ලොව ඇලළූ අතුරුදහන්වීම් දෙකක්

 ඡායාරූපය:

ලොව ඇලළූ අතුරුදහන්වීම් දෙකක්

පසුගිය දින කිහිපය තුළ ප්‍රකට පුද්ගලයන් දෙදෙනකුගේ අතුරුදහන්වීම් දෙකක් දෙතැනකින් වාර්තා විය. පළමුවැන්න ප්‍රංශයේ පැරිස් නුවරිනි. දෙවැන්න කයිරෝහි ඉස්තාන්බුල් නුවරිනි.

පළමුවැන්නා එසේ මෙසේ පුද්ගලයෙක් නොවේ. ඉන්ටපෝල් ප්‍රධානියාය. මෙං හොංවෙයි නම් ඔහු අතුරුදහන්ව ඇත්තේ නිල විසිත්තුවක් සඳහා සිය මවු රට වන චීනයට ගිය අවස්ථාවේය. ඔහු සිය නිවෙසින් පිට ව ගොස් ඇත්තේ පසුගිය 25 දින වන අතර එතැන් පටන් ඔහු වෙතින් කිසිදු තොරතුරක් පවුලේ ඇත්තන්ට හෝ ඉන්ටපෝල් මූලස්ථානයට ලැබී නැත.

දෙවැන්නා නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදී ජමාල් ඛාෂොගිය. ඔහු අතුරුදහන්ව ඇත්තේ පසුගිය 02 වන අඟහරුවාදා ඉස්තාන්බුල් හි සවුදි තානාපති කාර්යාලයට සිය පෞද්ගලික අවශ්‍යතාවක් ඉටු කැර ගැනීමට ගිය අවස්ථාවේ ය. සවුදි තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් ඔහු මරා දමන්නට ඇති බවට චෝදනා එල්ල වී ඇත.

මෙං හොංවෙයි චීන කමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයකු ව සිටියෙකි. බෙයිජිං විශ්වවිද්‍යාලයයේ නීතිය පිළිබඳ උපාධිධරයකු වන ඔහු අපරාධ නීතිය පිළිබඳ විශේෂ පරිචයක් ඇත්තෙකි. පොලිස් නිලධාරියකු ලෙස ජීවිතය ඇරඹූ මෙං පසුව පක්‍ෂය විසින් පොදු ආරක්‍ෂාව පිළිබඳ උප ඇමති ලෙස පත් කරන ලදි. 2004 ඉන්ටපෝල් චීන ශාඛාවේ ප්‍රධානියා වූ ඔහු 2016 නොවැම්බරයේ අන්තර්ජාතික ඉන්ටර්පෝල් නිලවරණයේ දී එහි සභාපති ලෙස තෝරා පත් කැර ගන්නා ලදි. 2020 දක්වා එම පත්වීම වලංගු ය. සිය රටට අන්තර්ජාතික සංවිධානවල නායකත්වය ලබා ගැනීමේ විජිගීෂාවක් චීන රජයට තිබේ. ඒ අනුව ඔහු එම තනතුර භාරගැනීම පක්‍ෂයේ පූර්ණ අනුග්‍රහය සහ ආශීර්වාදය ඇතිව සිදු විය.

නව තනතුර අනුව ඔහු පැරිසියේ පදිංචියට ගිය අතර සිය බිරිඳ සහ දරුවන් සමඟ එහි පදිංචිව සිටියේය.

කෙසේ වෙතත් ඔහු සහ චීන කමියුනිස්ට් පක්‍ෂය අතර කිසියම් විරසකයක් උද්ගත වෙමින් පැවැති බව පසුගිය අප්‍රේල් මාසයේ ඔහු එහි මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීමෙන් ප්‍රකට විය.

තමා අනතුරකට මුහුණ පා සිටින බව සඳහන් ට්ව්ටර් පණිවුඩයක් 25 දින ඔහු සිය බිරිඳ වන ග්‍රේස් වෙත එවා ඇති බව ඇය පැරිස් පොලිසියට පැමිණිලි කරන අවස්ථාවේ සඳහන් කොට ඇත. ඒ සටහනේ පිහියක එමෝජියක් ද ඇතුළත් ය. තමාට දුරකථන මඟින් සහ අන්තර්ජාලය ඔස්සේ විවිධ තර්ජන එල්ල වන බව ඇය පොලීසියට දන්වා ඇති අතර ඒ අනුව ඇයට පොලිස් ආරක්‍ෂාව සපයා තිබේ.

චීන රජයේ විනයාරක්‍ෂක ඒජන්සියක් විසින් ඔහු ගුවන් තොටුපොලේදීම අත්අඩංගුවට ගන්නා ලද බව හොංකොංහි පළ වන ‘South China Morning Post’ වෙබ් අඩවියේ දැක්වේ.

