මුද්දර ඉතිහාසයෙහි මහත්මා ගාන්ධි සලකුණ

 ඡායාරූපය:

මුද්දර ඉතිහාසයෙහි මහත්මා ගාන්ධි සලකුණ

ඊයේට (ඔක්තෝබර් 2) යෙදුන මහත්මා ගාන්ධිගේ 149 වෙනි ජන්ම දින සැමරුම නිමෙත්තෙනි

මහත්මා ගාන්ධිගේ අවිහිංසාව සහ සාමය පිළිබඳ දැඩි විශ්වාසය ලොව පුරා ජනතාවට ජීවනාදර්ශයක් ලබා දී ඇත. එතුමා ඉන්දීය ජාතියේ පියාණන් වනවා පමණක් නොව ගෝලීය වශයෙන් සුවිශේෂී පුද්ගලයෙකුද වේ. අධිරාජ්‍යවාදිත්වයෙන් නිදහස ලබා ගැනීමට හෝ මානව අයිතිවාසිකම් සහ සාමය දිනා ගැනීමට සිදු කරන කවර හෝ අරගලයකදී රටවල් නිසගයෙන්ම අවිහිංසාවාදී ප්‍රතිපත්තිය වෙත යොමු වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයද මහත්මා ගාන්ධිතුමාගේ ජන්ම දිනය වන ඔක්තෝබර් දෙවන දින ජාත්‍යන්තර අවිහිංසාවාදී දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ලෝකයේ රටවල් රැසක ගාන්ධි තුමාගේ ජීවිතයේ, සේවයේ සහ දර්ශනයේ විවිධ පැතිකඩ නිරූපණය කරමින් මුද්දර නිකුත් කර ඇත්තේ එතුමාට ගෞරවයක් වශයෙනි. ඇතැම් විට මුද්දර ඉතිහාසය තුළ වැඩි වශයෙන්ම නිරූපණය වූ පුද්ගලයා මහත්මා ගාන්ධිතුමා විය හැක.

ගාන්ධිතුමා නිරූපණය වන පළමු මුද්දර කාණ්ඩය 1948 වර්ෂයේදී ඉන්දියාවේදී එළි දැක්විණි. Famous Stamps – The Romance of Rarities නමැති ග‍්‍රන්ථයේ අනිල් ධීර් සඳහන් කරන්නේ ගාන්ධිතුමාගේ 80 වන ජන්ම දිනය යෙදෙන 1949 වසරේ ඔක්තෝබර් 2 වන දින මුද්දර කාණ්ඩයක් නිකුත් කිරීමට 1947 වසරේදී සැලසුම් කර තිබූ බවයි. කෙසේ වෙතත්, 1948 ජනවාරි 30 වන දින මෙම අසහාය නායකයා ඝාතනය වූ අතර ඉන්දියාවේ පළමු නිදහස් දින සංවත්සරය නිමිත්තෙන් එම මුද්දර කාණ්ඩය 1948 අගෝස්තු 15 වන දින නිකුත් කෙරිණ. මෙම මුද්දර මුද්‍රණය කෙරුණේ ඉන්දියාවේ නොව ස්විට්සර්ලන්තයේය. 1969 දී ගාන්ධිතුමාගේ ජන්ම ශත සංවත්සරය සමරමින් ඉන්දියාව මුද්දර හතරක් නිකුත් කළේය. බාපු සහ බා වශයෙන්ද ආදරයෙන් අමතන ලද ගාන්ධි සහ එතුමාගේ භාර්යාව වන කස්තුර්බා” බා-බාපු මුද්දර මගින් නිරූපණය කර තිබිණ. දකුණු අප්‍රිකාව ගාන්ධිතුමාගේ සත්‍යග්‍රහය (සත්‍ය පිළිබඳව අවධාරනය කිරීම) සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දුන් රටක් වන අතර 1995 වර්ෂයේදී ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව එක්ව එතුමාගේ රුව ඇතුළත් කොට මුද්දරයක් නිකුත් කරන ලදී. මෙම මුද්දරය තරුණ නීතිඥ මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධි සහ වියපත් මහත්මා ගාන්ධි තුමාව පිළිබිඹු කරයි. විස්තරය ඇතුලත් කිරීමේ කොටසේ ගාන්ධි තුමා ඓතිහාසික ඩැන්ඩීහිදී එතුමාගේ චක්‍රය කරකවමින් සිටින අතර පසෙකින් එතුමාගේ ජීවිතයේ චාම්බව හා සරළ බව පිළිබිඹු කරන එතුමා සතු බඩු බාහිරාදිය වන ඔරලෝසුව, ඇස්කණ්ණාඩිය හා සෙරෙප්පු යුගල පිළිබිඹු කරයි. එතුමාගේ සත්‍යග්‍රහයට අවුරුදු 100ක් පිරීම නිමිත්තෙන්ද ඉන්දියාව විසින් 2007 වසරේදී මුද්දර 4ක් නිකුත් කරන ලද අතර එම මුද්දර එතුමාගේ දකුණු අප්‍රිකානු ජීවිතයේ සිදු වූ සිදුවීම කැටපත් කරයි.

