මානව හිමිකම් ප්‍රතික්ෂේප කරන්නන්ට ෆ්‍රැන්සිස් පාප්තුමාගෙන් අතුල් පහරක්

 ඡායාරූපය:

මානව හිමිකම් ප්‍රතික්ෂේප කරන්නන්ට ෆ්‍රැන්සිස් පාප්තුමාගෙන් අතුල් පහරක්

අගරදගුරු ඔස්කාර් රමේරෝ සාන්තුවරයට පත් කිරීම මගින් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මානව හිමිකම් පිළිබඳ විරෝධාකල්පයන් දක්වන්නන් වෙත බරපතළ පහරක් එල්ල කර තිබේ. එමෙන්ම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ යටතේ කතෝලික පල්ලිය සිය ස්ථාවරයන් වෙනස් කිරීම පිළිබඳ එක් උදාහරණයක් ලෙස ද එය විග්‍රහ කළ හැක.

ඔස්කාර් රමේරෝ ලෝක ප්‍රසිද්ධ වූයේ කතෝලිකයන් වෙනුවෙන් කළ අරගලයක් හේතුවෙන් නොව මනුෂ්‍යත්වය වෙනුවෙන් කළ අරගලය හේතුවෙනි; මර්දනයට එරෙහි වූ හෙයිනි; මර්දනය විසින් නිහඬ කළ හෙයිනි.

ඔස්කාර් රමේරෝ

ඔස්කාර් රමේරෝ උපන්නේ 1917දීය. තම පළාතේ සෙමනේරියට 13 වන වියේදී ඇතුළත් වූ ඔහු පසුව එල් සැල්වදෝර් අගනුවර වන සැන් සැල්වදෝර් හි ජාතික සෙමනේරියෙන් ද ඉතාලියේ ග්‍රිගෝරියන් සරසවියෙන් ද දේවධර්මය උගත්තේය. යළි සියරට පැමිණි හෙතෙම දශක දෙකක් සැන් මිගෙල් ප්‍රදේශයේ සේවය කළේය. ඔහු දුගී ජනයාට සමීපව කටයුතු කිරීම ඇරඹූයේ එහිදී ය.

1970දී එම ප්‍රදේශයේ ඔහුගේ සේවය නිම වුවද රමේරෝ දිගටම දරිද්‍රතාවට එරෙහිව දේශනා කළේ ය. 1977දී ඔහු සැන් සැල්වදෝර් හි අගරදගුරු ලෙස පත් වූයේ ය.

1979දී එල්සැල්වදෝර් හි හමුදා කුමන්ත්‍රණයක් සිදු වූයේ ය. මෙම පාලනය යටතේ ප්‍රජා පීඩනය දරුණු වූයේ ය. වාමාංශිකයන් ඇතුළු විරුද්ධවාදීන් ඉලක්ක කරගෙන හමුදා ක්‍රියාමාර්ග දියත් වූ අතර දක්ෂිණාංශික ඝාතන කල්ලි ද බිහි වූයේ ය. රමේරෝ රජය විසින් ගෙන ගිය ඝාතන මෙන්ම විවිධ කල්ලි විසින් කරන ලද ඝාතන ද විවේචනය කළේ ය.

1980 මාර්තු 23 වනදා ඔස්කාර් රමේරෝ සිය දේශනයකදී සැල්වදෝර් සොල්දාදුවන් ඇමතී ය. දෙවියන්ගේ නාමයෙන් රටවැසියන් වෙත එල්ල කරන ප්‍රචණ්ඩත්වය නවතා දමන මෙන් රමේරෝ ඉල්ලා සිටියේ ය. අමානුෂික වන කිසිදු නියෝගයක් පිළිනොගන්නා ලෙස ඉල්ලා සිටියේ ය.

රමේරෝගේ ඝාතකයා ඔහු කරා පැමිණීමට තීරණය කළේ මෙම දේශනයෙන් පසුද යන්න හෙළි වී නැත. නමුත් මෙම දේශනයෙන් පසුදා රමේරෝ කරා ඝාතකයා පැමිණියේ ය.

සැන් සැල්වදෝර් හි දිව්‍යදාන රෝහල සමග බැඳී ඇති දිව්‍යදාන දේවස්ථානයෙහි රමේරෝ සවස දේව මෙහෙයක් පැවැත්වී ය. එය අවසන් වනවාත් සමඟ එම ස්ථානයට රතු පැහැති කාරයක් පැමිණි අතර තුවක්කුකරුවකු ඉන් පිටතට බැස්සේ ය. දේවස්ථාන දොරටුව කරා ඇදුණ හෙතෙම අගරදගුරුවරයා දෙසට වෙඩි තැබීය. හදවත පසාරු කළ උණ්ඩයක් ඔහුගේ දිවි තොර කළේ ය.

මෙම ඝාතනය පිළිබඳ වගකිවයුත්තකු කිසිදා නීතිය හමුවට ගෙන එනු නොලැබිණ. පසුකාලීනව එක්සත් ජාතීන් විසින් කරන ලද විමර්ශනයකින් කියැවුණේ එකල ඝාතක කල්ලියක් මෙහෙයවූ, පසු කලෙක ARENA දේශපාලන පක්ෂය පිහිටුවූ, රොබර්තෝ ඩ'අබුයිසොන් මෙයට වගකිව යුතු බව ය. නමුත් ඩ'අබුයිසොන් ද 1992දී මියගිය හෙයින් එම මරණය පිළිබඳ රහස සැඟව ගොස් තිබේ. අදටද ඇතැම් සැල්වදෝර් වැසියෝ මෙම මරණය පිළිබඳ යළි විභාග කරන මෙන් ඉල්ලා සිටිති. රමේරෝගේ ඝාතනය සමස්ත එල් සැල්වදෝරයම කම්පාවට පත් කළේ ය. එරට වූ දුගී ජනයාගේ වීරයා මියගොස් සිටියේ ය. ඒ වෙනුවට මෘගයෝ එල් සැල්වදෝරය අරක් ගත් හ.

වාමාංශික කණ්ඩායම් පහක් එක්ව ෆරාබුන්ඩෝ මාර්ටි ජාතික ව්‍යාපාරය (FMLN) පිහිටුවා ගන්නා ලද්දේ ද එම වසරේ ය. රජයේ හමුදා සහ ඝාතන කල්ලි සමඟ මෙම සංවිධානය ගැටුණේය. වසර දොළහක් තිස්සේ ඇදුණ යුද්ධය නිම වූයේ අවම වශයෙන් 80,000 ක් දෙනා ඝාතනය වූ පසු ය. බොහෝ විට මෙම සංඛ්‍යාව මීට වඩා වැඩි මිස අඩු නොවී ය. දහස් ගණනක් දෙනා අතුරුදහන් කරන ලදී. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ බරපතළ සිද්ධීන් වාර්තා වුවද ඇෙමරිකාව දිගටම එල් සැල්වදෝර් පාලනයට ආධාර කළේ ඔවුන් මාක්ස්වාදී කැරැල්ලකට මුහුණ දෙමින් පවතින බව පවසමිනි.

එල් සැල්වදෝරයට සාමය ළඟා වූයේ 1992 ජනවාරියේදී ය. ලතින් ඇෙමරිකාවේ සාම වැඩපිළිවෙළක් පිළිබඳ ජයග්‍රාහී කතා පුවතක් ලෙස එල් සැල්වදෝරය සැලකිය හැක. වර්තමානයේ FMLN සහ ARENA යනු එරට ප්‍රධානම දේශපාලන පක්ෂ දෙක ය. නමුත් එරට දරිද්‍රතාව අදට ද සම්පූර්ණයෙන් නොවිසඳුණු ගැටලුවකි.

සාන්තුවරය

ඔස්කාර් රමේරෝ සාන්තුවරයට උසස් කිරීම පිළිබඳ කතාබහ මීට පෙර සිටම මතුවූ නමුත් දෙවන ජුවාම් පාවුළු සහ දහසයවන බෙනඩික් යන පාප්වරුන් යටතේ එය ක්‍රියාවට නොනැඟිණ. රමේරෝ සාමාන්‍ය කතෝලික පල්ලියෙහි ස්ථාවරයට වඩා වාමවාදී තලයක සිටීම ඊට එක් හේතුවක් වූ බව සැලකේ. නමුත් ෆ්‍රැන්සිස් පාප්තුමා යටතේ එම තත්ත්වය වෙනස් වූයේ ය.

ඔස්කාර් රමේරෝ සාන්තුවරයට උසස් කිරීම තහවුරු කරන ලද්දේ පසුගිය මැයි මාසයේ ය. ඔක්තෝබර් 14 වනදා වතිකානුවේදී රමේරෝ නිල වශයෙන් සාන්තුවරයට උසස් කරන ලදී.

ඔස්කාර් රමේරෝ දුගීන්ට සහ තම ජනතාවට සමීපව ජීවත් වීම සඳහා තම පුද්ගලික ආරක්ෂාව පවා පරදුවට තැබූ බව ෆ්‍රැන්සිස් පාප්තුමා මෙහිදී කියා සිටියේ ය. විදෙස් මාධ්‍ය සඳහන් කළේ රමේරෝ ඝාතනය වන අවස්ථාවේ පැලඳ සිටි ලේ වැකුණ ඉඟ පටිය ඔහු සාන්තුවරයට උසස් කරනු ලැබූ අවස්ථාවේදී ෆ්‍රැන්සිස් පාප්තුමා විසින් පැලඳ සිටි බව ය.

මානව හිමිකම්

රමේරෝ ඝාතනය වූයේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඬ නැඟීම නිසා ය. ඔහු සාන්තුවරයට පත් කිරීමෙන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පෙන්වා දුන්නේ තමන් යටතේ වතිකානුව මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව ය. කතෝලික පල්ලිය සියවස් ගණනක් තිස්සේ පිළිගත් ස්ථාවරයන් අනුව මානව අයිතිවාසිකම් පිළිබඳ එහි පිළිගැනීම ඒ පිළිබඳ සටන් වදින ක්‍රියාධරයන් බලාපොරොත්තු වන තරම් රැඩිකල් වන්නේ යයි බලාපොරොත්තු විය නොහැක. නමුත් ෆ්‍රැන්සිස් පාප්තුමා යටතේ මතුව ඇති නැඹුරුව ප්‍රසංශනීය ය.

දේශපාලන හෝ වෙනයම් හේතුවක් මත මානව අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කරමින් තම ලෝගුව උනා දමා දේශප්‍රේමයේ ලෝගුව හෝ වෙනත් යම් ඉල්ලාගත් රෙදිකඩක් හෝ පිටිපස සිය නිරුවත වසා ගන්නට තැත් කරන ඇතැම් කතෝලික පූජකයන්ට, ඔස්කාර් රමේරෝ සාන්තුවරයට පත් කිරීම යනු, ෆ්‍රැන්සිස් පාප්තුමාගෙන් ලැබුණ අතුල් පහරකි.

[චාමර සුමනපාල]

මාතෘකා