බැලොච් ත්‍රස්තයෝ චීනයට විරෝධය පාති

 ඡායාරූපය:

බැලොච් ත්‍රස්තයෝ චීනයට විරෝධය පාති

පසුගිය සිකුරාදා කරච්චි නගරයේ පිහිටි පාකිස්තානයේ චීන කොන්සල් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය. ඒ ප්‍රහාරයෙන් එහි ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ජීවිතක්‍ෂයට පත් වූ අතර පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරයෙන් ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තයන් තිදෙනාගෙන් දෙදෙනෙක් සහ සිවිල් පුරවැසියෝ දෙදෙ‍ෙනක් එතැනම මරු දුටහ. ප්‍රහාරයට පැමිණි අනෙකා බරපතළ තුවාල ලබා රොහල් ගත කරන ලද අතර පසුව මියගියේය.

බෝම්බ සහ ගිනි අවි අත දරා පැමිණි ස්වයං ඝාතක ත්‍රස්තයන්ට කාර්යාලය තුළට කඩා වදින්නට අවස්ථාවක් නොලැබුණු අතර කාර්යාලය තුළ සිටි නිලධාරීන්ට පිටත ප්‍රහාරයක් එල්ල වූ බවක් දැනුණේද නැත.

ත්‍රස්තයන් මර්දනය කිරීමේ මෙහෙයුමට අණ දෙන ලද්දේ සුහායි තල්පුර් නමැති පොලිස් අධිකාරීවරියක් වීම විශේෂ කරුණකි. කාන්තාවක් එවැනි අවස්ථාවක මූලිකත්වය ගැනීම බොහෝ මුස්ලිම් රටවල සිදු නොවන්නක් බැවින් එය බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තේය. මේ සිද්ධියේ දී ඇය ප්‍රකට කළ නිර්භීතභාවය සහ රාජකාරියට කැපවීම ඉහළ නිලධාරීන්ගේ සහ දේශපාලනඥයන්ගේ පැසසුමට ලක්වූ බව සඳහන්ය.

මේ ප්‍රහාරය ඈත දුරස්ත සහ ජනඝනත්වය අඩු බැලොචිස්තාන වැඩ බිමකට එල්ල නොකොට පාකිස්තානයේ වෙළෙඳ අගනුවර වන කරච්චියේදී සිදු වීම (එයින් වූ හානිය එතරම් බරපතළ නොවුවත්) බරපතළ සිද්ධියක් බව විචාරක මතයයි.

එදිනම වයඹදිග පාකිස්තානයේ ඛයිබර් පක්තුන්ක්වා පළාතේ කාලය නම් ගමේ පොළකට එල්ල වූ ස්වයංඝාතක බෝම්බ ප්‍රහාරයකින් 26 දෙනෙක් මරණයට පත් වූ අතර 55 දෙනෙකුට තුවාල සිදු විය. එය පාකිස්තාන් තාලිබාන් කණ්ඩායමේ වැඩක් බව සැලකේ. එහෙත් චීනකොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට තරම් අවධානයක් යොමු වූයේ නැත.

ප්‍රහාරය එල්ල කරන ලද්දේ බැලොචිස්තාන විමුක්ති හමුදාව (බීඑල්ඒ) නම් තහනම් සංවිධානයක සාමාජිකයන් විසිනි.

මේ සංවිධානයට ඉන්දියාවේ සහාය ලැබෙන බව පාකිස්තාන බුද්ධි අංශයේ මතය බව ‘සවුත්චයිනා මෝනිං පෝස්ට්’ වෙබ් අඩවියේ වාර්තාවක සඳහන්ය. පෙර අවස්ථාවක කරන ලද එම චෝදනා හෙළාදකිමින් ඉන්දීය විදේශ අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කොට තිබිණි. මෙම ප්‍රහාරයට භාවිත කරන ලද ‘සී4’ වර්ගයේ පුපුරන ද්‍රව්‍ය බැලොචිස්තාන ත්‍රස්තයන්ට ලැබී ඇත්තේ සතුරු දේශයකින් බව පැහැදිලි යැයි පාකිස්තාන ත්‍රස්ත මර්දන ඒකකයේ ප්‍රමුඛ නිලධරයකු වන උමාර් ඛටිම් පැවසූ බවද එම වෙබ් අඩවියේ සඳහන්ය. එහෙත් සතුරු දේශය කවරක්ද කියා එහි සඳහන් කොට නොමැත. මේ ප්‍රහාරයේ මහ මොළකරු බීඑල්ඒ නායක අස්ලාම් හෙවත් අච්හු බවත් ඔහු මේ වනවිට සැඟවී සිටින්නේ ඉන්දියාවේ බවත් බුද්ධි අංශ සැක කරයි.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර මැක්ස් හොස්පිට්ල් නම් රෝහලක නේවාසිකව සිටින අයුරු දැක්වෙන සේයාරුවක් උර්දු බසින් පළවන එක්ස්ප්‍රස් නිව්ස් වෙබ් අඩවියෙන් උපුටා දක්වමින් පාකිස්තානයේ ට්‍රිබියුන් වෙබ් අඩවියේ පළ කොට ඇත. ඒ පින්තූරය පෙර මීට මාස 18කට පෙර මෙවැනිම ප්‍රහාරයකදී තුවාල ලැබූ විට ගුවන් මගින් එහි ගෙන ගොස් ප්‍රතිකාර ලබාදුන් අවස්ථාවේ ගත් එකක් බව පැවසේ. එයින් ඔප්පු වන්නේ ඉන්දියාව බීඑල්ඒ සංවිධානයට උඩගෙඩි දෙන බවැයි එහි සඳහන්ය.

