ජෙරුසලමේ නව තානාපති කාර්යාලය: ගාසා තීරයේදී විශාල පිරිසක් මරුට

 ඡායාරූපය:

ජෙරුසලමේ නව තානාපති කාර්යාලය: ගාසා තීරයේදී විශාල පිරිසක් මරුට

ගාසා තීරයේ දේශසීමාවේදී ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් නිරායුධ පලස්තීන විරෝධතාකරුවන් 58 දෙනෙකුවත් මරුමුවට පත් වී ඇත. එහිදී තවත් පලස්තීන වැසියන් 2700 දෙනෙකුටවත් තුවාල සිදු වී ඇත.

ඝාතනය වූ පිරිස අතර දරුවන් හය දෙනෙකුද සිටින අතර එයින් මාස 8ක් වයසැති බිළිඳෙකු මරණයට පත්ව ඇත්තේ කඳුලු ගෑස් හේතුවෙන් ඇති වූ ශ්වසන අපහසුතාව නිසා බව පලස්තීනය පවසයි. ගාසා තීරයේ එම ප්‍රචණ්ඩ ක්‍රියා හටගත්තේ අමෙරිකා එක්සත් ජනපදය ජෙරුසලමේ සිය නව තානාපති කාර්යාලය විවෘත කිරීමට නියමිතව තිබියදීය.

නැගෙනහිර ජෙරුසලම තමන්ට අයත් භූමිභාගයක් බව පලස්තීනයේ අදහසයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුළු එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරීහු තානාපති කාර්යාලය විවෘත කිරීමේ උත්සවය සඳහා ජෙරුසෙලමට පැමිණියෝය.

මේ අතර විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කණ්ඩායමකට ඊශ්‍රායලය ඩ්‍රෝන යානා මගින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.

ප්‍රංශ ජනාධිපතිවරයා මෙම ප්‍රහාරය හෙළා දකින බවට ප්‍රකාශයක් නිකුත් කර ඇත. දකුණු අප්‍රිකානු රජය, ඊශ්‍රායලයේ වෙසෙන එරට තානාපතිවරයාව නැවත කැඳවමින් මෙම ප්‍රහාරයට විරෝධය දක්වා තිබේ. කුවේට් පාලනය, මෙම ප්‍රහාරය ගැන සාකච්ඡා කිරීම සඳහා වහාම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය කැඳවිය යුතු බවට ප්‍රකාශයක් නිකුත් කර ඇත.

මාතෘකා