ඉන්දියාවේ මහා ප්ලාස්ටික් මිනිසා මහාචාර්ය රාජගෝපාලන් වාසුදේවන්

 ඡායාරූපය:

ඉන්දියාවේ මහා ප්ලාස්ටික් මිනිසා මහාචාර්ය රාජගෝපාලන් වාසුදේවන්

වර්ෂ 2010 වන විට ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව ඉන්දියාව තුළ බොහෝ ප්ලාස්ටික් නිමි භාණ්ඩ තහනම් කළේය. එම තහනමින් පසු එක් දිනකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 15,00ක් ඉන්දියාව තුළ එකතු විය. එමෙන්ම ඒවා සමස්ත ඉන්දියානු මහාමාර්ග දෙපසත්, ගම්බද කුඩා මාර්ග අවටත්, ඇළ දොල ගංගා තුළත් ඒකරාශි වෙමින් පැවතිණි. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රී කරන ක්‍රියාවලිය කළ හැක්කේ සිව් වරක් පමණකි. ඉන්පසු එයින් නිකුත් වන්නේ මාරාන්තික විෂ වායුවකි.

මීට විසඳුමක් සෙවීම සඳහා ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව සිය විශ්වවිද්‍යාලයකට ආරාධනා කර සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ප්ලාස්ටික් මිනිසා ඉන්දියාවට මුණ ගැසිණි.

මදුරෙයි නගරයේ පිහිටි ත්‍යාගරාජර් ඉංජිනේරු විද්‍යාලයේ රසායනික විද්‍යා මහාචාර්ය රාජගෝපාලන් වාසුදේවන් ඉදිරියේ මෙම ප්ලාස්ටික් අභියෝගයේ රාජ්‍ය ලියවිල්ල තිබිණි. ඔහුට තිබුණේ එයට විසඳුම් සෙවීමටය. එපමණකි. මෙම මහා මිනිසා තවත් අවුරුදු දෙකක් ගිය තැන එයට කදිම විසඳුමක් ඉදිරිපත් කර සිටියේය. එනම් 'ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් මහාමාර්ග තැනීම'යි. මහාචාර්ය වාසුදේවන් ප්ලාස්ටික් ෆැරන්හයිට් අංශක 160 ක උෂ්ණත්වයක රත්කළ පසු යකඩවලට වඩා ශක්තිමත් බව සොයා ගත්තේය.

හේ එයට තවත් රසායනිකයන් එකතුකොට ප්‍රථම මාර්ගය සිය ඉංජිනේරු විද්‍යාල භූමියේ ඉදි කළේය. එම මාර්ගය තාර භාවිතා කොට ඉදිකරන ලද මාර්ගවලට වඩා කල්පවතින බවත් ඒවා ඕනෑම ධාරානිපාත වර්ෂාවකට හෝ ගංවතුරකට ඔරොත්තු දෙන බවත් හේ දැන සිටියේය. එනම් ප්ලාස්ටික් ජලය අවශෝෂණය නොකරයි.

එය ජල ප්‍රතිරෝධකයකි. මාර්ගය නිම කිරීමෙන් පසුව ඔහු ඒවා ඉන්දීය බලධාරීන්ට පෙන්වනු ලැබීය. මහාචාර්ය රාජ්ගෝපාල් ඉදිකළ මාර්ගය සඳහා වියදම් වී තිබුණේ කිලෝමීටර් 1ක් දිග මීටර් 4ක් පළලැති පාරක් සඳහා ඉන්දියානු රුපියල් පනස් දහසකි. එය ඒ අවස්ථාවේදී තාර භාවිත කොට ඉදිකළ මාර්ගයකට ගිය පිරිවැයෙන් හරි අඩකි. ප්ලාස්ටික් මහාමාර්ග 2012 දී ඉන්දියාව පුරා ඉදිකිරීමට අඩිතාලම වැටුණේ ඔන්න ඔය ආකාරයටය.

