ඉන්දු-ලංකා සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමේ පියවර

 ඡායාරූපය:

ඉන්දු-ලංකා සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමේ පියවර

2017 වසරේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව ඉන්දු ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් තිබීම තමන්ගේ කනස්සල්ලට හා කනගාටුවට හේතු වී ඇති බවත් පමා වූ ව්‍යාපෘතීන් කඩිනමින් ක්‍රියාත්මක කරලීමට පියවර ගන්නා ලෙසත් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම ඉල්ලීම කළේ පසුගියදා (20) දහවල් නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස හමු වූ අවස්ථාවේදී ය.

රාජ්‍ය තාන්ත්‍රික කාර්යයන් සම්බන්ධව තමා වැඩිම කාලයක් වැය කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බවත්, කරනු ලබන සත්කාර්යයන් සඳහා කිසියම් ගැටලුවක් ඇත්නම් නොපැකිළව සාකච්ඡා කරන ලෙසද ඉල්ලා සිටියේය. එහිදී මෝදි මහතා හෝ ඉන්දීය රජය පිළිබඳව කිසිදු සැකයක් හෝ ගැටලුවක් තමා තුළ හෝ ශ්‍රී ලංකිකයන් තුළ නොමැති බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා එවැනි වැරදි වැටහීමක් ඇති වීමට කිසියම් හෝ හේතුවක් වී නම් ඒ පිළිබඳව කනගාටුව පළ කරන බවද පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ වික්‍රමසිංහ මහතා, ව්‍යාපෘති පාමාවීම සම්බන්ධව තමාගේද දැඩි සැලකිල්ල යොමු වී ඇති බවත්, ව්‍යාපෘති කඩිනම් කරලීම ගැන සුදුසු පියවර ගැනීමට අපේක්‍ෂා කරන බවත් පැවසීය.

2015 වසරෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා වඩාත් ශක්තිමත් තලයකට පත් වූ බව මෙහිදී පෙන්වා දුන් ඉන්දීය අග්‍රමාත්‍යවරයා, තමන්ගේ අරමුණ අසල්වැසි ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා සමෘද්ධිය බව අවධාරණය කළේය. ආර්ථික, සංස්කෘතික හා ආරක්‍ෂක අංශ සලකා බලද්දී දෙරට අතර අඛණ්ඩව පැවතිය යුතු නොබිඳෙන සමීප සම්බන්ධතාව අතිශය වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් තමා කත්මණ්ඩු නුවරදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කළ අවස්ථාවේදී 2017 අවබෝධතා ගිවිසුමට අනුකූලව සියලු කාර්යයන් සිදු කිරීම පිළිබඳව අදහස් හුවමාරු කරගත් බවද මෝදි මහතා පෙන්වා දුන්නේය.

සුවසැරිය ගිලන් රථ සේවාව ලබා දෙමින් ජීවිත දහස් ගණනක් රැකගැනීමට මෝදි මහතා දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා සමස්ත ලාංකිකයන් වෙනුවෙන් කෘතවේදීත්වය පළ කළේය.

ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති, යටිතල පහසුකම් සැපයීම් හා වෙනත් සංවර්ධන ක්ෂේත්‍රයන් වෙත ඉන්දියාව ලබාදෙන සහයෝගය අගය කළ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳ දැනුම ලාංකේය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ප්‍රදානය කරලීම සඳහා සහාය දක්වන ලෙසද මෝදි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස දසදහසක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමටද කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.

දෙරටේ ආරක්‍ෂක කටයුතු සම්බන්ධව විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතු බව පෙන්වා දුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විදේශ මැදිහත්වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරලීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව කිසි විටෙක ඉන්දීය ආරක්‍ෂාවට තර්ජනයක් වන කිසිවක් සිය භූමිය තුළ සිදු කරලීමට ඉඩකඩ නොදෙන බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා තම රට ලෝකයේ ඕනෑම රටක් සමඟ එක්ව ක්‍රියා කරන්නේ ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පමණක් බවද පැහැදිලි කළේය. මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ දූෂණ මැඬපැවැත්වීම සඳහා සහාය ලබාදෙන ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

තම මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි මහතා ඉන්දීය ක්‍රිකට් දූෂණ මැඬලීම පිළිබඳ වූ ව්‍යාපෘතියේ අත්දැකීම් රැසක් ඇත්තකු බැවින්, ආරම්භයක් ලෙස ඔහු සමඟ සාකච්ඡා අරඹන ලෙස මෝදි මහතා දැනුම් දුන්නේය.

ඉන්දීය බලධාරීහු වහාම ඒ සාකච්ඡාව සංවිධානය කළහ.

මාතෘකා