ප්‍රංශ විරෝධතාවලට ඉතාලි සහාය

 ඡායාරූපය:

ප්‍රංශ විරෝධතාවලට ඉතාලි සහාය

මේ වනවිට ලොව ජනාධිපතිවරුන් තිදෙනකුට එරෙහිව ඒ ඒ රටවල ජනතාව වීදි බැස සිටිති. ලතින් ඇමරිකාවේ පිහිටි වෙනිසියුලාවේ උද්ඝෝෂණ නිසා උද්ගත වී ඇති අර්බුදය ගැන පසුගිය සති දෙකේම මෙම පිටුව හරහා සාකච්ඡා කළේය. තවෙකක් පවතින්නේ ඊසාන දිග අප්‍රිකාවේ සුඩානයේය. 31 වසරක් තිස්සේ දුර්දාන්ත පාලනයක් ගෙන යන ජනාධිපති ඕමාර් අල්-බෂිර්ට අසුනින් බැස යන ලෙස බල කරමින් එරට ජනයා කලක් තිස්සේ පාරට බැස සිටිති. අනෙක් උද්ඝෝෂණය පවතින්නේ ප්‍රංශයේය. පසුගිය නොවැම්බර් 17 සෙනසුරාදා අරැඹී සති අග පමණක් පවතින ‘කහ උඩු කබාකරුවන්ගේ’ (ප්‍රංශ---gilets jaunes) අනවරත උද්ඝෝෂණ මාලාවේ දහතුන් වැන්න පසුගිය සති අන්තයේ පැවැත්විණි.

වෙනිසියුලාවේ අර්බුදයේදී ඇමරිකා එක්සත් ජනපදය එරට ජනාධිපති නිකොලස් මදුරෝ පළවා හරින්නට ඍජුවම දායකත්වය සැපයීය. එහෙත් ඊට වඩා සාධාරණ සුඩාන අර්බුදයේදී ජනතාවගේ පැත්ත ගෙන ජනාධිපති අල්-බෂිර්ට තනතුර හැරයන ලෙස බල කරන්නට කෙනෙක් නැත.

ප්‍රංශයේ උද්ඝෝෂණ මුලදී ඇරඹුණේ ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් නොවෙතත් මේ වනවිට ඔවුන්ගේ සටන් පාඨවලට එයද එක් වී තිබේ. මේ උද්ඝෝෂණය මේ වනවිට හැරවුමක් සනිටුහන් කොට ඇත්තේ ඉතාලිය ඊට සම්බන්ධ වීම නිසාය. අනෙක් රටවල අභ්‍යන්තර දේශපාලන ගැටලුවලට අත පෙවීම වර්තමානයේ අන්තර්ජාතික දේශපාලනයේ දක්නට ලැබෙන එක්තරා ප්‍රවණතාවයකි. බහුල වශයෙන් එහි නිරත වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඇමරිකාව අනුගමනය කරන බටහිර රටවල්ද ගුරා හිටගෙන කරන දේ ගෝලයා දුවමින් කරන්නාක් වැනි හැසිරීමක් පෙන්වනු දැකිය හැකිය.

ප්‍රංශයේ පවතින කහ උඩු කබා ව්‍යාපාරයට නායකත්වයක් නොමැත. එය වෙනස් දේශපාලන මතධාරීන්ගේ අහඹු එකතුවකි. ඔවුන්ගේ මූලික අරමුණ වූයේ පාලනය වෙනස් කිරීම නොව, ඉන්ධන මිල අඩු කරවා ගැනීම, බැංකු පොලී අඩු කරවා ගැනීම, වැඩි වැටුප්, විශ්‍රාමිකයන්ට සහන යනාදී ඉල්ලීම් කිහිපයකි. ඒවායින් බොහොමයක් රජයට වුවමනාවක් තිබිණි නම් මුල් දවස්වලම ඉටු කරන්නට හැකියාව තිබිණි. එහෙත් ජනාධිපති මැක්‍රොන් නම්‍යශීලී පුද්ගලයකු නොවූ අතර සාකච්ඡා කරන්නට නායකයකුද නැත.

