වධක රැජිණ සීඅයිඒ මුල් පුටුවට

 ඡායාරූපය:

වධක රැජිණ සීඅයිඒ මුල් පුටුවට

මධ්‍යම රහස් ඔත්තු සේවාව ලෙස සිංහලෙන් වඩාත් ප්‍රචලිත අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන රහස් ඔත්තු ඒජන්සිය (Central Inteligance Agency) හෙවත් සීඅයිඒ යනු වෙනත් රටවල එවැනි ආයතන මෙන් නොව මුළු ලෝකයේ ම රාජ්‍ය පාලනය, ආරක්‍ෂක සේවා, ආර්ථික කටයුතු යනාදී මෙකී නොකී සියලු කාරණාවලට මැදිහත් වන වෙනත් ආකාරයකින් කියන්නේ නම් ‘අත දාන’ බූවල්ලකු වැනි ‘සත්ත්වයෙකි.’ ඒ නිසා එය ගැන දැන ගැනීම වටින්නේය.

සීඅයිඒ ගැන අප මුලින් දැන ගත්තේ හැටේ දශකයේ අගභාගයේ ප්‍රකට පන්ති පහට සහභාගි වූ අවස්ථාවේය. මට මතක හැටියට පළමුවන පන්තියේ දීම ඒ ගැන සඳහන් කෙරිණි. මුළු ලොව පාලනය කරන්නේ ඒ ආයතනය බවත් විප්ලවයේ ව්‍යාජයෙන් ප්‍රතිවිප්ලවය දියත් විය හැකි බවත් කියාදුන් බව මතක තිබේ. 1971 මාර්තු මුල දිනයෙක කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතා ව්‍යාපාරයකදී කරුණාරත්න නමැති පොලිස් පරීක්‍ෂකවරයා ඝාතනය කිරීම විප්ලවය පාවා දීම සඳහා කළ දෙයක් බව මීට සති කිහිපයකට පමණ පෙර පවා පුවත්පතක පළ වූ ලිපියක සඳහන් වී තිබිණි. කෙසේ වෙතත් war of running dogs යනුවෙන් ජේ. ආර්. ජයවර්ධන විසින් නම් කරන ලද ‘විප්ලවය’ පිළිබඳව රජය වැඩි අවධානයක් යොමු කළේ එම සිද්ධියෙන් පසුව බව නම් ඇත්තකි.

පසුගිය සති කිහිපය තුළ සීඅයිඒ කතාබහට ලක් වුණේ මාර්තු මාසයේ සිට වැඩ බැලීම සඳහා එයට පත් කොට සිටි මීළඟ ප්‍රධානියා ලෙස පත් කරනු සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිර්දේශ කරන ලද නිලධාරිනියගේ අතීත වත-ගොත නිසාය.

අතීත වත-ගොත

ඇය ගිනා හැස්පෙල් ය. මේ වනවිට සීඅයිඒ හි සේවා කාලය වසර 33කි. ‘වධක රැජින’ යන අපර නාමයෙන් හැඳින්වෙන ඇය අතිදක්ෂ නිලධාරිනියක් බව සියල්ලන්ගේ මතයයි. සීඅයිඒ ප්‍රධානියා ව සිටි මයික් පොම්පියෝ එරට විදේශ ඇමති ධුරයට සමාන රාජ්‍ය ලේකම් තනතුරට පත් කිරීමෙන් පුරප්පාඩු වූ තනතුරට නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හැස්පෙල් පත් කිරීම සුදුසු බව ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලදි. සීඅයිඒ ප්‍රධානියා පත් කිරීමට සෙනෙට් සභාවේ අනුමැතිය තිබිය යුතු අතර ඊට පෙර අතර සෙනෙට් රහස් ඔත්තු සේවා කමිටුව යෝජිත පුද්ගලයාගේ සුදුසුකම් සහ පෙර වැරදි යනාදිය පිළිබඳ පරීක්‍ෂා කරනු ලැබේ. ඒ අනුව පරීක්‍ෂා කිරීමේදී සෙනෙට් සභිකයන් කිහිපදෙනකු විසින් ඇය සම්බන්ධ පෙර වාර්තා සැලකිල්ලට ගන්නා ලද අතර මින් පෙර සීඅයිඒ මුල් පුටුව සඳහා යෝජිත අයකුට මුහුණ පාන්නට නොවූ විරූ ප්‍රශ්නකාරී තත්තවයක් උද්ගත වූයේය.

