ලෝකයේ පෙණහැල්ල සිදුරු වෙයි

 ඡායාරූපය:

ලෝකයේ පෙණහැල්ල සිදුරු වෙයි

තවමත් අපි බලා සිටිමු

 

අපි බොහෝ දෙනකු නිවාඩුවක් එනතුරු බලා සිටින්නේ කොහේ හෝ විනෝද ගමනක් යෑමටයි. ඒ විනෝද ගමන් යන බොහෝ දෙනකුම පාහේ සොයා යන්නේ එක්කෝ දිය ඇල්ලක්, වනාන්තරයක්, කඳුපන්තියක් හෝ එවැනි උස් බිමක්, මුහුදු වෙරළක් ආදී ස්වභාව සෞන්දර්යයෙන් අනූන පෙදෙසක් විනා, කොන්ක්‍රීට් පිරුණු නගරයක් නොවේ. ඒ අප සියලුම දෙනා තුළ ජීවත්වන සත්ත්වයාගේ අවදි වීමයි. කවුරු කෙසේ කීවත් අප තවමත් කැමැත්තක් දක්වන්නේ ස්වභාවික පරිසරය හා බද්ධව ජීවත් වීමටයි. ඉඩක් ඇති තැනක් හෝ අවම වශයෙන් නිවස තුළ හෝ ගසක් පැළයක් වවන්නේ අප පරිසරයට දක්වන ඇල්ම බැල්ම මෙපමණ කලක් ගියත් නොවෙනස්ව පවතින නිසයි.

වනාන්තරයකට හෝ ගස් වැල් පිරි කුඩා වනරොදකට වුවත් පිවිසුණු විට අපට දැනෙන්නේ සුවදායී හැඟීමක්. වනරොදෙහි වූ තෙතමනය, සෙවණ, තුරුලතා අතර ජීවත්වන සතුන්ගේ කිචිබිචිය, වෙහෙස වූ මනස සුවපත් කරනවා. ඒ වගේම තුරුලතා පිරිමැද හමන පිරිසුදු වායුව, අපේ පෙණහලු පුරවන විට, වාතයේ ඇතිවන ධන ආරෝපිත අංශු අප සිරුර සුවපත් කරනවා. මේ නිසයි අපි මෙවැනි ස්ථානයකට ගියවිට ඉතාමත් සුවදායී හැඟීමක් ඇතිවන්නේ. කුඩා වනරොදක අසිරිය එවැනි නම්, අප රට මෙන් අසූපස් ගුණයක් පමණ සුවිසල් වනාන්තරයක ඇති ගාම්භීරත්වය, ගුප්ත බව, මහේශාක්‍ය බව කෙසේ විස්තර කරම්ද?

දකුණු ඇමෙරිකාවේ රාජ්‍යයන් නවයක් පුරා පැතිරෙන, වර්ග කිලෝමීටර් 5,500,000ක් පුරා පැතිරුණ ඇමසන් වනය ලොව ජෛව විවිධත්වයෙන් වැඩිම වනාන්තරය වේ. එයින් සියයට 60ක්ම බ්‍රසීලයටයඅයත් වන අතර ලොවෙහි අන් සියලුම වනාන්තර එක්ව ගත් කල පවා ඇමසන් වනයට වඩා කුඩා වීම ඇමසන් වනයේ මහේශාක්‍ය බව මැනවින් කියාපායි. මේ නිසාම ශාක විශේෂ 16,000කට අයත් ශාක බිලියන 390කින් සමන්විත මේ වනාන්තරයේ වටිනාකම පිළිබඳ කිසිදු විවාදයක් අනවශ්‍යය. ලොව ජීවත් වන සත්ත්ව විශේෂවලින් සියයට 10ක්, කුරුලු විශේෂවලින් සියයට 20ක්, කෘමී විශේෂ මිලියන 2.5ක්, ක්‍ෂීරපායී විශේෂ සහ කුරුලු විශේෂ 2000කට අධික සංඛ්‍යාවක් මෙන්ම ඇමසන් වනය වාසස්ථානය කරගෙන සිටින විවිධ ගෝත්‍ර දහස් ගණනක් ද මෙයින් ජීවය ලබනවා.

