ගිනිගත් ප්‍රංශ හදවත 'නෝට්‍ර ඩාම්'

 ඡායාරූපය:

ගිනිගත් ප්‍රංශ හදවත 'නෝට්‍ර ඩාම්'

ලොව පුරා කිතුනු බැතිමතුන් මේ ගතකරමින් සිටින්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කරන ශුද්ධ වූ සතියයි. ලබන සිකුරාදා ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසපත් වීමේ දිනය හෙවත් මහ සිකුරාදා දිනය සමරනු ලබයි. එසේ තිබියදී පසුගිය අඟහරුවාදා අසන්නට දකින්නට ලැබුණු එක්තරා සිදුවීමක් නිසා කිතුනු බැතිමතුන් පමණක් නොව සමස්ත ලෝකවාසීහුද අතිශය කම්පාවට පත්වූහ.

වසර 850ක් පමණ ඉපැරණි සිද්ධස්ථානයක් වන පැරීසියේ සේන් නදිය අසබඩ පිහිටි 'නෝට්‍ර ඩාම්' පෙරේදා (15දා) ප්‍රංශ වේලාවෙන් පස්වරු 6.45ට පමණ සිදුවූ හදිසි ගිනි ගැනීමකට ලක්වීමේ ඒ පුවත බොහෝ දෙනකුගේ සිත් කම්පාවට පත් කළේය. ප්‍රංශයේ හදවත ලෙස සැලකෙන මෙම බැසිලිකා සිද්ධස්ථානය ලොව පුරා කිතුනු බැතිමතුන් අතර අතිශය බුහුමනට පාත්‍ර වී තිබෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය දුක්ප්‍රාප්තියේදී හිස පැලඳි කටු ඔටුන්න එහි තැන්පත් කර තිබෙන නිසාය. ඊට අමතරව මුළුමනින්ම කලාගාරයක් බඳු 'නෝට්‍ර ඩාම්' සිද්ධස්ථානය ප්‍රංශයේ අපූර්වතම වාස්තු විද්‍යාවේ, සංස්කෘතියේ සහ ජාතියේ විශිෂ්ට සංකේතයක් සැලකේ. වසරකට සංචාරකයන් මිලියන 13කට වැඩි පිරිසක් පැමිණීම හේතුවෙන් යුනෙස්කෝව මඟින් ලෝක උරුමයක් ලෙසද නම් කර තිබෙන මෙම දේවස්ථානයේ ඇතිවූ එම හදිසි ගින්න නිවාදැමීමට පැය 9ක පමණ කාලයක් මුළුල්ලේ ප්‍රංශ ගිනි නිවන භටයන් 500කට අධික සංඛ්‍යාවක් දැඩි පරිශ්‍රමයක් දරනු ලැබිණ. ඒ අවස්ථාවේ පැවති දැඩි සුළඟ හේතුවෙන් ඉතා වේගයෙන් පැතිරී ගිය ගින්නෙන් ලී කැටයමින් අලංකාර වූ සිද්ධස්ථානයේ මුදුන් කොත සහ ගොඩනැඟිල්ලේ වහලයෙන් තුනෙන් එකක් පමණ සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී ඇති අතර ප්‍රධාන ගොඩනැඟිල්ල සහ කුලුනු දෙක ගින්නෙන් බේරා ගැනීමට ප්‍රංශ ආරක්ෂක අංශ සමත් විය.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ වූ කටු ඔටුන්න ගින්නෙන් බේරා ගැනීමට හැකිවීමත් සහ එයින් කිසිදු ජීවිත හානියක් සිදුනොවීමත් ගැන එම ඛේදවාචකය පිළිබඳ දුක් සුසුම් හෙළූ හැම කෙනකුටම සැනසුම් සුසුමක්ද හෙළිය හැකිය. ඒ විදෙස් මාධ්‍ය සහ සමාජ ජාලා පුවත් දසුන් අනුව සිය දෑස් ඉදිරිපිට 'නෝට්‍ර ඩාම්' ගිනි ගන්නා අයුරු හඬා වැලපෙමින් යදිමින් සිටි ජනතාව දකින විට ඒ ගැන කම්පාවක් නූපන් හදවතක් වූයේ නම් ඒ කලාතුරකින් වූ නිසාය. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් මාධ්‍යට ප්‍රකාශ කර තිබුණේද එය ජාතියේ ඛේදවාචකයක් ලෙසටය.

