මෝලායි වනාන්තරය ගොඩනැඟූ අපූරු මිනිසා

 ඡායාරූපය:

මෝලායි වනාන්තරය ගොඩනැඟූ අපූරු මිනිසා

එය ස්වභාවධර්මයට දැඩි ලෙස ආලය කළ ඒ වෙනුවෙන් සිය ජීවිත කාලයම කැප කළ ‘‘කළ නොහැක්කක් නොමැත” උධෘතය සිහිගන්වන මිනිසකුගේ කතාවකි. එසේම එය සිය මහඟු ඉලක්කය හඹා යන මිනිසකුගේ කකුලෙන් නොඇදි රාජ්‍යයක කතාවකි.

කතාව පටන් ගන්නේ ඉන්දියාවේ ඇසෑමි ප්‍රාන්තයේ බ්‍රහ්මපුත්‍ර නදිය අසල ගම්මානයක වයස 16ක කොලු ගැටයකු මහා ගංවතුරකට පසු බ්‍රහ්මපුත්‍ර නදිය දෙගොඩතලා ගිය විට ඉන් ජීවිත බේරා ගැනීමට වියළි වැලි තලාවකට ගොඩවී සිටි තුන් හාරසීයක් පමණ වූ සර්පයන් තොගයක් දැකීමෙන් පසුවය.

ඒ වන විට උන් සියල්ලෝම මැරී උන්හ. උන් මියගොස් සිටියේ වියළි කතරේ අධික හිරු රශ්මියද උහුලාගත නොහැකි අධික දිය පිපාසාවද හේතුවෙනි. මේ දර්ශනයෙන් කොලුවා කම්පාවට පත්විය.

මේ මහා වියළි වැලිකතරේ ගස් තිබිණි නම් මේ විපත සිදු වන්නේ නැත. ඔහුගේ පොඩි වයසට ඔහු ගියේ වන සංරක්ෂණ නිලධාරීන් වෙතටය. නිසරු වැලි කතරේ කිසිවක් වැවිය නොහැකි බවත් උණ ගස් පමණක් එහි වැඩෙන බවත් ඔවුහු කොලුවාට පැවසූහ. ගමට පැමිණි කොලුවා හතර වටේ ගොස් උණ පැල සොයාගෙන විත් වැලිකතරේ තැනින් තැන සිටුවූවේය. ‍

ඔහුගේ අරමුණේ ප්‍රබලත්වය ගැන ඉන් අපට යම් වැටහීමකට පැමිණිය හැකිය. ඒ 1979 වර්ෂයේය. කොලුවා ජාඩේව් මෝලායි පෙන්ග්ය. ඔහු සිටුවූ උණ රිකිලි දලු දමා ශීඝ්‍රයෙන් පඳුරු දමන විට වෙනත් පැළ වර්ගද ඒ අතර සිටුවීමට හේ පටන් ගත්තේය. වනජීවී නිලදරුවන් බොරුකාරයන් බවට පත් කරමින් නොයෙකුත් පැළෑටි දලු ලෑමට පටන් ගත් විට ඊට යාබද ගමේ මිනිසුන් ඔහුට පැවසුවේ පැළ අතර පස් මතට රතු කූඹින් මුදා හරින ලෙසය.

කූඹි පස අතර රිංගමින් පස පෝෂණය කිරීමටත් බුරුල් කිරීමටත් සමත් වූවා විය හැක. ඔහු ගම්මාන වටේ ගොස් රතු කූඹින් එකතුකර වියළි වැලි කතරේ තවමත් දලුලමින් ඇති විවිධ පැළෑටි අතර පස් හෙළුවේය. වසර දහස් ගණනක් කිසිවක් සිටුවා නොමැති කාන්තාර භූමිය කොළ පැහැ ගන්වමින් වෘක්ෂලතාවෝ නිදහසේ වැඩෙන්නට පටන් ගත්හ.

2005 වසර වන විට එය දැවැන්ත ගන වනාන්තරයක් වී අහවරය. සුළඟින්, කුරුල්ලන්ගෙන් හා වවුලන්ගේ ස්වභාවික බීජ සංසරණයෙන් විසිරී වැඩුණු ගන වනයේ පැතිරීමේ වේගය කොතෙක්ද යත් අද වන විට එය කිලෝමීටර් 1360ක් පුරා දිවෙන වනගහණයකි.

ගැටලුව පටන් ගත්තේ අවට සිටි කැලෑපාළුවෝ එහි පැමිණ වටිනා ගස් කපා ගෙනයන්න පටන් ගත් විටය.

ජාවේඩි වනාන්තරය අවට ඇති ගම්මානවලට ගොස් මේ නිසරු කතර ගහකොළවලින් සැරසීමට ඔහු ගත් උත්සාහය ගැන කීවේය. ඔහු එය රැක ගැනීමට අවට ගම්මානවලින් උදවු ඉල්ලා සිටියේය. ගම්මානවල මිනිසුන් එය රැක දීමට ඉදිරිපත් විය. එහි ප්‍රතිඵලයක් ලෙසට කිලෝමීටර් 1360ක් පුරා විහිදුණු මේ වනාන්තරය තුළට අදටත් ගස් කපන්නන් නොපැමිණෙන බව කියැවේ.

කලින් කිලෝමීටර් දහස් ගණනක් පුරා කාන්තාරයක්ව තිබූ ඇසෑමි ප්‍රාන්ත සිතියමේ පළාතක් හරිත වර්ණයෙන් සැරසී ඇති බවත්, එහි සියලු ගෞරවය නූගත් ජාඩේව් මෝලායි නැමති මිනිසකුට හිමි විය යුතු බවත් ඉන්දීය රජය සොයා දැන ගත්තේය.

ඒ අනුව ඉන්දියාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨ මෙහෙවරක් කළ මිනිසුන් උදෙසා පිදෙන දියමන්ති ජුබිලිය එවකට ඉන්දීය ජනපති අබ්දුල් කලාම් විසින් අපේ වීරයාට පුදණු ලැබූ අතර ඒ මහ වනය ඔහුට උපහාරයක් ලෙස මෝලායි වනාන්තරය ලෙස නම් කරනු ලැබුවේය.

2013දී විලියම් ඩගලස් විසින් නිර්මාණය කළ FOREST MAN නමැති මෝලායිගේ කතාව විදහා දක්වන කෙටි වාර්තා චිත්‍රපටය එම වසරේ හොඳම වාර්තා චිත්‍රපටය ලෙස කෑන්ස් චිත්‍රපට උලෙළේ සම්මාන දිනා ගත්තේය. අදත් මේ මිනිසා වනාන්තරය අසල තම පුංචි නිවහනේ සිය බිරිඳත් සමඟ ගවයන් ඇති කරමින් උන්ගේ කිරි විකුණා ජීවත් වෙමින් සතුටෙන් ගත කරයි.

[උපාලි ජයසිංහ]

මාතෘකා