සාමය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ලැබූ අප්‍රිකානු මිනිසා : ඩෙනිස් මුක්වීගී

 ඡායාරූපය:

සාමය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ලැබූ අප්‍රිකානු මිනිසා : ඩෙනිස් මුක්වීගී

2018 ලෝක සාමය උදෙසා කළ විශිෂ්ට මෙහෙවර සඳහා වූ නොබෙල් ත්‍යාගය දෙදෙනෙකු අතර බෙදී ගියේය. ඒ ඉරාකයේ නාදියා මුරාද් හා කොන්ගෝවේ වෛද්‍ය ඩෙනිස් මුක්වීගී අතරය. ඔවුන්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමූ නොබෙල් කමිටුව සිය හේතු පාඨය ඉදිරිපත් කළේ මෙලෙසය.

 ‘‘ යුද්ධයේදී හෝ යුද ගැටුම්වලදී උපාය මාර්ගයක් ලෙස කාන්තාවන්ට කරනු ලබන ලිංගික ප්‍රචණ්ඩත්වය අවියක් ලෙස යොදා ගැනීම නතර කිරීමට ගත් අප්‍රතිහත උත්සාහය වෙනුවෙනි.” මෙහිදී අප කතා කරන්නේ නාදියා මුරාද් ගැන නොවේ. වෛද්‍ය ඩෙනිස් මුක්වීගී ගැනය.

මක්නිසාද ඔහුගේ හද සසල කරවන කතාව නිසාය. වරෙක ඔහු මෙසේ කියා තිබිණි. ‘‘දූෂණය කළ පසු එම ගැහැනියගේ ප්‍රජනන අවයවයට වෙඩි තබා කැබැලි කළ, ඇසිඩ් ගසා පුළුස්සා දැමූ අති දුක්ඛිත දර්ශන ඔබ දැක නැතැයි මම විශ්වාස කරමි. මම ඒවා දහස් ගණනක් දැක ඇතිවා පමණක් නොව ඒවා මගේ දෑත්වලින් සුවපත්ද කළෙමි”.

ඩෙනිස් මුක්වීගී වෛද්‍ය උපාධිය ලබන්නේ 1983දී බුරුන්ඩි විශ්වවිද්‍යලයෙනි. පසුව ඔහු නාරි හා ප්‍රසව රෝග පිළිබඳව ප්‍රංශයේ University of Angers හි 1989 තෙක් පුහුණුව ලැබීය. පෙරළා කොංගෝවට පැමිණි වෛද්‍ය ඩෙනිස්ට මූලික පත්වීම ලැබුණේ kivi නගරයේ ලෙමාරා රෝහලටය.

එහෙත් 1998 සියල්ල වෙනස් කරමින් කොංගෝවේ සිවිල් යුද්ධය ආරම්භ විය. 1999දී ලෙමාරා රෝහලට කඩා වැදුණු කැරලිකරුවෝ ඇඳන්වල සිටි ලෙඩුන් 35 දෙනෙකු මරා දැමීමෙන් පසුව ලෙමාරා රෝහල අතහැර ගිය ඩෙනිස් ඊට කිලෝමීටර් 100ක් ඈතින් බුකාවි නගරයේ Panzi නමින් රෝහල පිහිටුවා ගත්තේය.

එය ටෙන්ට් ගැසූ රෝහලක් වුවද ශල්‍යකර්මවලට අත්‍යවශ්‍ය සියලු සම්පත් එහි තිබිණි. රෝහලේ ප්‍රතිකාර කළේ යුද්ධයෙන් දූෂණය කර ලිංග ප්‍රදේශවලට පහර දී වෙඩිතබා හෝ ඇසිඩ් ගසා තුවාල සිදුවූ කාන්තාවන්ට හා ගැහැනු දරුවන්ටය. ඒවා භයානක තුවාල විය.

අවම වශයෙන් ඔවුනට මුත්‍රා කරගත නොහැකිව ඒවා සිය කලවා දිගේ වේදනාවෙන් හා අඬමින් වැගුරූහ. ඩෙවිස් සිය විශ්මයජනක ශල්‍යකර්ම හරහා නැවතත් යථා තත්ත්වයට ගෙනාවේය. ගෙනාවා පමණක් නොව, ඔහු තුවාල සිදුකරන ලද සියලු කාන්තාවන් ශාරීරිකව මෙන්ම මානසිකවත් සුවපත් වන තුරු සිය රෝහල් කාර්ය මණ්ඩලයත් සමඟ රැක බලාගත්තේය.

කොපමණක්ද දාහක් දෙදාහක්. නැත ඔහුගෙන් සුවපත් වූ හා නැවත ජීවිතය දුටු කාන්තාවන්ගේ ගැහැණු ළමයිගේ ගණන නිවැරදි ලෙස අසූ දහසද ඉක්මවයි. මේ මිනිසා එතරම් විස්මිත මිනිසෙක් වන්නේ ඒ නිසාය. ලෝකයේ ලිංගික ප්‍රචණ්ඩත්වය නිසා ශාරීරිකව හානියට පත් අසූදහසක් සුවපත් කළ ප්‍රථම විශේෂඥයා ඔහුය.

