රාජකීය මංගල්‍යය

 ඡායාරූපය:

රාජකීය මංගල්‍යය

ලෝකයේ වැඩියම අවධානය දිනා ගන්නා රාජකීයයන් ඉන්නේ එක්සත් රාජධානියේ රජ පවුලේ බව පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත. රාජකීය ධුරාවලියේ හයවෙනියා ලෙස සිටින්නේ, එලිසබෙත් රැජිනගෙන් අනතුරුව ඔටුන්නට හිමිකම් කියන චාර්ල්ස් කුමාරුගේ කනිටු පුතු වන හැරී කුමරුය. ඔහු සහ ඇමරිකානු නිළියක සහ සමාජ ක්‍රියාකාරිණියක වන මේගන් මාර්කල්ගේ විවාහය, මැයි 19 වන සෙනසුරාදා දහවල් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයට බටහිරින් පිහිටි, දෙවන එලිසබත් රැජිණගේ සති අන්ත නිවහන වන වින්ඩ්සර් බලකොටුවේ දී පැවැත්විණි.

හැරී කුමරු සිය දෙවැනි මනාලයා වන විලියම් කුමරු සමඟ වින්සර් මාළිගා පරිශ්‍රයට පැමිණි අතර සියල්ලන් දෑස් අයා බලා සිටි මනාලිය මේගන් මාර්කල් ලන්ඩන් නුවරට රැස්ව සිටි දහස් ගණනකගේ ඔල්වරසන් මැද මාළිගා පරිශ්‍රයට පැමිනුණි.

රාජකීය සම්ප්‍රදායට අනුව වින්සර් මාළිඟා දොරටුවේ සිට මනාලිය දේවස්ථානය කරා රැගෙන යා යුත්තේ මනාලියගේ පියා වුවත්, හෘදයාබාධයක් හේතුවෙන් පියා නොපැමිණීම නිසා මේගන් මාර්කල් දේවස්ථානය කරා රැගෙන ගියේ චාර්ල්ස් කුමාරු විසිනි.

විලියම් – කේට් යුවළගේ දරුවන් වන චාලට් කුමරිය සහ ජෝර්ජ් කුමරු මල් කුමර, කුමරියෝ ලෙස මංගල්‍යයට එක්ව සිටියහ.

මංගල්‍යයට රජ පවුලෙන් ඇරයුම් ලැබූ 600ක් වූ ආරාධිතයින් අතරට ඔප්රා වින්ෆ්‍රී ජෝර්ජ් ක්ලූනී යුවළ, ඩේවිඩ් සහ වික්ටෝරියා බෙකම් යුවළ, ජොනී විල්කින්සන් , ඉඩ්රීස් එල්බා, ප්‍රියංකා චොප්රා, සෙරීනා විලියම්ස් ආදි ලෝක ප්‍රකට තරු ඇතුළත් වූහ.

සිය මෑණියන් වන අභාවප්‍රාප්ත ඩයනා කුමරියගේ පවුලේ සාමාජිකයින්ට හැරී කුමරු මංගල්‍යයට ඇරයුම් කර තිබූ අතර පවුලේ විශේෂ කතාවක් කිරීමට ඇගේ සොහොයුරියකට අවස්ථාව දී තිබුණේ පවුල් දෙක අතර විසි වසරක් පැවති විරසකය බිඳ දමමිනි.

බ්‍රිතාන්‍ය වේලාවෙන් දහවල් 12ට වින්ඩ්සර් බලකොටුවේ සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී ඇරඹුණු අතර නව රාජකීය යුවල වීථි සැරීම ඇරඹීමත් සමඟ මහජනයාට ආචාර කිරීමේ අවස්ථාව උදා වූහ.

එයින් පසුව වින්ඩ්සර් බලකොටුවේ සාන්ත ජෝර්ජ් ශාලාවේ පැවැත්වුණු දිවා භෝජනය සඳහා නව යුවල සහ ආරාධිත අමුත්තන් සහභාගී වූ අතර එහි සත්කාරකත්වය දෙවන එලිසබෙත් රැජිණ විසින් දරණු ලැබීය. හැරී කුමරුගේ පියා වන චාර්ල්ස් කුමරු සත්කාරකත්වය දරන රාත්‍රී භෝජන සංග්‍රහයක් පවුලේ ඥාතීන් සහ සමීපතමයින් සඳහා එදින රාත්‍රියේ දී පැවැත්විණි.

