විකිලීක්ස් ‘අකටයුතු නාදකයාගේ’ ඉරණම?

 ඡායාරූපය:

විකිලීක්ස් ‘අකටයුතු නාදකයාගේ’ ඉරණම?

2012 වසරේ සිට බ්‍රිතාන්‍යයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ සුරක්‍ෂාවරණය ලබමින් සිටි විකිලීක්ස් මාධ්‍ය ජාලයේ සමාරම්භක ජුලියන් අසාංශ් පසුගිය බ්‍රහස්පතින්දා ලන්ඩන් මෙට්රොපොලිටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදුව පොලිස් රිය කරා ඇදගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝ මාධ්‍යයේ ප්‍රදර්ශනය කැරිණි. එසේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු මධ්‍යම ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී. මැයි 02 දින ඔහු ලන්ඩනයේ සවුත්වාර්ක් ක්‍රවුන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර 2012 වසරේ අධිකරණය විසින් නියම කරන ලද ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාවට මාස දොළහක සිර දඬුවමක් නියම කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2012 ජුනි මස එවකට ඉක්වදෝරයේ ජනාධිපතිව සිටි මධ්‍ය දක්ෂිණාංශික රෆායෙල් කොරෙයා ලන්ඩනයේ පිහිටි සිය රටේ තානාපති කාර්යාලයේ ඔහුට සුරක්‍ෂාව සැපයීය. එසමයේ අමෙරිකානු රටවල රාජ්‍ය නායකයන්ගේ සහාය කොරෙයාට ලැබිණි. එහෙත් දැන් අමෙරිකානු රටවල් බොහොමයක් දක්ෂිණාවෘත වී ඇති අතර ආධාර අහිමිවීවලට මෙන්ම සම්බාධක පැනවීම්වලටද බියෙන් එක්සත් ජනපදයේ වචනයට පිටින් යන්නේ නැත. 2017 මැයි මාසයේ දක්ෂිණාංශික ලෙනින් මොරිනෝ ඉක්වදෝරයේ ජනාධිපති වීමත් සමග අසාංශ් ගැන ඉක්වදෝර් රජයේ ආකල්ප වෙනස් විය. ඒ අනුව ඉක්වදෝර් ජනාධිපතිවරයා විසින් පසුගිය බ්‍රහස්පතින්දා සුරක්‍ෂාව ආපසු කැඳවන ලද අතර ඒ අනුව බ්‍රිතාන්‍ය පොලිසියට අසාංශ් අත්අඩංගුවට ගන්නට අවස්ථාව උදා විය.

ජුලියන් අසාංශ් මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද්දේ ඇප කොන්දේසි කඩ කරමින් අධිකරණයේ පෙනී නොසිටියේය යන චෝදනාව යටතේ වුවද ඔහුට එරෙහිව තවත් නඩු කිහිපයක්ම තිබේ. වසර 10කට පමණ පෙර ස්වීඩ්න් ස්ත්‍රියක් ලිංගික බලහාත්කාරකමක් ගැන ඔහුට එරෙහිව පැමිණිල්ලක් කරන ලද අතර මෙතෙක් ඒ නඩුකරය යටපත්ව තිබී නැවත ඉස්මතු වී තිබේ. හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ජයග්‍රහණය වළක්වා ලන්නට කටයුතු කළේ යැයි තවත් චෝදනාවකි. වඩාත්ම බරපතළ එක වනුයේ අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය රහස් පිට කිරීමෙන් එරටට ද්‍රෝහී වූයේය යන චෝදනාවයි. ඒ චෝදනාව යටතේ නඩු පවරනු ලැබුවහොත් නිදහස් වීම අසීරු වන අතර දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවම හෝ මරණය හෝ විය හැකිය.

ලන්ඩන් පොලිසිය තානාපති කාර්යාල පරිශ්‍රයට පිවිසෙන්නට පෙර ඔහුට හිංසා නොකරන බවටත් මරණ දඬුවම නියම නොකරන බවටත් වගබලාගන්නා බවට පොරොන්දු නෝට්ටුවක් ජනාධිපති ලෙනින් මොරිනො බ්‍රිතාන්‍ය රජයෙන් ලබා ගෙන ඇති බව පැවසුවත් සියල්ල තීරණය වනු ඇත්තේ අමෙරිකාවට ඔහු බාර දීමෙන් පසුවය.

