යතුරුපැදි සවාරිවලට නම් දැරූ කලා ශිල්පවලට කප් ගැසූ චීනය පවා තිගැස්සුණු ඉන්දියාවේ බෞද්ධ පාලන ප්‍රදේශය

 ඡායාරූපය:

යතුරුපැදි සවාරිවලට නම් දැරූ කලා ශිල්පවලට කප් ගැසූ චීනය පවා තිගැස්සුණු ඉන්දියාවේ බෞද්ධ පාලන ප්‍රදේශය

ඉන්දියාව පසුගිය දිනවල කාශ්මීරයේ විශේෂ වරප්‍රසාද සහිත තත්ත්වය ඉවත් කර එය මධ්‍යම රජය යටතේ පාලනය වන ප්‍රදේශයක් බවට පත්කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග සමඟ එම ප්‍රදේශය උණුසුම් වුණා.

මේ සමඟම කාශ්මීරයේ ප්‍රදේශයක් ලෙස පැවැති ලදාක් ප්‍රදේශය එයින් වෙන් කර, මධ්‍යම රජය යටතේ පාලනය වන පාලන ප්‍රදේශයක් ලෙස වෙනමම ස්ථාපිත කිරීමටද රජය තීරණය කර තිබෙනවා. මෙය 2019 ඔක්තෝබර් 31 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති.

ලදාක් ප්‍රදේශය සාමාන්‍යයෙන් ප්‍රසිද්ධව පවතින්නේ බෞද්ධ ප්‍රදේශයක් ලෙසයි. ඇත්තෙන්ම එහි දිස්ත්‍රික්ක අතුරින් කාර්ගිල්හි මුස්ලිම්වරුන් බහුතරයක් වන අතර ලේහ්හි බෞද්ධයන් බහුතරය වෙනවා. ආසන්න වශයෙන් බෞද්ධ සහ මුස්ලිම් ලබ්ධිකයන් සමාන ප්‍රමාණයක් ලදාක්හි වෙසෙනවා. කෙසේ නමුත් ටිබෙට් බුදුදහමේ බලපෑම ලදාක්හි ප්‍රකටව දකින්න පුළුවන්.

මූලික තොරතුරු

ලදාක් ප්‍රදේශයේ භූමියේ විශාලත්වය ශ්‍රී ලංකාවට ආසන්නයි. එම ප්‍රදේශය වර්ග කිලෝමීටර් 59,146ක් වන අතර ඉන් වර්ග කිලෝමීටර් 45,110ක් ලෙහ් දිස්ත්‍රික්කයයි. ඉතිරි කොටස කාර්ගිල් දිස්ත්‍රික්කය වෙනවා. මෙයින් කාර්ගිල්හි ජන ඝනත්වය ලෙහ් ප්‍රදේශයට වඩා වැඩියි. දිස්ත්‍රික්ක දෙකේම ආසන්න වශයෙන් සමාන ජනගහනයන් ජීවත් වනවා. 2011 ජන සංගණනය අනුව කාර්ගිල්හි 143,388ක ජනගහනයක් වර්තා වූ අතර ලෙහ් හි එය 147,104ක් වුණා. මේ අනුව ලෙහ් දිස්ත්‍රික්කය ඉන්දියාවේ ජන ඝනත්වය අඩුම ප්‍රදේශයක් වෙනවා. ආගමික සංයුතිය ගත්විට කාර්ගිල් දිස්ත්‍රික්කයේ බහුතර ජනයා ශියා මුස්ලිම්වරුන් වන අතර ලෙහ්හි බහුතර ජනයා ටිබෙට් බුදුදහම අදහන්නන් වෙනවා.

ලදාක් ප්‍රදේශය ස්වභාව සෞන්දර්ය පිළිබඳ ඉතා ප්‍රකට ප්‍රදේශයක් වන අතර විශේෂයෙන්ම ලෙහ් දිස්ත්‍රික්කයේ බෞද්ධ ආරාමයන්ද එහි සුන්දරත්වයටත් ඓතිහාසික වටිනාකම ඉහළ නැංවීමටත් හේතු වෙනවා. ලදාක් ප්‍රදේශය විශේෂයෙන්ම යතුරුපැදි සවාරි සඳහා ප්‍රකට වූ ප්‍රදේශයක්.

