කොපෙන්හේගන් අහස පාපැදිවලට ආදරය කරයි

 ඡායාරූපය:

කොපෙන්හේගන් අහස පාපැදිවලට ආදරය කරයි

ඕනෑම රටක දේශපාලකයා තමයි ඒ රට අනාගතයේදී තියෙන්න ඕන කොතැනද කියල තීරණය කරන මිනිහා. නැත්නම් රටක තීරණාත්මක ප්‍රපංචය. ඔහුට ඒ සඳහා හොඳ දැක්මක්, අතිවිශාල ධෛර්යයක්, අවංකත්වයත් හා විනිවිදභාවයක් තිබිය යුතුයි. එහෙම දේවල් නැති හිස් දේශපාලකයො ඉන්න රටවල් තියෙන්නේ දුගී රේඛාවෙන් පල්ලෙහා. අපි අපිටම කියාගත්තොත් එහෙම රටවල්වලට කියන්නෙ පසුගාමී ආර්ථික රටාවක් සහ පසුගාමී සමාජයක් ඉන්න රටවල් කියලා. ඒක නිසා තමයි අපේ දේශපාලකයා තමන්ට අතිසුඛෝපභෝගී රථ දෙක තුනක් තියාගෙන ඒකට ආරක්ෂාවට තවත් රථ පෙළක් තියාගෙන ඉන්නෙ. එයා එහෙම ඉන්නකොට රටේ පොදු ජනතාව අතින් කටින් එල්ලගෙන, පොල් පැටෙව්ව වගේ මිනිස්සු පටවපු පොදු මාර්ග ප්‍රවාහනයේ පාපුවරුවේ තනි කකුලෙන් එල්ලිලා යන්නෙ. අපි දැන් කතා කරන්නෙ පොදු ජනතාව එහෙම මාරාන්තික ගමන් බිමන් නොයන ප්‍රවාහන ක්‍රමයක් ඇති රටක් ගැන

ඕනෑම ආර්ථික, මානව හෝ සංස්කෘතික දර්ශකයක් අරන් බැලුවොත් අපිට පේනව ඩෙන්මාර්කය කියන්නෙ මිනිහෙක්ට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් විදිහට ඒ දර්ශකවල ඉහළින්ම තියෙන බව. ඒ වගේම ඒ රට දැඩි මානව හිතකාමී පරිසරයන් සහිත රටක් බව. අපි දැන් කියන්න යන්නෙ ඒ රටේ තියෙන පාපැදි සංස්කෘතිය ගැන. මේ බයිසිකල් ප්‍රවාහන සේවයට බලපාපු මූලිකම කාරණාව තමයි, ඩෙන්මාර්ක නගර පිහිටා තියෙන භූමියේ පැතලි බව සහ 1970 දී ලෝක තෙල් අර්බුදයේදී ඩෙන්මාර්ක ජනතාව විඳි දුක. එයාල නගරවල වීදිවලට බැහැල "අපි තෙල් ගහගන්නම්, අපිට වාහන නිකන් දියවු!" කියල දැවැන්ත විරෝධතාවයක නිරත වුණා. මොකද ඩෙන්මාර්කය කියන්නෙ ඉන්ධනවලට හා මෝටර්රථවලට අධික බදු ගහන රටක්. අවුරුදු 100ක් විතර පැරණි මේ පාපැදි ප්‍රවාහන ක්‍රමය ඉක්මනින්ම ජනතාව අතරට එන්න හේතු වුණේ එහෙමයි. 2018 වෙනකොට මේ පාපැදි ප්‍රවාහන ක්‍රමය රටේ පොදු ජනතාවගේ සමානාත්මතාව සහ නිදහස පිළිබඳ සංකේතයක් වුණා. කොච්චරද කියනව නම් අපේ රටේ තමන්ටම කියල මෝටර් රථයක් තියෙනව කියන්නෙ ඒ මිනිහගෙ සුඛෝපභෝගී ජීවිතය හෝ ඒ මිනිහගෙ සමාජ ස්ථරය පිළිබඳ සාධකයක් වුණාට ඩෙන්මාර්කයේ ඒක එහෙම නෑ.

