සමලිංගික සේවනය "අපරාධයක් නොවේ" යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

 ඡායාරූපය:

සමලිංගික සේවනය "අපරාධයක් නොවේ" යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දෙමින්, තවදුරටත් සමලිංගිකත්වය එරට සාපරාධී වරදක් නොවන බව ඊයේ (6දා) ප්‍රකාශයට පත් කළේය.

සමලිංගික සේවනය 'ස්වභාවික නොවන වරදක්' ලෙස හඳුන්වා දෙමින්, 377 වෙනි වගන්තිය ලෙස හැඳින්වෙන යටත්විජිත සමයේ නීතිය ස්ථිර කරමින් 2013 වසරේ දී තිබූ තීන්දුවක් මින් වෙනස් කෙරේ.

මෙම සමලිංගික සේවනය, 'සාපරාධී වරදක්' බවට දැක්වූ ලොව පැරණිතම නීතියක් වන අතර එය වෙනස් කිරීමට ඉන්දියාව මේ දක්වා මැලිකමක් දක්වා තිබිණි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු දීපක් මිශ්‍රා සඳහන් කළේ 'සංවාසය අපරාධයක් බවට පත්කිරීම අහේතුක වන අතර, අත්තනෝමතික මෙන්ම පැහැදිලිව ම ව්‍යවස්ථා විරෝධී' බවය. මීට පෙරත්, 2009 වසරේදී දිල්ලි මහාධිකරණය විසින් සමලිංගික සම්බන්ධතා අපරාධකාරී ක්‍රියාවක් නොවන බවට තීන්දුවත් ලබා දී තිබුණු අතර එම වර්ෂයේදී ලබාදුන් තීන්දුවත් සමඟ දිල්ලි මහාධිකරණ තීන්දුව පූර්වාදර්ශයක් ලෙස භාවිත කිරීම නැවතී තිබිණ. ඊයේ දිනයේ ලැබුණු තීන්දුවත් සමඟ අධිකරණයෙන් පිටත රැඳී සිටි සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරීහු, එම තීන්දුව සතුටින් සැමරූහ.

මේ අතර මෝටර් රථයක් තුළ සමලිංගික සම්බන්ධතා පැවැත්වීමට උත්සහ කළ බව චෝදනා ලද මැලේසියානු කාන්තාවන් දෙදෙනෙකු හට දඬුවම් දීමට මැලේසියානු ෂරියා අධිකරණයක් පසුගිය සඳුදා කටයුතු කළේය. තෙරෙන්ගානු ප්‍රාන්ත ෂරියා අධිකරණයේ තීන්දුවට අනුව ඔවුන්ට ප්‍රසිද්ධියේ කස පහර හය බැගින් ලබා දීමට කටයුතු කර තිබේ. මෙය සමලිංගික සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රාන්තය තුළ දඬුවම් පැමිණ වූ හා ප්‍රසිද්ධියේ වේවැල් පහර දෙන ලද පළමු අවස්ථාව බවටද වාර්තා වේ.

පසුගිය වසරේ මැයි මාසයේදී ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්ත ෂරියා අධිකරණයද, එම ප්‍රාන්ත ඉතිහාසයේ ප්‍රථම වරට සමලිංගික සම්බන්ධතා පැවැත්වූ තරුණයන් දෙදෙනෙකුට කස පහර 85ක දඬුවමක් පැනවීමට කටයුතු කළේය. සමලිංගික විවාහ නීතිගත කිරීමට ඔස්ට්‍රේලියානු රජය 2017 වසරේදී කටයුතු කළේය.

මාතෘකා