අමෙරිකාවේ මධ්‍යම රජයට ජාතික ආරක්‍ෂාව සඳහා ඔත්තු සපයන ප්‍රධාන පෙළේ ආයතන 16ක් තිබේ. වෙන් වෙන්ව නමුත් එකට බැඳුණු මේවා සියල්ලේ එකතුව ඔත්තුසේවා ප්‍රජාව United States Intelligence Community (IC) වේ. සිවිල් මෙන්ම මිලිටරිමය ඔත්තු සේවා ආයතනද, විශ්ලේශක කාර්යාල මෙන්ම ප්‍රතිපත්තිමය තීරණ ගන්නා විධායක ආයතන යනාදියෙන් එම 16 සමන්විත වන අතර මධ්‍යම රහස් ඔත්තු සේවාව හෙවත් සීඅයිඒ ඉන් එකකි.

එම ප්‍රජාවට ප්‍රධානියකු සිටින අතර එම ප්‍රධානියා ඍජුවම ජනාධිපතිවරයාට වගකිව යුතු වන්නේය.

ක්‍රමවේද 7ක්

ඔත්තුසේවා සඳහා තොරතුරු ලබා ගැනීමේදී ක්‍රමවේද 8ක් අනුගමනය කෙරේ. මේ ක්‍රමවේදවලින් 7ක්ම මිනිසුන් සම්බන්ධ කර ගන්නේ නැති අතර මිනිසුන්ගෙන් ප්‍රශ්න කොට තොරතුරු ලබා ගන්නේ එක් අවස්ථාවකදී පමණි. අනෙක් 7 තාක්‍ෂණිකය. පුද්ගල සබඳතා මගින් පමණක් රහස් තොරතුරු රැස් කිරීම සීඅයිඒට ඇති එකම මග වේ.

අනෙක් විශේෂ කාරණය නම් සීඅයිඒට රට තුළ අපරාධ විමර්ශනය යනාදිය සඳහා බලයක් නොමැති බවයි. විදේශ ප්‍රතිපත්තියට සහ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන අවස්ථාවලදී ඊට නිසි පියවර ගැනීම පමණක් ඔවුන්ට පැවරී ඇත. රට තුළ කටයුතු විමර්ශනය සඳහා අධිකරණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ඒ කාර්යය උර දරයි.

සීඅයිඒ ආයතනයට විදේශයන්හිදී ආවෘත ක්‍රියාන්විතවල (covert operation) යෙදීමේ බලය නීතියෙන්ම ලැබී තිබේ. මෙම ක්‍රියාන්විත අතිශය සූක්‍ෂ්ම සහ රහසිගත වන අතර ඒවා ජනාධිපතිවරයාගේ නියෝගයෙන් සිදු කෙරේ. ඒ සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමට, සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක වීමට ජාතික ගුප්ත සේවය (National Clandestine Service) නමැති විශේෂිත කුඩා ඒකකයක් තිබේ. ජනාධිපතිවරයා නියෝග අත්සන් කරන්නේ එම ඒකකයේ නිර්දේශ සැලකිල්ලට ගනිමිනි. ගිනා හැස්පෙල් කලක් එහිද ප්‍රධානියාව සිටියාය. එපමණකින් එවැනි ඕනෑම් ක්‍රියාන්විතයකට නීත්‍යනුකූල සුජාත භාවය ලැබෙන අතර ඒවාට යන වියදම් ප්‍රශ්න කිරීමකින් තොරව දැරෙනු ඇත. ඒ සඳහා ප්‍රතිපාදන කළු බජට්ටුවෙන් (black budget) ලබා දෙනු ඇත. අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව වැනි රටවල වාර්ෂික අයවැය ලේඛනවල ඇති අදාළ ශීර්ෂය සාමාන්‍යයෙන් විවාදයට ගනු ලැබෙන්නේ නැත. එය රාජ්‍ය රහසක් ලෙස ආරක්‍ෂා කෙරේ. එනයින් සීඅයිඒ විසින් දරනු ලබන අධික වියදම් කිසි ආකාරයකින් ප්‍රශ්න කිරීම්වලට යටත් නොවන අතර ව්‍යවස්ථාදායකයේ පවා ප්‍රශ්න කිරීමක් නොමැත.