කොපෙන්හේගන් තමයි ඩෙන්මාර්කයේ අගනුවර. කොපෙන්හේගන්වල ජීවත් වන බහුතර ජනතාවකට තමන්ට කියල මොටර් රථයක් නෑ. ඒ නැත්තෙ එයාලට මෝටර් රථයක් ගන්න සල්ලි නැති නිසා නෙවෙයි. ඊට වඩා වියදම් අඩු සහ පහසුකම් සහිත ප්‍රවාහන සේවයක් සහ ක්‍රමයක් තියෙනව නම් පෞද්ගලිකව මෝටර් රථයක් තියාගෙන මොනවටද? ඒ නගරෙ 50% කගෙ ප්‍රවාහන ක්‍රමය තමයි පාපැදිය. ඊට අමතරව එක දවසකට කොපෙන්හේගන්වලට ඇතුළු වන සහ පිටවන පාපැදි සංඛ්‍යාව පනස්දහසකට වැඩියි. ඒ තරම් මෝටර් රථ සංඛ්‍යාවක් ඒ නගරයට දවසකට ඇතුළු වෙන්නෙ නෑ. මේ පාපැදි සංස්කෘතිය තුළින් ඩෙන්මාර්කය භුක්ති විඳිනව අවම මෝටර් රථ සංඛ්‍යාවක් නිසා වායුගෝලයට එකතු කරන අවම කාබන් වායුව සහිත හොඳ හුස්මක්. අවම නලා ශබ්දය නිසා ඉතා හොඳ ශබ්දය විරහිත පරිසරයක්. ඒ වගේම අධික මෝටර්රථ තදබදයක් නොමැති නිසා නිෂ්පාදන ආර්ථිකයට ඒ සදහා ඉන් එකතු වන පැය ගණන. ඉන්ධනවලට වැය කරන විදේශ විනිමය ප්‍රමාණය අවම වී එම මුදල් රටේ වෙනත් සංවර්ධන ව්‍යාපෘතියකට යෙදවිය හැකි වීම සහ මේ තුළින් ඩෙන්මාර්කයේ සියලු නගර හරිත නගර බවට පත් කිරීමට හැකි වන උත්සාහයට සපයන නොමසුරු දායකත්වය. හොඳම කාරණය තමයි මේ සියල්ලටම පළමුව දායකත්වය දෙන්නෙ ඒ රටේ දේශපාලකයා සහ ඔහුගේ ආදර්ශයයි. ඩෙන්මාර්කයේ දේශපාලකයන් 70%ක් එරට පාර්ලිමේන්තුවට එන්නෙ පා පැදිවලින්. අපිට ඒක විශ්මයට කාරාණාවක් වුවත් එයයි සත්‍යය.

උදෑසන හත වෙද්දි කොපෙන්හේගන් මාර්ගවල ව්‍යාපාරික ටයි කෝට් දා ගත්තු මහත්වරුද, විවිධ විලාසිතාවලින් සැරසිලා දිනපතා වැඩට යන කාන්තා පක්ෂයද, පාසල් නිල ඇඳුම දාගත්තු දරුවෝද පාපැදිවල නැඟිල දස දහස් ගණන් යනවා අපිට බලන්න පුළුවන්. මේ පාපැදි ප්‍රවාහන ක්‍රමයේ තියෙන සුවිශේෂිත්වය තමයි. මෝටර් රථයකින් ගමන් කරනවාට වඩා ඉක්මනින් පැදියකට පුුළුවන් තම ගමානාන්තයට යන්න. එහෙ මංමාවත් හදල තියෙන්නෙ ඒ විදිහටයි.

2012 කොපෙන්හේගන් මාර්ග සංවර්ධන අධිකාරිය හදනව පාපැදිවලට පමණක් ගමන් කළ හැකි මංතීරු 26ක් තියෙන අනර්ඝ මහා මාර්ගයක්. ඒ එක මංතීරුවක අවම දුර කිලෝමීටර් 24 ක්.

ඩෙන්මාර්ක මවුවරු තමන්ගෙ දරුවට පාපැදිය පුහුණු කරන්න ගන්නව එයාට වයස යන්තන් අවුරැදු 3ක් වෙනකොටම. එ්කෙ ප්‍රතිඵලය තමයි කුඩා දරුවගේ සෑම මාංශ පේෂියක්ම හොඳින් චලනය වී නිරෝගීමත් දරු පරපුරක් ඩෙන්මාර්කයට උරුම වීම. 1960 වෙනකොට ඩෙන්මාර්කයේ මහා මාර්ග ඉල්ලා සිටියෙ මෝටර්රථවලට ඉඩදීල පාපැදි පැත්තකට විය යුතුයි කියලා. එත් 2018 දි ඒ මහාමාර්ග පද්ධතියම ඉල්ලා සිටිනවා පාපැදිවලට ඉඩ දීලා මෝටර්රථ මාර්ගයෙන් ඉවතට යා යුතුයි කියලා. ඔබට බලන්න පුළුවන් කොපෙන්හේගන් නගරයේ ඇති විවිධ ප්‍රචාරක පුවරු අතර මෙහෙම ප්‍රචාරක පුවරුත් තියෙනව.

‘‘කොපෙන්හේගන් අහස පාපැදිවලට ආදරය කරයි ‘‘

‘‘පාපැදි නගරයක ඔබ ජීවත් වනවා යනු වයස අවුරුදු 100ක් ජීවත් වන බවයි ‘‘

‘‘විදේශිය අමුත්තනි පාපැදියකින් සංචාරය කර කොපෙන්හේගන් අසිරිය විඳින්න ‘‘

‘‘පාපැදිය නිරෝගී මතු පරපුරක් බිහි කරයි ‘‘

[උපාලි ජයසිංහ]

මාතෘකා