ලෝක දේශපාලනයේ කැඩපතක් වන් බ්‍රසීල ජනාධිපතිවරණය

 ඡායාරූපය:

ලෝක දේශපාලනයේ කැඩපතක් වන් බ්‍රසීල ජනාධිපතිවරණය

ඔක්තෝබර් 7 වනදා පැවැත්වෙන බ්‍රසීල ජනාධිපතිවරණය සමකාලීන ලෝක දේශපාලනයේ ස්වභාවය පෙන්නුම් කරන තවත් කැඩපතක් බඳු ය. විශේෂයෙන් ම පසුගිය වසර කිහිපය තුළ යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ දක්නට ලැබුණ, එක් අතකින් අන්ත දක්ෂිණාංශයත් අනෙක් අතින් අන්ත වාමාංශයත් ශක්තිමත් වී මධ්‍යස්ථ මතධාරීන් දුර්වල වීම බ්‍රසීලයට ද පොදු කරුණක් වී තිබේ.

2014 පාපන්දු ලෝක කුසලානයට එරෙහිව මතුවූ විරෝධතාවයන්ගෙන් පසු බ්‍රසීල දේශපාලනය හැලහැප්පීම් බොහොමයක් මධ්‍යයයේ ගමන් කළේ ය. අපරාධ වැඩි වීම, ආර්ථිකය කඩා වැටීම සහ බරපතළ දූෂණ චෝදනා ආදිය හේතුවෙන් බ්‍රසීලය දැඩි ලෙස කැළඹී සිටියි. හිටපු ජනාධිපති ඩිල්මා රූසෙෆ් ධුරයෙන් පහ කිරීමත් හිටපු ජනාධිපති ලූලා ද සිල්වා දූෂණ චෝදනා මත සිරගත කිරීමත් හේතුවෙන් වාමාංශය දුර්වල වනු ඇතැයි බලාපොරොත්තු වුවද සිදුව ඇත්තේ අනෙකකි. පසුගිය වසර කිහිපයේ බලාපොරොත්තු කඩවීම යළි මතුව ඇත්තේ වාමාංශයට ලැබෙන සහය වර්ධනය වීමෙනි.

මෙම තත්ත්වය පැහැදිලි වන්නේ මෙවර ජනාධිපතිවරණය සඳහා නැවත ලූලා ද සිල්වාගේ ඉදිරිපත් වීම බලාපොරොත්තු වූ ජන සංඛ්‍යාව සැලකීමේ දී ය. මීට සති කිහිපයකට පෙර වූ ජනමත විමසුම් සමීක්ෂණ සඳහන් කළ ආකාරයට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ඉඩ තිබූ අපේක්ෂකයන් අතුරින් වැඩිම ජනප්‍රසාදය තිබූ පුද්ගලයා ඔහු ය. ඇතැම් සමීක්ෂණ අනුව ඔහුට ඡන්දය දෙන බව ප්‍රකාශ කළ පිරිස සියයට 30 ක් පමණ වූ අතර ඔහු ඊළඟ අපේක්ෂකයාට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් ඉදිරියෙන් වූයේ ය.

දූෂණ චෝදනා මත සිරගත වීම හේතුවෙන් ලූලා ද සිල්වාට ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවිය හැකි යයි අධිකරණය විසින් තීරණය කරන ලදින් ඔහුගේ කම්කරු පක්ෂය විසින් ෆර්නැන්ඩෝ හඩාඩ් ඒ සඳහා ඉදිරිපත් කර තිබේ. හඩාඩ් හිටපු සාඕ පාවුලෝ නගරාධිපතිවරයා ය.

මේ අතර, කලින් පැවැති වාමවාදී පාලන සමයේ සිටම වර්ධනය වෙමින් පැවැති අන්ත දක්ෂිනාංශය නියෝජනය කරමින් හිටපු හමුදා නිලධාරී යායිර් බොල්සොනාරෝ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියි. බොල්සොනාරෝ අතිශයින්ම විවාදාත්මක චරිතයකි. ඔහුගේ අනුගාමිකයන් ඔහු දකින්නේ ප්‍රබල දේශප්‍රේමියකු ලෙස ය. ඔහු කාන්තාවන් පිළිබඳ විටින් විට විවාදාත්මක, පහත් ආකාරයේ ප්‍රකාශ සිදුකර තිබේ. එහෙයින්ම ඔහුට එරෙහිව කාන්තා ව්‍යාපාර විසින් විශාල විරෝධතා සංවිධානය කරන ලදි. තව ද ඔහු 1964-85 සමයේ බ්‍රසීල හමුදා පාලනය අගයයි. ඔහුගේ අනුගාමිකයන්ට අනුව බ්‍රසීලයේ වාමාංශිකයන් යනු කොමියුනිස්ට්වාදීන් ය. ඔවුන් යටපත් කිරීම සඳහා ද, පොදුවේ බ්‍රසීලයේ පවතින අස්ථාවර දේශපාලන තත්ත්වය නිවැරදි කිරීම සඳහා ද ප්‍රබල, ශක්තිමත් පාලකයකු අවශ්‍ය බව බොල්සොනාරෝ කඳවුර පවසයි. සැප්තැම්බර් 6 වනදා සිදු වූ ඝාතන තැතකින් පසු බොල්සොනාරෝ තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි.

