ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවක්

 ඡායාරූපය:

ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවක්

පසුගිය සෙනසුරාදා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පැවැත්වුණු මංගල්‍යොත්සවයක් සාමූහික අවමඟුලක් කරමින් බෝම්බ දෙකක් පුපුරා ගියේය. එකක් ස්වයංඝාතක බෝම්බයකි. අනෙක බෝම්බ ඇටවූ මෝටර් රියකි. මේ ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත් වූහ’යි බීබීසීය වාර්තා කරන සංඛ්‍යාව 63කි. තුවාල ලැබූ සංඛ්‍යාව 160 ඉක්මවූ බව සඳහන්ය. ඒ අතරින් බොහෝ දෙනෙකුගේ සිරුරුවලට බරපතළ හානි සිදුව ඇති බවද පැවසේ.

මේ ප්‍රහාරයේ වගකීම ‘ඉස්ලාමීය රාජ්‍යය’ (IS) නම් ත්‍රස්ත සංවිධානය විසින් බාර ගනු ලැබූ බවත් ඇෆ්ගනිස්තානයේ ප්‍රබල ලෙස ව්‍යාප්තව සිටින තාලිබාන් හෙවත් තලේබාන් නම් එබඳුම සංවිධානය මෙම ප්‍රහාරය විවේචනාත්මකව හෙළා දකින බවත් වාර්තාවල දැක්වේ.

මංගල්‍යොත්සවය ෂියා ලබ්ධික හසාරා ගෝත්‍රික පවුල් දෙකක් අතර සිදු වූවකි. ප්‍රහාරයට හේතුව විය හැක්කේ ඔවුන් සුන්නි නොවීම පමණි. ඇෆ්ගනිස්තානයේ හසාරා ගෝත්‍රිකයන්ට ප්‍රහාර එල්ල කිරීම මෝස්තරයකි.

ඉංගිරිසි මාධ්‍යයේ IS යනුවෙන් කෙටියෙන් හැඳින්වෙන Islamic State of Iraq and Syria - ISIS හෙවත් Islamic State of Iraq and Levant - ISIL ලෙස ද හැඳින්වෙන අන්තවාදී ඉස්ලාම් ත්‍රස්ත සංවිධානය ඉස්ලාමයේ සුන්නි පාර්ශ්වය නියෝජනය කරන අතර ශරියා නීති අනුව ලොවම පාලනය විය යුතුය යන මතයේ සිටින ව්‍යසනකාරී කණ්ඩායමකි. තාලිබාන්ද ඒ මතයම දරන නමුත් කුරානයේ 9:5 සහ 9:26 යටතේ අන්‍ය ලබ්ධිකයන් ඝාතනය කොට මුළු ලොවම අල්ලා ගත යුතුය යන මතයේ නොපිහිටයි.

ලොවම දෙවියන් වහන්සේගේ රාජ්‍යය හෙවත් කැලිෆේටය විය යුතුය සහ තමන් එහි පාලකයන් විය යුතුය යන අදහසේ තරයේ පිහිටා සිටින ඉස්ලාමීය රාජ්‍යයේ රාජධානිය කලාප 10කින් සමන්විතය. ඒ වනාහි ලිබියානු, සිනායි, යේමන, ඇල්ජීරියානු, ඛොරසොන් (ISIL-K) බටහිර අෆ්‍රිකානු, කොකේසස්, සොමාලියා, මධ්‍යම අෆ්‍රිකානු සහ ඉතාම මෑතක එක් වූ ඉන්දියානු යන ප්‍රදේශයි. මේ අතරින් රටක නමක් නැති කලාප වන සිනායි, ඛොරසොන් සහ කොකේසස් පිළිවෙළින් ඊජිප්තුවේ සිනායි අඩ දිවයින ආශ්‍රිත ප්‍රදේශය, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය සහ රුසියාවේ උතුරු කොකේසස් ප්‍රදේශය ආශ්‍රිත කලාපය වේ. මෙහි ඉන්දියානු කලාපයට ශ්‍රී ලංකාවද අයත්ය.

ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන ලොවටම තර්ජනයක් වන හෙයින් ඒ ගැන පරීක්‍ෂා කොට තත්ත්වයේ බැරෑරුම්කම සාමාජික රාජ්‍යවල අවධානයට යොමු කිරීම සිය කාර්යභාරයට අයත් ලෙස සලකන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊට අදාළව යෝජනා විස්සක් පමණ සම්මත කොට ඇත. ඒ යෝජනා අනුව 2015 මැද හරියේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විමසුම් ඇස මෙම සංවිධාන කෙරේ යොමු විය. ඒ අනුව ආරක්ෂක කවුන්සිලයේ විශේෂ කමිටුවක් විසින් සැම සිව්මසකට වරක් එම සංවිධානය, අල්ඛයිඩා, විවිධ පුද්ගලයන් සහ නොයෙක් අස්තිත්ව (entities) ගැන මූලික උපායමාර්ගික මට්ටමේ වාර්තාවක් ද තර්ජනයේ බරපතළකම සහ එක්සත් ජාතීන්ට ක්‍රියාත්මක විය හැකි වපසරිය පිළිබඳව සකස් කරනු ලබන වාර්තාවක් සෑම සමසකටම වරක් ද යනාදී වශයෙන් වාර්තා දෙකක් මහ ලේකම්ගේ අත්සනින් යුතුව සාමාජික රටවලට නිකුත් කෙරේ.

