බ්‍රසීලය දකුණට

 ඡායාරූපය:

බ්‍රසීලය දකුණට

පෙරේදා පැවැති බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ දී එරට ජනතාව විසින් ඉදිරි වසර හතරක කාලය ස‍ඳහා සිය ජනාධිපතිවරයා ලෙස අන්ත දක්ෂිණාංශික දේශපාලකයකු වන සමාජ විමුක්ති පක්ෂයේ ජයිර් බොල්සොනාරෝ තෝරා පත් කැර ගන්නා ලදී.

පසුගිය 07 දින පැවැති අපේක්ෂකයන් 17ක් ඉදිරිපත් වූ ජනාධිපතිවරණයේ දී ඔහුට ලබා ගත හැකි වූයේ 50% අඩු ඡන්ද සංඛ්‍යාවක් නිසා දෙවැනි වටයට යන්නට සිදුවිය. දෙවැනි වටයේ දී ඔහු භාවිත ඡන්දවලින් 55% ලබා ජය ගත්තේ ය. ප්‍රතිවාදී අපේක්ෂක ශ්‍රමිකයන්ගේ පක්ෂයේ ෆර්නැන්ඩෝ හඩ්ඩාඩ් පරාජිතයා විය.

බ්‍රසීල ජනාධිපතිවරයා ලෙස බොල්සොනාරෝ පත්වීම ලොවට බලපාන කාරණයක් වෙයි. මන්දයත් තමා ද ඇමෙරිකා එක්සත් ජනපදය අනුගමනය කරමින් පැරිස් සම්මුතියෙන් ඉවත් වන්නට අදහස් කරන බව ඔහු මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කොට ඇති හෙයිනි.

ලොව සියලුම රටවල් විසින් 2015 වසර අවසානයේ අත්සන් තබන ලද පැරිස් දේශගුණ සම්මුතියෙන් කිසියම් රටක් ඉවත් වන්නේ නම් එය ලොවට ද්‍රෝහී වීමක් ලෙසත් පහත් ක්‍රියාවක් ලෙසත් හඳුන්වා දෙනු ලැබීය.

එමඟින් සිය රටේ සංවර්ධනයේ අඩිතාලම බිඳෙනබව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතයයි. බොල්සොනාරෝ දරන්නේද සමාන මතයකි. ආර්ථික සංවර්ධනය උදෙසා ජනාධිපති ට්‍රම්ප් අනුව යන්නට තමා අදහස් කරන බව ජයග්‍රහණයට පෙරම ඔහු පැවසීය. ජයග්‍රහණයෙන් පසු ඔහු කීවේ මින්පසු මහා මාර්ගවල ආරක්ෂාව තර කෙරෙනු ඇති බැවින් ජනයාට නිදහසේ මඟට බැස යන්නට හැකි වනු ඇති බවයි. ඔහුගේ තවත් ප්‍රකාශයක් වූයේ මින්පසු රූපවාහිනියේ කාමුක දසුන් නොපෙන්වනු ඇති බවයි. රූපවාහිනියේ කාමුක දසුන් දැනටත් නොපෙන්වන අතර ඔහු එයින් අදහස් කරන්නේ ප්‍රේමාලිංගන සහ සිප ගැනීම් විය හැකිය. තුන්වැන්නක් ද ඔහු ඊට එක් කළේ සිය දරුවකු සමරිසි වන්නේ නම් ඔහු හදිසි අනතුරකින් මියයේවායි තමා පතන බවය.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තමා පිලිපීනයේ ඩුටර්ටේ අනුගමනය කරන්නට අදහස් කොට සිටින බව ද ඔහුගේ තවත් ප්‍රකාශයකි.

ඕනෑම ජනාධිපතිවරණ අපේක්ෂකයකු ඉදිරිපත් කරන ඡන්ද අද්දවා ගැනීමේ ප්‍රකාශනය - 'මා බලයට පත් වූ පසු වංචාව හා දූෂණය සහමුලින් ම වනසා දමමි. අපරාධ මට්ටම පහත හෙළමි' - යන්න බොල්සොනාරෝ ද මැතිවරණ වේදිකාවල පුන පුනා ස‍ඳහන් කළේය.