ඇමසන් නිවර්තන වැසි වනාන්තරය ලෝකයේ නිවර්තන කලාපීය වැසි වනාන්තර තීරුවේ ප්‍රධානතම වැසි වනාන්තරයයි. ලෝකයේ වායුගෝලීය සමතුලිතතාව, පෘථිවියේ උෂ්ණත්වය යාමනය මෙන්ම ජීව විවිධත්ත්වයට මූලිකවම බලපාන මෙය නිර්මාණය වී ඇත්තේ ඉයෝසීන යුගයේ (වසර මිලියන 55-33.9 අතර කාලයේ) යැයි ගණන් බලා තිබෙනවා. මුලින් මෙය වනාන්තරයක් ලෙසින් පැවතුණත් ලොවෙහි ඇතිවූ අධික ශීත කාලයෙන් පසුව ක්‍රමයෙන් සැවනා වනාන්තර ගති ලක්‍ෂණ ද මේ වෙත එකතු වුණා. ඩයිනෝසරයන් වඳවී යෑමත් සමගම ඇමසන් වනාන්තරය විශාලව පැතිරුණු අතර දේශගුණ විපර්යාස සමඟ වනාන්තරයේ ශාක සංයුතිය ද වෙනස් වුණා.

ඇමසන් වනය වයෝවෘද්ධ වනාන්තරයක් වන අතර එහි වර්ධනය සිදු වන්නේ ඉතා සෙමින්, එසේම දීර්ඝ කාලයක් පසින් පෝෂක ලබා ගැනීම නිසාත් එහි පසෙහි වූ සමහර පෝෂක වර්ග ක්‍ෂය වී යෑමක් දකින්නට පුළුවන්. මේ නිසාම ලෝකයේ සමබරතාව මනාවට ඔප්පු කරමින් ඇමසන් වනයට අවශ්‍ය පෝෂණයෙන් 56%ක්ම, විශේෂයෙන්ම වනාන්තරයෙන් ඉවත් වන පොස්ෆරස් 100%ක්ම ලබා දීමට සැතපුම් 2600ක් නැඟෙනහිරින් පිහිටි සහරා කාන්තාරය ඉදිරිපත් වී තිබෙනවා. සහරා කාන්තාරයේ වූ දූවිලි අංශු අහසට එක් වී සුළං ධාරා හරහා අත්ලාන්තික් සාගරය තරණය කර අවසානයේ ඇමසන් වනාන්තරයට පතිතවන බව සොයාගෙන තිබෙනවා. එය චන්ද්‍රිකා ඡායාරූපවලින් ගණනය කර ඇති පරිදි සෑම වසරකම දූවිලි ටොන් මිලියන 182ක් මෙසේ හුවමාරු වන අතර ඉන් ටොන් මිලියන 28ක් ඇමසන් වනාන්තරය පෝෂණය කරමින් ඒ වෙත පතිත වන අතර ඉතිරිය අත්ලාන්තික් සාගරය, කැරිබියන් දූපත් ඒ අවට මුහුද පෝෂණය කරනවා. ඒ බව රසායනික සහ ද්‍රව්‍යමය සංයුතිය මනිනු ලබන පරීක්‍ෂණවලින් පවා තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව ලෝකයේ සමබරතාව එය විසින්ම ඇතිකරගෙන ඇත්තේ එසේයි.

මෙසේ වසර මිලියන ගණනාවක් ලෝකයේ සමබරතාව රැකගනිමින් අනේකවිධ සත්ත්ව විශේෂවලට සෙවණ සහ ජීවය ලබාදෙමින් සෙත සලසන ඇමසන් වනය මිනිසාගේ ආත්මාර්ථකාමීත්ත්වය නිසාම දිනෙන් දින ලෝකයෙන් සමුගනිමින් පවතිනවා. විශේෂයෙන්ම දැව සඳහා වනාන්තරය එළි කිරීම නිසා දැනටමත් ඇමසන් වනයෙන් සියයට 20ක් අහිමිව ගොස් තිබෙනවා. වසරකට වර්ග සැතපුම් 20,000ක් අහිමි වන ඇමසන් වනයෙන් කපා ඉවත් කරන මහා වෘක්‍ෂයන් සංඛ්‍යාව බිලියන 7ක් පමණ වෙනවා. එනම් ලෝක ජනගහනයට වඩා තරමක් කුඩා ප්‍රමාණයක්. මෙසේ වන විනාශය සිදු වන්නේ 1960න් පසු ඇමසන් නිම්නයේ ඛනිජ තෙල් සොයා ගැනීමත් සමඟයි. ඉන්පසු ලොව විශාලතම ඛනිජ තෙල් ගවේෂක සමාගම්, කෙමෙන් කෙමෙන් වනය තුළට පිවිසෙන්නට වුණා. 1991 සිට 2000 දක්වා කාලය තුළ පමණක් වන විනාශය වර්ග සැතපුම් ලක්‍ෂ හයකට ආසන්නයි. විශේෂයෙන්ම ගව පාලනයට ඉඩ සලසමින් කිරිපට්ටි හිමියන් වනය ගිනි තබමින් වනය තණ බිමක් බවට පරිවර්තනය කිරීමේ උත්සාහය නිසා සහ සෝයා බෝංචි වගාව සිදුකිරීමට අවශ්‍ය භූමිය සකසා ගැනීමට ඇමසන් වනය විනාශ කරමින් සිටිනවා. ලෝකයේ දෙවැනි විශාලතම සෝයා බෝංචි නිෂ්පාදකයා වන්නේ බ්‍රසීලයයි. නමුත් මෑතකදී කළ පර්යේෂණයකට අනුව ඇමසන් විනාශය නිසා සෝයා වගාවට ස්වභාවිකව ලැබෙන වැස්ස අඩු වී තිබෙන අතර ඵලදාව වර්ධනය වීමක් සිදු වී නැහැ.