කෙසේ වුවත් පනස්හතර ලක්ෂ්‍යයක් සිවිල් යුද්ධයෙන් මිය ගිය කොංගෝවට එය ගාණක් වුයේ නැත. එම නිසා 2012 ඔක්තෝබර් 23 දින AK47වලින් සන්නද්ධ කැරලිකරුවෝ වෛද්‍ය ඩෙනිස් මුක්වීගේ නිවෙසට කඩා වැදී ඩෙනිස්ගේ දියණියන් සහ බිරිඳ ප්‍රාණ ඇපයට ගත්හ.

නිවෙසට පැමිණි ඔහුගේ හිසට එකෙක් තුවක්කුව තැබූ අතර තවකෙක් ඩෙවිස්ගේ ආරක්ෂකයාට වෙඩි තබා මරා දැමීය. වෛද්‍යවරයාගේ රථය පැහැර ගත් ඔවුහු බිරිඳට සහ දියණියන්ට ආදරේ නම් රටින් පලා යා යුතු යැයි අණ කළහ. අසරණ වූ වෛද්‍යවරයා පළමුව ස්වීඩනයටත් පසුව බ්‍රසල්ස් නුවරටත් සිය පවුලත් කැටිව පලා ගියේය.

ඉනුත් මාස දෙකක් ඇතුළත ඔහුට කොංගෝවේ දහස් සංඛ්‍යාත ගැහැණුන්ගෙන් නැවත කොංගෝවට එන්නැයි ආයාචනාත්මක පණිවිඩ එන්නට පටන් ගත් අතර වෛද්‍ය ඩෙනිස්ගේ ජීවිතය තම දිවි දෙවැනිකොට රකින පොරොන්දුව ඒ මත තැබීය. ඔහු මේ ගැහැණුන් කෙරෙහි සියයට 100ක් විශ්වාසය තැබූ අතර ඔහුට අවශ්‍ය වූයේ කොංගෝවේ මේ මිලේච්ඡ කෘෘරත්වයට එරෙහිව කාන්තාවන් පෙළ ගැස්වීමය. ඉතිං නැවතත් 2013 ජනවාරි මස 12 වැනි දින හේ ලිංගික ප්‍රචණ්ඩත්වයේ අප්‍රිකානු ලකුණ වූ කොංගෝ ගැහැනිය සුවපත් කිරීම අරඹයා නැවත කොංගෝවට පැමිණියේය.

ඔහුට බ්‍රසල්ස් සිට කොංගෝවට පැමිණීමට ගුවන් ප්‍රවේශපත් සඳහා මුදල් සොයා දුන්නේ අවිහිංසක ගැහැනු අන්නාසි සහ ලුණු විකුණා ඉපයූ ඩොලරයෙන් බව හේ දැන සිටියේය. ගුවන් තොටුපළේ සිට කිලෝමීටර් 8ක් යන තෙක් දහස් ගණන් කොංගෝ කාන්තාවන් ඔහු මැදි කර ගනිමින් නටමින් ගයමින් වයමින් රෝහල තෙක් රැගෙන ගිය අතර කොංගෝවේ කිසිඳු රාජතාන්ත්‍රිකයෙක් එවැනි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ජනතා උපහාරයක් කිසිදා ලබා නැත.

එදා පටන් ස්වේච්ඡාවෙන් ගැහැණු 20 දෙනෙකු ඔහු නිරතුරුව ආරක්ෂා කළෝය. පසුව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව එකී කර්තව්‍ය සියතට ගත්තෝය. මේ මිනිසා නිකන්ම වෛද්‍යවරයෙක් නොවේ ස්විඩනය, කැනඩාව, බෙල්ජියම, ස්කොට්ලන්තය, ප්‍රංශය හා නැවත වරක් බෙල්ජියමෙන් ගෞරව උපාධි ලැබූවෙකි. වෛද්‍ය ඩෙනිස් මුක්වීගීගේ අති උත්තරීතර සේවය සදහා ජාත්‍යන්තර සම්මාන 31ක් ලැබී තිබේ.

ඒ අතර යුරෝපා පාර්ලිමේන්තුව 2012 පිරිනැමූ සත්‍ය සහ නිදහස සඳහා වූ ඉහළම මානව හිමිකම් සම්මානයද 2009දී නයිජීරියාව විසින් පුද කළ ‘‘අප්‍රිකානු මිනිසා” සම්මානයද 2016දී දකුණු කොරියාව පිදූ සියොල් සාම ත්‍යාගයද වේ. 2016 ටයිම්ස් සඟරාව ලෝකයට බලපෑම් කළ හැකි මිනිසුන් සියදෙනා අතර වෛද්‍ය ඩෙනිස් මුක්වීගීගේ නමත් සටහන් කර තිබිණි.

මාතෘකා