ජනමත විමසුම් සමීක්ෂණ අනුව මේ වනවිට බොල්සොනාරෝට මනාපය දෙන බව සියයට 28 ක් පමණ ප්‍රකාශ කරන අතර හඩාඩ් ද සියයට 22 ක පමණ ජනප්‍රසාදයක් දිනා සිටියි. කිසිදු අපේක්ෂකයකුට සියයට 50 ඉක්මවා ඡන්ද ලබාගත නොහැකි තත්ත්වයක් මතුව ඇති හෙයින් ජනාධිපතිවරණයේ දෙවන වටයක් ද පවත්වනු ඇතැයි බලාපොරොත්තු විය හැක. එහි දී හඩාඩ් යාන්තමින් බොල්සොනාරෝ පරාජය කරතැයි දැනට අනුමාන කරතත් ඒ පිළිබඳ කිසිදු සහතිකයක් නොමැත. එවන් අවස්ථාවක හඩාඩ්ට ඇති වාසිය නම් මධ්‍යස්ථ මතධාරීන්ට ආමාන්ත්‍රණය කිරීමට ඔහුට වැඩි හැකියාවක් තිබීම ය. තම දැඩි මතධාරී අදහස් සමඟ බොල්සොනාරෝට එය කිරීම පහසු නොවේ.

මැද මාවත හිස් වීම

බ්‍රසීල වැසියන් ඇතමෙකුට අනාගතය පිළිබඳ බියක් ජනිත කරණ කරුණ වී ඇත්තේ අන්තවාදී මතවාදයන් ගැටෙද් දී මැද මාවත අනුගමනය කරන්නන් දුර්වල වීම ය. මෙම තත්ත්වය සමකාලීන යුරෝපා දේශපාලනය තුළ ද කෙමෙන් කෙමෙන් වර්ධනය වන තත්ත්වයකි. බ්‍රසීලයේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අනෙකුත් අපේක්ෂකයන් එකොළොස් දෙනාගෙන් කිහිප දෙනකුම මේ පිළිබඳ විවිධ අදහස් දක්වා තිබේ.

මෙවර මැතිවරණය බොහෝ සේ පදනම්ව ඇත්තේ ඍණාත්මක ප්‍රචාරණය කෙරෙහි ය. එම තත්ත්වය ද මධ්‍යස්ථ මතධාරීන් පසුබස්වා අන්තවාදීන් පෙරමුණට ගෙන ඒමට සමත් වී ඇත. මෙම තත්ත්වය වඩාත් ම ප්‍රබලව මතු කළ අපේක්ෂිකාවක වන්නේ මරීනා සිල්වා ය. පසුගිය දා පවත්වන ලද විවාදයක දී මරීනා චෝදනා කළේ බොල්සොනාරෝ සහ හඩාඩ් එකිනෙකා වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු සිදු කරන බව ය.

බොල්සොනාරෝ වැඩි වශයෙන් ද, හඩාඩ් තරමක් දුරට ද රඳා පවතින්නේ තම අනුගාමිකයන් මත පමණි. ඔවුනට මැද මාවතේ අනුගාමිකයන් දිනා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැත. බොල්සොනාරෝ තම උප ජනාධිපති අපේක්ෂක සගයා ලෙස තවත් හිටපු හමුද නිලධාරියකු පත් කරගත්තේ ද හඩාඩ් තම උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස තරුණ කොමියුනිස්ට් පාක්ෂිකාවක පත්කර ගත්තේ ද එබැවිනි. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතුරින් වැඩිම ජනප්‍රසාදයක් මෙන්ම වැඩිම ජන අප්‍රසාදයක් ද දිනා සිටින්නේ බොල්සොනාරෝ ය. සමීක්ෂණ වාර්තා අනුව ඡන්දදායකයන්ගෙන් අඩක් පමණ ඔහුට දැඩි සේ විරුද්ධ ය. එහෙත් එය ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට අදාළ වන බවක් නොපෙනේ.

බොල්සොනාරෝ සහ හඩාඩ් අතර ඇති වියහැකි දෙවන වටයක සටනක දී ඔවුනොවුන්ට ප්‍රසාදය දක්වන්නන් ඉහළ නංවා ගැනීමටත් වඩා අනෙක් අපේක්ෂකයා අප්‍රිය කරන්නන් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම දෙදෙනාගේම ප්‍රධාන උපක්‍රමය විය හැකි ය.

අනෙකුත් මැතිවරණ

බ්‍රසීල ජනාධිපතිවරණය පවත්වන දිනයෙහි ම එරට ප්‍රාන්ත 27 ම ආණ්ඩුකාරවරුන් සඳහා ද සෙනට් සභාවේ මන්ත්‍රීන් 81 දෙනාගෙන් 54 දෙනකු සඳහා ද පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 513 සඳහා ද ප්‍රාන්ත සභාවන් හි ආසන 1059 ක් සඳහා ද මැතිවරණ පවත්වනු ලබයි. මේ සඳහා විවිධ පක්ෂයන් හි අපේක්ෂකයෝ සටන් වදිති. ප්‍රධාන තරගය වන ජනාධිපතිවරණයේ බලපෑම මෙම අතුරු සටන්වලට ද ප්‍රබල ලෙස බලපානු ඇත. එමෙන්ම එහි බලපෑම කලාපයේ අනෙකුත් රටවලට ද දැනෙනු ඇත. විශේෂයෙන්ම බොල්සොනාරෝ ජනාධිපතිවරණය ජයගතහොත් කලාපයේ දක්ෂිනාංශික පිබිදීමක් හෝ වාමාංශික ප්‍රතිරෝධයක් හෝ එම ප්‍රතිවිරුද්ධ මතවාදයන් දෙක අතර බරපතළ ගැටීමක් හෝ මතු විය හැක.

[චාමර සුමනපාල]

මාතෘකා