1997 දී හැරී කුමාරයාගේ මව, ඩයනා කුමරිය මිය යන අවස්ථාව වන විට හැරී කුමරුගේ වයස අවුරුදු 13ක් විය. පසු කලෙක හමුදා සේවයට බැඳුන හෙතෙම ඇෆ්ඝනිස්ථානයේ ද සේවය කළේ ය​. ඇමරිකානු නිළියක සහ සමාජ ක්‍රියාකාරිණියක් වන මේගන් මාර්කල් සහ හැරී කුමරු අතර ප්‍රේම සම්බන්ධයට වසර දෙකක් ගතව ඇත. ඔවුන්ගේ විවාහය සඳහා රැජිණගේ අනුමැතිය ලැබුණ අතර 2017 වසරේ නොවැම්බරයේ දී එම විවාහය පිළිබඳ නිල වශයෙන් නිවේදනය කෙරිණි​.

මෙය විශේෂ විවාහයක් වන්නේ ඇයි?

මේගන් මාර්කල් බ්‍රිතාන්‍ය රජ පවුලට එක් වීම විශේෂිත අවස්ථාවකි. ඇය කලින් විවාහ වී දික්කසාද වූ කාන්තාවකි. කතෝලික පසුබිමක උපන් ඇයගේ මව අප්‍රිකානු-ඇමරිකානු කාන්තාවක් වන අතර පියා නෙදර්ලන්ත-අයර්ලන්ත පුද්ගලයෙකි. මේගන්ගේ මව සහ පියා වෙන්ව ඇත්තේ ඇය කුඩා කලදීය.

1981 අගෝස්තු 4 වන දා උපන් ඇය හැරී කුමරුට වඩා වසර තුනකින් වැඩිමහල්ය. මාර්කල් විවාහයට පෙර එංගලන්ත සභාවට ඇතුළත් වූවා ය. ඇයගේ පරම්පරාව හේතුවෙන් ඇතැම් ජාතිවාදී වාග් ප්‍රහාරයන්ට ද ලක් වීමට ඇයට සිදුවිය​. විවාහය පවතින අවස්ථාවේ සජීව විකාශය අතරතුර මේගන් ඉලක්ක කර ගනිමින් ජාතිවාදී වාග් ප්‍රහාර එල්ල කළ ජර්මනියේ රූපවාහිනී විකාශන ආයතනයකට මේ වනවිටත් දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

මේගන්ගේ මව රාජකීය විවාහයට සහභාගී වූ අතර සෞඛ්‍යමය හේතූන් මත ඇයගේ පියා විවාහයට සහභාගි නොවන බව නිවේදනය කර තිබිණ. කෙසේ වෙතත් ඇයගේ පියා විවාහයට පෙර පැපරාසීන්ගෙන් මුදල් ගෙන ඡායාරූපවලට පෙනී සිටි බවට චෝදනා එල්ල විය.

රාජකීය විවාහය සඳහා පවුම් මිලියන 32ක මුදලක් වැය වූ බව පැවසෙන අතර මේය බ්‍රිතාන්‍යයේ සංචාරක කර්මාන්තයට ධනාත්මක බලපෑමක් එල්ල කළ බවද බොහෝ දෙනාගේ අදහසයි.

ලෝ වාසීන් බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ විශේෂිතම කාරණයක් බවට පත් වූයේ මේගන් මාර්කල්ගේ සරල සහ චාම් සැරසීමයි. සාම්ප්‍රදායික රාජකීය මංගල ඇඳුම් විලාසිතාවලට අනුකූල වුවද, ඇයගේ මංගල ඇඳුම ඉතා සරලව නිමවා තිබිණි. ප්‍රමාණයෙන් ඉතා කුඩා වූ ඇයගේ මල් කළඹද බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබිණ.

ඊට එක් හේතුවක් වූයේ එම මල් කළඹ නිමවා තිබුණේ රාජකීය උද්‍යානයෙන් හැරී කුමරා විසින්ම නෙළා ගත් මල් උපයෝගී කරගනිමින් වීමයි. එමෙන්ම එම මල් හැරී කුමාරයාගේ මව, ඩයනා කුමරිය විසින් රෝපණය කරන ලද ගස්වල හට ගත් මල් බවද පැවසේ.