අසාංශ් සිය රටට බාර දෙන ලෙස අමෙරිකා එක්සත් ජනපදය ඉක්වදෝරයෙන් සහ බ්‍රිතාන්‍යයෙන් දැඩි සේ ඉල්ලා සිටීම මේ ක්‍රියා සන්තතියට මූලික හේතුවයි.

2009 ජනවාරි 20 සිට 2017 ජනවාරි 19 දක්වා අමෙරිකා එක්සත් ජනපදය පාලනය කළේ ඩිමොක්‍රැටික් පක්‍ෂයයි. ජනාධිපති වූයේ බරක් ඔබාමා වන අතර ඔහුගේ මුල් ධුර කාලයේදී එරට විදේශාමාත්‍ය ධුරයට සම වන රාජ්‍ය ලේකම් ධුරය දැරුවේ හිලරි ක්ලින්ටන්ය. ඇය 2016 ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රැටික් පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂිකාව වුවාය.

ඇය විසින් එසමයේදී භාවිත කරන ලද රාජකාරි විද්යුත් තැපෑල ‘හැක්’ කොට වැදගත් ලිපි 20,000ක් පමණ සොරාගෙන ප්‍රසිද්ධ කිරීම විකිලීක්ස් විසින් සිදු කැරිණි. ඇෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ යුද්ධවලදී සහ අරාබි නැඟීසිටීම්වලදී (Arab Spring) විශේෂයෙන්ම ලිබියාවේ බල පෙරළියේදී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගන්නා ලද හානිදායක ක්‍රියාමාර්ග ලොවට හෙළිදරව් වූයේ විකිලීක්ස් ගත් එම පියවර නිසාය.

2018 අප්‍රේල් මාසයේ අමෙරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රැටික් පක්‍ෂයේ ජාතික කමිටුව විසින් ඔහුද චූදිතයකු ලෙස නම් කරමින් මැන්හැට්න් ෆෙඩරල් අධිකරණයේ නඩුවක් පවරන ලදී. අනෙක් චූදිතයන් වනුයේ වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් ගේ බෑණා වන ජාරෙඩ් කුශ්නර් ඇතුළු 2016 ට්‍රම්ප් ජනාධිපතිවරණ ව්‍යාපාරයේ නියමුවන් සහ රුසියාවයි. රුසියාවේ කවර තරාතිරම්වල කවර පුද්ගලයන්දැයි සඳහනක් නොමැත. නඩු නිමිත්ත 2016 අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රැටික් අපේක්‍ෂිකාව වූ හිලරි ක්ලින්ටන් පරාජයට පත් කිරීම සඳහා සංවිධානගතව කුමන්ත්‍රණය කිරීමයි.

ජුලියන් අසාංශ්ගේ මූලිකත්වයෙන් 2005 වසරේ ඇරඹුණු විකිලීක්ස් යනු රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතනවල රහසේ සිදු වන පොදු මහජන ජීවිතයට බලපාන අකටයුතුකම්, අසාධාරණ සිදුවීම්, වංචා, දූෂණ යනාදිය ප්‍රසිද්ධියට පත්කොට ඒවායේ සැබෑ මුහුණුවර ලොවට අනාවරණය කරන ලාභ නොලබන රාජ්‍ය නොවන සංවිධානයකි. ආයතනයකි. මෙවැනි ආයතන සහ පුද්ගලයන් හැඳින්වීමට ඉංග්‍රීසියෙන් whistleblower යන්න යොදනු ලැබේ. whistle (නළාව) සහ blower (පිඹින්නා) යන වචන දෙක එක් වීමෙන් සැදුණු මෙය 19 සියවසේ අගභාගයේ සිට භාවිතයට පැමිණි බව පැවසේ. අතීතයේදී ජනතාවට අනතුරු අඟවන ලද්දේ පොලිසියේ හෝ වෙනත් බලයලත් නිලධාරියකු විසින් පිඹින ලද නළා මගිනි. අද පවා මෙය ක්‍රියාත්මක වන බව පෙනේ. පාපන්දු වැනි ක්‍රීඩා හසුරුවනු ලබන්නේ නළාවක් පිඹින විනිසුරකු විසිනි. මෙලෙස ආයතනවල රහස් මහජනයාට අනතුරු ඇඟවීම සඳහා මේ වචන දෙක මුලින් යොදන ලද්දේ whistle-blower ලෙසය. දැන් වචන දෙක මැද ඇති කෙටි ඉර නොමැතිව භාවිත වෙයි. මෑතකදී මේ සඳහා නිර්මාණය කෙරුණු සිංහල වදන 'අකටයුතු නාදකයා' යන්නයි.

