එක්සත් ජාතීන් සහ එක්සත් ජනපද පිළිවෙත

 ඡායාරූපය:

එක්සත් ජාතීන් සහ එක්සත් ජනපද පිළිවෙත

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන වාර්ෂික මහ සැසිය පසුගිය 25 දින අවසන් විය. ඊට සහභාගි වූ රාජ්‍ය නායකයන් සහ ආණ්ඩු නායකයන් මේ වනවිට සිය රටවල් බලා ආපසු ගොස් ඇතිවාට සැක නැත.

එක්සත් ජාතින්ගේ මෙම වාර්ෂික රැස්වීම නිසා තමන් බලයේ සිටින තාක් සෑම වසරක් පාසාම අමෙරිකා එක්සත් ජනපදයට සංචාරයක් යොදා ගන්නට සෑම රටකම නායකකාරකාදීන්ට අවස්ථා හිමිවනු ඇත.

ඊට හේතුව එක්සත් ජාතින්ගේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ අමෙරිකාවේ නිව්යෝක් නුවර වීම සහ එහි වාර්ෂික රැස්වීම එහි ම පැවැත්වෙන නිසාය. ඒ නිසා එක්සත් ජාතීන්ගේ මහා රැස්වීමට සැමදා සත්කාරක රට වනුයේ අමෙරිකා එක්සත් ජනපදයයි.

දෙවන ලෝක මහා යුද්ධයෙන් පසුව නැවත ලොව තුළ එවැන්නක් ඇති නොවනු පිණිස පූර්ව පියවර ගැනීමේ බලය ඇති සංවිධානයක් පිහිටුවා ගැනීම අවශ්‍ය වූ අතර ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගන්නා ලදි.

අමෙරිකා එක්සත් ජනපදය නිව්යෝක් නුවර විශාල භූමිභාගයක් එහි මූලස්ථතානය පිහිටුවා ගැනීම සඳහා ආරම්භයේ දී ම වෙන් කැර දුන්නේය. එමතු නොව සංවිධානය නඩත්තු කිරීම පිණිස එහි වාර්ෂික වැයෙන් පහෙන් එකකට අධික ප්‍රමාණයක් ද තනිව දරයි. 2017 වසරේ මැද වන විට එක්සත් ජාතීන්ගේ සාමසාධක වැය ශීර්ෂයේ සියයට 30 ආසන්න ප්‍රමාණයක් ද එරට දැරීය.

එක්ස්ත් ජාතීන් සඳහා අමෙරිකා එක්සත් ජනපදය මෙසේ ලෝස් නැතිව සල්ලි විසි කරන හෙයින් තමන් නැතිව සංවිධානය පවත්වා ගත යා නොහැකි ය යන මතය මේ වනවිට අමෙරිකාව වක්‍රාකාරව ඉදිරිපත් කරමින් සිටියි.

මීට වසරකට පෙර අමෙරිකාව යුනෙස්කෝ වෙතින් ඉවත් වන බව එයට දැන්වීය. ඊට හේතු වශයෙන් දක්වන ලද්දේ පලස්තිනයේ ඇතැම් ස්මාරක ලෝක උරුමයක් සේ පිළිගැනීමයි. පලස්තීනය කියා රටක් නොමැති හෙයින් ඒවා ඊස්‍රායෙල් භූමියේ පිහිටි ලෝක උරුම විය යුතු බව අමෙරිකාව පෙන්වා දුන් අතර යුනෙස්කෝ එය පිළිගත්තේ නැත. ඒ අනුව මේ වසර අවසානයේ අමෙරිකාව යුනෙස්කෝ සාමාජිකත්වයෙන් ඉවත් වී නිරීක්‍ෂණ මට්ටමෙන් සහභාගි වනු ඇත. එවිට දැනට ගෙවන දායක මුදල හරි අඩකින් අඩු වනු ඇති බව පැවසේ. ඒ එක්කම වාගේ ඊශ්‍රායෙලයද එයින් ඉවත් වන බව දැන්වීය.

සිය රටට සහ මිතුරු රටවලට වෙනස්කම් කරන්නේ ය’යි කියමින් පසුගිය ජුනි මාසයේ අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් විය. අමෙරිකාවේ කණස්සල්ලට හේතු වන්නේ ඊශ්‍රායෙලයේ මානව හිමිකම් ගැන කවුන්සලය කතා නොකිරීමත් ඊශ්‍රායෙලය ගාසා තීරයේ මානව හිමිකම් උල්ලංඝනය කරන බවට නිතිපතා චෝදනා එල්ල කිරීමත්ය. කවුන්සලය ඊශ්‍රායෙලයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඊශ්‍රායෙලයට එරෙහි පාර්ශ්වවලට ‘නිදන්ගත පක්ෂග්‍රාහිත්වයක්’ දක්වන බව සැසිය අමතමින් අමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිත නික් හාලේ පැවසුවාය. මෙම කවුන්සලය මානව හිමිකම් යන වචනය පවා භාවිත කරන්නේ වෙනස් අරුතකින් බව ඇය පෙන්වා දෙන තවත් කරුණකි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම සිය දැඩි විරෝධය පළ කොට තිබිණි.