ජනාධිපතිවරණය අතිශය භේදකාරී විය. කෙතරම් භයානක තත්ත්වයක් උද්ගත වී තිබිණි ද කිවහොත් එක්තරා ප්‍රචාරක රැලියක දී කිසියම් මැරයකු විසින් බෝල් සොනාරෝට පිහියෙන් අනින ලදී. එයින් ඔහුට බරපතළ තුවාලයක් සිදු නොවිණි.

2003 සිට 2016 දක්වා එරට පාලනය කරන ලද්දේ ශ්‍රමිකයන්ගේ පක්ෂයයි. 2003 සිට 2011 දක්වා එම පක්ෂයේ ලුලා ඉනැසියෝ ද සිල්වා සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස 2011 සිට 2016 අගෝස්තු 31 දක්වා එම පක්ෂයේ ම දිල්මා රඋසෙල්ෆ් ජනාධිපති ධුරය ඉසිලූහ. දෝෂාභියෝගයක් මගින් රඋසෙල්ෆ් බලයෙන් පහකරන ලදී. එතැන් සිට මේ දක්වා එවකට උප ජනාධිපතිව සිටි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ මයිකල් ටෙමර් ජනාධිපතිවරයා විය.

ශ්‍රමිකයන්ගේ පක්ෂය වාමාංශික දේශපාලන පක්ෂයකි. එහෙත් එම පක්ෂයෙන් පත් වූ පාලකයන්ට බරපතළ දූෂණ චෝදනා එල්ල විණි. ජනතාව මෙවර එම පක්ෂයේ අපේක්ෂකයාට ඡන්දය පාවිච්චි කළේ අලුතින්ම දේශපාලනයට එක් වූ විශ්‍රාමික හමුදා කපිතාන්වරයකු වන බොල්සොනාරෝට වඩා 10% ක් අඩුවෙනි. මැතිවරණයෙන් පසු මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළ සමහරුන් පවසා ඇත්තේ තමන්ට ශ්‍රමිකයන්ගේ පක්ෂය යටතේ ඉඳලා ඇතිවෙලා බවයි.

ලුලා දේශීය වශයෙන් සහ අන්තර්ජාතික තලයේ ද කැපී පෙනුණු නායකයෙක් විය. බොල්ෆා ෆමිලියා සහ ෆොමේ ස්සීරෝ නමැති සමාජ සුබසාධක වැඩසටහන් මඟින් සිය රටේ දිළිඳු බව තුරන් කරන්නට පියවර ගත් ඔහු අන්තර් ජාතික ප්‍රඳර්ශනවල දී ද මැදිහත් විය. වාමාංශිකයකු වූ ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ නොහොඳින් පසුවිය. ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නයේ දී ඔහු ඉරානය පැත්තේ සිටියේය.

එහෙත් ඔහුට දූෂණ චෝදනා එල්ල විණි. මේ වනවිට ඔහු සිටින්නේ අච්චු කරනු ලැබ බන්ධනාගාරයේය. ඒ බරපතළ වංචා හා දූෂණ චෝදනා පිළිබඳ නඩු විභාගයකින් වරදකරු කරනු ලැබීම නිසාය. ඔහුගේ මෙම ක්‍රියා කලාපයත් අනුප්‍රාප්තිකයා වු දිල්මා රඋසෙල්ෆ්ට එල්ල වූ චෝදනා නිසාත් මෙවර බ්‍රසීලියානුවන් විසින් අන්ත දක්ෂිණාංශික පාලකයකු තෝරා පත් කැර ගත්තාට සැක නැත.

ලුලා මෙන් නොව බොල්සොනාරෝ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇසුරු කරන්නට ප්‍රිය බව පැහැදිලි ය. ඔහුගේ ජයග්‍රහනය නිමිත්තෙන් ජනාධිපති ට්‍රම්ප් විසින් පළ කරන ලද ට්විටර් පණිවුඩය ඔහුට මහත් ආහ්ලාදයක් ගෙන දුන් බව ඒ ගැන සඳහන් කරමින් ඔහු විසින් තබන ලද ට්විටර් පණිවුඩයෙන් පැහැදිලි ය.