ලොව බහුතර සිත්සතන්වලට එතරම් විසල් කම්පනයක් ගෙනදුන් ගොතික් සම්ප්‍රදායේ විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකෙන මෙම සිද්ධස්ථානය හඳුන්වන 'නෝට්‍ර ඩාම්' යන්නෙහි අරුත වන්නේ "අප ස්වාමි දූ" හෙවත් "කන්‍යා මවුතුමිය" යන්නයි. ඒ නම ලැබීමට සුප්‍රකට සාහිත්‍යධර වික්ටර් හියුගෝගේ 'ඩේම් ඩි පැරිස්' විශිෂ්ට නවකතාවද ඉවහල් වී ති‍බෙන බව බොහෝ දෙනා දන්නා කරුණකි.

සුන්දර සේන් ගඟ පෙනෙන මානයේ පැරීසියේ නෙක ගොඩනැඟිලි අතරින් ප්‍රතාපවත් ලෙස නැඟී සිටි 'නෝට්‍ර ඩාම්' හි ඉපැරණි වහලය, ආරුක්කු, ගල් කැටයම්, සාන්තුවර ප්‍රතිමා මෙන්ම එහි දැවැන්ත බිත්තිවල ඇති වර්ණවත් වීදුරු කවුළු මෙන්ම දේවස්ථානය හතර කොණේ ඇති සුවිශේෂක කතෘවරුන්ගේ සංකේත පිළිඹිබු කරන ස්මාරක සහ සාන්ත තෝමස් ප්‍රතිමාවද එහි වන අපූරුම නිර්මාණයන්ය. බුර බුරා නැඟුණු ගිනි දලු අතරින් කාලාන්තරයක් තිස්සේ අහස සිපගත් දේවස්ථානයේ මුදුන් කොත කඩා වැටෙන දසුන විදෙස් මාධ්‍ය වාර්තා කළේ බොහෝ දෙනකුගේ දෙනෙතට කඳුළු නංවමිනි.

සුන්දර සහ විශිෂ්ට කලාගාරයක් බඳු මෙම බැසිලිකා සිද්ධස්ථානයේ ඉදිකිරීම් 11 වැනි සියවසේදී (වර්ෂ 1163දී) ආරම්භ වී ඇති අතර එම ඉදිකිරීම් නිමවී ඇත්තේ වර්ෂ 1345දීය. සිද්ධස්ථානයේ ප්‍රධාන කුලුනු දෙකක් පිහිටා ඇති අතර මීටර් 270ක උසින් යුතු එම කුලුනු 1889දී අයිෆල් කුලුනේ වැඩ නිම කරන තෙක් පැරිසියේ උසම කුලුනු විය. දකුණු කුලුනට වඩා එහි උතුරු කුලුන තරමක් විශාල වන අතර එය සිද්ධස්ථානය ඉදිරිපිටම වේ. පඩි පෙළක් ඔස්සේ අමුත්තන්ට එයට ප්‍රවේශ විය හැකි අතර එම පඩිපෙළ අඩි 387කින් සමන්විත වේ. එම පඩිපෙළ ඔස්සේ ගොතික් කලාවේ අපූර්වත්වය විදහාපාන ශාලාවකට අවතීර්ණ විය හැකි අතර එහි පැරණි චිත්‍ර හා මූර්ති එකතුවක් දැකගත හැකිය.