ඇමසන් වනයේ හෝ වෙනත් වනාන්තරයක ළැව්ගිනි ඇතිවීම ස්වභාවිකයි. නමුත් ඇමසන් වැනි නිවර්තන වැසි වනාන්තරයක මෙපමණ කාලයක් දැවෙන, විශාල වපසරියක් පුරා විහිදී පැතිරෙන ගින්නක් අස්වාභාවික බවයි පරිසර විශේෂඥයන්ගේ මතය. මේ ගින්න අද ඊයේ ඇතිවූවක් නොවෙයි. ඇමසන් වනයේ ගිනි ගැනීම් පටන් ගත්තේ 2019 වසරේ ජනවාරි මාසයේ පමණ නමුත් එය නිසි පාලනයකට යොමු කිරීමේ දේශපාලනික අපොහොසත්භාවය සහ බ්‍රසීල ජනාධිපති Jair Bolsonaroගේ පරිසර හිතකාමී නොවන ප්‍රතිපත්ති නිසා මේ ගින්න පාලනය කළ නොහැකි තත්ත්වයට පත් වී ඇති බව පරිසර විද්‍යාඥයන්ගේ මතයයි. මේ වන විට බ්‍රසීලය තුළ විවිධ ප්‍රමාණයන්හි ළැව්ගිනි 80,000ක් වෙන් වෙන්ව පැතිරෙමින් පවතිනවා. ඉන් අඩක්ම ඇමසන් වනයේ ඇතුළත සිදු වනවා. එය ගිය වසරට වඩා 83%ක වැඩිවීමක්.

ඇමසන් වනාන්තරයේ ඇති ශාක ප්‍රමාණය මඟින් ලෝකයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් සියයට 20ක් ලබා දෙන බවට මතයක් තිබෙනවා. එය සත්‍ය වශයෙන්ම ලොව ඇති කාබන්ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් ශක්තිය වශයෙන් තිර කිරීමක් සිදු වන අතර කාබන් සංචිතය යාමනයට සිදු කරන ඉමහත් පිටිවහලක්. මේ නිසයි ඇමසන් වනාන්තරය ලෝකයේ පෙණහලු ලෙසින් නම් දරා සිටින්නේ. නමුත් මේ වන විට මේ ඔක්සිජන් නිකුත් කිරීම නැවතී වන දහනය නිසා පිටවන කාබන්ඩයොක්සයිඩ් සහ කාබන්මොනොක්සයිඩ් වායුගෝලයට නිරන්තරයෙන් එකතු වෙමින් පවතිනවා. ඇමසන් වනයේ පිහිටි ස්වභාවික සදාහරිත තෙත් ස්වභාවය නිසාම එය නිරායාසයෙන් ගිනි ගැනීමට ප්‍රතිරෝධයක් දක්වයි. නමුත් දැන් දැන් සැවනා තත්ත්වය වර්ධනය වීම නිසාත් සෝයා වගාව සහ ගව පාලනය වෙනුවෙන් සිදු කරන ගිනි තැබීම් පාලනයකින් තොරව සිදුවීම නිසාත් මේ ගිනි ගැනීම දැන් ව්‍යසන තත්ත්වයකට පත්වී ඇති බව පැහැදිලියි.