තාලිබාන් සංවිධානයද තහනම් ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් වන නමුත් මෑතක සිට එක්සත් ජාතීන් ඔවුන් ගැන විශ්වාසයකින් සිටින සෙයක් දක්නා ලැබේ. ඊට හේතුව අැමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත්කරුවකු මගින් සාම මාවතට අවතීර්ණ වීමට ඔවුන් පියවර තැබීම අරඹා ඇති හෙයින් විය හැකි අතර මේ ප්‍රහාරය ගැන තාලිබාන් විරෝධය පළ වී ඇත්තේද එහි ආංශික ප්‍රතිඵලයක් ලෙස විය හැකිය. ‘ස්ත්‍රීන් සහ ළමයින් ඉලක්ක කැර ගනිමින් සැලසුම්සහගත ලෙස මෙබඳු ක්‍රෑර අමානුෂික ප්‍රහාරයක් එල්ල කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකිය.’ ඔවුන් විසින් මාධ්‍යට නිකුත් කරන ලද පණිවුඩයේ පැවසේ.

ආරක්ෂක කවුන්සිලය විසින් 1267 (1999), 1989 (2011), සහ 2253 (2015) යන යෝජනාවලට අනුව ISIL, අල්ඛයිඩා සහ අනෙක් ඒවා ගැන සකස් කරන ලද අංක S/2019/570 දරන වාර්තාව පසුගිය ජූලි 15 දාතමින් නිකුත් විය. එය නිකුත්ව මේ වන විට මසක් පමණ ගත වී ඇතත් එය නිර්දේශ සහිත වාර්තාවක් බැවින් සහ තොරතුරු යල් පැනගිය ඒවා නොවන බැවින් සාකච්ඡාවට තවමත් පමා නැත.

වාර්තාව පංචාංගය. එහි මුලින් පරිච්ඡේදයේ මාතාකාව වන්නේ සමස්ත විග්‍රහය සහ ඉස්ලාම් අන්වාදීන්ගේ තර්ජනය යන්නයි. දෙවැන්න කලාපීය වශයෙන් එල්ල වී ඇති තර්ජන වෙයි. ලැවෙන්ට්, අරාබි අර්ධද්වීපය, යුරෝපය, අෆ්‍රිකාව සහ ආසියාව යන කලාප යටතේ එය විග්‍රහ කොට ඇත. ලැවෙන්ට් යනු සිරියාව සහ ඉරාකය ඇතුළු මධ්‍යධරණී මුහුදට මුහුණ ලා ඇති රටවල්ය. මෙහි අැමෙරිකාව කලාපයක් ලෙස ගෙන නැත්තේ මෑතක අැමෙරිකානු කලාපයේ රටවලට ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාර එල්ල නොවූ නිසා විය හැකිය. ඉහත කලාප නැවතත් උප කලාපවලට බෙදා තිබේ.

තුන්වන පරිච්ඡේදයේ එන්නේ ගැටුම් ඇගයීමයි. ඒ යටතේ ත්‍රස්තවාදයට මූල්‍ය සම්පාදනයද, සංස්කෘතික උරුමයන් සහ විදේශීය ත්‍රස්ත සටන්කරුවන් ආපසු සිය රටට පැමිණීම සහ වෙනත් රටවල ප්‍රති-ස්ථානගත වීම යන අනු මාතෘකා යටතේ විග්‍රහ කොට ඇත. සිව්වැනි පරිච්ඡේදයේ සම්බාධක මිනුම් ගැන සාකච්ඡා කෙරේ. ඒ යටතේ අනු මාතෘකා තුනකි. සංචාර තහනම් කිරීම, වත්කම් ගල් කිරීම සහ අවි වෙළෙඳාම තහනම් කිරීම යනු ඒවායි. ඒවා නිරීක්‍ෂණ මත එළැඹි නිගමන සහ යෝජනා සේ සැලකිය හැකි ය. පස්වන පරිචඡේදයේ එන්නේ නියාමන කණ්ඩායමේ ක්‍රියාකාරකම් සහ පසුවිපරමයි. මේ සමස්ත වාර්තාව ඡේද 101කින් නිම වේ. ඉහත සඳහන් වාර්තාවේ 64, 65 සහ 66 ඡේද ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වෙන් වී ඇත. ඒ මෙසේය:

