ඇතුන් වැනි පුතුන් හැදුවා වැරදීද? පුතෙක් පියා මැරුවේ මොන හිතකින්ද?

 ඡායාරූපය:

ඇතුන් වැනි පුතුන් හැදුවා වැරදීද? පුතෙක් පියා මැරුවේ මොන හිතකින්ද?

පනාමුර ඇත්ගාල ලක් ඉතිහාසයට මින් පෙරත් කඳුළු කතා එක්කළ ගම්මානයකි. රැළක් බේරා ගන්නට තනිව සටන් කළ පනාමුරේ හස්තියාගේ සිද්ධිය ඉන් එකකි. එහෙත් ඒ මතකය ඊයේ දින නැවත අලුත් ව ආවේ වෙනස් විදියකටය. ඒ පනාමුරේ හස්තියා තරම් වීරත්වයක්, ආඩම්බරයක් හෝ ගරු ගාම්භීරත්වයක් ඇතිව නම් නොවේ. ජුගුප්සාජනක මෙන්ම ශෝචනීය අන්දමටය.

මේ කරපෙවීම ඒ දෙසටය.

යාන්තමට වැසි නොවැටෙන තරමට ඇටවූ වහලයකි. ඒ යට යාන්තමට වැටී සිටින්නට ඉඩකඩ සහිත සාලයකි, කාමරයකි. ඒ මුළුතැන්ගෙයය කියා සිතිය හැකි ඉඩකඩට අමතරවය. ඒ මිසෙක වැසිකිළියක්, සනීපාරක්ෂක පහසුකමක වගක් මේ වතු මායිම මෙපිටින් නොපෙනේ. කලෙකින් පිරියමක් නොකළ මේ නිවෙසේ මැද දෑත් එකට බැඳ හාත්පස වටපිටාවම සුදු පැහැ ගන්වමින් දරුවන් දහහතර දෙනකුගේ පි‍ෙයකුව, අන්තිමේදී ඉන් එක් දරුවකුම මරු තුරුලට යැවූ බව කියන සාදිරිස් දැන් අන්තිම ගමන යන්නට සූදානම් වුණු ගමන්ය.

ඉදින් මාතර, කටුවන සිට ඉලන්දාරි සාදිරිස් හා හා පුරා කියා පනාමුරේට පැමිණ ඇත්තේ අදින් වසර හැත්තෑ ගණනකටත් කලින්ය. ඒ ගොවිතැන් බතක් කරගෙන එදාවේල සරිකර ගන්නටය. ගොවිතැන හා හරි හරියට විරාලගල අවට පැළපදියම් වන්නෙකුට කළ හැකි තවත් දෙයක් වෙයි. ඒ මැණික් ගැරිල්ලය.

ඔහුට ද සමහරදාට දලං කෑල්ලක් දෙකක් ලැබිණ. ඉඳහිට ඊට වඩා වටිනා කියන මැණික්ද නොලැබුණා නොවේ. එහෙත් පොළොවත් සමඟ ඔට්ටුවන රටාව මිසෙක ලාභ ශ්‍රමයෙන් සල්ලි ඉල්ලම් මතුකරගන්නා විලාසයක් දැන නොසිටි තවත් සාදිරිස්ලා දහස් ගණනක් වුවත් පනාමුරයෙන් පමණක් නොවේ, ඉන් එපිටිනුත් ඕනෑ තරම් දැක ගන්නට පුළුවන.ඇතැම් විට ඒ වගට ජීවමාන සාක්ෂි සාදිරිස්ගේම ඥාතින් කෙරෙන් දැකිය හැකි වීමත් එක්තරා දෛවෝපගත සිද්ධියකි.

පිටගම්කාරයෙක් වු සාදිරිස් ද පනාමුරේම බින්න බැස්සේය. ඔහු පවුල් කෑම අරඹන්නේද එතරම් ලොකුවට වත් පොහොසත්කම් ඇත්තියක සමඟ ද නොවේ. දුගී පවුලක කාන්තාවක සමඟය. ඇත්ගාල අවට ගම්මානවල ඉතිහාසය හොඳින් දන්නා ගම්මු අප සමඟ පැවසුයේ දන්නා කලෙක සිටම සාදිරිස්ලා වින්ඳේ දුකම පමණක් බවය.

දිගු කලක් යන්තමින් අතු පැළක වැටීසිටිමින් මේ දරුවන් දහහතරදෙනකු හදා වඩා ගත් සාදිරිස් අතින් අඩුපාඩුකම් සිදුවීමේ අරුමයක් නැත. ඔහු එතරම් අධ්‍යාපනයක් නොලැබුවා සේම දරුවන් දහහතරදෙනාට වැඩි අධ්‍යාපනය ලබාදීමටත් පෙළඹී නැත. එහෙත් ඔහු අඩුවක් පාඩුවක් නැතිව දරුවන් දහහතරදෙනාගේ බඩ කට පිරවූ බව නම් සාදිරිස්ගේ තරුණ කාලය පිළිබඳ දන්නා කියන ගම්මු කියති.එසේම සවස් වනවිට මත් වතුර ටිකක් කටේ හළා ගැනීමද සාදිරිස් කලක් පුරුදුව සිටි දෙයකි.ඒ මඟම ගත් නිසාදෝ ඔහුගේ ඇතැම් පිරිමි දරුවන්ද බීමත්කමට ජීවිතයෙන් ලොකු ඉඩක් වෙන් කළ බව ගම්මු කියති.

