'2024 දී ජනපති තනතුරෙන් අයින් වෙනවා' - පුටින්

 ඡායාරූපය:

'2024 දී ජනපති තනතුරෙන් අයින් වෙනවා' - පුටින්

රුසියානු ව්‍යවස්ථාවට ගෞරව කරමින් 2024 දී තම තනතුරෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

රුසියානු ව්‍යවස්ථාවට අනුව එක් අයකුට අඛණ්ඩව ධුරකාල තුනක් ජනාධිපතිධුරය දැරිය නොහැකි වන අතර වත්මන් ධුරකාලය අවසන් වූ පසු තනතුරෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ වත්මන් ධුරකාලය 2024 දී අවසන් වේ.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැති ආර්ථික සමුළුවක් අමතමින් රුසියා ජනාධිපතිවරයා මෙම කරුණු කීය. කෙසේ නමුත් බලය අත්හරින බවක් හෙතෙම අදහස් කළේ නැත.

ජනාධිපති පුටින් මේ ආකාරයෙන් 2008 වසරේදී ජනාධිපතිධුරයෙන් ඉවත් විය. පිට පිට තෙවරක් ජනාධිපතිධුරයට දැරීමට ඇති බාධාව නිසා හෙතෙම එලෙස 2008 වසරේදී ජනාධිපතිධුරයෙන් ඉවත් වුවද අතරමැද කාලයේදී රුසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේය.

පසුගිය මාර්තු මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් පුටින් පහසු ජයක් ලැබු අතර වසර හයක ධුරකාලයක් සඳහා ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. ඒත් සමඟම ඔහු සෝවියට් නායක ජෝසප් ස්ටාලින්ට පසු රුසියාවේ දීර්ඝ කාලයක් බලයේ සිටි නායකයා බවට පත්විය.

මාතෘකා