මූන් ජේ-ඉන් සහ කොරියාවේ සාමය

 ඡායාරූපය:

මූන් ජේ-ඉන් සහ කොරියාවේ සාමය

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් තෙදින නිල සංචාරයක් සඳහා සැප්තැම්බර් 18 වනදා උතුරු කොරියාවට ළඟා වූයේය. මෙය ඔහු සහ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් ගේ තෙවන හමුව වන අතර වඩා වැදගත් වන්නේ මූන් ජේ-ඉන් පළමු වතාවට උතුරු කොරියානු අගනුවර වන ප්‍යොංග්යෑංග් වෙත සංචාරය කිරීමය.

දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය පිළිබඳව ඊට දෙසතියකට පමණ පෙර මාධ්‍ය වෙත හෙළි කරන ලදී. මෙම ගමන ඉතා වැදගත් වූයේ මේ වනවිට ඇමරිකාව සහ උතුරු කොරියාව අතර උතුරු කොරියාව න්‍යෂ්ටිකහරණය කිරීම පිළිබඳ සාකච්ඡා ඇණහිට තිබෙන හෙයිනි.

උතුරු කොරියාව සහ ඇමරිකාව අතර සාකච්ඡා ඇතැම් අවස්ථාවන්හිදී පසුබැසීම්වලට භාජනය වුවද, කොරියානු රාජ්‍යයන් දෙක අතර සාකච්ඡා මෙම වසර මුල පටන්ම සාර්ථක ලෙස සිදු කෙරෙන බව පෙනී යයි. මූන් සහ කිම් අතර වූ නවතම සාකච්ඡාද ඒ පිළිබඳ ඉඟියක් ලබා දෙයි. ඒ අනුසාරයෙන් දිස්වන ප්‍රධාන කරුණක් වන්නේ කොරියානු අර්ධද්වීපයේ සිදුව ඇති පැහැදිලි වෙනසට මූන් ජේ-ඉන්ගේ ක්‍රියාකාරීත්වයෙහි ඇති වැදගත්කමය. සමස්ත ක්‍රියාවලිය තුළදී වැඩි අවධානය කිම් වෙත යොමු වුවද මූන් විසින් සිදු කරන ලද කාර්යභාරය ඊටත් වැඩියෙන් අගය කළ යුතුය.

සාකච්ඡාවට මුල

මූන් ජේ-ඉන් බලයට පත් වූයේ 2017 මැයි මාසයේදී පවත්වන ලද ජනාධිපතිවරණයෙනි. ජනාධිපතිවරණය පවත්වන ලද්දේ හිටපු ජනාධිපතිනි පාර්ක් ගුන්-හේ දූෂණ චෝදනා මත දෝෂාභියෝගයකට ලක් වූ හෙයිනි. ඇය දිගටම ජනාධිපති ධුරය දැරුවේ නම් අද කොරියානු අර්ධද්වීපයේ සිදුවන වෙනස්කම් සිදු නොවන්නේය.

මූන් ජේ-ඉන් මුල් කාලයේ පටන් කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ බලාපොරොත්තු දල්වා සිටියේය. ඔහු 2017දීම වරක් ප්‍රකාශ කළේ 2020 වන විට කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටිකහරණය කිරීමට හැකි වේ යයි තමා බලාපොරොත්තු වන බවය. එම සමය උතුරු කොරියාව ඉතා බරපතල ලෙස මිසයිල අත්හදාබැලීම් සිදු කළ සමයක් වූයේය.

2017 වසර අවසන් සතිවල මූන් ජේ-ඉන් චීන ජනාධිපති ෂී ජින්පිං හමුවූ අවස්ථාවේද කොරියානු අර්ධද්වීපයෙහි සාමය පිළිබඳ බලාපොරොත්තු තැබීය. නමුත් එම වසරාවසානය වන තුරුද කිසිවෙක් ඒ පිළිබඳ වැඩි විශ්වාසයක් පළ නොකළහ.

කොරියානු අර්ධද්වීපයෙහි යම් වෙනසක් සිදු වීමෙහි ඉඟියක් උතුරු කොරියාව දෙසින් මුලින්ම පළ වූයේ 2018 ජනවාරි 1 වනදා උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් කළ කතාවෙහිය. සාමාන්‍ය ලෙස ඇමරිකාව විවේචනය කළද ඔහු සඳහන් කළේ පෙබරවාරියේදී දකුණු කොරියාවේ පැවැත්වෙන 2018 සිසිර ඔලිම්පික් උළෙලට සිය රට සහභාගි වීමට බලාපොරොත්තු වන බවය. මීළඟට දෙරට අතර සාකච්ඡා පැවැත්වෙන බව ප්‍රචලිත වූ අතර දෙරට එක්ව ඒකාබද්ධ කාන්තා අයිස් හොකී කණ්ඩායමක්ද ඉදිරිපත් කිරීමට කටයුතු කළහ. මේ අතර වඩා වැදගත් සිද්ධිය වූයේ පෙබරවාරි 9 වනදා පැවති සමාරම්භක උළෙල සඳහා කිම් ජොංග්-උන්ගේ සොයුරිය සහභාගි වීමය.

ඉන්පසු කරුණු ඉතා වේගයෙන් සිදු වූ අතර අප්‍රේල් 27 වනදා දෙරටේ නායකයෝ පළමුවරට හමු වූහ. ඉන් ටික දිනකට පසු ප්‍රචලිත වූයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් අතර හමුවක්ද පැවැත්වෙන බවය. ඊට ජූනි 12 දින නියම විය. ඉන් දෙසතියකට පමණ පෙර ට්‍රම්ප් එයින් ඉවත්වන බව ප්‍රකාශ කළද යළි එම අදහස වෙනස් කරගත්තේය. මේ අනුව ජූනි 12 වනදා කිම්-ට්‍රම්ප් හමුව සිදු වූයේය.

