ඔය යුද්ධය නවත්වන්න

 ඡායාරූපය:

ඔය යුද්ධය නවත්වන්න

මේ ඡායාරූපයේ දැක්වෙන්නේ යේමනයේ පවතින වර්තමාන අර්බුදයේ සැබෑ චිත්‍රයයි. අමාල් හුසෙයින් නමැති හත් හැවිරිදි මේ දැරිය පසුගිය සෙනසුරාදා සාගින්න සහ අතීසාරය නිසා මියැදුණාය.

මෙය පුලිට්සර් සම්මානලාභී ටයිලර් හික්ස් විසින් නිව්යෝක් ටයිම්ස් පත්තරය සඳහා ගන්නා ලද්දකි. එය නිව්යොක් ටයිම්ස් මතු නොව ඉන් උපුටා ගෙන සිය ගණනක් වෙබ් අඩවිවල සහ මුද්‍රිත මාධ්‍යයේද පළ වී තිබෙණු පසුගිය දිනවල දැකිය හැකි විය. ඒ අනුව ලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිසකගේ සිත් යේමනයේ පවතින නිරර්ථක යුද්ධය වෙත යොමු වන්නට මේ සේයාරුව හේතු වූවාට සැක නැත. මෙම සේයාරුව පමණක් නොවේ. තවත් මෙවැනිම ඒවා කිහිපයක්ම එහි පළ වී ඇත.

වර්තමානයේ යේමනයේ පවතින සිවිල් යුද්ධයේ ඇරඹුම 2015 මාර්තු 19 ලෙස සඳහන් වන්නේ වුව ද එහි අක්මුල් අරාබි වසන්තය යනුවෙන් වැරදියට සිංහලට පරිවර්තනය වී ඇති 2011 අරාබි නැඟීසිටීම් දක්වා ඈතට දිව යයි. ටියුනීසියාවෙන් අරැඹි මේ කැරලි ඊට බඳුන් වූ රටවල ඒකාධිපති පාලකයන් පලවා හැරීමේ අභිලාෂය ඇතිව දියත් විණි. දැන් මේ කැරලි සුන්නි -ෂියා ගැටුම්ය. එහි ප්‍රතිඵලයක් ලෙස සෞදි අරාබි - ඉරාණ ප්‍රතියුක්ත යුද්ධ ය.

‘මානව ගෞරවය සඳහා වන යේමන විප්ලවය’ 2011 ජනවාරි 27 ඇරැඹිණි. කැරලිකරුවන්ගේ අභිප්‍රාය වූයේ එවකට යේමන ජනාධිපතිවරයා වූ අලි අබ්දෙල්ලා සාලේ නෙරපා හැරීමයි. 2012 පෙබරවාරි 27 ඔහු ඉල්ලා අස් වූ අතර උප ජනාධිපති අබුද්‍රාබු මන්සුර් හාඩි එතැන් සිට අන්තර්වාර පාලනයක් පවත්වාගෙන ගියේය. එම අන්තර්වාර පාලනය 2015 පෙබරවාරි 27 අවසන් විය යුතු ව තිබූ අතර හාඩි එය තවත් වසරකින් දීර්ඝ කැර ගත්තේය.

2015 ජනවාරි මස හෞති නම් සන්නද්ධ ෂියා කැරලිකාර කණ්ඩායමක් ඉල්ලා අස්වන ලෙස ඔහුට බල කරමින් සිටියෝය. ඊට ආසන්නතම හේතුව වූයේ ඉන්ධන මිල ඉහළ නැංවීමකි. ඒ නිසා මහජන විරෝධයක් රජයට එරෙහිව නැඟී ආයේය. 2011 විප්ලවයේ අරමුණුවලට පිටුපා වත්මන් ජනාධිපති හාඩි ද ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරන බවට ද චෝදනා එල්ල විය. හෞති කණ්ඩායම විසින් ‘හෞති විප්ලවීය කමිටුව’ නම් සිවිල් ඒකකයක් ස්ථාපනය කරන ලද අතර රටේ පාලනය සියතට ගන්නට එම ඒකකය සැලසුම් සැකසීය. ඒ අනුව ජනාධිපති මන්දිරය වටලන ලද අතර හාඩි නිවාස අඩස්සියට පත් කරන ලදි. ජනවාරි 22 දින ජනාධිපති හාඩි සිය ඉල්ලා අස්වීමේ ලිපිය එම කමිටුවට භාර දුන්නේය.

හිටපු ජනාධිපති සාලේට පක්‍ෂපාත හමුදා ඒකකවල සහාය ලැබුණු හෙයින් සානා අගනුවර අල්ලා ගන්නට හෞතින්ට හැකි විය.