මෙසේ ඇමසන් වනය ගිනි ගැනීම දකුණු ඇමෙරිකාවට පමණක් බලපාන සංසිද්ධියක් විය හැකි බවට කිසිවකුට තර්ක කළ නොහැක්කේ මුළු ලෝකයම එකම වායුගෝලයකින් ජලගෝලයකින් ආවරණය වී ඇති නිසායි. එයින් වායුගෝලයට මුදාහැරෙන කාබන්ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් ඉහළ වායුගෝලයට මුසු වී දැන් දැන් වර්ෂාව මගින් පොළොව මතුපිටට වැටෙමින් පවතින අතර එය පහළ වායුගෝලයට ද එක් වී හමාරයි. චන්‍ද්‍රිකා ඡායාරූප මඟින් සනාථ වන කාබන් දූවිලි වලාව මුළු බ්‍රසීලයත් ආජන්ටිනාව සහ වෙනත් රටවල් කරා ද පැතිරෙමින් පවතිනවා. මෙය ලෝක වායුගෝලයට මුසුවන්නට සුවිසල් කාලයක් ගත වන්නේ නැහැ. මෙසේ පාලනයකින් තොරව ඇමසන් විනාශය සිදු වුවහොත් තවත් වසර විස්සකින් ඇමසන් වනාන්තරය අපට අහිමි වීමේ අවදානමක් ඇති බවට පරිසර විශේෂඥයන් අනාවැකි පළකර තිබෙනවා.

මෙසේ පරිසරයට එකතුවන කාබන්ඩයොක්සයිඩ් සහ මොනොක්සයිඩ් ක්‍ෂණිකව ඉන් ඉවත් නොවන නිසා සමහරවිට සුළු ප්‍රමාණයක කාබන් ඩයොක්සයිඩ් සංයුතියේ ඉහළ යෑමක් බලාපොරොත්තු විය හැකියි. එසේම මෙම ගින්න නිසා ඉහළ වායුගෝලයට යන කාබන් අංශු ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු මතට පතිත වීම නිසා එමඟින් පරාවර්තනය වන ආලෝක ප්‍රමාණය අඩුවී අයිස් තට්ටු උණුසුම්වීම පවා සිදුවිය හැක. මේ නිසා ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම ද ශීඝ්‍රවීමේ අවදානමක් පවතී, දැනටමත් ලෝකයේ සමුද්‍ර ජලමට්ටම මිලිමීටර් දශම ගණනකින් ඉහළට යමින් පවතින අතර මේ දියවීම වේගවත් වුවහොත් නැවතිය නොහැකි චක්‍රයක් බවට මෙය පත්විය හැකියි. දැනටමත් බටහිර ඇන්ටාක්ටික් අයිස් තට්ටුව මානව ක්‍රියාකාරකම් නිසා දියවෙමින් පවතින බවට සාක්‍ෂි මඟින් තහවුරු වී තිබෙනවා.

වැසි වනාන්තර ගිනි ගැනීම ස්වභාවික මෙන්ම ඒවා නැවත වර්ධනය ද ස්වභාවිකය. සාමාන්‍යයෙන් වැඩුණු පැරණි වනාන්තරයක තිර කරන කාබන් ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් නව, වැඩෙමින් පවතින වනාන්තරයක තිර වනවා. ඒ ශාක වර්ධනයට අවශ්‍ය ශක්තිය, අමුද්‍රව්‍ය ඉක්මනින් තිර කිරීම නිසා. සමහරවිට මේ තත්ත්වය නිසා වැඩි වූ කාබන් ප්‍රමාණය ඉක්මනින්ම වායුගෝලයෙන් අවශෝෂණය වී ඇමසන් වනාන්තරය නැවතත් කාබන් තිර කිරීමේ බැංකුවක් බවට පත් විය හැකියි. නමුත් වසරකට සිදුවන වන විනාශය යම් තරමකට හෝ නවතාලිය හැකි නම් මෙහි ආචරණ වැඩියෙන් ලබාගත හැකියි. කෙසේ නමුත් අප සිදු කළ පරිසර විනාශයෙන් සහ දැනටමත් සිදු කරමින් පවතින විනාශයන් නිසා වනාන්තර ප්‍රමාණය අඩුවීම, කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යෑම, ග්ලැසියර දියවීම, මුහුදු මට්ටම ඉහළ යෑම, දැඩි ස්වභාවික විපත්, ආහාර හිඟයක්, ජල හිඟයක් ඇති වීම ආදිය විෂමාකාර චක්‍රයක් මෙන් අපටම බලපෑම් කරනු ඇත. පරිසරයට අනුවර්තනය විය හැකි වුවත් මේ සිදුවන වෙනස්වීම්වලට අනුගත නොවිය හැකි සතුන් සදහටම පරිසරයෙන් තුරන් වී අන්තර්ජාලය බිත්තියක එල්ලී සිටින සතුන් පිරිසක් පමණක් වනු ඇත. අපි... කුමක් කරමුද ?

 

ආචාර්ය 
[පියල් ආරියනන්ද]

මාතෘකා