උරුමයක් සොයන සුහර්තෝ පරම්පරාව

 ඡායාරූපය:

උරුමයක් සොයන සුහර්තෝ පරම්පරාව

ඉන්දුනීසියාවේ “ඉන්ඩො බැරෝමීටර්” ආයතනය ප්‍රධාන වශයෙන් මැතිවරණ සහ දේශපාලන කරුණු පිළිබඳ සමීක්ෂණ පවත්වන ආයතනයකි. එම ආයතනය විසින් මෑතකදී සිදු කරන්නට යෙදුණ සමීක්ෂණයකට අනුව ඉන්දුනීසියානුවන් වැඩිදෙනකු විසින් එරට ඉතිහාසයේ හොඳම ජනාධිපතිවරයා ලෙස සලකනුයේ වසර 32 ක් එරට පාලනය කළ සුහර්තෝ ය​. මෙය වැදගත් කරුණක් වන්නේ සුහර්තෝ ඉන්දුනීසියාව පාලනය කළ ආකාරය​ සහ වර්තමානයේදී ඔහුගේ උරුමකරුවන් යළි බලයට පැමිණීමට කරන උත්සාහය ද සලකන විට ය​.

1965 දී කොමියුනිස්ට්වාදීන් බලය අල්ලා ගැනීමට කළ උත්සාහය දරුණු ලෙස මර්දනය කිරීමෙන් ස්වල්ප කලකට පසු එරට පළමු ජනාධිපතිවරයා බලයෙන් ඉවත් කරමින් බලයට පැමිණි සුහර්තෝ ඉන්දුනීසියාව ආර්ථික වශයෙන් ශක්තිමත් කළේ ය​. දේශපාලන වශයෙන් ස්ථාවර කළේ ය. ඒ අර්ථයෙන් ඔහු සාර්ථක නායකයකු වී යයි කිව හැක​ිය.

කෙසේ නමුත් ඔහුගේ ඒකාධිපති පාලනය මෙන්ම බරපතල දූෂණ චෝදනා හේතුවෙන් සුහර්තෝ සිය නමට කළු පැල්ලමක් එක් කරගත්තේ ය. විශේෂයෙන් ම ඔහුගේ දරුවන් ව්‍යාපාර කටයුතු සඳහා යොමු වීමත් සමඟ ඔවුන් විවිධ වරදාන සහ වරප්‍රසාද භුක්ති විඳිමින්, රාජ්‍ය දේපල පවා මහා පරිමාණයෙන් කොල්ලකන තත්ත්වයට ගිය බවට බරපතල චෝදනා විය​. 1997 වසරේ අග්නිදිග ආසියාවේ ආර්ථික අර්බුදයෙන් පසු මතුවූ දැවැන්ත උද්ඝෝෂණ හමුවේ 1998 දී සුහර්තෝ බලයෙන් විසි වූයේ ය​. නමුත් ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් විභාග කර අවසන් නොවී ය​. කලක් ඔහුට එරෙහිව ගෙන ගිය නෛතික පියවරයන් අයහපත් සෞඛ්‍ය තත්ත්වය සලකා නතර කර දැමිණ​.

ටොමී සුහර්තෝ

නමුත් සුහර්තෝගේ දේශපාලන උරුමක්කාරයා බවට පත් වීමට වෙර දරන ඔහුගේ පුතකු වන 55 හැවිරිදි හුතෝමෝ (ටොමී) මන්ඩලා පුත්‍ර හෙවත් ටොමී සුහර්තෝ අධිකරණයෙන් වරදකරු කරනු ලැබූ අයෙකි. 2000 වසරේදී ඉන්දුනීසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු සහ ඔහුගේ ව්‍යාපාරික සගයකු මාස 18 කට සිරගෙට නියම කළේ ඇමරිකානු ඩොලර් මිලියන 11 ක වංචාවකට අදාලව ය​. ටොමී සැඟවුණ අතර පසුව ඔහුට එරෙහිව තීන්දුව ලබාදුන් එක් විනිසුරුවරයකු ඝාතනය කිරීමට ඝාතකයන් යෙදවීය​. ඉන් ස්වල්ප කලකට පසු සුහර්තෝට එරෙහි තීන්දුව බල රහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේ ය​.

කෙසේ නමුත් විනිසුරුවරයා ඝාතනයට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාව මත ටොමී සුහර්තෝට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලදී. ඔහුව වසර 15 කට බන්ධනාගාරගත කරන ලද නමුත් ඔහු එයින් වසර හතරක් පමණක් ගෙවා දමන ලද පසු නිදහස් කරන ලදී. එසේ සිරගතව සිටියේ ද සුඛෝපභෝගී පහසුකම් සහිතව ය​.

මීළඟ ජනාධිපතිවරණයෙන් බලයට පත් වීමට සූදානම් වන්නේ මේ කියන සුහර්තෝ ය​. ඔහු 2016 දී බර්කාර්ය (වැඩ කරන ජනයාගේ) පක්ෂය නම් වූ දේශපාලන පක්ෂයක් ද පිහිටුවේ ය​. ආසන 575 කින් යුත් ඉන්දුනීසියා පාර්ලිමේන්තුවේ ආසන 80 ක් පමණ ලබාගැනීමට ඔහු අපේක්ෂා කරයි. දේශපාලන පක්ෂ ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඉන්දුනීසියාවේ මෙවන් ආසන ප්‍රමාණයක් තනි පක්ෂයක් විසින් ලබාගැනීම විශාල ජයග්‍රහණයක් වනු ඇත​.