ආවෘත ක්‍රියාන්විතවලින් කෙරෙන්නේ ලොව කොතැනක හෝ අමෙරිකා එක්සත් ජනපදයේ බලවතුන්ගේ අභිප්‍රායයන්ට නොගැළපෙන ක්‍රියාවලදී මැදිහත් වී ඒවා අවුල් කැර දැමීමයි. 1947 වසරේ සීඅයිඒ ස්ථාපිත කළාට පසු එවැනි ක්‍රියාන්විත දහස් ගණනක ඔවුන් යෙදුණ බවට මාධ්‍ය විසින් අනාවරණය කරනු ලැබ ඇත.

මේ මිහිපිට ප්‍රමුඛයා තමන් බව සහ තමන් විය යුතු බව අමෙරිකා එක්සත් ජනපදය සිතන බව එක් අවුරුද්දක දී විසිතිස් වතාවක් ලොවට ප්‍රකට වේ. වත්මන් ජනාධිපතිවරයා වැඩ භාර ගැනීමෙන් පසු තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇත.

මෙවැනි කරුණු නිසා සීඅයිඒ ආයතනයට පත් කෙරෙන ප්‍රධානියා මතු නොව සාමාන්‍ය නිලධාරියකු පවා අතිශය විශ්වසනීය විය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. නියෝජ්‍ය අධ්‍යක්ෂ පත් කිරීම ජනාධිපතිවරයාගේ තනි අත්සනින් කළ හැකි වුවත් අධ්‍යක්‍ෂ පත් කිරීම සෙනෙට් අනු කමිටුවේ නිර්දේශය මත සෙනෙට් මණ්ඩලයේ අනුමැතියෙන් කළ යුතු වනුයේ එහෙයිනි.

ගිනා හැස්පෙල්ගේ නම ඒ තනතුර සඳහා යෝජනා වූ විට සෙනෙට් සභිකයන් ඊට විරුද්ධ වූයේ ඇයගේ මානව හිමිකම් වාර්තා අයහපත් වූ හෙයිනි.

අල්-ඛයිඩා මෙහෙයුම

2001 සැප්තැම්බර් 11දින අමෙරිකාවේ මර්මස්ථාන දෙකකට එල්ල වූ බිහිසුණු ප්‍රහාරයෙන් පසු එහි වගකීම භාරගත් අල්-ඛයිඩා ත්‍රස්ත සංවිධානය විනාශ කිරීම බුෂ් පරිපාලනයේ දැඩි තීරණය විය. මසක් ගත වන්නටද කලින් ඇෆ්ගනිස්තානයට නැටෝ හමුදා එවීමට පියවර ගැනීම ජනාධිපති ජෝජ් ඩබ්ලිව් බුෂ්ගේ තදියමේ තරම පෙන්වයි. ඒ අතර අල්-ඛයිඩා විනාශ කිරීමේ අරමුණින් එහි නායකයන් අත්ඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම පිළිබඳ භාරදූර වගකීම ජාතික ඔත්තුසේවා ප්‍රජාව සහ එෆ්බීඅයි වෙත පැවරිණි. එයින් වැඩි වැඩ කොටසක් සීඅයිඒටය. මන්දයත් අල්-ඛයිඩා යනු විදේශීය සංවිධානයක් නිසාත් ප්‍රශ්න කිරීම් මගින් පමණක් තොරතුරු ලබා ගත යුතු නිසාත්ය. ඒ කියන්නේ තාක්ෂණික අතින් තොරතුරු ලබාගන්නට ඉඩක් නොතිබූ හෙයිනි.