ඉන්දියාවේ නිදහස් සටනේ ප්‍රධානතම බලවේගයක් ලෙස කටයුතු කල ගාන්ධි තුමා, 1924 වර්ෂයේදී ඉන්දියානු ජාතික කොංග්‍රසයේ සභාපති ලෙස කටයුතු කළේය. එම පක්ෂයට අවුරුදු 100ක් පිරීම නිමිත්තෙන් 1985 වර්ෂයේදී නිකුත් කරන ලද මුද්දරයේද එතුමාගේ රුව පිළිබිඹු කරයි. අනෙකුත් මුද්දර වල Salt Sathyagraha, dandi march, සහ නිදහස් ඉන්දියා ව්‍යාපාරය පිළිබිඹු කරයි. ඉන්දියානු ජාතික කොංග්‍රසයට අවුරුදු 100ක් පිරීම නිමිත්තෙන් ගාන්ධි තුමාගේ රූපය ඇතුලත් කොට මුද්දර නිකුත් කරන ලද්දේ ඉන්දියාවේ භූ සිතියම අඳින ලද කාටුන් ශිල්පියා වන රංගා විසින්. “මහත්මා ගාන්ධි - ශත වර්ෂයේ මිනිසා” ඊළඟ අවුරුද්දේ නිකුත් කළ මුද්දරවල තේමාව වේ.

ගාන්ධි තුමාගේ රුව ඇති මුද්දර වල එතුමාගේ චක්‍රය අවිහිංසාවාදයේ සංකේතය ලෙස මනාව පිළිබිඹු වේ. 2011 වසරේදී ඉන්දීය තැපැල් සේවාව විසින් ලෝකයේ ප්‍රථම කදාර් මුද්දරය නිකුත් කරන ලදි දියමන්ති හැඩැති Z100 මුද්දරය ගාන්ධිතුමාගේ මුහුණ පිළිබිඹු කරන අතර කදාර් රෙදි මත ඇති චක්‍රය ඔහුගේ වචන වන "සත්‍යගරුක වන්න" යන්න දක්වයි. මුද්දර හැරුණු විට ඉන්දියානු පෙර ගෙවුම් තැපැල් ලිපි ලේඛන වන රට තුළ භාවිතා වන තැපැල් කාඞ්පත්, තැපැල්පත් සහ ලියුම් කවර වලද ගාන්ධිතුමාගේ රූපය පිළිබිඹු වේ. ගුජරාත් ප්‍රදේශයේ තැපැල් කන්තෝරු වලින් ගාන්ධි තුමාගේ පාසල වන ඇල්ෆ්‍රඩ් උසස් විද්‍යාලය, එතුමා උපන් ගම හා කොචරාබ් සත්‍යග්‍රහ ආශ්‍රමය ඇතුළත් කර නිකුත් කරන ලද මුද්දර ස්ථිරවම අවලංගු විය. දකුණු ඉන්දියානු ෆිලැටිස්ට්වාදීන්ගේ සංගමය විසින් තැපැල් දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව ගාන්ධි තුමාගේ රුව ඇති සුවිශේෂී ත්‍රිමාණ මුද්දර කවරයක්ද නිකුත් කරන ලදි. ලොව පුරා රටවල් 90 කට වැඩි ගණනක් ගාන්ධි තුමාගේ රුව ඇතුලත් කොට මුද්දර හා තැපැල් ලිපි ලේඛන නිකුත් කර ඇත.

මුලාශ්‍රය: එන්. කල්‍යාණි

මාතෘකා