ඉතිහාසය

ලදාක් පළාත මුලින්ම ජනාවාස කළේ ‘කම්පා එඬේරුන්’ බවයි විශ්වාස කෙරෙන්නේ. ඔවුන් යැක් ගවයන් ඇති කළා. පසුව ඉන්දු නදිය ඔස්සේ ‘මොන්’ නමින් හඳුන්වන ගෝත්‍රයක් හා ‘බ්‍රොක්පා’ නම් ගෝත්‍රයක් විසින් ජනාවාස පිහිටුවන ලද බව සඳහන්. මොන් ගෝත්‍රික නායකයකු වූ ‘ග්‍යාපචෝ’ නමැත්තා ‘ග්‍යා’ නම් ස්ථානයක සිය අගනුවර පිහිටුවූවා. ඔහු විවිධ එඬේර ආක්‍රමණද පරාජය කිරීමට සමත් වුණා.

මේ සඳහා ග්‍යාපචෝට ‘ස්කිල්ඩේ නමගොන්’ නමැත්තාගේ ආධාර ලැබුණා. ග්‍යාපචෝ විසින් ඔහුට ශේ (Shay) ඇතුළු ප්‍රදේශ කිහිපයක් පවරා දෙනු ලැබුවා. නමගොන්, ශේහි බලකොටුවක් ඉදිකර පසුව ශියා බලය ලදාක් පුරාම පැතිරවූවා. ඔහු 975 සිට 1000 තෙක් රාජ්‍ය පාලනය කළ අතර ලදාක්හි පළමු රජු ලෙසත් සැලකෙනවා.

මෙයින් පසු වසර පන්සියයකට ආසන්න කාලයක් විවිධ පාලකයන් ලදාක් පාලනය කළ අතර එකල ආගමික කටයුතු සහ කලා ශිල්පත් ප්‍රචලිත වුණා. මේ අතර උතුරු ඉන්දීය ප්‍රදේශයන්ට ඉස්ලාමීය බලපෑම පැමිණීමත් සමඟ කලින් කලට මුස්ලිම් පාලකයන් වෙතින්ද තර්ජන එල්ල වුණා. එමෙන්ම විටින් විට එම ප්‍රදේශයේද විවිධ පාලකයන් අතර ගැටුම් ඇතිවුණා.

15 වැනි සියවසේදී භගාන් නම් වූ පාලකයකු ලදාක් ප්‍රදේශය යළි එක්සත් කළා. මෙයින් පසු නැවතත් කලක් යනතුරු ඉස්ලාමීය ආගමික ප්‍රචාරක කටයුතු පසුබා ගියේයැයි පෙනී යනවා. 1679 - 84 සමයේදී ලදාක් සහ ටිබෙටය අතර යුද්ධයක් ඇති වූ අතර ඊට මූගල් අධිරාජ්‍ය ලදාක් පාර්ශ්වයෙන් එක්වුණා. පසුව මූගල් අධිරාජ්‍ය යුද්ධයෙන් ඉවත් වූ අතර යුද්ධය අවසන අත්සන් කළ ගිවිසුමෙන් ලදාක් බොහෝ දුරට ටිබෙට් බලපෑමට යටත් වුණා.

19 වැනි සියවසේදී ලදාක් ප්‍රදේශය කාශ්මීර බලපෑමට ලක්වුණා. කලක් කාශ්මීරය සීක් අධිරාජ්‍ය යටතේ පාලනය වෙද්දී කාශ්මීරයේ පාලකයා ප්‍රාදේශීය පාලකයකු වුණා. එකල සීක් - චිංග් යුද්ධය අවස්ථාවේ සීක් අධිරාජ්‍ය චීන පාලන ප්‍රදේශයන්ට සිය බලය පැතිරවීමට උත්සාහ කර අසාර්ථක වුණා. සීක් අධිරාජ්‍ය ඉන් ස්වල්ප කලකට පසු බ්‍රිතාන්‍ය විසින් අල්ලා ගනු ලැබූ අතර කාශ්මීරය වෙනම පාලන ප්‍රදේශයක් බවට පත්වුණා. ඉන්පසු ලදාක් පාලනය වුණේ එහි කොටසක් ලෙසයි.

