ජමාල් කෂෝගි: ලෝකයට ම අභිරහසක්

 ඡායාරූපය:

ජමාල් කෂෝගි: ලෝකයට ම අභිරහසක්

ජමාල් කෂෝගි අතුරුදන්වීම කියන්නේ ඉකුත් දින කිහිපයේදී බොහෝදෙනා කතාබහ කළ මාතෘකාවක්. එම මාතෘකාවට පිවිසෙන්නට ප්‍රථම ජමාල් කෂෝගි යනු කවුරුන්ද යන්න අපි කෙටියෙන් විමසා දැන ගනිමු.

ජමාල් කෂෝගි යනු සෞදි පුවත් ආයතන කිහිපයක් වෙනුවෙන් ප්‍රබල පුවත් ආවරණය කළ ප්‍රකට මාධ්‍යවේදියෙකි. ඔහු සෞදි රජයේ උපදේශකයෙකු ලෙස ද සේවය කර ඇති අතර පසුකාලීනව රජයේ උදහසට ලක් වී තිබේ. පසුව ඔහු පසුගිය වසරේ ඇමෙරිකාවට ගොස් Washington Post පුවත්පතේ මාසික තීරු ලිපියක් පළ කළේය. මේ අතර Washington Post පුවත්පත පසුගිය බ්‍රහස්පතින්දා (18) කෂෝගි අවසන් වරට ලියූ තීරු ලිපිය පළ කළ අතර එහි අන්තර්ගත වූයේ අරාබි ලෝකයේ මාධ්‍ය නිදහස පිළිබඳවය.

<a href=https://www.washingtonpost.com/opinions/global-opinions/jamal-khashoggi-...</a>

පසුගිය ඔක්තෝබර් 02 වනිදා සිට අතුරුදන්ව සිටින සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගි සොයා කෙරෙන සෝදිසි මෙහෙයුම් පුළුල් කිරීමට තුර්කි පොලිසිය පියවර ගෙන තිබුණි. 

පසුගිය 2 වැනිදා දහවල් 01.14ට පමණ ජමාල් කෂෝගි තුර්කියේ ඉස්තාන්බුලහි පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් පසුව ඔහු මෙලෙස ඝාතනය කර ඇති බවට තුර්කි නිලධාරීන් චෝදනා කරයි. ජමාල් කෂෝගි කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ සිය පෙම්වතිය වූ හැටිස් සෙන්ගිස් විවාහ කර ගැනීම සඳහා අවශ්‍ය අවසර ලිපියක් ලබා ගැනීමටය. කෂෝගි කොන්සල් කාර්යාලයට ඇතුළත් වීමෙන් පැය දෙකකට පමණ පසු සෞදි රාජ්‍යතාන්ත්‍රික අංක සහිත වාහන කිහිපයක් කාර්යාලයේ සිට කොන්සල්වරයාගේ නිවස දෙසට ධාවනය වූ ආකාරය CCTV කැමරාවල සටහන් වී තිබේ. කොන්සල් කාර්යාලය අභ්‍යන්තරයට පිවිසි ජමාල් ෂෝගී ඉන් බැහැර වූ බවට කිසිදු සාක්ෂියක් මේ වන තෙක් ලැබී නොමැත. කොන්සල් කාර්යාලයට ගොස් මඳ වෙලාවකට පසු ජමාල්ගේ කෑගැසීම් හඬ ඇසී ඇති අතර එම හඬ ඇතුළත් හඬ පටිගතවීමක් තුර්කි බලධාරීන් අතට මේ වන විට පත්ව ඇත. එහි අඩංගු තොරතුරු අනුව ජමාල් දැඩි ලෙස වධ හිංසනයන්ට ලක්ව ඇති බව තුර්කි බලධාරීහු අනාවරණය කරයි. ජමාල් ජීවතුන් අතර සිටියදීම ඔහුගේ අතැඟිලි කපා දමන්නට හෝ ශරීරය කොටස්වලට වෙන් කරන්නට හෝ ඇති බවත් කිසියම් විෂක් ශරීරගත කර අනතුරව ඔහුව ජීවිතක්ෂයට පත්කර ඇති බවත් තුර්කිය කියා සිටියි. තුර්කි නිලධාරීන් පවසන අන්දමට කොන්සල් කාර්යාලයේ සිටි සෞදි නියෝජිතයින් පිරිසක් විසින් කෂෝගි ඝාතනය කර පසුව ඔහුගේ මළ සිරුර එම ස්ථානයෙන් රැගෙන ගොස් ඉස්තාන්බුල් නගරයට ආසන්න කැළයක හෝ වගාබිමක අදාළ මාධ්‍යවේදියාගේ සිරුර දමාගොස් ඇති බවට සැක කරයි. ඔක්තෝබර් 03 වැනිදා කොන්සල් කාර්යාලය තුළදී ජමාල් කෂෝගි අතුරුදන් වී ඇති බවට තුර්කි රජය නිවේදනය කළ අතර කෂෝගි නිරුපද්‍රිතව තානාපති කාර්යාලයෙන් පිටව ගිය බව සෞදි අරාබිය පසුගියදා (04) පවසා තිබේ. ඔක්තෝබර් 07 වැනිදා කෂෝගි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කර ඇති බව තුර්කි බලධාරීහු බීබීසී පුවත් සේවයට පැවසීමෙන් අනතුරුව සෞදි අරාබිය එය ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ නමුත් තමන් සතුව ඝාතනය සම්බන්ධයෙන් වීඩියෝ සහ හඬපට ඇතැයි තුර්කි බලධාරීහු ඔක්තෝබර් 13 වැනිදා  බීබීසී අරාබි සේවයට ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ජමාල්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සෞදි රජය දෙසට ඇඟිල්ල දිගු කරන්නට පටන් ගැනීමත් සමග එල්ල වූ පීඩනය හේතුවෙන් මෙතෙක් ඒ සම්බන්ධයෙන් හරියාකාර පිළිතුරක් දීම මඟ හැර සිටි සෞදි බලධාරීහු ජමාල් ජීවිතක්ෂයට පත් වූ බව රාජ්‍යය රූපවාහිනී සේවාව හරහා ප්‍රචාරය කිරීමට පළමුවරට කටයුතු කලේය.

තවද මෙම සිද්ධිය සෞදි අරාබිය සහ බටහිර රටවල් අතර සබඳතාවලට සැලකිය යුතු බලපෑමක් එල්ල කර තිබේ. එය පැහැදිලි වන්නේ, අමෙරිකානු රාජ්‍ය භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් එම්න්‍යුචින් සහ එක්සත් රාජධානියේ වෙළෙඳ ලේකම් ලියම් ෆොක්ස් රියාද්හි ලබන සතියේ පැවැත්වීමට නියමිත සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන පෙළේ ආයෝජන සමුළුවකට සහභාගි නොවීමට ගෙන ඇති තීරණයත් සමගයි. 

 

 

මාතෘකා