පසුගිය මස මුල සතියේ අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ආරක්‍ෂක උපදේශක ජෝන් බෝල්ටන් අන්තර් ජාතික අපරාධ අධිකරණයට බරපතළ තර්ජනයක් එල්ල කය. සිය රටට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කළහොත් එම අධිකරණයේ වගකිවයුත්තන්ට සිය රටේ පස් පාගන්නට ඉඩ නොතබන බවත් අමෙරිකා එක්සත් ජනපදය තුළ ඔවුන්ගේ වත්කම් ගල් කරන බවත් ඔහු පැවසීය.

පසුගිය මැයි මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් මවුකිරිවලින් පමණක් බිළිඳුන් පෝෂණය කිරීම සඳහා වන යෝජනාවක් ඉක්වදෝරය විසින් එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කරන්නට සූදානමක් තිබූ නමුත් අමෙරිකාවේ විරෝධය නිසා එය ඉදිරිපත් කළ නොහැකි විය. ඊට හේතුව ලදරු කිරිපිටි නිෂ්පාදකයන් වෙනුවෙන් අමෙරිකාව පෙනී සිටීමයි. දිළිඳු රටවලට ඒවා විකිණීමෙන් අමෙරිකානු සමාගම් ලබන ලාභය මේ යෝජනාව සම්මත වුවහොත් අඩු වී යනු ඇති නිසා අමෙරිකා නියෝජිතයන්ගේ විරෝධය ඊට එල්ල විය.

පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ මහා සභ රැස්වීමේදී ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියාවට සුන්නද්දූලි කරන බවට තර්ජනය කළේය.

73 වන සැසි වාරයේ දී අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ අධිකාරිමය ස්වරූපයේ හැසිරීම විචාරයට ලක් වී තිබේ. එම රැස්වීමේ දි සිය රට වෙනුවෙන් ඕනෑ දෙයක් ප්‍රකාශ කරන්නට රාජ්‍ය නායකයන්ට අවස්ථාව ඇති හෙයින් ඔවුන්ගේ කතාවල අන්තර්ගතය ගැන කිසිවකුටත් තර්ජනය කළ නොහැකිය.

අන්තර්ජාතික සමුළුවල පවත්වනු ලබන ට්‍රම්ප්ගේ කතාවල සහ අනෙක් නායකයන්ගේ කතාවල අන්තර්ගතයේ සහ ස්වරූපයේ වෙනසක් සැම විටම තිබේ. එය කිසියම් ආකාරයක අධිකාරිත්වයක් පෙන්වයි. ‘අමෙරිකාව තමා 1’ ඒ ඔහුගේ උද්‍යෝග පාඨයයි. උද්‍යෝගපාඨය පමණක්ම නොවේ. එහි කිසියම් අහංකාර පරවශ බවක් දක්නා ලැබේ. අමෙරිකාව පළමුවන තැන වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙවැනි තැනය.

‘සභාපතිතුමියෙනි, පසුගිය වසරේ මා මේ රැස්වීම ඇමතුවේ පළමුවන වතාවටයි. එහි දී මා ඇමතුවේ ලොවට බලපාන තර්ජන ගැනයි’ යනුවෙන් සිය කතාව ඇරඹූ ඩොනල්ඩ් ට්‍රම්ප් තමා දැන් මෙය අමතන්නේ අප විසින් ළඟා කැර ගන්නා ලද අතිවිශේෂ ප්‍රගතිය ගැන දැනුම් දීමට බව පැවසීය. ‘මගේ පරිපාලනය අපගේ රටේ පෙර පැවැති අනෙක් ඕනෑ ම පාලනයකට වඩා සාර්ථකත්වය ළඟාකැර ගෙන තිබෙනවා’යි හේ පැවසීය. එසේ කියනවාත් සමගම සබා ගැබ සිනාහඬින් පිරී ගිය බවත් මොහොතක් නරත වු ට්‍රම් ඉන් පසුව ‘එවැනි ප්‍රතිචාරයක් මා බලාපොරොත්තු වුණේ නෑ. කොහොම වුණත් කමක් නෑ’ යි පැවසූ බවත් වාර්තා වෙයි. රාජ්‍ය නායකයකු කතා කරන දෙයට හාස්‍යාත්මක ව සිනාසීම මේ සමුළුවේ සාමාන්‍ය සිරිත නොවේ. දෝෂය වටහා ගත් නිසාදෝ අනෙක් රාජ්‍ය නායකයන් වෙතින් ඉන්පසු එවැනි ප්‍රතිචාර දැක්වීමක් සිදුවූයේ නැත.