64- අප්‍රේල් 21 දා ශ්‍රී ලංකාවේ නගර තුනක ස්ථාන හතක ක්‍රිස්තියානි දේවස්ථානවලට හා සුඛෝපභෝගී හෝටල්වලට එල්ල වූ පාස්කු ඉරිදා ස්වයං ඝාතක බෝම්බ ප්‍රහාරයේ ප්‍රතිඵලය වූයේ 258 දෙනකු මරණයට පත් වීමයි. මෙම බෝම්බ ප්‍රහාර මෙහෙයවන ලද්දේ ජාතික තව්හීද් ජමාත් (NTJ) සහ ජම්මියාතුල් ම්ල්ලාතු ඊබ්‍රහිම් (JMI) නමැති සංවිධාන විසිනි. NTJ 2014ට පෙර පිහිටුවන ලද්දක් වන අතර ප්‍රහාරයට පෙර එයට සාමාජිකයන් 50ක් පමණ සිට ඇත. JMI 2015දී අරඹන ලද්දකි. එහි සිටින්නට ඇතැයි ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135කි. මේ ස්වයංඝාතක බෝම්බකරුවන් අතරින් දෙතුන් දෙනෙක් සිරියාවට ගොස් ISIL වෙතින් අවි පුහුණුව ලබා ඇත. ප්‍රහාරවලට පෙර පුපුරන ද්‍රව්‍ය විශේෂඥයන් සැණෙන් පුපුරන මෙවලම් සකස් කිරීමේ ලා අන්තර්ජාලයෙන් ISIL ක්‍රමවේද හදාරා ඇති බව විශ්වාස කෙරේ. බෝලබෙයාරිං, ඇණ සහ නොයෙක් රසායන ද්‍රව්‍ය මිශ්‍රණ බෝම්බ නිපදවීමේදී උපයෝගි කැර ගනු ලැබ ඇත. විදුලි බුබුලුවල සූත්‍රිකා සහ සේදුම් යන්ත්‍රවල කාල මාපකද මූලික වශයෙන් යොදා ගත් බව පෙනේ. මේ ප්‍රහාරයේ වගකීම ISIL බාර ගන්නා ලද නමුත් සාමාජික රාජ්‍යය අනාවරණය කැර ගෙන ඇත්තේ මේ ප්‍රහාරයට එම සංවිධානයේ මධ්‍ය කේන්ද්‍රය කිසිදු පහසුකමක් සපයා නොමැති බවත් ඔවුන් ප්‍රහාරකයන් නොහඳුනන බවත් එය ඔවුන්ගේ මතවාදය නිසා ප්‍රබෝධකර ආවේගයෙන් උද්‍යෝගිමත් වූවන් විසින් මඟ පෙන්වන ලදුව දේශීයව ප්‍රේරණය වූ ක්‍රියාවක් බවත්ය. බෝම්බ ප්‍රහාරය, ඉරාකයේදී සහ සිරියාවේදී ඔවුන් ලද පරාජයෙන් පසු සිය ප්‍රතිරූපය ගෝලීයව ඉහළ තලයකට ගෙන ඊම ඉලක්කය ඇතිව සිදු වූවකි.

65- සිය කලාපයේ ගතික ස්වභාවය ගැන සාමාජික රාජ්‍ය- විශේෂයෙන්ම ශ්‍රී ලංකාව, දකුණු ඉන්දියාව සහ මැලේසියාව- කනස්සලුසහගත වෙති. මේවා අභ්‍යන්තර තර්ජනවලට හේතු කාරක විය හැකිය. 2013 සිට මෝල්ඩිවියානුවන් 170ක් දෙනා ඉරාකයේ සහ සිරියාවේ සංචාරය කොට ඇති අතර තවත් 70ක් දෙනා ඊට තැත් දරා අසාර්ථක වී ඇත. පසුගිය මාර්තු මාසයේ දරුවන් සිව්දෙනකු ද ඇතුළත් සිරියානු පවුලක් සිරියාවේ සිට ඇෆ්ගනිස්තානය පැමිණ ISIL-K ට සම්බන්ධ වීමට උත්සාහ ගෙන ඇත.

