යවරයාය. ඔහුගේ මානව හිමිකම් වාර්තාව නියම ඒකාධිපති ස්වරූපයක් ගන්නා බව අන්තර් ජාතික සංවිධානවල අදහසයි. ‘ලොව භයානකම මිනිසා’ යන හිසින් යුතුව ඔහු ගැන වාර්තාවක් 2016 පෙබරවාරි 08දා ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ වෙබ් අඩවියේ පළ වී තිබිණි

එම්බීඑස්ගේ ඍජු අණින් ක්‍රියාත්මක වන 50 දෙනකුගෙන් සමන්විත ‘කොටි බළකාය’ (Tiger Squad) නම් ඒකකයක් ක්‍රියාත්මක බව ලන්ඩන් නිවාසී ගත් ‘මිඩ්ල් ඊස්ට් අයි’ නමි වෙබ් අඩවියක කලකට ඉහත පළ වී තිබුණු බැව් සඳහන්ය. මෙය තහවුරු නොකළ වාර්තාවක් වන නමුත් ඉතා අපහසුවෙන් දැඩී සීමාකිරීම්වලට යටත්ව සෞදි රාජ්‍යය තුළ ක්‍රියාත්මක වන මානව හිමිකම් සංවිධානවල ක්‍රියාධරයන් අත්අඩංගුවට ගෙන, රඳවා ගෙන දසවධ දෙන්නේ ඔවුන් බව එහි සඳහන්ය. ජමාල් ඛෂෝගි ඝාතනය කරන ලද්දේ එම බලකායේ මෘගයන් විසින් බව සාමාන්‍ය පිළිගැනීමයි.

සෞදි හමුදාව යේමනයට බෝම්බ හෙළන්නේ සහ එරට වරාය අවහිර කරන්නේ ආරක්‍ෂක අමාත්‍ය එම්බීඑස්ගේ විධානයෙනි. මේ නිසා පසුගිය සාගත සමයේ මිලියන 13 ඉක්මවන යේමන වැසියන්ට සාගින්නෙන් පීඩා විඳින්නට සිදුවිය. මියැදෙමින් සිටින දරු දැරියන්ගේ ඡායාරූප මාධ්‍යවල සුලබ විය. කටාර් රාජ්‍යයට අවහිර කිරීමද ඔහුගේ තවත් වික්‍රමයකි. මානවහිමිකම් ක්‍රියාධාරිනියකට දුන් දඬුවමක් සම්බන්ධයෙන් අදහස් පළකළ එරට සිටි කැනඩා තානාපතිවරයා සෞදි රජය විසින් පිටුවාහල් කරනු ලැබීය.

එහෙත් එම්බීඑස් ධනවත් රටක නියෝජ්‍ය අගමැති මෙන්ම තත්ත්වාකාර (de facto) නායකයාය. ඔහු ඇ.ඩො. මිලියන 3 ඉක්මවන පෞද්ගලික ධනයකට හිමිකම් කියන්නකු බැව් පැවසේ. ඒ නිසා ඔහු වෙත අප්‍රසාදයක් එල්ල වන්නේ ඉරානය ඇතුළු රටවල් කිහිපයකින් පමණි. අනෙක් සියල්ලෝ ඔහුට රතු පලස එලති.

ඊට හොඳම උදාහරණය පසුගිය නොවැම්බර් අවසානයේ ආර්ජෙන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවර පැවැති විසි දෙනාගේ කණ්ඩායමේ සමුළුවයි. ඒ වන විට ඛෂෝගි සිද්ධිය සම්බන්ධයෙන් බලවත් රටවල නායකයෝ ඔහු විවේචනය කරමින් සිටියෝය. එහෙත් ඔහුගේ සහභාගිත්වයත් සමග ඒ විරෝධය හිරු නැගෙනවිට බකමූණන් මෙන් විය. හ්ම් නැතිව ගොස් අතුරුදන් විය. ඔහු සමුළුවට ආයේ එක්සත් අරාබි එමයිරේට්, බහරේන්, ටියුනීසියා සහ ඊජිප්තුව හරහාය.

පසුගිය සතියේ එම්බීඑස් ආසියාවේ රාජ්‍ය පහක සංචාරයක් යොදා තිබිණි. ඒවා නම් පාකිස්තානය, ඉන්දියාව, මැලේසියාව, ඉන්දුනීසියාව සහ චීනයයි. ඒ අනුව ඔහු මුලින්ම පසුගිය 16දා පාකිස්තානයට සැපත් විය.