මෙවර සමුළුවේ සියලු දෙනා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇවැසි ආකාරයට සීරුමාරු වී සිටි බව විකල්ප ධාරාවේ වෙබ් අඩවිවල දැක්වේ. බොහෝ දෙනා ඔහු පැසසූහ. ජපානයේ ෂින්සෝ අබෙට තීරුබදු ප්‍රශ්නයක් තිබේ. න්‍යෂ්ඨික බලවතුන්ට අමෙරිකාව විසින් ඉරාණයට සම්බාධක පනවනු ලැබීමට එකඟ විය නොහැකි ය. කැනඩාවට ද තීරුබදු ප්‍රශ්නය සහ නැෆ්ටා ගිවිසුම අවලංගු කරීම පිලිබඳ ගැටලුවක් තිබේ. නවසිලන්ත අගමැතිනියට ඇත්තේ පාරිසරික ප්‍රශ්නයකි. මේ සියල්ලට ම අමෙරිකා එක්සත් ජනපදයේ සම්බන්ධයක් තිබේ. එහෙත් ඔවුහු අමෙරිකාව පසසති.

එසේ නොකරන්නේ රාජ්‍ය නායකයන් කිහිප දෙනෙක් පමණි. ඉරාන ජනාධිපති හසන් රඋහානි නම් ප්‍රකටවම සිය කෝපය පළ කළේය. අමෙරිකා එක්සත් ජනපදය ලොව පුරා ත්‍රස්තවාදය පතුරුවන්න‍ෙය’යි ඔහු චෝදනා කළේය. ඔහුට එසේ කියන්නට හේතු තිබිණි. ජනාදිපති ට්‍රම්ප් ඊට පෙර සිය කතාවේ දී ඉරාණය මැද පෙරදිග කලාපයේ ත්‍රස්තවාදය පතුරුවන්නේය’යි චෝදනා කළ හෙයිනි. ඉරාණයට එරෙහිව ගෙන යන තමාගේ වැඩ පිළිවෙළේදී ලොව සියලු ජාතීන්ට තමා සමග එක් වන ලෙස ඔහු ආරාධනය කළේය.

24 දින ඉරානයේ අව්හාසි නම් නගරයේ පැවැති විප්ලවීය ආරක්‍ෂක හමුදාවේ පෙරෙට්ටුවකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. එය අමෙරිකා එක්සත් ජනපදයේ සහ සවුදි අරාබියේ පිටුබලයෙන් සිදු වූවක් බව ඉරාණ ජනාධිපතිවරයා එක්සත් ජාතීන් හමුවේ පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීම සාමාන්‍යයෙන් සැලකෙන්නේ කතා සාප්පුවක් ලෙසිනි. රාජ්‍ය නායකයෝ එහිදී සිය රටවලට මුහුණ පාන්නට සිදුව ඇති ප්‍රශ්න විවෘතව ලොවට හඬ නගා කියති. අපේ ජනාධිපතිතුමා එහිදී කීවේ අපේ රජය මුහුණ පා ඇති ගැටලුවයි. යුද්ධයෙන් පසු රට සාමයේ මාවතට අවතීර්ණ වී ඇත. මේ වනවිට රටක් ලෙස අපේ ප්‍රශ්න අපට විසඳා ගත හැකි මට්ටමට පැමිණ තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු අපේම සංවිධානයයි. ලොව පුරා මානව හිමිකම්වලට එරෙහි වන්නවුන්ට විරුද්ධ දැඩි ක්‍රියාමාර්ග ගැනීම එයට පැවරී ඇති භාරධුර කාර්යයකි. අමෙරිකා එක්සත් ජනපදයේ මෑත කාලීන කියුම් කෙරුම්වලින් පැහැදිලි වන්නේ තමන්ගේ වාසියට දෙන තීන්දු පමණක් පිළිගන්නට එරට සූදානම් බවය. කවර හෝ පක්‍ෂපාතකමක් නිසා ලොව අනෙක් රටවල්ද ඒවාම අනුමත කළහොත් සිදුවිය හැකි දෙය සිතා ගන්නටත් අපහසුය.

[එස්. නන්දලාල්]

මාතෘකා