66- ISIL සිය ව්‍යාජ රාජ්‍යයේ සිට ගෝලීය ත්‍රස්තවාදය නියාමනය කිරීමට සහ අනුප්‍රාණය සැපයීමට පරිනාමණය වීමේදී පෙර ඔවුන් ක්‍රියාත්මක නොවූ පෙදෙස්වල සිය ක්‍රියාකාරකම් සඳහා වේදිකාවක් නිර්මාණය කැර ගන්නට ඉලක්ක කරනවා විය හැකි ය. ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය අනපේක්‍ෂිත ප්‍රදේශයක අනාගත ISIL ප්‍රහාරයක සැලසුමක නිල් මුද්‍රණයක් (blue print) හෙවත් ස්ථාවර සැලසුමක් ලෙස සැලකිය හැකිය. විදේශවලදී පුහුණුව ලැබූ සහ ක්‍රියාන්විතවල යෙදුණු ත්‍රස්තයන් ඉරාකයේ සහ සිරියාවේ සිට ආපසු සියරට පැමිණීම දකුණු ආසියාවේ මතු නොව ලොව ඕනෑම රටක දේශජ පුද්ගලයන් රැඩිකල්කරණයට හේතු වනු ඇත.

ශ්‍රී ලංකාවේ බලධාරීන් පුන පුනා ප්‍රකාශ කළේත් කරන්නේත් මෙම ප්‍රහාරයට ISIL ඍජු සම්බන්ධයක් නොමැති බවයි. ඉහත 64 ඡෙදය සකස් වී ඇත්තේ මෙරට බලධාරීන්ගේ ඒ ප්‍රකාශ පදනම් කැර ගනිමිනි. එහෙත් එම ඡේදයේ අවසානයේ එන වැකිය මෙසේ ය: The bombings aimed to boost the global image of ISIL after its military defeat in Iraq and the Syrian Arab Republic. මෙය ඊට පෙර ඇති ‘Despite the claim of responsibility by ISIL, Member State investigations revealed that the ISIL core did not direct or facilitate the attacks, nor did it know about them in advance.’ යන වැකියේ අරුතට වෙනස් දෙයක් කියයි. ඉංගිරිසි වැකි එලෙසින්ම යොදන ලද්දේ සැසඳීමේ පහසුව උදෙසාය. මෙහි සාමාජික රාජ්‍යය යනු ශ්‍රී ලංකාවයි.

මෙරට බලධාරීන් තවමත් සිටින්නේ හේමසිරි ප්‍රනාන්දු ආරක්‍ෂක ලේකම් ලෙස ගත කළ අවසාන දවස්වල සිටි මානසිකත්වයේම බවට මෙය තහවුරුවකි. ප්‍රහාරයෙන් පසුව විදෙස් මාධ්‍යවලට ඔහු කීවේ තමන් දැනුම්වත් වූ බවත් එහෙත් ‘එච්චර ගණන් නොගත් බවත්’ය. ඉහළ වැටුපක් ලැබූ ඒ රාජ්‍ය නිලධාරියාගේ ඒ ගණන් නොගැනීමට වන්දි ගෙව්වේ මේ රටේ අහිංසක මිනිසුන්ය. 258ක් ජීවිතවලිනි. කම්පාවට පත්ව සිටින ගණන කිව නොහැකිය.

ශ්‍රී ලංකාවේ බෝම්බකරුවන් සතුව හෝඩුවාවක් සොයා ගත නොහැකි සන්නිවේදන උපකරණ තිබූ බව සිද්ධිය වූ අලුත ප්‍රවෘත්තිවල සඳහන් වුණා අපට මතකය. ඔවුන් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය සමග ඒවායින් සම්බන්ධ වී සිටියානම් සහ හෝඩුවා සොයාගත නොහැකි නම් එම සංවිධානය මීට ඍජුවම සම්බන්ධ නැතැයි ස්ථිරවම කියන්නේ කෙසේද යන්න ගැටලුවකි.

එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය විසින් නිකුත් කරනු ලබන මෙම වාර්තා අපේ ආරක්‍ෂක බලධාරීන්ගේ අවධානයට යොමු නොවන බව සිතෙන විට ඇති වන්නේ කනස්සල්ලකි. අවධානය යොමු වුණා නම් මනුෂ්‍යයන් තුන් හාරසියයකට වූ හානිය වළක්වා ගැනීමට පුළුවන්කම තිබිණි. ආරක්‍ෂාව යන්නට අශ්වයා ගියාට පසු ස්තාලය වසා දැමීම සහ සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම පමණක් නොව සිදු වීමට අනාගතයේ ඉඩ ඇති දෙයක් වළක්වාලීමද ඇතුළත් බව සාමාන්‍ය ජීවිතයට පවා අදාළ කරුණකි. එසේනම් ජාතික ආරක්‍ෂාවට එය අදාළ වන ආකාරය ගැන අමුතුවෙන් කිව යුතු නැත.

ආරක්ෂක කවුන්සිලය විසින් S/RES/2368 (2017) යන අංකයෙන් ජූලි 20 දාතමින් යුතුව මිට අදාළවම තවත් වාර්තාවක් ද ඉදිරිපත් කරනු ලැබ තිබේ.”

මාතෘකා