විකිලීක්ස්ට බොහෝ පෙර රහස් අනාවරණ පෞද්ගලික ප්‍රයත්න තිබී ඇත. එදා අද මෙන් දියුණු පරිගණක තාක්‍ෂණයක් නොතිබුණු අතර තොරතුරු පැහැරගැනීම අතිශය සූක්‍ෂ්ම වැඩක් විය. වියෙට්නාම් යුද්ධයට අදාළ ‘පෙන්ටගන් පේපර්ස්’ නමැති රහස් හෙළිදරව්ව ඒ අතරින් වැදගත් එකකි. හිටපු හමුදා නිලධාරියකු වූ ඩැනියෙල් එල්ස්බර්ග් විසින් 1971 වසරේදී අමෙරිකාව වියෙට්නාමයේ පවත්වා ගෙන ගිය විනාශකාරී මෙන්ම නාස්තිකාර යුද්ධයට අදාළ ලිපිගොනුවල ඇතුළත් තොරතුරු නිව්යෝර්ක් ටයිම්ස් ඇතුළු ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයකට ලබා දීම ඒ සිද්ධියයි. එල්ස්බර්ග් අත්අඩංගුවට ගෙන අමෙරිකා එක්සත් ජනපදයේ 1917 සිට නීති ගත ‘ගුප්තාවරණ පනත’ යටතේ 1973දී නඩු පවරන ලද නමුත් අධිකරණය විසින් ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී. 1948 වසරේ එක්සත් ජාතීන් විසින් සම්මත කැරුණු මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය යටතේ තොරතුරු දැන ගැනීම මහජන අයිතියක් බව මෙහිදී පිළිගෙන ඇත.

විකිලීක්ස් ඇරඹුමේදී ජුලියන් අසංශ් ඇතුඵ කණ්ඩායම මූලික වශයෙන්ම තීරණයකට එළැඹීමේදී එම උදාහරණය බෙහෙවින් සැලකිල්ලට ගෙන ඇති බව සඳහන්ය. තමන් කරන්නේ විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තියේ 19 යටතේ ජනතාවට තොරතුරු දැන ගැනීමට සැලැස්වීම බව ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ වෙයි. සංවෘත තොරතුරු විවෘත කොට පිටතට ගලා යන්නට සැලැස්වීම (Leak) ඔවුන්ගේ අරමුණයි.

ජුලියන් අසාංශ් යනු පරිගණක කප්පිත්තෙක් බව සැබැවි. එහෙත් ඊට තවත් විශේෂඥ මට්ටමේ දැනුමක් ඇති විවිධ ක්‍ෂේත්‍රවල අඥාත ප්‍රවීණයන් 20ක් පමණ සහභාගි වූ බවත් ඔවුන් බහුතරය චීන සම්භවයක් ඇත්තවුන් බවත් සඳහන්ය. ඔවුන් අතර පරිගණකවේදීන්ට අමතරව මාධ්‍යවේදීන්, ගණිතඥයන් සහ තවත් ක්‍ෂෙත්‍රවල ප්‍රවීණයන් සිට ඇත. මොවුන් එක්සත් ජනපදය, තායිවානය, දකුණු අප්‍රිකාව, ජර්මනිය සහ මහා බ්‍රිතාන්‍යය යන රටවල පුරවැසියන්ය. අසංශ් ඔස්ට්‍රේලියාවෙනි. සමහරවිට ඔවුන් කිසිදා මුණගැසී නැතිවා වන්නටද පිළිවන. සියල්ල අන්තර්ජාලය හරහාය.