ප්‍යොංග්යෑංග් සංචාරය

කිම්-ට්‍රම්ප් හමුවෙන් පසු ඇමරිකාව සහ උතුරු කොරියාව අතර සාකච්ඡා එතරම් සාර්ථක නොවූ අතර වර්තමානය වනවිට එම සාකච්ඡා ඇණහිට තිබේ. නමුත් මේ අතරතුර මූන් ජේ-ඉන් විසින් කරන ලද උතුරු කොරියානු සංචාරය පෙන්වා දෙන්නේ උතුරු සහ දකුණු කොරියාව දිගටම සාකච්ඡා පවත්වමින් සිටි බවකි. ඒ බව පැහැදිලි වන්නේ ඔවුන් ප්‍රකාශයට පත්කළ එකඟතාවයන් ප්‍රමාණය අනුවය.

හමුදාමය කරුණු සම්බන්ධ පිටු 55ක ලියවිල්ලක් මෙයින් සුවිශේෂ වූයේය. ඒ අනුව බොහෝ කරුණු සඳහා එකඟත්වය පළවී තිබුණි. උතුරු කොරියානුවෝ තම ප්‍රධානම මිසයිල දියත් කෙරෙන මධ්‍යස්ථානය විනාශ කිරීමටද එකඟ වූ අතර තම ප්‍රධානම න්‍යෂ්ටික මධ්‍යස්ථානය වන යොංග්බියෝන්ද ඉවත් කිරීමට කැමති බව ප්‍රකාශ කළහ. නමුත් මෙම දෙවන පියවර සඳහා හිලව් ලෙස ඇමරිකාව පාර්ශවයෙන් ඊට ගැළපෙන පියවරක් තමන් බලාපොරොත්තු වන බව සඳහන් කරන උතුරු කොරියාව එය කුමක්දැයි පැහැදිලි කිරීමෙන් වැළකී සිටියේය.

තවද දෙරට අතර දේශසීමාවෙහි ගුවන් ගමන් මුක්ත කලාපයක් ප්‍රකාශ කිරීමටද එකඟත්වය පළ වූ අතර දේශසීමාවේ හමුදා රහිත කලාපයක් ප්‍රකාශ කිරීමටත්, එහි ආරම්භය ලෙස දේශසීමාවේ පිහිටි පන්මුන්ජෝම් ගම්මානයෙහි සහ ඒ අවට මුරකුටි සහ බිම් බෝම්බ ඉවත් කිරීමටත් නායකයෝ දෙදෙන එකඟ වූහ.

මීට අමතරව උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් නුදුරු අනාගතයේදී සියොල් නගරයට සංචාරය කිරීම සඳහා එකඟ වූයේය. උතුරු කොරියාව සහ දකුණු කොරියාව එක්ව 2032 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය දැරීම සඳහා තරග කිරීමට එකඟ වීම තවත් සුවිශේෂ කරුණක් විය.

බාහිර බලවේගවලින් තොරව

විවිධ හැලහැප්පීම් මැද වුවද තම රජය දිගටම උතුරු කොරියාව සමග සාකච්ඡා කරමින් සිටි බව මූන් මෙහිදී හැඟවීය. ඔහු සඳහන් කළේ දෙදෙනා අතර ඇති වූ එකඟතාවයන් අනවශ්‍ය වේගයෙන් ඇතිකරගත් ඒවා නොව කාලයක් තිස්සේ සාකච්ඡා කර එළැඹුණ එකඟතාවන් බවය.

මෙහිදී කිම් ජොංග්-උන්ද වැදගත් ප්‍රකාශයක් කළේය. කොරියා රාජ්‍ය දෙක, විදේශීය බලවේගයන්ට බිය නොවී, තමන්ගේ වේගයෙන් සාමය කරා ගමන් කරන බවය. ඔහු ද ඉන් අදහස් කළේ දකුණු කොරියානු නායකයා හා ඔහු අතර වන විශ්වාසය සහ දෙරට අතර සාකච්ඡා සඳහා ඔහු දෙන වැදගත්කමය. ඔහු අඟවා සිටිනුයේ බාහිර රටවල් සමග සාකච්ඡා කෙසේ කෙරුණද, දකුණු කොරියාව සමග සාකච්ඡා දිගටම සිදු කෙරෙන බවය.

මේ අතර තමන් දෙදෙනා අතර යළි හමුවක් විය යුතු බවට කිම් විසින් ට්‍රම්ප් වෙත දන්වා යවන ලද්දේ මීට ටික දිනකට පෙරය. දෙරට අතර වූ යම් යම් ගැටලු ලිහා ගැනීම එහි අපේක්ෂාව වූයේය. ඇමරිකාව දෙසින් ඊට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බවද වාර්තා විය. මේ අනුව යථා කාලයේදී කිම් සහ ට්‍රම්ප් යළි මුණගැසීමේ ඉඩක් පවතී.

ට්‍රම්ප් කෙසේ කටයුතු කළත්, මූන් ජේ-ඉන් ජනාධිපති ධුරයේ සිටින තෙක් කොරියානු සාම ක්‍රියාවලිය කඩාකප්පල් වීමේ ඉඩ අඩු බවක් පෙනී යයි. එහෙයින් මෙම අවස්ථාවේ කිම්ටද වඩා වැදගත් වනු ඇත්තේ දකුණු කොරියාව සමග වන සබඳතාවය.

[චාමර සුමනපාල]

මාතෘකා