පොදු අධීක්‍ෂණය පිළිබඳ ජාතික කොමිසම නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සැක පිට පොදු ආරක්‍ෂාව පිළිබඳ උප ඇමති මෙං හොංවෙයි විමර්ශනවලට බඳුන් කරමින් සිටින බව රජයේ නිවේදනයක දැක්වෙන්නේ ය’යි Xinhua වෙබ් අඩවියේ පසුගිය 07 දින පළ වී තිබිණි.

ජනාධිපති ක්ෂි ජිං පිංගේ දූෂණ විරෝධී වැඩසටහන අනුව කිසියම් නිලධාරිකුට දූෂණ පිළිබඳ චෝදනා එල්ල වුවහොත් වහාම ඒ පුද්ගලයා අත්අඩංගුවට ගෙන රඳවා විමර්ශනය කොට චෝදනා නගා නඩු විභාග කොට දඬුවම් නියම කිරීම ඉතා කෙටි කාලයක් තුළ සිදු වේ. චෝදනා එල්ල වූ නිලධාරියකු ඒවායින් නිදහස් වන්නේ කලාතුරකිනි. සමහරවිට මරණ දඬුවම පවා නියම කෙරෙනවා විය හැකිය. මරණ දඬුවම් නියම වූවන්ට වැඩි කල් නොයා එය ක්‍රියාත්මක කෙරෙනු ඇත. මෙවැනි කෙනෙකුට ඉදිරිපත් කෙරෙන චෝදනාද ඔහුගේ ඉරණමද පාරාන්ධය. ඒ අනුව මෙංට සිදුවිය හැකි දේ පිළිබඳ පූර්ව නිගමනයක් සැවොම තුළ තිබේ.

පසුගිය මාස නවය තුළ මෙලෙස ඉහළ නිලධාරීන් තිහක් හතළිහක් පමණ අත්අඩංගුවට ගන්නා ලද බව පැවසේ. නිශ්චිත සංඛ්‍යාව මෙන්ම ඔවුන්ට නියම වූ දඬුවම් පිළිබඳ තොරතුරුද අප්‍රකාශිතය. දූෂණ චෝදනාවලට අනුව මෙලෙස අත් අඩංගුවට ගැනෙන්නේ රාජ්‍ය නිලධාරීන් පමණක් නොවේ. බිලියනපති ව්‍යාපාරිකයන්ද ‘තරු’ද ඒ අතර වෙති. පසුගිය මාසයේ ප්‍රකට නිළියක වන ෆෑං බිංබිං අතුරුදහන් වූ අතර ඇය නැවත මතු වූයේ බදු ගෙවීම පැහැර හැරීම පිළිබඳ පොදු ජනයාගෙන් සමාව අයැදීමක්ද සමඟිනි. නිදහස් කරන්නට පෙර ඇය තමාගෙන් රජයට අය විය යුතුව තිබූ බදු සහ නොගෙවීම පිළිබඳ දඩ වශයෙන් යුආන් මිලියන 883ක් හෙවත් ඇ.ඩො. මිලියන 129ක් ගෙවා තිබිණි.

කෙසේ වෙතත් මෙං සිය ඉල්ලා අස්වීම අන්තර්ජාතික පොලිසියට යවා ඇති අතර ඔවුන් එය පිළිගෙන එහි තාවකාලික සභාපති ලෙස දකුණු කොරියාවේ කිම් යොං යෑං පත් කැර ගෙන ඇත.

මෙයින් පැහැදිලි වන්නේ මෙං තවමත් ජීවතුන් අතර සිටිනා බවය. එහෙත් ජමාල් ඛාෂොගිගේ තත්ත්වය එසේ නොවේ.

ඛාෂොගි සවුදි අරාබි ජාතිකයෙකි. පසුගිය වසරේ ජුනි මස එරට රජ පවුලේ සාමාජිකයකු මෙන්ම ආරක්‍ෂක අමාත්‍යවරයාද වන මොහමඩ් බින් සල්මාන් ඔටුන්න හිමි කුමරු ලෙස නම් කිරීමෙන් පසු ඔහු සිය මව් රට අතහැර තුර්කියට පලා ගියේය. ඔහු බිරිඳගෙන් දික්කසාද වූවෙකි. දික්කසාදය සිදු වූයේ පලා යන්නට පෙරද පසුද යන්න නිශ්චිත නැත. කෙසේ වෙතත් ඔහුට තුර්කි කතක් සරණ පාවා ගන්නට ඇවැසි විය. පසුගිය 02 අඟහරුවාදා පස්වරු 1.30 ට ඔහු ඉස්තාන්බුල් හි සවුදි කන්සියුලේට් කාර්යාලයට පෙම්වතිය සමඟ ගියේ සිය දික්කසාද සහතිකයේ පිටපතක් ලබා ගන්නටය. පෙම්වතිය පිටත නවත්වා ගිය ඔහු ආපසු ආයේ නැත. බලාසිටි ඕ පසුව පොලිසියට පැමිණලි කළාය.