විකිලීක්ස් ඇරැඹී ඇත්තේ Wiki ගණයේ වෙබ් අඩවියක් ලෙසිනි. අන්තර්ජාලය භාවිත කරන්නෝ ‘විකි’ ගණයේ වෙබ් අඩවි මොනවා දැයි දනිති. විකිලීක්ස් යන නම තබා ඇත්තේද ඒ අනුවය. එහෙත් ‘විකි’ ගණයේ අනෙක් ඒවා මෙන් මෙය පවත්වා ගැනීමේ දුෂ්කරතාව අවබෝධ කැරගත් ඔවුහු එය සංවෘත වෙබ් අඩවියක් බවට පත් කළහ.

විකිලීක්ස් මගින් හෙළිදරව් කරන ලද තොරතුරු සම්පූර්ණයෙන්ම පාහේ එක්සත් ජනපදය මූලය කැරගත් හෝ ඍජුවම එම රජයේ අවකල්ක්‍රියා පාදක කැරගත් ඒවාය. ඒවා අතරිනුත් බහුතරය එරට විසින් දැනුවත්වම කරන ලද යුද අපරාධ හෝ සිරකරුවන් සහ රැඳවියන් අපහරණය කිරීම්වලට අදාළය.

2007 ග්වාන්තනාමෝ කඳවුර පිළිබඳ හෙළිදරව්ව ඔවුන්ගේ කලඑළි මංගල්‍යය ලෙස සැලකේ. එම කඳවුරට අන්තර්ජාතික රතුකුරුස සංවිධානයට ඇතුඵ වන්නට අවසර තිබේ. ඒ රැඳවියන් කෲර සැලකුම්වලට ලක් වනවාද යන්න සොයා බලන්නටය. එහෙත් රතුකුරුස සංවිධානයට ඇතුළත් විය නොහැකි ලෙස සීමා කළ පෙදෙසක රැඳවියන්ට අමානුෂික ලෙස සලකන බව විකිලීක්ස් ලොවට අනාවරණය කළේය.

2010 ජූලි මාසයේ ඔවුන් විසින් ‘ඇෆ්ගන් දින පොත’ නිකුත් කරන ලදී. ඇෆ්ගන් යුද්ධයට අදාළ ලිපිගොනු 7,690ක් එහි අන්තර්ගතය. නැටෝ හමුදා ඇෆ්ගනිස්තානයේ දුරස්ථ ගම්මානවල සිවිල් ජනයා ඝාතනය කරන අයුරු දැක්වෙන දර්ශන ඒවාට ඇතුළත් වූ වීඩියෝවල අඩංගුය.

2010 ඔක්තෝබරයේ ඔවුහු ඉරාක යුද්ධයට අදාළ ගොනු 400,000ක් පමණ මුදා හැරියෝය. මෙය අමෙරිකානු ඉතිහාසයේ මෙතෙක් අනාවරණය වූ විශාලතම යුද රහස් ගොනුව බව එරට හමුදාව විසින් පිළිගෙන තිබේ. වසර 2004 සිට 2009 දක්වා ඉරාකයේදී නිරායුධ සිවිල් වැසියන් 66,000ට අධික සංඛ්‍යාවක් ඝාතනයට අදාළ තොරතුරු ඒවායේ ඇතුළත්ය. රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනකුද ඇතුළත් සිවිල් වැසියන් 9 දෙනකුට අමෙරිකානු හෙලිකොප්ටරයකින් වෙඩි තබන අයුරු දැක්වෙන වීඩියෝවක්ද ඒ අතර වේ.

මේවාට අදාළ ගොනු ඔවුන් වෙත ලබා දුන් (ලිංග විපර්යාසයක් නිසා පසුව චෙල්සියා මෑනිං බවට පත් වූ) බ්‍රැඩ්ලි මෑනිං නමැති සොල්දාදුවාට ‘ගුප්තාවරණ පනත’ යටතේ නඩු පවරා වසර 12ක සිර දඬුවමක් නියම කරන ලදී.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි පැට්‍රිෂියා බුටෙන්ස් විසින් රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වෙත යවන ලද US embassy cables: Rajapaksa shares responsibility for 2009 Sri Lankan massacre යන හිසින් යුත් විද්යුත් ලිපියක්ද විකිලීක්ස් විසින් ප්‍රචාරයට පත් කොට තිබිණි.