බැලොචිස්තානය යනු වයඹ දිග පාකිස්තානයේ පිහිටි ප්‍රාන්තයකි. එහි පාලනය ප්‍රාන්ත සභාවක් විසින් පවත්වා ගෙන යනු ලබන අතර මහ ඇමති කෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් ඇමති මණ්ඩලයක් විසින් පාලනය කරනු ලැබේ.

බැලොචිස්තානය යනු බැලොච් ජනයාගේ දේශයයි. මෙම ජන කණ්ඩායමේ මූලය ඇත්තේ අතීත පර්සියානු සානුවේය. දැන් ඔවුහු බහුල වශයෙන් බැලොචිස්තානයේත් සුළු වශයෙන් ඇෆ්ගනිස්තානයේ, ඉරානයේ සහ අරාබි අඩ දිවයිනේද වෙසෙති. බැලොචිස්තාන ප්‍රාන්තයේ ජීවත්වන මිනිසුන්ගේ ඉල්ලීම වන්නේ ඔවුන්ට වෙනම පාලනයක් ලබා දිය යුතු බවය.

 

බැලොචිස්තානය පාකිස්තානයේ ප්‍රාන්ත හතරෙන් භූගත ඛනිජ නිධිවලින් පොහොසත්ම ප්‍රාන්තය වුවත් ආර්ථික වශයෙන් සහ ජන ජීවිතය අතින් එරට දිළිඳුම ප්‍රාන්තය වේ. මධ්‍යම රජය විසින් ඇති කැර ගන්නා ලද ගිවිසුම් අනුව නොයෙකුත් සමාගම් ඒවා නිස්සාරණය කරන අතර ප්‍රාන්තයට ආදායම් නොලැබේ. එබැවින් එහි තරුණ කණ්ඩායම් සන්නද්ධව නැඟී සිටිති. බීඑල්ඒ ඔවුන්ගේ ඡත්‍ර සංවිධානයයි.

1970 තරම් ඈත සමයක ඔවුන් සංවිධානගත වූ බව සැලකේ. බැලොචිස්තාන ප්‍රන්තයෙන් මධ්‍යම රජයට පත් වූ මන්ත්‍රී කෙනෙකු මෙන්ම එම ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයකු වූ අක්බාර් ඛාන් බග්ටි 1973 පෙබරවාරි 09 රෑ මැදියමේ රජයට අපූරු ඔත්තුවක් සැපයීය. රුසියාවෙන් රහසිගතව එන නැවකින් අවි තොගයක් පාකිස්තානයේ ඉරාක තානාපති කාර්යාලයට මේ දැන් ලැබුණු බවයි ඒ. පාකිස්තාන පොලිසියේ විශේෂ ඒකකය වන එස්එස්ජී වහාම අනවසරයෙන්ම ඉස්ලාමාබාද් හි ඉරාක තානාපති වැටලීය. එහි තිබී කිසිවක් හමු නොවුණත් කරච්චියේ පිහිටි කොන්සල් කාර්යාලයේ තිබී පුපුරන ද්‍රව්‍ය සහ සැහැල්ලු ගිනි අවි තොගයක් සොයා ගන්නා ලදී. ඒවා බැලොච් කැරලිකරුවන්ට දීමට ගෙන්වා ගන්නා ලද ලෙස වටහා ගන්නා ලද අතර එම කාර්යාලය වහාම වසා දමා අදාල නිලධාරීන් පිටමං කරන ලදි. මෙයට සෝවියට් දේශයෙන්, ඉරානයෙන් සහ ඉන්දියාවෙන් පිටුබලය ලැබෙන බව ඒ පිළිබඳව එවකට පාකිස්තාන අගමැති සුල්ෆිකාර් අලි-භුටෝ අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති රිචර්ඩ් නික්සන් වෙත දන්වා යැවීය.

ඉන්පසු පාකිස්තාන හමුදාවේ දැඩි ක්‍රියාකාරකම් නිසා බැලොච් කැරලිකරුවන්ට පසු බසින්නට සිදු වූ අතර එය යටපත් වූ සෙයක් දක්නා ලැබිණි.