ගින්නෙන් විනාශ වූ සිද්ධස්ථානයේ මුදුනත වූ කොතෙහි උස අඩි 300කි. කතෝලික සභාවට අයත් මෙම සිද්ධස්ථානයේ පරිපාලකයා වන්නේ ප්‍රංශ අගරදගුරුවරයාය. ශතවර්ෂ ගණනාවක් තිස්සේ විවිධ වෙනස්කම්වලට ලක්වූ 'නෝට්‍ර ඩාම්'හි නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයාගේ රාජාභිෂේකය මෙන්ම ප්‍රංශ ජනාධිපතිවරු කිහිපදෙනකුගේම අවමංගල උත්සවද පවත්වා තිබේ. මෙම දේවස්ථානයේ වන සුවිශේෂිතා අතර පුරාවිද්‍යාත්මක සොහොන් ගැබක් සහ පයිප්ප දහස් ගණනකින් යුතු ඉපැරණි පයිප්ප ඕගනයක්ද වේ.

සියවස් දෙකක් තිස්සේ ගොඩනඟන ලද 'නෝට්‍ර ඩාම්' සිද්ධස්ථානය පැය කිහිපයක් තිස්සේ ගිනිගෙන දැවෙද්දී කිතුනුවන් බොහෝ දෙනකු ශෝකයෙන් ඇලළී ගියේ එහි තැන්පත් කර තිබූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය දුක් ප්‍රාප්තියේදී පැලඳ සිටි කටු ඔටුන්නට කුමක් සිදුවේදැයි කම්පාවෙනි. ජෙරුසලමේ සිට ප්‍රංශයට ගෙන එන ලද එම ශුද්ධ වූ කටු ඔටුන්න 13 වැනි සියවස දක්වා තැන්පත් කර තිබුණේ ප්‍රංශයේ ඒ වෙනුවෙන්ම ඉදිකළ කුඩා දේවස්ථානයකය. පසුව එය ක්‍රි.ව 1238 එවකට ප්‍රංශයේ පාලකයා වූ 9 වැනි ලුයිස් රජුගේ අනුග්‍රහයෙන් මෙම සිද්ධස්ථානය වෙත ගෙනැවිත් කැටයම් කළ රන් බඳුනක බහා වීදුරු බඳුනක තැන්පත් කර තිබිණ. එය ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිකරන ශුද්ධ වූ සතියේ මහ සිකුරාදා දේව මෙහෙයට පමණක් අල්තාරය වෙතට රැගෙන එන අතර අනෙක් දිනවලදී එය සිද්ධස්ථානයේ මැද කොටසෙහි මහජනතාවට නිරාවරණය නොවූ තැනක ගෞරවාන්විතව තැන්පත් කර තිබේ. ගින්න පැතිර යන අවස්ථාවේදී එම ශුද්ධවූ කටු ඔටුන්න සහ ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමට භාවිත කළ ඇනයක් ඇතුළු පෞරාණික දෑ සහ කලා කෘතීන් බොහොමයක් ගිනි නිවන භටයන් පොලිසිය සමඟ එක්ව මහත් පරිශ්‍රමයකින් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළහ. ගිනි නිවන භටයන් සමඟ දේවස්ථානයට ඇතුළු වූ මාර්ක් ෆුර්නිර් නම් පියතුමකු ඇවිළෙන ගිනි දැල් සහ සුන්බුන් අතරින් තම දිවි නොතකා කටු ඔටුන්න තැන්පත් කර තිබූ ස්ථානයට ගොස් එය ප්‍රවේශමෙන් බේරාගෙන පිටතට ගෙන ආ බවත් ගින්න ඇවිළෙමින් තිබියදී සිද්ධස්ථානයට ඉහළ අහසේ සැරිසැරූ පරවියන් තිදෙනෙක් පිළිබඳවත් විදෙස් මාධ්‍ය සහ සමාජ ජාලා වාර්තා කර තිබිණ.