පැරණි සුහර්තෝ සමය​

ඉන්දුනීසියාවේ පළමු ජනාධිපති වූ සුකර්ණෝ යටතේ එරට ගමන් කළේ නොබැඳි මාවතක ය​. මේ අතර කලාපයේ දේශපාලන තත්ත්වය ද ස්ථාවර නොවූ අතර ඉන්දුනීසියාව ද ඇතැම් විට ඊට වගකිව යුතු වූයේ ය​. මැලේසියාව සමඟ වූ අර්බුදයක් අවස්ථාවේ සුකර්ණෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පවා ඉවත් වූ අතර ඔහු බලාපොරොත්තු වූයේ අනෙක් රටවල් ඔහුට සහය දෙමින් එම සංවිධානයෙන් ඉවත් වනු ඇති බව යි. නමුත් කිසිදු රටක් ඉන්දුනීසියාව හා එක් වූයේ නැත​.

මේ අතර ආර්ථික කළමණාකරණය දුර්වල වීම හේතුවෙන් රටේ ආර්ථිකය ද තිබුණේ නරක තැනක ය​. මේ අතර කොමියුනිස්ට්වාදීන් බලය පැහැර ගැනීමට කළ උත්සාහය සහ ඊට එරෙහි දැවැන්ත මර්දනය දියත් විය. එම මර්දනයට නායකත්වය දුන්නේ සුහර්තෝ ය​.

1966 දී ජනාධිපති ධුරයට පත් වූ පසු සුහර්තෝ රටේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර බටහිර දෙසට නැඹුරු වූයේ ය​. දේශපාලන තත්ත්වය ස්ථාවර කළේ ය​. ඔහුගේ පාලන යුගයේ මුල් වකවානුව පිළිබඳ මතකයේ ඇති ජනයා ඔහු අගය කිරීමට හේතු වූයේ මේ ධනාත්මක සාධක ය​. වර්තමාන ඉන්දුනීසියාවේ පවතින්නේ සුහර්තෝ යුගයට සාපේක්ෂව අස්ථාවර බවකි. වත්මන් ජනාධිපති ජෝකෝ විඩෝඩෝ බලයට පත් වන අවස්ථාවේ බලාපොරොත්තු වූ තරම් ඔහුගේ ප්‍රතිසංස්කරණයන් සාර්ථක නොවී ය​. රටේ අපරාධ ප්‍රමාණය සුහර්තෝ යුගයට සාපේක්ෂව ඉහළ ය​. ත්‍රස්ත කණ්ඩායම්වල තර්ජනයන් ද ඉන්දුනීසියාව මුහුණ දෙන අභියෝගයකි.

මෙම අස්ථාවරත්වය සුහර්තෝගේ කඩා වැටීමෙන් පසු දශක දෙකක කාලය තුළ සාමාන්‍ය සංසිද්ධියක් බවට පත්ව තිබේ. මේ හේතුවෙන්, සුහර්තෝ මෙන් දැඩි පාලකයකු යළි ඉන්දුනීසියාව බාරගත යුතු ය යන අදහස ජනතාව අතරට ගමන් කරමින් තිබේ. ඉතිහාසයේ එරට හොඳම ජනාධිපති ලෙස ජනතාව විසින් සුහර්තෝ නම් කිරීමම එය තහවුරු කරන කරුණකි. ටොමී සුහර්තෝ බලාපොරොත්තු වන්නේ ද මෙම උනන්දුව සිය දේශපාලන ගමන් මග විවර කරගැනීම සඳහා යොදා ගැනීම ය​.

තවත් උරුමකරුවෙක්

නමුත් ටොමී සුහර්තෝට අභියෝගයක් විය හැකි අයකු විපක්ෂය තුළ සිටින හෙයින් ඔහුගේ දේශපාලන ආගමනය කෙසේ වේදැයි අනාවැකි පළ කිරීම අසීරු ය​. ලුතිනන් ජෙනරල් ප්‍රබෝවෝ සුබියන්තෝ කලක් සුහර්තෝගේ දියණියක හා විවාහ වී සිටි අයෙකි. 1998 කලබල අතර ඔහුගේ විවාහය අවසන් වූ අතර සුහර්තෝගේ වැටීමෙන් පසු හමුදාවෙන් ද විශ්‍රාම ගන්වන ලදී. පසුව දේශපාලනය වෙත යොමු වූ ඔහු 2009 දී මේඝවතී සුකර්ණෝපුත්‍රිගේ උප ජනාධිපති තරඟ සගයා ලෙස ජනාධිපතිවරණයට සටන් කළේ ය​. 2014 දී ජනාධිපතිවරණයෙන් ජෝකෝ විඩෝඩෝ හමුවේ පරාජය වූයේ ය​.

ප්‍රබෝවෝ සුබියන්තෝ පරිණත දේශපාලන නායකයකු ලෙස ඉන්දුනීසියානුවන්ට හුරු පුරුදු අයෙකි. එමෙන්ම ඔහු සුහර්තෝ පාලන සමයෙහිදී ඔහුගේ සමීපතමයකු විය. එහෙයින්, වර්තමානයේදී සුහර්තෝ පවුලට අයත් නොවුණ ද ඔහුගේ දේශපාලන උරුමක්කරු ලෙස මතු වීමට සුබියන්තෝට ද හැකියාවක් මෙන්ම එක්තරා ආකාරයක අයිතියක් ද ඇත​.

මේ හේතුවෙන්, 2019 ජනාධිපතිවරණයට පෙර සුබියන්තෝ සහ ටොමී සුහර්තෝ කිනම් ආකාරයේ දේශපාලනයක යෙදෙනු ඇති ද යන කරුණ මත ඉන්දුනීසියාවේ දේශපාලන ගමන් මග වෙනස් විය හැක​ිය.

[චාමර සුමනපාල]

මාතෘකා