මහාචාර්ය රාජ්ගෝපාල් වාසුදේවන්ගේ මහාමාර්ග සංවර්ධනය කිරීම වියදමින් තොර පරිසර හිතකාමී මාර්ගයකි. ඉන්දීය රජය 2017 දී ප්‍රාන්ත 11 ක් පුරා කිලෝමීටර් ලක්ෂයක මහාමාර්ග ඉදිකළේ මෙම මිනිසාගේ තාක්ෂණයට පින් සිදුවන්නටය. ඔහුගේ ගෝලයෝ මෙම තාක්ෂණය භූතානයටද රැගෙන ගියහ. නයිජීරියාව මෙම අනර්ඝ තාක්ෂණය ඉන්දියාවෙන් ඉල්ලා සිටියේය. එහෙත් ඓතිහාසික කරුණු කාරණාවලින් ඉන්දියාව හා බොහෝ බැඳුණු ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් මෙම තාක්ෂණය ඉල්ලා සිටි බවක් නම් අපි අසා නැත.

සමහර විට එය ශ්‍රී ලාංකික දේශපාලකයාට එතරම් ලොකු දෙයක් නොවනවා විය හැකිය. කෙසේ වෙතත් 2017 අවසන් මාසයේදී ඉන්දීය රජය සිය මහාමාර්ග සංවර්ධනය හා ඉදිකිරීම් කරනු ලබන සියලු සමාගම්වලට හා ආයතනවලට තම මාර්ග ප්ලාස්ටික් යොදා නිර්මාණය කළ යුතුයැයි නීතියක් පැනවීය. අද ප්ලාස්ටික් මහාමාර්ග ඉදිකිරීමේ අංක එකට සිටින්නේ ඉන්දියාවේ ටාටා සමාගමට අනුබද්ධ ආයතනයකි.

මහාචාර්ය රාජ්ගෝපාල් සැබෑ දේශප්‍රේමියෙකි. ඔහු තමා විසින් බොහෝ කාලය බුද්ධිය හා ශ්‍රමය වෙහෙසවා සොයාගත් මෙම අනගි තාක්ෂණ ක්‍රමවේදයේ අයිතිය තමා සතු කරගත්තේ නැත. ඒ සඳහා ඔහුට ඕනෑවටත් වඩා අයිතිය තිබිණි. එහෙත් හේ මෙම තාක්ෂණයේ පේටන්ට් බලපත්‍රයේ අයිතිය පිරිනැමුවේ තමා ඉගැන්වූ මදුරාපුර ත්‍යාගරාජර් ඉංඡිනේරු විද්‍යාලයටය. අද මෙම තාක්ෂණය ඔවුහු තව තවත් වර්ධනය කරමින් ප්ලාස්ටික් ද්‍රාවණය ප්ලාස්ටික් ගල් කැබලි බවට දියුණු කර ඇත.

2017 දී ඉන්දීය රජය සිය ප්ලාස්ටික් මහාමාර්ග සඳහා වෙන්කළ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 11 යි දශම එකකි. එය හරියට කියතොත් මහාචාර්ය වාසුදේවන් තම මව්බිමට ඩොලර් බිලියන 11 යි දශම එකක් ඉතිරි කර දුන්නා වැන්න. මක් නිසාද වාසුදේවන්ගේ තාක්ෂණය මහාමාර්ගයක් තැනීම සඳහා වියදම් කරන්නේ කලින් පැවති තාක්ෂණයට ගිය පිරිවැයෙන් හරියටම අඩකි.

"ප්ලාස්ටික් මිනිසා" යනුවෙන් ඉන්දියාව ඔහු හඳුන්වන්නේ ඇයිද යන්න අපි දැන් දනිමු. ඉන්දියාව විසින් 2018 දී මෙම මහා මිනිසා ඇගේ ඉහළම සිවිල් සම්මානයක් වන "පද්ම ශ්‍රී" සම්මානයෙන් පුදනු ලැබිණි.

[උපාලි ජයසිංහ]

මාතෘකා