අගමැතිධුරයට පත්වීමෙන් පසු ඉම්රාන් ඛාන් දෙවරක්ම සෞදි අරාබියට ගියේය. ඒ ගියේ ආධාර පතා බව නොරහසකි. ඒ පැතුම දැන් මල්පල ගැන්වී තිබේ. ඒ අනුව පාකිස්තානයේදී එම්බිඑස්ට මහත් හරසර දක්වන ලදි. රතු පලස් එලන ලද අතර වෙඩි මුර 21ක උත්තමාචාරයක්ද ඔහු වෙනුවෙන් පවත්වන ලදි.

පාකිස්තානයට දැන් මුදල් අවශ්‍යය. එරට විදේශ සංචිත මුළුමණින්ම සිඳී ගොසිනි. එම්බීඑස් එය මැනවින් දනී. ඒ අනුව ඔහු ඇඩො බිලියන 20ක් එරටට පරිත්‍යාග කරන්නට පොරොන්දු විය. මෙය ඉම්රාන් ඛාන්ට මහත් අස්වැසිල්ලක් වූවාට සැකයක් නැත. මේ සඳහා වෙන් වෙන් එකඟතා හතක් සහ තවත් මෙමෝ පත්‍රිකා යනාදිය අත්සන් තබන ලද අතර ඉදිරි කාලය තුළ අදාළ මුදල් ලැබෙනු ඇත.

දෙරට අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මින් ඉදිරියට වඩාත් ශක්තිමත් වනු ඇතැයි ඛාන් සන්තෝෂයෙන් පැවැසූ බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

මේ හමුව ගැන ඉරානයේ විරෝධයක් ඇති බව සඳහන්ය. පාකිස්තානය ඉරාන දේශ සීමාවේ පිහිටි රටකි. මේ සංචාරය ගැන සඳහන් ඉරාන මාධ්‍යය වාර්තාවක ‘සෞදි ඝාතකයා ආසියාවේ’ වැනි අරුත් ඇති වැකියක් ඇතුළත්ය.

ඔහු පාකිස්තානයට එන විට සිය හමුදාවට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්තානයට චෝදනා කරමින් සිටියේය. ඒ ගැන එම්බීඑස් කිසිත් පැවසූ බවක් සඳහන් නොවේ. එහෙත් ත්‍රස්ත ක්‍රියා පිටුදැකිය යුතු බව ඔහු පැවසූ බව සඳහන්ය.

ඉන් අනතුරුව ඔහු පැමිණියේ ඉන්දියාවටය. ඉන්දියාවේදීද මහත් හරසරින් ඔහු පිළිගන්නා ලදී. එහිදීද දෙරට අතර ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් කිහිපයක්ම අත්සන් තබන ලද අතර බිලියන 30ක් ආයෝජනය කරන්නට ඒ අනුව සෞදි අරාබිය එකඟ වෙයි. මෙය ඉතා වැදගත් සිද්ධියකි. ඉන්දියාව සහ ඉරානය අතර විරසකයක් නැති අතර ඉන්දියාවට ඉරානයෙන් බොරතෙල් මිල දී ගන්නටද ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉඩ දී ඇත. ඒ නිසා ඉරානය අමනාප කැර නොගෙන මෙම ආයෝජන භාර ගැනීම භාරදූර කර්තව්‍යයකි.

ත්‍රස්තවාදය පිටුදැකිය යුතු බවට චාරිකාව අවසානයේ නිකුත් කැරුණු ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙයි. පසුගියදා කාශ්මීර දේශ සීමාවේ සිදු වූ ප්‍රහාරය ගැන එහි සඳහන් වෙතත් පාකිස්තානය හෝ එය මෙහෙයැවූ කණ්ඩායම ගැන සඳහන් නොවීම විශේෂ කරුණකි.

ඉදිරි දෙවසර තුළ කාශ්මීර ප්‍රශ්නය විසඳන්නට තමා උදව් කරන බව සෞදි ඔටුන්න හිමි කුමරා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ස්ථිර වශයෙන්ම පොරොන්දු වූ බව සඳහන්ය.

මාතෘකා