පෙබරවාරි 21 දින නිවාස අඩස්සියෙන් මිදී පලා යන්නට ජනාධිපති හාඩි සමත් විය. සිය නිජබිම වන ආඩෙන් වෙත ගිය ඔහු කලින් ඉදිරිපත් කරන ලද ඉල්ලා අස්වීමේ ලිපිය අවලංගු කරන ලද බව නිවේදනය කොට එහි සිට ජනාධිපති ධුරයේ රාජකාරි කරමින් සිටියි. එම හේතුව නිසා ඔහු ජනාධිපති ධුරය අහිමි බවක් ලොව සියලුම රටවල් සහ සංවිධාන පිළි ගන්නේ නැත. එහෙත් ඔහුට සිය රටේ පාලනය ගෙන යා නොහැකි තත්ත්වයක පවතින බව පැහැදිලිය. ඒ අනුව දැන් එරට පවතින්නේ අරාජික තත්ත්වයකය කීවොත් සාවද්‍ය නොවේ.

හෞති කණ්ඩායමට ඉහත දැක්වූ පරිදි සාලේගේ ද ඉස්ලාම් රාජ්‍යය හෙවත් ඉසිස් සංවිධානයේ ද සහාය ලැබුණු හෙයින් එය බලවත් විය. ඔවුන්ගේ අභිප්‍රාය වනුයේ යේමනය තුළ ෂියා පාලනයක් ස්ථාපිත කිරීමයි.

මේ අතර ‘අරාබි අර්ධද්වීයේ අල්-ඛයිඩා’ (ඒපීඒක්‍යු) හෙවත් ‘යේමනයේ අන්සාර්-අල්-ශාරියා’ නම් ඉස්ලාම් සුන්නි - සලාෆි අන්තවාදී කණ්ඩායමක් යේමනයේ ඇරැඹිණි. මෙය දරුණු ගනයේ ත්‍රස්ත කණ්ඩායමක් ලෙස අමෙරිකා එක්සත් ජනපදය විසින් නම් කොට ඇති අතර එය එහි තහනම්ය.

කැරැල්ල යේමනය පුරා පැතිර යන සිවිල් යුද්ධයක් දක්වා විස්තාරණය වීමත්, සෞදි අරාබිය ඊට මැදිහත් වීමත් සිදුවන්නේ 2015 ජනවාරි මස ඉහත සිදුවීමෙන් පසුව ය. මෙහිදී සෞදි අරාබිය හෞතින්ට එරෙහිව ඒපීඒක්‍යු කැරලිකරුවන්ගේ සහායට ඉදිරිපත් වීමත් නිසා යේමන විප්ලවයේ ගමන්මඟ තවත් වතාවක් වෙනස් විය. මේ අනුසාරයෙන් සෞදි අරාබිය ලවක් දෙවක් නැතිව යේමනයට එල්ල කරන ප්‍රහාර නිමක් නැති අතර මේ වන විට අන්තර්ජාතික ප්‍රජාවට පාලනය කළ නොහැකි මට්ටමට පත්ව තිබේ.

මේ ක්‍රියාදාමයේ කැටයම්කරු ලෙස සැලකෙන්නේ සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සහ එරට තත්ත්වාකාර පාලකයා වන එම්බීඑස් යනුවෙන් කෙටියෙන් හැඳින්වෙන මොහමඩ් බින් සල්මාන් කුමරුය.

වර්ග කි.මී. 528,000 වන යේමනයේ සමස්ත ජනගහණය මිලියන 30 නොඉක්මවයි. මේ සමස්ත ප්‍රමාණයම යුද්ධය නිසා පීඩා විඳින අතර අඩක් පමණ දැඩි නියඟය හා එහි ප්‍රතිඵල ලෙස පැතිර යන වසංගත රෝගවලින්ද සාගින්නෙන්ද පෙළෙමින් සිටිති. අැමෙරිකා එක්සත් ජනපදයේ ද සහායයෙන් සෞදි අරාබිය ගුවනින්, සයුරෙන් සහ බිමින් එරටට ළඟා විය හැකි සියලු මාර්ග අවහිර කොට ඇති බැවින් ජලය, ආහාර සහ ඖෂධ පීඩිතයන් වෙත ළඟාවීම මුළුමනින්ම ඇණහිට තිබේ. ඉහත ඡායාරූපය මෙවැනි තත්ත්ව යටතේ පීඩිතයන්ගේ ඉරණම කවරාකාරද’යි පෙන්වන වචන දහසකින් කියයි. ඒ නිසා ඒවග අමුතුවෙන් විස්තර කිරීම අවශ්‍ය නැත.

තමන්ට එරෙහිව සටන් වදින කණ්ඩායම්වලට සෞදි අරාබියෙන් සහ අනියමින් අැමෙරිකා එක්සත් ජනපදයෙන් ආධාර ලැබෙමින් පවතිද්දීත් හෞති කැරලිකරුවන් තවමත් පසු නොබැස සිටින්නේ ඔවුන්ටද බැහැරින් ආධාර ලැබෙන හෙයිනි. ඒ ඉරානයෙන් බව පැවසේ. එහෙත් ඉරාණය ඍජුවම ප්‍රහාර එල්ල කිරීම හෝ අවි සැපයීම හෝ කරන බවක් පෙනෙන්නට නැත. එරට කරන්නේ මූල්‍යාධාර සැපයීමයි.