2002 වසරේ දින දෙකකදී අබු සුබෙයිදා නම් ඔසාමාගේ දකුණතවන් ප්‍රධානියකු සහ අබ්ද්-අල්-රහිම් අල්-නශිර් යන අල්-ඛයිඩා සාමාජිකයන් දෙදෙනා පාකිස්තානයේ දී අල්ලා ගන්නට අමෙරිකානු රහස් ඔත්තු සේවා සමත් විය. සිද්ධිය විදේශයකදී වුවත් පළමුවෙන් ප්‍රශ්න කළේ එහි ගිය එෆ්බී අයි නිලධාරීන් විසිනි. කිසිම වධ හිංසා පැමිණවීමක් නොකොට ප්‍රහාරයේ මහ මොළකරුගේ නම හෙළිදරව් කර ගන්නට එම නිලධාරීහු සමත් වූහ.

ඉන් අනතුරුව සුබෙයිදා අඥාත ස්ථානයකට ගෙන යන ලදි.

පසුව හෙළිදරව් වූ පරිදි ඒ අඥාත ස්ථානය තායිලන්තයේ බෑන් ඩුන් නම් සථානයක පිහිටි වොයිස් ඔෆ් අමෙරිකා පරිශ්‍රයයි. අත්අඩංගුවට ගත් දින සිට වසර එකහමාරකට පමණ පසු පෝලන්තයේ පිහිටි වෙනත් එවැනිම ස්ථානයකට මාරු කර යවනතුරු ඔහු එහි රඳවා ගනු ලැබූ අතර දසවධ දෙන ලදි. කෙසේ වෙතත් සීඅයිඒ ප්‍රශ්නකරුවන්ට ඔහුගෙන් තොරතුරු ලබාගත නොහැකි විය. පසුව ඔහු 2006 සැප්තැම්බරයේ ග්වාන්තනාමෝ කඳවුරට මාරු කර යවන ලදි.

ග්වාන්තනාමෝ කඳවුරද රැඳවියන්ට වධ හිංසා පමුණුවන ස්ථානයක් වන නමුත් එහිදී නීතිඥ උදෙස් ලබාගැනීමට ඉඩ තිබේ. තවද අන්තර්ජාතික රතු කුරුස කම්ටුවේ නිරන්තර නිරීක්‍ෂණයට ලක් වේ. සුබෙයිදා ඇතුළු රැඳවියන් 14 දෙනෙකුට දරුණු ගණයේ වධහිංසා පමුණුවා ඇති බව රතුකුරුසය විසින් ඉදිර්පත් කරන ලද වාර්තාවක දැක්වේ.

‘දොළොස් වධ’

එම වධහිංසා අතර දොළොස් වැදෑරුම් බරපතළ වධ වූ බව රතුකුරුසයේ මතයයි. වෝටර්බෝඩිං නම් මුහුණට ජල ප්‍රහාර එල්ල කිරීම, සිරුරේ පළලටත් වඩා අඩු ප්‍රමාණයක මිනීපෙට්ටියක් තුළ බහා ඒ මත ජල ප්‍රහාර එල්ල කිරීම, ඝන ආහාර පමණක් ගිල්ලවීම, දෙපාවලින් ගැටගසා බොලොක්කයක එල්ලා හිස ජල ටැංකියක වරින් වර ගිල්වමින් ඉවතට ගැනීම වැනි වධ ඒ අතර වෙයි.

පසුව සුබෙයිදා ජාත්‍යන්තර මානව හිමිකම් අධිකරණය හමුවේ අමෙරිකානු රජයට එරෙහිව නඩු පැවරීය.