ලොව පුරා මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු එතුළදී ඝාතනය කරන ලද බවයි. එදින එම කාර්යාලයට සවුදියේ සිට 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණි බවත් ඔවුන් එදිනම පිටව ගිය බවත් සඳහන්ය.

ඛාෂොගිට අභීත මාධ්‍යවේදියකු ලෙස ලොව පුරා පිළිගැනීමක් ඇත. සත්‍යය සොයාගොස් විවේචනාත්මකව ඇත්ත ඇති සැටියෙන් හෙළි කිරීම ඔහුගේ ක්‍රමය වේ. සෝවියට් දේශයට ගොස් පැමිණ එය විවේචනය කළ මේ මාධ්‍යවේදියා අල්-ඛයිඩා ප්‍රාථමික අවදියේ ඔසාමා බින් ලාඩන් සමඟ සබඳතා පවත්වා ඇති අතර ත්‍රස්ත මඟින් බැහැර වන්න’යි ඔහුගෙන් ඉල්ලීමක් කොට ඇති බවද පැවසේ. ඔසාමා ඊට සිනා සී ප්‍රතිචාර දක්වා ඇතත් කිසිවක් කියා නැත. ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වූ සන්දියේ ම ඛාෂොගි රූපවාහිනී වැඩ සටහනක දී ට්‍රම්ප් විවේචනය කළ නිසා ඔහුට සවුදි රූපවාහිනිය තහනම් කොට තිබූ බවද වාර්තාගතය. පලස්තීන අර්බුදයේදී ඊශ්‍රායෙලයට එරෙහිව අදහස් පළ කරන නිසා ඔහුට සවුදි රජය කිහිප විටක්ම අනතුරු අඟවා ඇත. මොහමඩ් බින් සල්මාන් විවේචනය කිරීම නිසා ඔවුන් දෙදෙනා අතර විරසකයක් කලක් තිස්සේ පැවැතිණි.

මේ චෝදනා සම්බන්ධයෙන් සල්මාන් විසින් වහාම ප්‍රතිචාර දක්වන ලදි. තම කොන්සියුලේට් කාර්යාලය කිසිවකුට පරීක්‍ෂා කරන්නට ඉඩ දෙන්නට තම රජය බැඳී නැති නමුත් තුර්කි රජයට අවශ්‍ය නම් අවසර ගෙන පිවිස කාර්යාල පරිශ්‍රයේ ඕනෑම අහුමුල්ලක් පරීක්‍ෂා කරන්නට අවසර ඇති බව ඔහු නිවේදනය කළේය. ඒ අනුව තුර්කි පොලිස් කණ්ඩායමක් එහි පිවිස පරීක්‍ෂා කරන ලද නමුත් කිසිවක් සොයා ගන්නට සමත්ව නැත.

එහෙත් තුර්කි පාලක ඒකේ නමැති දේශපාලන පක්‍ෂය එම චෝදනාව දිගටම කරමින් සිටියි. ඒ වනාහි එරට වර්තමාන ජනාධිපති රෙසෙප් තයිප් එර්දෙගොන් නායකත්වය දෙන පක්‍ෂයයි.

කන්සියුලේට් කාර්යාලය තුළ ඔහු ඝාතනය කැරුණු බවට තමන්ට දැඩි සාක්ෂි ඇතැයි වොෂින්ටන් පෝස්ට් හි සඳහන්ය. එය මෘග අගාධාත්මක ක්‍රියාවක් බව ට්විටර් පණිවුඩයක සඳහන් වේ.

එර්දෙගොන් සහ සවුදිය අතර එතරම් ඇයි හොඳයියක් නැත. කන්සියුලේට් කාර්යාල පරිශ්‍රය සවුදි රජයේ ස්වායත්ත ආයතනයක් බව සැබෑ නමුත් සිය භූමිය තුළ මෙබඳු ප්‍රවීණ මාධ්‍යවේදියකු මරා දැමීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව එරට රජය පවසයි. මෙයින් දෙරට අතර ගැටලුවක් උද්ගත වන්නට වුව ඉඩ නැත්තේ නොවේයැයි බීබීසී වාර්තාවක දැක්වේ.

මාතෘකා