එමෙන්ම බ්‍රිතාන්‍ය රාජකීය විවාහ සම්ප්‍රදාය අනුව යමින් මේගන් මාර්කල් ඇගේ විවාහයේදී රැගෙන ගිය මල් කළඹ වෙස්ට්මින්ස්ටර් ඇබේ හි පිහිටි "නාඳුනන වීරයාගේ සොහොන" (Tomb of the Unknown Warrior) මත ඉරිදා (20) තැන්පත් කරන ලදී.

මෙම සම්ප්‍රදාය එලිසබත් බවුස් - ලියොන් ආර්යාව (මව් රැජිණ), එනම් දෙවන එලිසබත් රැජිණගේ මව විසින් 1923 දී පටන් ගන්නා ලද්දකි.

ඇය 1923 අප්‍රේල් 26 වනදා සිය විවාහය සඳහා වෙස්ට්මින්ස්ටර් ඇබේ වෙත ඇතුල් වීමට පෙර සිය මල් කළඹ එහි තැන්පත් කළේ කවුරුත් පුදුමයට පත් කරමිනි. ඇය එසේ සිදු කළේ 1915 දී බෙල්ජියමේ සිදු වූ ලූස් සංග්‍රාමයේදී මියගිය ඇගේ සොයුරු ෆර්ගස් සිහි වීමට සඳහාය. මේ අනුව ඇය විවාහ වූයේ මල් කළඹක් අත තබා නොගෙනය.

ඇගෙන් පසු රාජකීය මනාලියන් සිය විවාහය අවසන මල් කළඹ එම සොහොන මත තැබීම සම්ප්‍රදාය කරගනු ලැබුණි. මේ අනුව වෙස්ට්මින්ස්ටර් ඇබේහි පවත්වන විවාහයන්වලදී එම අවස්ථාවේම එම චාරිත්‍රය සිදු කෙරෙන අතර අනෙක් ස්ථානයක විවාහය සිදු වී නම් පසුවට එය සිදු කරනු ලැබේ.

හැරී කුමරුගේ සහ මේගන් මාර්කල්ගේ විවාහය මැයි 19 වනදා සිදු වූයේ වින්ඩ්සර් බලකොටුවේ සාන්ත ජෝර්ජ් දේවස්ථානයේදීය​. දෙවන එලිසබත් රැජිණ විසින් හැරී කුමරු සහ මේගන් මාර්කල්, සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය ලෙස, නම් කරනු ලැබුණි.

යුරෝපා සටන් බිමකදී මිය ගිය නාඳුනන බ්‍රිතාන්‍ය සොල්දාදුවකුගේ සිරුර 1920 නොවැම්බර් 20 වනදා වෙස්ට්මින්ස්ටර් ඇබේහි තැන්පත් කරන ලදී. "නාඳුනන වීරයාගේ සොහොන​" යනුවෙන හඳුන්වන්නේ එයයි. මේ ආකාරයේ "නාඳුනන සොල්දාදුවාගේ සමාධි" අතුරින් පළමු සමාධිය එය බවද සඳහන් වේ.

සසෙක්ස් හි ආදිපාදවරිය වන මේගන්ට සහ හැරී කුමරුට රජ පවුලේ සම්ප්‍රදායන්ට අනුව බොහෝ දේ හිමි වනවා මෙන්ම බොහෝ දේ අකැප වීමටද නියමිතය.

සෙල්ෆි ඡායාරූප ගැනීම, සමරු සටහන් ලබා දීම, තනිව ගමන් බිමන් යාම, රැජින නින්දට යන තුරු නින්දට යාම, ඡන්දය භාවිත කිරීම ඔවුන්ට තහනම් වනවා ඇත.

කෙසේ වෙතත් ලොව වඩාත් ගෞරවයට පාත්‍රවන රාජකීය පවුලේ සාමාජිකාවක් වීමේ අභිමානය සමඟ ඇයට මෙම කැප කිරීම් කිරීම අපහසු නොවනු ඇත.

මාතෘකා