කහ උඩු කබා ව්‍යාපාරය ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ට පාලනය කර ගත නොහැකිය. ඒ නිසා ඔහුට එය මහත් සිත් කරදරයක්ව ඇති බව අමුතුවෙන් කියන්නට දෙයක් නැත. විරෝධතාකරුවෝ බෙහෝ ව්‍යසනකාරී කටයුතුවල යෙදෙති. පොලිසිය හෝ හමුදාව යොදවා ඔවුන් මැඩ පවත්වන්නට රජයට නොහැකිය. ඒ නිසා කළ හැක්කේ ආරක්‍ෂාකාරී පියවර ගැනීම පමණි.

මේ අතරේ විදේශීය නායකයකු පැමිණ ජනාධිපතිවරයාට හිසරදයක් වී පවතින විරෝධතාකරුවන් දිරි ගැන්වීම කිසිසේත්ම ඉවසා සිටිය හැකි තත්ත්වයක් නොවනු ඇත. ඉතාලියේ උප අගමැති ලුයිගි ඩි මායියෝ පසුගිය 05 වැනි දින පැරිස් නුවරට පැමිණ විරෝධතා මෙහෙයවන්නන් සමග සාකච්ඡා කළ බව වාර්තා විය. විය යුතු පරිදිම මෙයින් ප්‍රංශ රජය බලවත් සේ කෝපයට පත්විය.

ඩි මායියෝ යනු 2009 වසරේ සිට ඉතාලියේ නැගී ආ තරු පහේ ව්‍යාපාරයේ (Five star Movement – M5S) ආරම්භක සාමාජිකයෙකි. තරුපහේ ව්‍යාපාරය අලුත් දේශපාලන රැල්ලක් වන ජනකාන්තවාදී (Populist) මත දරයි. ‘ජනකාන්තවාදී ව්‍යාපාරය’ යන්නට නිශ්චිත අර්ථ දැක්වීමක් නොමැති අතර එය වමටත් නැති දකුණටත් නැති සරල දේශපාලනය තේමා කර ගත්තකි. ජනකාන්තවාදීන්නේ මුඛ්‍ය අරමුණ රාජ්‍ය පාලනයට පිවිසීම නොව, පවත්නා රජයකින් ජනතා අවශ්‍යතා ඉටු කරවා ගැනීම ලෙස දැක්විය හැකිය. ප්‍රංශ කහ කබා ව්‍යාපාරය, ඉතාලි තරුපහේ ව්‍යාපාරය මෙන් ජනකාන්තවාදී නොවන නමුත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් අනුව එකිනෙක ගැලපෙන බව පෙනී යයි. ඩිමාය්යෝ ‘කොක්ක ගහන්නට’ එන්නට ඇත්තේ එය සලකා බව පසුව ඔහු විසින් කරන ලද ප්‍රකාශ අනුව පැහැදිලිය. මන්දයත් ජනකාන්ත ව්‍යාපාරයට අවශ්‍ය වන්නේ යුරෝපය පුරා පැතිරීමට වන හෙයිනි. කහ උඩුකබා ව්‍යාපාරයේ සාමාජිකයන් හමුවීමෙන් පසු ඩිමායියෝ සිය ට්වීටර් ෆේස්බුක් පිටුවල තැබූ සටහනේ අරුත මෙසේය. “වෙනසක සුළං ඇල්ප්ස් තරණය කොට තිබේ. මම පුනරුච්චාරණය කරමි. වෙනසක සුළං ඇල්ප්ස් තරණය කොට තිබේ.” 1940 දී මුසෝලිනී සංග්‍රාමාවතීර්ණ වූයේද ඇල්ප්ස් තරණය කරමිනි.