නැවත ඔවුන්ගේ ඉස්මතු වීම සිදුවන්නේ ග්වාදාර් වරාය ව්‍යාපෘතිය සමගය. ග්වාදාර් යනු බැලොචිස්තානයේ පිහිටි කුඩා වරායක් වන අතර එය විශාල කොට ගැඹුරු මුහුද දක්වා පුළුල් කිරීමත් යටිතල පහසුකම් සංවර්ධනයත් මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ. ගැඹුරු සහ පුළුල් කරන ලද වරාය, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, නිවාස යෝජනා ක්‍රම යනාදියෙන් සමන්විත මෙයට වැය විය හැකි යැයි ගණන් බලා ඇති මුදල ඇඩො ට්‍රිලියනය ඉක්මවයි. පොලී රහිත ණය සපයන්නේ චීනය විසිනි. 1992 සිට වරින්වර ඉස්මතු වූ මෙම වරාය ව්‍යාපෘතිය ජනාධිපති ෆර්වේෂ් මුෂාරෆ් විසින් 2007 වසරේ අරඹන ලදි.

මේ ව්‍යාපෘතිය හැඳින්වෙන නාමය ‘චීන පාකිස්තාන ආර්ථික ආලින්දය - (සීපීඊසී)’ වේ. චීනය මේ වන විට අතීත සේද මාවත අලුත් මුහුණුවරකින් ක්‍රියාත්මක කරයි. මුහුදේ දී එය සේද මාවත වන අතර ගොඩ බිමේ දී ‘එක් තීරයක් - එක් මාවතක්’ යනුවෙන් නම් කරනු ලැබ තිබේ. මෙයින් චීනය කේන්ද්‍ර කොට ගත් ව්‍යාපාරික ජාලයක් ක්‍රියාත්මක වනු ඇත. ග්වාදාර් වරාය බටහිර චීනයේ ක්ෂි ජියෑං වෙළෙඳ පළාත සහ අරාබිකරය යා කෙරෙන මාර්ගයේ සන්ධිස්ථානයකි. එහි ආර්ථික ඵල යම් දිනක අත් වනු ඇත්තේ පාකිස්තානයටය. එහෙත් පාකිස්තානයට ණය ගෙවා ගත නොහැකි වුව හොත් සිදු වනු ඇත්තේ කුමක්ද කියා ප්‍රසිද්ධ නැත.

පාකිස්තානය චීනයට බරපතළ ලෙස ණය බව ලොවම දනියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට මාස කිහිපයකට පෙර මේ කාරණය නිසා ම පාකිස්තානයට ණය දීම ප්‍රතික්‍ෂෙප කළේ පාකිස්තානය ණය ගන්නේ චීන ණය වාරික ගෙවා දමන්නට නිසා තමන් ණය නොදෙන බව කියමිනි.

මේ ව්‍යාපෘතියට ඉන්දියාව පසමිතුරුය. ඒ බව පාකිස්තානය මෙන්ම චීනයද දනියි. යටපත්ව සිටි බැලොචිස්තාන කැරලිකරුවන් බීඑල්ඒ ලෙසින් අලු ගසා නැඟී සිටින්නේ 2007න් පසුය.

23 දින ප්‍රහාරයේ පසුබිම් කතන්දරය සැකෙවින් එසේය.

තවත් ත්‍රස්ත කණ්ඩායම් දෙක තුනක්ම බැලොචිස්තානයේ ක්‍රියාත්මක වන බවද සඳහන්ය. එහෙත් මේ ප්‍රහාරය තමන්ගේ වැඩක් බව එය සිදු වී දෙපැයක් යන්නට මත්තෙන් බීඑල්ඒ විසින් භාර ගනු ලැබීය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ මේ ප්‍රහාරය ගැන තමා කිසිසේත්ම පුදුම නොවන බවයි. පුදුම විය යුත්තේ මෙවැන්නක් නොවුණා නම්ය.

මේ සිද්ධිය ගැන කණස්සල්ල පළ කරන චීන රජය පවසන්නේ ආරක්‍ෂාව සැපයීම පාකිස්තාන රජයට පැවරී ඇති කාර්යභාරයක් බවයි. චීන කොන්සල් කාර්යාලයේ නිලධාරීන්ට පමණක් ආරක්‍ෂාව සැපයීම ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන චීන රජය පවසන්නේ වැඩ බිම්වල සේවය කරන දහස් ගණනක චීන පුරවැසියන් ගැනද පාකිස්තාන රජයට වගකීමක් ඇති බවයි. දැන් මේ ව්‍යාපෘතිය නවතා දැමීම කිසිසේත්ම කළ නොහැකි වන අතර එය නිමාව දක්වා ඉදිරියට ගෙන යෑම දෙරටේම අපේක්‍ෂාව වෙයි.

මෙහෙයුමේදී දිවි පිදූ පොලිස් නිලධාරීන්ගේ පවුල් වෙත සිය බලවත් සංවේගය පළ කරන චීන රජය ඔවුන්ගේ පවුල්වල ඇත්තන් ගැන ඉදිරියේදී බලා ගන්නා බවද පවසයි.

චීනය තමන්ගේ සතුරකු බව බීඑල්ඒ සංවිධානයේ නිවේදනයක දැක්වෙන බව බීබීසී වාර්තාවක දැක්වේ.

මාතෘකා