ඉරාණය සමඟ පංච මහා බලවතුන් සහ ජර්මනිය එක්ව අත්සන් කළ නිර්-න්‍යෂ්ටික සම්මුතියෙන් ඉවත් වීමේ දී සහ ඉරාණයට සම්බාධක පැනවීමේ දී අැමෙරිකා එක්සත් ජනපදය පෙන්වා දුන් කාරණාවල ප්‍රමුඛ එකකි ඒ. ‘එම ගිවිසුම නිසා ඉරාණයට සම්බාධකවල අනිටු ප්‍රතිඵල නොමැති අතර වැඩි ආදායමක් ලැබේ. ඒ ආදායමෙන් ඉරාණය කරන්නේ ත්‍රස්තවාදයට උඩගෙඩි දීම ය.’

යේමනයේ නියඟය ඇති පෙදෙස්වල අතීසාරය සහ සාගින්න නිසා දිනකට 20 - 30ක් පමණ මිය යන බව පැවසේ. ඔවුන් බේරා ගන්නට ඇති ඉඩ ප්‍රස්තා සිමීතය. ගුවන් ප්‍රහාරවලින් සෞඛ්‍ය මධ්‍යස්ථාන විශාල සංඛ්‍යාවක් විනාශ වී ගොසිනි. අමාල් වැනි පැටිවියේ වූවන් මිය යන තෙක් බලා සිටිනවා හැර වෙනත් කරන්නට දෙයක් ඔවුන්ගේ මවුපියන්ට නැත.

අමාල්ගේ පියා නිව්යෝක් ටයිම්ස්ට පවසා ඇත්තේ ආහාර ද්‍රව්‍ය ඇතත් ඒවා මිලදී ගන්නට මුදල් තමා ඇතුළු දූපත් මිනිසුන්ට නැති බව ය. ඒවා මිලෙන් ඉතා ඉහළ වන අතර කලක සිට රැකියා නොමැති නිසා එක වේලක් හෝ පිරිමසා ගන්නට මුදල් නැත.

සිය දරුවන් සාගින්නෙන් මියැදෙනවා බලා හිඳින මවුපියන්ගේ සිත් තුළ ඇතිවන හැඟීම් එම්බීඑස් හෝ ඩොනල්ඞ් ට්‍රම්ප් හෝ නොදන්නවා විය හැකිය. මන්ද ඔවුන් ඒවා ඇසින් දැක නැති හෙයිනි. නිව්යෝක් ටයිම්ස් ඔවුන්ගේ ඇසට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දෙන්නේ එයයි.

ඝාතනය කරන ලද මාධ්‍යවේදී ජමාල් කෂෝගි යේමන සිවිල් යුද්දයේදී එම්බීඑස්ගේ ක්‍රියා කලාපය නිතර විවේචනය කළ අයෙකි. එම්බීඑස් විසින් යේමනයේ ක්‍රියාත්මක කරන ලද ‘තීරණාත්මක කුණාටුව’ නම් මෙහෙයුම කෂෝගිගේ දැඩි විවේචනයට බඳුන් විය. මෙලෙස විවේචනය කිරීමේ වන්දිය ඔහු ගෙව්වේ ජීවිතයෙනි. ඔහුගේ මරණයෙන් පසු එම්බීඑස්ට එරෙහි ලෝක ජනමතයක් ගොඩනැඟුණේය.

යේමන මාධ්‍යවේදීහු සැමදා කෂෝගි අගය කළහ. දැන් පෙරටත් වඩා ඔහු ඔවුන්ගේ ඇගයුමට බඳුන් ව සිටින බව පැවසේ.

මෙම ඡායාරූපය ඇතුළත් නිව්යොක් ටයිම්ස් වාර්තාවද අනියමින් එම්බීඑස් විවේචනය කිරීමේ අරමුණින් පළ වූවකි. එයින් එම්බීඑස්ටත් සෞදි අරාබියටත් එරෙහිව මතයක් ගොඩනැඟිණි. ‘ඔය යුද්ධය නවත්වන්න’යි සාමකාමී රටවල් ඔහුගෙන් ඉල්ලා සිටිති. පීඩාවට පත් වූවන්ට පිළිසරණ වීම සඳහා අඩුතරමින් මසක සටන් විරාමයක් පවත්වාගෙන යන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සෞදි අරාබියෙන් ඉල්ලා තිබේ. පසුගිය සතියේ අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් සහ ආරක්‍ෂක ලේකම් දෙපළ සෞදි අරාබියේ සල්මාන් රජු බැහැදැක යේමන යුද්ධය නවත්වන්න’යි ඉල්ලා සිටි බව සඳහන්ය. එහෙත් සෞදි රජයේ ප්‍රතිචාරය පැහැදිලි නැත.

මාතෘකා