අක්සායි චින් ප්‍රදේශය

19 වැනි සියවසේදී ඇතිවූ දේශ සීමා පිළිබඳ මතභේදයක ප්‍රතිඵලයක් ලෙස අක්සායි චින් නම්වූ ප්‍රදේශය පිළිබඳ චීනය සහ ඉන්දියාව අතර මතභේදයක් තිබෙනවා. අක්සායි චින් ප්‍රදේශය දැනට පාලනය කරනු ලබන්නේ චීනය විසින්. නමුත් ඉන්දියාව එය සලකන්නේ ලදාක් ප්‍රදේශයට අයත් ප්‍රදේශයක් ලෙසයි. මෙම ප්‍රදේශය සහ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය පිළිබඳ දේශ සීමා අර්බුදය හේතුවෙන් 1962දී චීනය සහ ඉන්දියාව අතර යුද්ධයක් ද ඇතිවුණා.

මෙම දෙරට 1996දී සිය දේශ සීමා අර්බුදය තාවකාලිකව විසඳා ගත්තේ දැනට පවතින පාලන සීමාවන්ට ගරු කරන බවට එකඟතාවකට එළැඹෙමින්. චීනය විසින් අක්සායි චින් ප්‍රදේශයේ මහාමාර්ග ඉදිකරමින් සිය පාලනය ස්ථාවර කරගත්තා. මේ පිළිබඳව ඉන්දියාව සිටින්නේ නොසතුටින්.

ලදාක් පාලන ප්‍රදේශය

2019 අගෝස්තු 5 වැනිදා ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු ඇමති අමිත් ෂා එරට පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාවට ජම්මු හා කාශ්මීර ප්‍රතිසංවිධාන පනත් කෙටුම්පත ඉදිරිපත් කළා. එමඟින් ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තය කොටස් දෙකකට බෙදා ඒ දෙකම මධ්‍යම රජය විසින් පාලනය කරන ප්‍රදේශ බවට පත් කිරීමට යෝජනා කෙරුණා. මේ අනුව ජම්මු සහ කාශ්මීර් එක් ප්‍රදේශයක් ලෙසත් ලදාක් තවත් පාලන ප්‍රදේශයක් ලෙසත් නම් කිරීමට යෝජනා වුණා.

ලදාක් ප්‍රදේශයේ ජනතාව මෙම වෙනස්කම පිළිබඳ විවිධ අදහස් දරනවා. කාර්ගිල්හි බහුතරයක් දෙනා ඊට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් ලෙහ් ප්‍රදේශයේ බෞද්ධ ජනයා බහුතරයක් දෙනා ඊට සහාය දක්වනවා.

කාශ්මීරයේ සිදුවූ නව වෙනස්කම් පිළිබඳ පාකිස්තානය දැඩි සේ විරුද්ධත්වය පළ කරනවා. ඉන්දියාව කියා සිටින්නේ මෙය තම අභ්‍යන්තර කරුණක් බවයි. මේ අතර පාකිස්තානය යටතේ පවතින කාශ්මීර් ප්‍රදේශ සහ චීනය යටතේ පවතින අක්සායි චින් ප්‍රදේශයද ඉන්දීය කාශ්මීරයේම කොටස් බව ඉන්දියාව කියා සිටිනවා.

ලදාක් වෙනම පාලන ප්‍රදේශයක් වීම පිළිබඳ චීනයද තරමක් අවධානයෙන් පසුවනවා. එතුළින් අක්සායි චින් පිළිබඳ ගැටුම නැවත කරළියට එනු ඇතැයි චීනය සැක කරන බව පෙනී යනවා.

[චාමර සුමනපාල]

 

මාතෘකා