මෙය ආන්දොලනාත්මක නඩුවකි. මේ නඩුව සීඅයිඒ විසින් රැඳවියන්ට පමුණුවනු ලබන අනේක වධහිංසා පිලිබඳ ලොවට හෙළිදරව් වූ වැදගත් සහ බරපතළ අවස්ථාවක් ලෙස සැලකේ. තායිලන්තයේ කළු කඳවුරේදී ඔහුට වධ හිංසා පමුණුවනු ලැබූ නමුත් ස්ථානය පිළිබඳ හෙළිදරව්වක් නොවූ නිසා එරට රජයට නඩුවෙන් බලපෑමක් ඇති නොවීය. පෝලන්ත භූමිය තුළ ස්ථානගත කොට තිබූ එවැනිම කඳවුරකදී ඔහු වධයට පාත්‍ර කරන ලද බව අනාවරණය වූයෙන් වන්දිය වශයෙන් යුරෝ 100,000ක් සහ නඩු වියදම් වශයෙන් යුරෝ 30,000 සුබෙයිදාට ගෙවන ලෙස පෝලන්ත රජයට නියම කරන ලදි.

මෙහිදී සීඅයිඒ සංවිධානයට කිසියම් දඬුවමක් නියම කරන ලදදැයි නිශ්චිතව සඳහන් නොවේ. කෙසේ වෙතත් ගිනා හැස්පෙල් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පුද්ගලිකවම තායිලන්ත කඳවුරට ගිය බවත් ‘වෝටර්බෝඩ්’ නමැති මුහුණට දිය ප්‍රහාර එල්ල කිරීමේ තුච්ඡ වධය ඇය විසින්ම පමුණුවන ලද බවත් පසු කලෙක සෙනෙට් අනුකමිටුවක් විසින් කරන ලද විමර්ශනයකදී අනාවරණය කැර ගන්නා ලදි.

ගිනා හැස්පෙල්ට එරෙහි බරපතළ චෝදනාව වූයේ වෝටර්බෝඩිං වධය පුද්ගලිකවම පැමිණවීමයි. මෙය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ එරික් රෑන්ඩ්නම් රිපබ්ලිකන් පාක්‍ෂික සෙනෙට් සභිකයා විසිනි. ඒ වධ හිංසා ජාත්‍යන්තර වශයෙන් හෙළිදරව් වීමෙන් සීඅයිඒ සංවිධානයට සහ රටට අවමානයක් සිදු වූ බවත් ඊට හැස්පෙල් වගකිව යුතු බවත්, ඇය ආයතනයේ ප්‍රධානියා වුවහොත් තත්ත්වය තවත් නරක් විය හැකි බවත් සාකච්ඡා කරන ලදි. අනෙක් අතට කෙතරම් වධ හිංසා පැමිණ වුවත් එෆ්බීඅයි නිලධාරීන් ඒ කිසිවක් නොකොට ලබා ගත් තොරතුරට වැඩි යමක් දැන ගන්නට සීඅයිඒ ප්‍රශ්නකරුවන්ට නොහැකි වීමද කමිටුවේ දෝෂදර්ශනයට ලක් ව ඇත.

පළමු කාන්තාව

හැස්පෙල් යනු සීඅයිඒ අධ්‍යක්‍ෂ ධුරයට පත්වීම් ලබන ප්‍රථම කාන්තාවය.

සීඅයිඒ සංවිධානයේ අතීත සහ වර්තමාන නිලධාරීහුද විවිධ හමුදා නිලධාරීහුද ඇගේ සේවය අගය කරමින් අයට එම තනතුර ප්‍රදානය කරන ලෙස සෙනෙට් අනු කමිටුවෙන් ඉල්ලා සිටියෝය. එසේම කාන්තා හිමිකම් සංවිධානද විසින් ඉල්ලා සිටින ලදී. කෙසේ වෙතත් සීඅයිඒ මුල් පුටුව සම්බන්ධයෙන් මෙවැනි දෑ සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය බැව් සැලකේ.

අවසානයේ සෙනෙට් ඔත්තුසේවා අනුකමිටුව වැඩි ඡන්දයෙන් ඇගේ පත්වීම නිර්දේශ කළ අතර සෙනෙට් සභාව එය අනුමත කළේ ය.

පසුව මාධ්‍ය වාර්තා කළේ මෙය අමෙරිකානුවන්ගේ තවත් එක් සංදර්ශනයක් පමණක් බවය.

ඒ අනුව මෙම මැයි 18 දින සිට ඇය එම තනතුරේ ස්ථිර කරන ලදි.

[එස්. නන්දලාල්]

මාතෘකා