කහ කබා ව්‍යාපාරයේ ඉදිරිපෙළ විරෝධතාකරුවන් තුළ දේශපාලනයට පිවිසෙන්නට අදහසක් ඇති බව ප්‍රකාශිතය. ඊට මේ හමුව බලපෑවාද නැද්ද යන්න නිශ්චිතව සඳහන් නොවේ. එය ඔවුන්ගේ ස්වාධීන එකලා තීරණද විය හැකිය. කෙසේ වෙතත් ඇතැමෙක් ප්‍රංශය තුළ දේශපාලනයට සහ තවත් කෙනෙක් යුරෝපා පාර්ලිමේන්තුවට තරග වදින්නට අදහස් කරන බව පැවසේ.

මේ කරුණු අනුව පැහැදිලි වන්නේ කහ කබා විරෝධතාව ප්‍රංශ නගරවල තව කලක් අල්ලා සිටිනු ඇති බවය. ප්‍රංශ රජය රෝමයේ සිටින සිය තානාපති වහාම සියරට කැඳවීය. ඊට අදාළ ප්‍රංශ විදේශාමාත්‍යංශයේ නිවේදනය ‘සැර’ එකකි. “මාස කිහිපයක සිට ප්‍රංශය අනවරත දෝෂාරෝපණවලටත්, වටහා ගත නොහැකි වාග් ප්‍රහාරවලට සහ සැහැසි මත පළකිරීම්වලටත් ලක්වන බව සියල්ලන්ට සිහිපත් වෙතැයි සිතමු. එය දෙවන ලෝක යුද්ධය නිමා වීමෙන් පසුව පැවැති තත්ත්වය නොවේ. නොඑකඟතාව එකකි. ඔවුන් (විරෝධතාකරුවන්) දේශපාලන ව්‍යාපාර සඳහා අපයෝජනය කිරීම තවෙකකි. ආසන්නතම මැදිහත් වීම ප්‍රකෝපකාරී සිදුවීම්වලට හේතුකාරක වෙයි.

ප්‍රංශය සහ ඉතාලිය අතර පවත්නා සබඳතා සහ මිතුදම ගැන මතක් කර දෙන්නට මේ අවස්ථාවේ කැමැත්තෙමු. ඉතාලි රජයේ මේ ක්‍රියාමාර්ගවලින් දෙරට අතර සබඳතා බරපතළ බිඳවැටීමකට ලක් වනු පෙනෙයි. එබැවින් ප්‍රංශ රජය ඉතාලියේ සිටින සිය තානාපතිවරයා උපදේශන කටයුතු සඳහා ආපසු කැඳවන්නට තීරණය කොට ඇත.”

ප්‍රංශය සහ ඉතාලිය තරම් සමීප රටවල් දෙකක් යුරෝපය පුරාම නැත. ඉතිහාසයෙන් සහ සංස්කෘතියෙන් දෙරට බොහෝ දුරට සමාන වෙයි. මධ්‍යධරණී වටපිටාව සහ ‘ලතින් සංස්කෘතිය’ දෙරටටම පොදුය. දෙරටම යුරෝපා සංගමය පිහිටුවීමේ මූලික සාකච්ඡාවල සිටම එක්ව සිටියේය.

මේ විරසකය යුරෝපා සගමයටද දැඩිව බලපාන බව චින්තන තටාකවල හෙවත් පඬුවන්ගේ මතයයි. පොදුවේ යුරෝපා සංගමය ලෙස හැඳින්වෙන භූමියට සමස්ත යුරෝපයම අයත්ය. එහි පාලනය සඳහා යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා සංගම් කවුන්සිලය යන අංග දෙකකින් යුත් යුරෝපා ව්‍යවස්ථාදායකය, යුරෝපා කොමිසම සහ යුරෝපා කවුන්සිලය යන තුන් ආකාර පාලන ඒකක තුනක් ඇත. සාමාජික රාජ්‍ය දෙකක් අතර උද්ගත වන ආරවුල් විසඳන්නට එහි මැදිහත් වීම අත්‍යවශ්‍යය.