පසුගිය වසර දෙක තුළ එරට ජනාධිපතිවරයා ව සිටි කන්සර්වෙටිව් මතධාරී මයිකල් ටෙමර්ගේ ක්‍රියාකලාපය ද ජනතාව දකුණට හරවන්නට හේතු වූ බව පැවසේ.

සිය පක්ෂය ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට බැඳී සිටින බව නව ජනාධිපතිවරයා පැවසීය. ඒ පක්ෂයේ ප්‍රතිඥාව පමණක් නොවේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත ද එයයි. මේ රට විනීත රටක් බවට පත් කරන්නට තමා ප්‍රතිඥා දෙන බවත් තමා බ්‍රසීලයේ ඉරණම වෙනස් කරන බවත් ඔහු පැවසූ බව සඳහන් ය.

බ්‍රසීලය 1964 සිට 1985 දක්වා මිලිටරි පාලනයට නතුව පැවැතියේ ය. හමුදා කපිතාන්වරයකු ලෙස සේවය කොට ඇති නව ජනාධිපතිවරයා නැවතත් එරට හමුදා පාලනයකට ගෙන යනු ඇතැයි ඔහුගේ විරුද්ධවාදීන් බිය පළකොට ඇත. ප්‍රචාරක රැලිවලදී ඔහු විසින් පවත්වන ලද කතා අනුව පළ වූයේ ජාතිවාදී, ස්ත්‍රීන්ට එරෙහි සහ සමරිසින්ට එරෙහි අදහස්ය. විරුද්ධ පක්ෂය වෙනුවෙන් ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදුනු මන්ත්‍රීවරියකුට ඔහු ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැන වැදී ඇති අතර තමා ඇයව දූෂණය නොකරන්නේ ඇය අවලස්සන නිසා බව පවසා ඇත.

මේ අතර බ්‍රසීල ජනතාව වීදි බැස ජය සමරන අයුරු පෙනෙන්නට ඇති බව මාධ්‍ය වාර්තා කරයි. එහෙත් පරාජිත පක්ෂයේ අය කියන්නේ මේ ජයග්‍රහණය තමන්ට පුදුමයක් ගෙන දුන් බවයි. මිනිසුන් තුවක්කුවට සහ වෛරයට නැවත බලය පවරා ඇති බව ඔවුහු කියති. ජයග්‍රාහී පාර්ශ්වය පුන පුනා සඳහන් කරන්නේ වංචාවට සහ දූෂණයට එරෙහිව මිනිසුන් සිය ප්‍රජාතාන්ත්‍රීය අයිතිය භාවිත කොට ඇති බවයි. වංචාවට සහ දූෂණයට එරෙහි ජනයා මේ ජයග්‍රහණය ගැන සතුටු වන අතර ඊට පක්ෂ ජනයා මේ ජයග්‍රහණයෙන් කනගාටුවට පත් ව සිටිති.

ලූලාගේ සංවර්ධන කටයුතු නිසා ඇමසන් වනාන්තරයේ බ්‍රසීල මායිම විනාශයට පත් විය. ඝර්ම කලාපීය ශාක හා සත්ත්ව විශේෂ විශාල සංඛ්‍යාවක් වෙසෙන මේ ඇමසන් ජල ද්‍රෝණියේ සාරවත් වනාන්තර ලෝක උරුමයක් සේ ගැනේ. ඒවා වනසමින් කරන ලද සංවර්ධනය පරිසරවේදීන්ගේ දැඩි විවේචනයට බඳුන් විය. මේ ජනාධිපතිවරයා යටතේ ඉදිරියට තවදුරටත් එය විනාශ වනු ඇතැයි යන බිය පළවේ. මන්ද ඔහු පරිසරය ගැන තැකීමක් නොකරන ට්‍රම්ප් පන්නයේ කෙනකු වන්නට අදහස් කරන බව මේ වනවිටත් ප්‍රකාශ කොට ඇති හෙයිනි. එවැනි රාජ්‍යයේ නායකයන්ට අනාගත පරිසරය සඳහා මේ මිහිතලය සුරකින්නට ඇවැසි නැත. ඔවුන්ගේ එකම අභිප්‍රාය සංවර්ධනය ම පමණි. එහෙත් එමඟින් තමන් මුළු ලොවටම අවැඩක් කරන බව ඔවුන් සැලකිල්ලට ගන්නේ නැත.

මාතෘකා