අවුරුදු අනූවක් වන තෙක්ම අපේ කතානායකයාගේ කල දවස පනාමුර ගම්මානයේ ගෙවුණේ එසේය.ඒ අතරමැද කාලය තුළ දී සිදුවූ දෙය බොහෝය. මේ දිගු කාලය තුළදී පොඩියට පඩි පෙළක් මෙන් සිටි සාදිරිස්ගේ දරු පැටවුන් දහහතරදෙනාගේ කරදඩු උස් මහත් විය.සර්පයකු දෂ්ට කිරීමෙන් සහ හදිසියේ අසනීපවීම හේතුවෙන් දරුවන් සිව් දෙනකුම මිය යාමේ වියෝව ද සාදිරිස් ඒ කාලය තුළ වින්ඳේය. ඉනික්බිතිව ඉතිරිව සිටින දියණියන් සිව් දෙනාගෙන් කෙනකු ද තරමක් දුබලකම් සහිතව ජීවත් වන්නියකි. එවැනි තැනැත්තියක පවා කුඩා කල සිට බලා කියා ගැනීම කළේ දුගී සාදිරිස් සහ බිරියය.

අන්තිමේදී දූ පුතුන් දහහතරදෙනකුගෙන් දහදෙනකු පමණක් ඉතිරි වූයේ එසේය.එම පිරිස අතරින් එකිනෙකා ළඟ වියපත් සාදිරිස් වරින් වර ජීවත්ව ඇත්තේය. එහෙත් පසුගිය මාස කිහිපයක කාලසීමාව ඇතුළත සාදිරිස්ව බලා කියා ගත්තේ ද ඔහුගේ මරණයට සැකපිට මේ වනවිට පනාමුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින සාදිරිස්ගේම පුත්‍රයකු වන පනස්තුන් හැවිරිදි තැනැත්තාය.ඔහු ද විවාහකයෙකි. තිදරු පියෙකි.වීරකැටියෙන් බිරියක් කරකාරයට ගෙන සිටි බව කියන මොහු ඇයගෙන් වෙන් වී තනිව දිවි ගෙවූවකු බවටත් අසන්නට ලැබේ. ගස් කැපීම ජීවිකාව පිණිස කළ බව කියන මේ තැනැත්තා අතමිට හිඟ වූවකු නොවූ බව ද ගම්මුන්ගෙන් ඇසේ. දිනකට රුපියල් තුන්දහසත් හාරදහසත් අතර ආදායමක් ලැබූ ඔහු කෙටි කාලයක් පියා ළඟ රැඳෙමින් පියාව රැක බලා ගත් බවත් මේ සම්බන්ධයෙන්වන පොලිස් පරික්ෂණවලදී හෙළිව ඇත.

එහෙත් දිනපතා බීමට ඇබ්බැහිව සිටිම හේතුවෙන් බොහෝ සවස් සහ රාත්‍රි කාලවලදී සැකකරු පියාට සළකා තිබෙන්නේ අකාරුණිකවය. පසුගිය විසි දෙවැනිදාද එය එසේම වූවා විය හැකිය. එදින රාත්‍රියේදී සාදිරිස්ගේ කැත කුණු අස් කළ බව කියන්නේද බීමත් සැකකරුය. එවේලේ කැත කුණු අස්කොට පියාව නහවා පිරිසුදු කළ මේ පුතා අතින් පියාගේ ඇඟට ජලය විසි වූ බවක් මේ සම්බන්ධ පොලිස් පරික්ෂණවලදී අසන්නට ලැබේ. ඉන් කේන්ති ගත් පියා තමන්ට බැණ වැදුණු බව සැකකරුගේ කටඋත්තරයෙන් කියැවෙන්නකි.

සැකකරු පියාට සිදුකළ බව කියන පිහි ඇනුම්, පහරදීම් සියල්ල ඉන් අනතුරුව සිදුව ඇතැයි පොලිසිය කියයි. එසේම මේ සම්බන්ධ විමර්ශනවලදී හෙළි වූ බව කියන තවත් කරුණක් වෙයි. ඒ සැකකාර පුත්‍රයා පියාට වධ හිංසා කරන විට පියා කෑමොර දෙනු තමන්ට ඇසුණු බවට සාදිරිස්ගේම තවත් පුතකු පොලිසියට සාක්ෂි දීමය. මෙම ඝාතන සිද්ධියේ පැමිණිලිකරුද වන ඔහු එවේලේ අපරාධ ස්ථානයට ගොස් පියාව ගලවාගෙන රෝහල්ගත නොගියේ මන්දැයි පොලිසිය කළ විමසීමේදී සාදිරිස්ගේ තවත් පුත්‍රයකු වන ඔහුගෙන් පිළිතුරු ලැබී තිබුණේ, බීමත් සොහොයුරා තමන්වත් මරනු ඇතැයි යන බිය නිසා එවේලේ එතැනට නොගිය බවය.

ඉඳින් මේ පින්බිමේ සිදුවූ තවත් බිහිසුණු අපරාධයක වග තුග එසේ නිමා වූයේය. එහෙත් තවත් මෙවැනි අපරාධ කීයක වගතුග අපට අනාගතයේදී අසන්නට දකින්නට සිදු වනු ඇතිද? ඒවා වළක්වාලන්නට පොලිසියට තනිවම නොහැකිය. ඒ වෙනුවෙන් මිනිසුන්ගේ ආකල්ප හා හැසිරීම් වෙනස් කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුතු බව බොහෝ විද්වතුන් පෙන්වා දෙන කරුණක්ය.

[නුවන් මහේෂ් ජයවික්‍රම]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?