සිද්ධස්ථානයේ බිත්තිවල ඇතිවී තිබූ පැලුම් නිසා එය අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ පසුගිය වසරේදීය. එම ප්‍රතිසංස්කරණ කටයුතු 2022දී අවසන් වීමට නියමිතව තිබිණ. ගින්න හටගෙන ඇත්තේ පිළිසකර කිරීම්වල නිරත කම්කරුවන් සේවය අවසන් කර දේවස්ථානයෙන් පිටව ගොස් සිටියදී වන අතර ඊට පෙරදින සිද්ධස්ථානයේ වූ විශාල ප්‍රතිමා 16ක් සහ වහලයේ සහ ඇතුළත වූ සැරසිලි ද්‍රව්‍ය තාවකාලිකව එම ස්ථානවලින් ඉවත් කර තිබේ. එම නිසා ඒ සියල්ල ගින්නෙන් ආරක්ෂා වී ඇතත් ලී සහ ඊයම් සහිත වහලය තුනෙන් එකක් පමණ මෙම ගින්නෙන් විනාශ වූ අතර සිද්ධස්ථානය ඇතුළත බිත්තිවල සහ ජනේලවල වූ වීදුරු සහිත කලාකෘතිවලට සැලකිය යුතු හානියක් සිදුවී තිබේ.

ගින්නෙන් සිදුවූ සම්පූර්ණ හානිය පිළිබඳ තවමත් තක්සේරු කරමින් සිටින අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර එය ප්‍රතිසංස්කරණ කටයුතු අතර සිදුවූ විදුලි කාන්දුවක් හෝ ගිනි ගැනීමක් නිසා සිදුවන්නට ඇතැයි දැනට විශ්වාස කෙරේ. කෙසේ වෙතත් එම ගින්න තවත් පැය භාගයක කාලයක් පැතිර ගියේ නම් සම්පූර්ණ දේවස්ථානයම විනාශ වීමට ඉඩ තිබූ බව ප්‍රංශ බලධාරීන් පවසා තිබේ. සිද්ධස්ථානය ගිනි ගන්නා කාලය පුරාවට ඒ දෙස බලාගෙන අඛණ්ඩ යාච්ඥාවේ පසුවූ ජනතාව ගින්න මැඬලූ ගිනි නිවන භටයන් ඇතුළු පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ හරසර පිරිනැමූ ආකාරයද ඉතා හැඟීම්බර අවස්ථාවක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ. පැරිස් ගිනි නිවන ඒකකය පසුගිය වසරේදී මෙවැනි සිද්ධස්ථානයක සිදුවන හදිසි ගින්නක් මැඬලීම සඳහා පුහුණු අභ්‍යාස දෙකක් පවත්වා තිබීමද මෙම ගින්න මීට වඩා විනාශයකින් තොරව නිවා දැමීමට උපකාරී වී තිබේ.

සිද්ධස්ථානයේ ගොඩනැගිල්ලේ විනාශ වූ කොටස් යළි ඒ ආකාරයෙන්ම ගොඩනඟන බවට ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ප්‍රතිඥාවක් ලබාදී ඇති අතර පැය 24ක් ඇතුළත ඩොලර් මිලියන700ක ප්‍රතිපාදන ලබා දෙන අරමුදල් රැස් කිරීමේ ව්‍යාපාරයක්ද දියත් කර තිබේ. විනාශ වූ කලා කෘති ආදිය එලෙසින්ම නිර්මාණය කිරීමට වසර ගණනාවක් ගතවිය හැකි බව බොහෝ දෙනකුගේ අදහස වුවද හැකි ඉක්මනින් එම කටයුතු නිමකරන බව ප්‍රංශ ජනපති ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණ. මෙම මිල කළ නොහැකි උරුමය යළි ගොඩනැඟීමට ප්‍රංශය සමඟ අත්වැල් බැඳ ගන්නා බව යුනෙස්කෝ සංවිධානයද ප්‍රකාශ කර තිබේ. ගින්නෙන් විනාශ වූ ප්‍රංශයේ හදවත "නෝට්‍ර ඩාම්" යළි සකස් කිරීමට යුරෝ මිලියන 500ක මුදලක් ලබාදීමට එරට දානපතියන් තිදෙනකුද මේ වන විට ඉදිරිපත් වී සිටී.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා