ලෝක විනාශය වැළැක්වීමේ අභියෝගය

 ඡායාරූපය:

ලෝක විනාශය වැළැක්වීමේ අභියෝගය

පෘථිවි තලය පුරා ස්වාභාවික ව්‍යසන සංඛ්‍යාවෙන්, පරිමාණයෙන් මෙන්ම හානියෙන්ද ඉහළ යමින් පවතින බව මාධ්‍ය වාර්තා අනුව පැහැදිලිය. මේවායින් භූමිකම්පා සහ සුනාමි හැරුණු විට ගංවතුර, විවිධ නම්වලින් හැඳින්වෙන කුණාටු සහ ඉඩෝරය දේශගුණික වෙනස් වීම් නිසා සිදු වන බව අමුතුවෙන් කියන්නට දෙයක් නැත.

මේ දේශගුණික වෙනස්වීම්වලට හේතුව මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයේ ඇති වන වෙනස්කම්ය. මූලික වශයෙන් පරිසරයට හානිදායක මිනිස් ක්‍රියාකාරකම් දෙආකාරය. ඉන් පළමුවැන්න නම් පරිසරයට කාබන් ඩයොක්සයිඩ් සහ නොයකුත් විෂ වායු මුදාහැරීමය. දෙවැන්න නම් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කළ හැකි එකම ග්‍රාහකය වන තුරු ලතා විනාශ කර දැමීමය.

කාබන් චක්‍රය පහළ පන්තිවල සිටම ළමුන්ට උගන්වනු ලැබේ. පෘථිවි වායුගොලයේ සමතුලිතතාව ඇති වන අයුරු එමඟින් කියා දෙනු ලැබේ. එයට අනුව ශ්වසනය සහ පරිවෘත්තිය වැනි සත්ත්ව ක්‍රියාකාරකම් සහ දහනය නිසා උපදින කාබන් ඩයොක්සයිඩ් උරා ගෙන ප්‍රභාසංශ්ලේෂණය මගින් ශාක ආහාර නිපදවයි. ඒ ශාක කොටස් ප්‍රයෝජනයට ගන්නා මිනිස්සු සහ සත්තු නැවත පරිසරයට කාබන් ඩයොක්සයිඩ් මුදා හරිති. මේ ඉතා සරල කිරීමකි. මෙය පශ්චාත් ප්‍රථමික සිසුන්ට ඉගැන්වීම සඳහා වුව අඩු තරමින් කලච්ඡෙද හතරක්වත් අවශ්‍ය වනු ඇත.

චක්‍රයක් කිසියම් තැනකින් බිඳුණ හොත් එහි තුළිත බව නැති වේ. දැන් සිදුව ඇත්තේ එයයි. වර්තමානයට අනුව කාබන් චක්‍රය යල් පැන ගිය එකකි. දැන් කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට නිකුත් වන්නේ ජීවීන්ගේ ශ්වසනය හා පරිවෘත්තිය වැනි ස්වාභාවික ක්‍රියා නිසා පමණක් නොවේ. එමෙන් දහස් ගුණයක් ඔහුගේ යාන්ත්‍රික වැඩ නිසාය.

මිනිසා අනෙක් සත්ත්වයන්ට වඩා දියුණුය. ඔහු තමන්ගේ ආහාර අමුවෙන් ප්‍රයෝජනයට නොගනී. කෑමට සුදුසු පරිදි සිය ආහාරය සකස් කැර ගන්නට ගින්දර අවශ්‍යය. ගින්දර නිපදවා ගන්නා ලද්දේ ගස්වල කොටස් දැවීමෙනි. ගස් යනු මේ පරිසරයේ ඇති දෙයකි. ඒවා දැවීමේ දී ඒවා සෑදී ඇති අංශු වාතයට එක් වීම පමණක් සිදු වේ.

එහෙත් පසුව මිනිසා ගල්අඟුරුද ඉන්පසුව ෆොසිල ඉන්ධනද සොයාගෙන ඒවා විවිධ ක්‍රමවලට දහනය කරන්නට පටන් ගත්තේය. එතැන් සිට පෙර කී තුලිත බව බිඳී ගියේය. මන්ද මේවා පරිසරයෙන් නොව ඊට පිටින් රැගෙන එන ඒවා වන බැවිනි. පරිසරයට පිටින් එන දෙයක් පරිසරයේ දී අංශුවලට බිඳෙයි. එවිට ඒවා පරිසරයට අතිරේක බරක් ශේෂ කරයි. දැන් කාබන් චක්‍රයේ තුලිත බව බිඳී ගොස්ය. ඉන්ධන දහනයේදී කාබන් ඩයොක්සයිඩ් මෙන් ම කාබන් මොනොක්සයිඩ් ද

මීතේන් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි ඉන්ධනයේ ඇති අනෙක් මූලද්‍රව්‍ය නිසා ඇති වන සංයෝග ද, හරිහැටි දහනය නොවීම නිසා කාබන් අංශු හෙවත් දැලිද වායුගෝලයට මුදා හැරෙනු ඇත.

අනෙක් අතට කවරාකාර දහනයක් සිදු වුවත් ඊට ඔක්සිජන් වැය වන හෙයින් සියලු ජීවීන්ගේ ශ්වසනයට අත්‍යවශ්‍ය වැදගත්ම මූලද්‍රව්‍යය වෙනත් කටයුතු සඳහා වැය වෙයි.

එය ද පෘථිවි ගෝලයේ තුලිත බව බිඳින්නට හේතු වනවා ඇත.

පෘථිවියට දරා ගන්නට බැරි තරමින් නිපදවන මේ අතිරේක වායු පිටව යන්නට තැනක් නැති නිසා ඉහළ වායුගෝලයේ එක් රැස් වෙයි. එසේ එක්රැස්වන වායු නිසා දෙආකාර හානියක් සිදු වේ.

එකක් හිරු සහ පෘථිවිය අතර ආරක්‍ෂක පලිහක් මෙන් සිටිමින් හිරුගෙන් නිකුත් වන බලවත් පාර-ජම්බුල කිරණවලින් පෘථිවියේ ජීවීන් ආරක්‍ෂා කරන ඕසෝන් ස්ථරයට එය හානි පැමිණවීමය. අනෙක සමහර පැළ තවානක ආරක්‍ෂාවට ඉහළින් යොදා ඇති කොළ පැහැති වියන මෙන් වියනක් සෑදී වායුගෝලයේ සංචරණයට බාදා ඇති කිරීම ය. මේ සංසිද්ධිය හරිතාගාර ආචරණය ලෙස හැඳින්වේ.

මේ දෙකම එකසේ භයානක මෙන්ම හානිදායකද වෙයි.

අප ජීවත් වන පරිසරයේ උෂණත්වය දේශගුණික හා කාල ගුණික සාධක මතද ඍතු විපර්යාස අනුවද කලින් කල වෙනස් විය හැකි නමුත් දළ වශයෙන් පෘථිවියේ උෂ්ණත්වය නියත මට්ටමකින් පවත්වා ගෙන යන්නට සොබාදහම වග බලාගනියි. එහි ප්‍රතිඵල භුක්ති විඳින්නේ මිනිසා ය. එහෙත් ඒ මිනිසා ම ආත්මාර්ථකාමී ලෙස සොබා දහමට අභියෝග කරන්නේ නම් සොබා දහම වියරු වැටෙනු වළක්වාලිය නොහැකිය.

එහෙත් මිනිසාට ජීවත් වන්නට ආපසු ගල් යුගයට යා නොහැකිය. ඔහුට දැන් විවිධ පහසුකම් අවශ්‍යය. ඔහුට රසවත් කෑම අවශ්‍යය. ඔහුගේ නිවසේදී ඔහුට අතපය නොසොල්ලාම සෑම දෙයක්ම කැර ගන්නට හැකි විය යුතුය. හැකිතාක් වේගයෙන් යා හැකි විය යුතුය. මේවා සංවර්ධනයේ දර්ශක ලෙස ගැනේ. දියුණු නොදියුණු බව මනිනු ලබන්නේ මිනිසා භූක්ති විඳින පහසුකම් අනුවය. වෙනත් ආකාරයකින් කියනවා නම් පරිභෝජනය ඉහළ යන තරමටය.

පරිභෝජනය ඉහළ යත් ම කාබන් චක්‍රය අනෙක් අතට කැරකෙන්නට පටන් ගනියි.

මේ තත්ත්වය වටහා ගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය 2015 වසරේ නොයෙක් සාකච්ඡා හා සම්මන්ත්‍රණ පවත්වා විද්‍යාඥයන්ගේ දත්ත පිරික්සා ඔවුන් දුන් නිර්දේශ අනුව විවිධ සම්මුති සකස් කළේය. අවසන් වශයෙන් සකස් කළ සම්මුතිය පැරිස් සම්මුතිය වෙි. එය 2015 වසරේ පැරිස් නුවර දී සියල්ලන්ගේ එකඟත්වයෙන් කෙටුම්පත් අනුමත වූ අතර 2016 අප්‍රේල් මාසයේ අත්සන් තැබිණි.

ඉතා සරල වශයෙන් කියන්නේ නම් මේ සම්මුතියේ පොදු එකඟතාව වන්නේ හරිතාගාර ආචරණය අවම කෙරෙන ඉන්ධන පරිභෝජනය සීමා කරන්නටය. එහි සඳහන් එක් එකඟතාවක් වන්නේ 2040 වන විට සියලුම ඩීසල් සහ පෙට්‍රල් වාහන භාවිතයෙන් ඉවත් කිරීමය. ලොව සියලු රටවල් මෙන්ම කලාපීය සංගම්ද එක්සත් ජාතීන්ගේ නියෝජ්‍යායතනද වශයෙන් අත්සන් තැබූ සංඛ්‍යාව 196කි.

එය ක්‍රියාත්මක වීම ඇරැඹෙනු ඇත්තේ 2020 වසරේය.

වැඩිම හරිතාගාර වායු මෝචනය සිදුවන්නේ කාර්මික රටවලින් බව අමුතුවෙන් කියන්නට දෙයක් නැත. මේ නිසා එබඳු රටවල් සීමා කිරීම්වලට නොරිස්සුමක් පෙන්වයි. ලොව ප්‍රධාන ආර්ථික දෙකට පිළිවෙළින් හිමිකම් කියන අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය මේවාට දක්වන්නේ වැඩි කැමැත්තක් නොවේ. අමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාජකාරි භාර ගත්තායින් පසු කරන ලද මුල්ම කාර්යයන් අතරට පැරිස් සම්මුතියෙන් ඉවත් වීම ද අයත්ය. එහෙත් චීනය එසේ ඉවත් වී නොමැත.

මෙහි විශේෂය වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ ජනගහනය ලොව ජනගහනයෙන් 5% පමණක් වීමත් එහෙත් ලොව ෆොසිල ඉන්ධනවලින් 20% පරිභෝජනය කරන්නේ එරට වීමත්ය.

ගෝලිය උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශක දෙකකින් ඉහළ ගියහොත් උද්ගත විය හැකි විපාක දරුණු බව විද්‍යාඥයන්ගේ මතයයි. ඒ නිසා එය 1.5 හෝ ඊට අඩු මට්ටමක පවත්වා ගෙන යායුතු බව එක්සත් ජාතීන් විසින් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන්නට පත් කරන ලද විද්‍යාඥයන් පෙන්වා දී ඇත.

දැනටමත් ධ්‍රැවගත අයිස් දියවෙමින් පවතියි. මේ ජලය එකතු වනුයේ සාගරවලටය. එහි ප්‍රතිඵල ලෙස සාගර ජල මට්ටම ඉහළ යෑම සිදුවනු ඇත. එයින් සිදුවනු ඇත්තේ මුහුද ගොඩ ගැලීමයි. මුලින්ම දූපත් රාජ්‍ය මුහුදේ ගිලී යනු ඇත. අපේ අවටින්ම උදාහරණ ලෙස මාලදිවයින, ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ හැකිය. සංවර්ධිත රටවලට අනතුර එනු ඇත්තේ අන්තිමටය.

මේ තත්ත්වයෙන් ගොඩ යෑමට සාමාන්‍ය ජනයාට කළ හැකි දේ පහක් යෝජනා වී තිබේ. පළමුවනුව ගස් වැවිය යුතු අතර තිබෙන ගස් රැක ගත යුතුය. අමාරුම කාරණය ගස් රැක ගැනීමය. ඉන් කියැවෙන්නේ පරිභෝජනය අඩු කළ යුතු බවය. මේ අනුව මස්, කිරි, චීස්, බටර් වැනි දෑ භාවිතය හැකිතාක් අඩු කළ යුතුය. එසේ අඩු කරන්නට නම් පරිභෝජනය අඩු කරන්නට සිදු වේ. මෙයට ලෝ වැසියන් පොලඹවා ගැනීම කිසිසේත්ම පහසු නොවනු ඇත. තුන් වැන්න ආහාර වැඩිපුර නිෂ්පාදනය නොකළ යුතුවාක් මෙන්ම අපතේ දැමීමද නොකළ යුතු බවයි. සිව්වැන්න වන්නේ ගමනාගමනයේ දී ඉන්ධන භාවිතය හැකිතාක් අඩු කිරීමයි. පාපැදි වැනි වාහනවලින් ගමන් කිරීම වැඩි කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ. පස්වැන්න හැකිතාක් බල ශක්තිය පිරිමැසිය යුතු බවයි. රෙදි සෝදන මැෂිමෙන් රෙදි වේළීම වෙනුවට අව්ව භාවිතය, විදුලි පහන් සීමා කිරීම වැනි ක්‍රමවලින් එය කළ හැකිය.

කෙසේවෙතත් 2050 වන විට දැන් පවතින පරසරය දැඩි වෙනස්කම්වලට බඳුන් වනු ඇති බවට විද්‍යාඥයෝ අනතුරු හඟවමින් සිටිති. ලෝකයා තවමත් ඊට නෑසූ කන් ව සිටිනු දැකිය හැකිය. පියවර ගත යුත්තේ රට කරවන ඇත්තන්ය.

මාතෘකා