යමීන්ගේ පරාජය සමඟ චීන උපක්‍රම වෙනස් වේද?

 ඡායාරූපය:

යමීන්ගේ පරාජය සමඟ චීන උපක්‍රම වෙනස් වේද?

මාලදිවයින් ජනාධිපතිවරණය

මාස කිහිපයකට පෙර මැලේසියාවේදිත් දින කිහිපයකට පෙර මාලදිවයිනේදිත් සිදු වූ පරිදි චීනයට හිතවාදී පාලන තන්ත්‍රයන් පරාජය කිරීම සඳහා ජනතාව කටයුතු කිරීමත් සමඟ කලාපයේ චීන ක්‍රියාකාරකම් වෙනස් විය යුතුද යන ප්‍රශ්නය නැගී ඇත.

විශේෂයෙන්ම අන්ත දූෂිත යයි පිළිගෙන තිබුණු නජීබ් රසාක්ගේ මැලේසියානු රජය මෙන්ම අබ්දුල්ලා යමීන්ගේ මාලදිවයින් රජය ද මෙසේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලදි. මෙය සිදු වූයේ මාස පහකටත් අඩු කාල පරාසයක් අතරතුර ය. විශේෂයෙන්ම මාලදිවයිනේ විපර්යාසය සිදු වූයේ මැලේසියාව චීන ව්‍යාපෘති සමහරක් අත්හිටුවීමෙන් මාස කිහිපයක් තුළ ය.

මෙම මැතිවරණ ප්‍රතිඵල සඳහා බලපෑ එකම සාධකය චීනය නොවේ. යමකුට තර්ක කළ හැක්කේ චීනය යනු එම ප්‍රතිඵල සඳහා අඩු ම බලපෑමකින් යුක්ත වූ සාධකයක් බව ය. විශේෂයෙන්ම නජීබ් රසාක් පාලනය බිඳ වැටීම සඳහා ඊට එරෙහිව මතු වූ බරපතළ දූෂණ චෝදනා ද, මහතීර් මොහොමඩ්ගේ පුනරාගමනය ද ආදී වශයෙන් විවිධ කරුණු බලපෑවේ ය. මාලදිවයිනේ පාලනය වෙනස් වීමට ද අන්ත දූෂිත පාලන තන්ත්‍රය, විපක්ෂ ක්‍රියාධරයින් මර්දනය ආදිය හේතු වූයේ ය. අතීතයේදී අබ්දුල්ලා යමීන් ගේ පාර්ශ්වයේ වූ ඇතැමුන්, ඔහු විසින් හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයූම් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ද ඔහුට එරෙහි වූහ.

චීන විරෝධය

කෙසේ නමුත් මාලදිවයින් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ විට බටහිර මාධ්‍ය බොහොමයක් සහ ඉන්දීය මාධ්‍ය බොහොමයක් එහි චීන සාධකය උලුප්පා දැක්වූයේ ය. බීබීසීය ඇතුළු බටහිර මාධ්‍ය ආයතනය ගණනාවක් සිය වාර්තාවන් හි "චීන පාක්ෂික" හෝ "චීන සහය ලද" හෝ ආදී වශයෙන් යමීන් හඳුන්වා දෙන ලදි. ඉන්දියාවේ රජය සහ මාධ්‍ය මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් ඔද වැඩී ගියෝ ය. නිල ප්‍රතිඵල නිකුත් වීමට ද පෙර ඉන්දීය රජය නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කළේ ය. මේ අතර හිටපු ජනාධිපති මොහොමඩ් නශීඩ් ඉන්දීය මාධ්‍යයන්ට ප්‍රකාශයන් සිදු කරමින් නව රජය පත් වූ පසු චීන ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති විගණනය කරන බව සහ චීනය සමග අත්සන් කළ ගිවිසුම් පිළිබඳ යළි සාකච්ඡා කරන බව කියා සිටියේ ය.

මෙහිදී බටහිර මාධ්‍යයන් හි සහ එම රටවල පාලකයන්ගේ ස්ථාවරය පිළිබඳ පුදුම විය නොයුතු ය. ඔවුන් විසින් සිදු කරන ලද්දේ තම ප්‍රතිවාදියා ලෙස මතුවන චීනයට සිදු වූ බව පෙන්නුම් කෙරෙන පරාජයක් පිළිබඳ ප්‍රීතිය භුක්ති විඳීම ය. එහෙත් එය කෙතරම් ඵලදායී හෝ තේරුමක් ඇති ප්‍රීතියක්ද යන්න සැකයකි. මක් නිසාද යත්, මාලදිවයින යනු චීන ව්‍යාපෘතියේ එක් කුඩා කොටසක් පමණක් වීම ය.