ඉහත සඳහන් කැරුණේ විකිලීක්ස්ලාගේ වැඩවලින් අංශූමාත්‍රයක් පමණක් බව සැලකුව මනාය.

මේ සිද්ධිවලින් කෝපයට පත් අමෙරිකානු රජය අසාංශ්ට එරෙහිව ඉහත සඳහන් ආකාරයෙන් නඩු පවරා තිබේ.

අසාංශ්ට අන්තර්ජාතික වශයෙන් අති විශාල පිළිගැනීමක් තිබේ. ඒ නිසා බොහෝ වැදගත් පුද්ගලයන් මෙන්ම විවිධ මානව හිමිකම් සංවිධානද භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධානද අමෙරිකාවේ දේශපාලන ප්‍රතිපත්තිවලට අනුගත නොවන විවිධ දේශපාලන පක්‍ෂද ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුට නිදහස් ව සිය රටට යෑමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා ඇතත් ඊට කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැත.

සිය පුරවැසියා නිදහස් කර ගැනීමට ඔස්ට්‍රේලියා රජය උත්සාහ නොගැනීම සම්බන්ධයෙන්ද එරට විවිධ සංවිධාන විරෝධය පළ කොට ඇත. ඔස්ට්‍රේලියා සමාජවාදී සමානතා පක්‍ෂය මෙන්ම මාධ්‍ය සංවිධානද එරට ප්‍රධාන නගර කිහිපයකම උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාර පවත්වමින් සිටින අතර ලොව ප්‍රධාන නගර කිහිපයකම එබඳු ඒවා දැකිය හැකි විය.

අසාංශ්ට එරෙහි අමෙරිකා එක්සත් ජනපදයේ පරීක්‍ෂණ දැන් පැවැත්වෙන්නේ ගුප්තාවරණ පනත යටතේ චෝදනා එල්ල කිරීම සඳහාය. ඔහුට ගොනු ලබා දුන් චෙල්සියා මෑනිං කැඳවා ඇගෙන් ප්‍රකාශ නැවත සටහන් කොට ගෙන ඇති අතර ඇය ඔහු පාවා දී නොමැති බව සඳහන්ය.

අමෙරිකා එක්සත් ජනපදය එසේ අසාංශ් ඉල්ලා සිටියත් ඔහුගේ නීතිඥයන්ගේ තර්කය වනුයේ ඔහු 19 ප්‍රඥප්තිය (Article 19) යටතට ගැනෙන පරිදි කටයුතු කොට ඇති නිසාත් බදු ගෙවන ජනතාවට ඒ තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇති නිසාත් ඔහුට එරෙහිව ගුප්තාවරණ පනත යටතේ නඩු පවරන්නටත් ඒ යටතේ අච්චු කරන්නටත් අමෙරිකානු අධිකරණයට බලය නැති බවයි.

මේ අතර අසාංශ් අත්අඩංගුවට ගැනීම බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියා රාජ්‍ය නායකයන්ගේ පැසසුමට ලක් වූ බව වාර්තා විය. එහෙත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඒ සිද්ධිය තමාගේ අවබෝධයෙන් බැහැර බවයි. තමා අසාංශ් අගය කරන බව පවසා ඇති ජනාධිපතිවරයා ඔහුගේ අනාවරණය කිරීම 2016 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී තමන්ට බොහෝ උපකාරී වූ බවද පවසා තිබේ.

මේ අතර විකිලීක්ස් පවසන්නේ අසාංශ් මුදා හරින්නට කටයුතු නොකළහොත් තමන් සන්තකයේ ඇති තවත් ලිපිගොනු ඉදිරියේදී මුදා හරිනු ඇති බවයි. එසේ කරනු ලැබුවහොත් අමෙරිකා එක්සත් ජනපදය බරපතළ ලෙස අපකීර්තියට ලක්වන්ට ඉඩ තිබේ.

මාතෘකා