ප්‍රංශ විදේශාමාත්‍යංශයේ නිවේදනයේ මෙසේද සඳහන්ය. “සාමාජික රාජ්‍යයක් අනෙක් සාමාජික රාජ්‍යයකට එරෙහිව එදිරිවාදිකම් පෑම යුරෝපා සංගමයට පිළිගත නොහැකි වනු ඇත. ආණ්ඩුවේ වගකිවයුත්තකු වන ඩි මායියෝ මහතා වැනි අයෙක් දෙරට අතර දිගුකාලීන ද්වි පාර්ශ්වික සබඳතා යටින් හාරා බිඳ දමන මෙවැනි පිළිවෙත්වලින් වැළැකී සිටින්නට වග බලා ගත යුතුය.”

පසුගිය දෙසැම්බර් මැද හරියේ කිහිපවතාවක්ම ඩිමායියෝ කහ කබා ව්‍යාපාරය දිරි ගන්වන ප්‍රකාශ නිකුත් කළත් ප්‍රංශ රජය ඊට එරෙහිව කිසිවක් කීවේ නැත. මේ සටන අත් නොහැරිය යුතු බව ඔහු ඒ අවස්ථාවල පවසා තිබිණි. ජනතාව වෙනුවෙන්, ජනතාවගේ සමාජ අයිතිවාසිකම් සහ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයත්, පරිසරය වෙනුවෙන් කරන ඕනෑම සටනකදී තරු පහේ ව්‍යාපාරය සහාය දෙන බවත් ඔහු පවසා ඇත. ප්‍රංශ රජය ඔහුට ඊට ඇති අයිතිය පිළි ගන්නවා විය හැකිය. එහෙත් ඉතාලි ආණ්ඩුවේ වගකිවයුතු අයකු සිය රටට අවුත් ඔවුන් හා එකට හිඳ සාකච්ඡා පැවැත්වීම කිසිසේත්ම අනුමත නොකරනු ඇත.

ප්‍රංශය විසින් මීට පෙර අවසන් වතාවට සිය ඉතාලි තානාපතිවරයා සිය රටට කැඳවනු ලැබ ඇත්තේ 1940 වසරේ එනම්, දෙවන ලෝක මහා සංග්‍රාම සමයේය. ඒ වසරේ එවකට ඉතාලියේ පාලකයාව සිටි බෙනිටෝ මුසෝලිනී ප්‍රංශයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය. එවිට ප්‍රංශය සිය තානාපතිවරයා ආපසු කැඳවා සටනට එළැඹුනේය.

දැන් තානාපති ආපසු කැඳවා තිබේ. ඊළඟ ක්‍රියාමාර්ගයත් ඔවුන් අනුගමනය කරනු ඇත්ද?

මේ අතර ස්පාඤ්ඤයේ මේ දිනවල පැවැත්වෙන උද්ඝෝෂණ මීට වඩා වෙනස් අරමුණු පෙරදැරි කර ගනියි. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ කැටලෝනියා නම් ප්‍රදේශය සඳහා වෙනම පාලන ඒකකයක් දිනා ගැනීමය. කලකට ඉහත මේ සඳහා දරන ලද ප්‍රයත්න අසාර්ථක වුවද කැටලෝනියා වැසියන් සිය පරිශ්‍රමය අත් නොහැර සිටින බව පසුගිය සතියේ මැඩ්රිඩ් හි පැවැත්වුණු උද්ඝෝෂණ අනුව පැහැදිලිය. සිම්බාබ්වේ හිද වැඩ වර්ජනයක් සහ උද්ඝෝෂණයක් ක්‍රියාත්මකය. ඒ දරාගත නොහැකි ජීවන වියදමට විසඳුම් දෙන ලෙස ඉල්ලමිනි. 1987 සිට 2017 දක්වා එරට පාලනය කළ දුර්දාන්ත පාලකයා වූ රොබර්ට් මුගාබේ ජනතා උද්ඝෝෂණ නිසාවෙන් පාලනය අත් හැරීමෙන් පසුව වර්තමාන ජනාධිපති එමර්සන් මිනැන්ග්වා රට බාරගෙන ගත වී ඇත්තේ මාස 15කටත් අඩු කාලයකි.

මාතෘකා