මාලදිවයිනෙහි වෙනසක් ඍජුව බලපාන්නේ ඒ අවට රටවලට ය; විශේෂයෙන්ම ඉන්දියාවට ය. එහෙයින් එම වෙනස ගෙන ඒමට ඉන්දියාව විශේෂ උත්සාහයක් ගත්තේ ය. නමුත් යුරෝපා රටවල් එයින් දිරිමත් වීම ඒ මොහොතේ ලබන වින්දනයකට වඩා වැඩි යමක් නොවන්නේ ය. මාලදිවයිනෙහි සිදු වූවාට වඩා ප්‍රබල සහ සූක්ෂ්ම ලෙස චීනය යුරෝපය කරා ඇදෙමින් සිටියි. යුරෝපා රටවල් තම දොරකඩට පැමිණි තර්ජනය අමතක කොට මාලදිවයිනේ ආණ්ඩු මාරුවක් ගැන ප්‍රීතිය පළ කිරීම කෙතරම් “බුද්ධිමත්” කාර්යයක්දැයි අමුතුවෙන් කිව යුතු නැත.

ශ්‍රී ලංකාවේ උදාහරණය

ආසියාතික කලාපයේ චීන උපක්‍රම අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකාව හොඳ ස්ථානයකි. 2015 ජනවාරියේදී යහපාලන ආණ්ඩුව බලයට පත් වූයේ චීන ව්‍යාපෘති සමහරක් අත්හිටුවන බව සහ නැවත ගිවිසුම් සාකච්ඡා කරන බව ආදී වශයෙන් ප්‍රකාශයන් කරමිනි. ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වන්නට ඇත්තේ චීනය සමග එවන් සාකච්ඡාවලට එළඹීමේදී ඉන්දියාවෙන් සහ බටහිරින් තමන්ට ශක්තිය ලැබෙනු ඇතැයි යන්නයි. නමුත් ශ්‍රී ලංකාව වැටී සිටි ණය උගුලෙන් නිදහස් වීම සඳහා එම රටවලින් ලද සහය ප්‍රමාණවත් නොවී ය. චීන රජයේ උපක්‍රමය වූයේ නව රජයේ පත්වීමෙන් පසු ඉවසා වදාරා සිටීම යි. අවසානයේදී නව ශ්‍රී ලංකා රජය පැරණි ව්‍යාපෘති නැවත ඇරඹුවා පමණක් නොව අවාසි සහගත කොන්දේසි යටතේ හම්බන්තොට වරාය ද චීනයටම බදු දුන්නේ ය.

ආසියාතික කලාපයෙන් ඔබ්බට ගියහොත් තවත් හොඳම උදාහරණයක් වන්නේ සැම්බියාව යි. 2011 දී එරට පාලනය බාර ගත්තේ ඊට කලින් මහජන චීනය සමග සබඳතා පවා අත්හිටුවන බව සඳහන් කළ "දේශප්‍රේමී පෙරමුණ" නම් පක්ෂය යි. අද වන විට එම පක්ෂයේ ආණ්ඩුව ද චීනයෙන් ණය ලබා ගනිමින් සිටින්නේ අතීතයේ එවැනි ප්‍රකාශ කළේද යන්න පවා අමතක කරමිනි.

මැලේසියාවේ හෝ මාලදිවයිනේ හෝ කුමක් සිදු වේද යන්න තවම ප්‍රකාශ කිරීමට කල් වැඩිය. චීනය මැලේසියාවේ නව රජය සමඟ හැප්පීමට නොගියේ ය. එය මැලේසියාව දෙස ඉවසිල්ලෙන් බලා සිටියි. මාලදිවයින දෙස ද චීනය ඉවසිල්ලෙන් බලා සිටිනු ඇත. මේ අතර යුරෝපා රටවල් චීනයේ පරාජය පිළිබඳ උදම් අනමින් දින කිහිපයක් ගත කරනු ඇත. ඉන්පසුව ඔවුනට තම දොර එළිපත්තේ සිටින අභියෝගය නැවත මතක් වනු ඇත. ඒ ඒ රට අනුව චීනයේ ප්‍රවේශය වෙනස් වනු ඇත. නමුත් පොදුවේ ගත් කළ චීනයේ මූලික ප්‍රතිපත්ති නොවෙනස්ව පවතිනු ඇතැයි අපේක්ෂා කල හැකිය. දැනට එසේ කලබල නොවී සිටිය හැකි තත්ත්වයක චීනය සිටියි.

චීනයට මාලදිවයිනේ පරාජය වැනි සිද්ධීන්වලට වඩා බලපාන තර්ජනය වන්නේ ඇමරිකාව සමග ඇති වී තිබෙන තීරුබදු යුද්ධය යි. මේ හේතුවෙන් ඇමරිකාවට වඩා වාසිදායක වෙළෙඳපොළක් සොයා ගැනීමේ අභියෝගය චීනය සතු ය. රුසියාව සමග සබඳතා වර්ධනය කිරීම ඊට එක් විකල්පයකි. නමුත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එහෙයින් චීනයට දැන් පවතින විශාලම අභියෝගය මාලදිවයින නොව ඇමරිකාව යි. ඒ පිළිබඳ චීනය කටයුතු කරන්නේ කෙසේද යන කරුණ මත චීන ව්‍යාප්තියේ ඉදිරි ගමන තීරණය කරනු ඇත.

මාතෘකා