ජනඝාතක ජනපති  පිලිපීනයේ හිට්ලර්

 ඡායාරූපය:

ජනඝාතක ජනපති  පිලිපීනයේ හිට්ලර්

පසුගිය සතියේ පිලිපීනයේ අගවිනිසුරුවරිය වූ මාරියා ලෝඩස් සරීනෝ සේවයෙන් පහ කෙරිණි. ඇයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද ‘ක්වෝවොරන්ටෝ’ අයදුම්පතක් විභාග කිරීමෙන් අනතුරුව තීන්දුව පරිදි එය සිදු විය. පැමිණිල්ල ඉදිරිපත් කොට තිබුණේ එරට ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ ගේ හිතවාදියකු වන නීතිපතිවරයා විසිනි. පැමිණිල්ලෙන් කියැවුණේ වත්කම් නිසි පරිදි හෙළිදරව් නොකිරීම, එමගින් බදු වංචා කිරීම, සුෙඛා්පභෝගී ගුවන් යානාවල ගමන් කිරීමෙන් හා එබඳු හෝටල්වල නවාතැන් ගැනීමෙන් මහජන මුදල් අවභාවිතාව යනාදී දූෂණවල යෙදී ඇති නිසා ඇය රාජ්‍ය සේවයට නුසුදුසුය යන්නයි. නඩු විභාගයට සරීනෝ සහභාගි නොවූ අතර නීතිඥයකු මගින් කරුණු දක්වන ලදි. ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙක් විනිසුරන් 14 දෙනාගෙන් 8 දෙනෙකු ඇයට එරෙහිවද 6 දෙනකු ඇයට පක්‍ෂවද තීන්දුව ප්‍රකාශ කිරීමෙන් බහුතර මතය අනුව ඇයට තනතුර අත් හැර යන්නට සිදු විය.

අගවිනිසුරුවරිය සේවයෙන් පහ කරන්නට පාදක වූයේ ජනාධිපතිවරයා ඇය සමග වෛර බැඳගත් නිසා බව ප්‍රකටය. ඔහු ඒ බව පසුගිය අගෝස්තුවේ ප්‍රසිද්ධියේ පවසා තිබිණි. ‘ඔබ දැනගත යුතුයි දැන් මා ඔබගේ සතුරකු බව. ඔබ සේවයෙන් පහ කරන්නට කළ යුතු සියලු දේ මා කරනවා’ ඊට අමතර වශයෙන් ඔහු ව්‍යවස්ථාදායකයට පවසා ඇත්තේ අගවිනිසුරුවරිය සේවයෙන් පහ කරන්නට පියවර ගත යුතු බවත් ඔවුන්ට එය කළ නොහැකි නම් තමා එය කරන බවත්ය. ඒ අනුව පහළ මන්ත්‍රණ සභාවට දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අතර එය දීර්ඝ ක්‍රියාමාර්ගයක් නිසා ක්වොවොරන්ටෝ ක්‍රියා මාර්ගය නීතිපති ලවා කරවා ගන්නා ලද බවට සැකයක් නොමැති බව සඳහන්ය. එහෙත් ජනාධිපතිවරයා මේ දෙකම ප්‍රතික්ෙශ්ප කරයි.

ජනාධිපතිවරයා අගවිනිසුරුවරිය සමග වෛර බැඳ ගන්නට හේතු වන්නේ ඔහුගේ අනීතික ක්‍රියා මාර්ගවලට එරෙහි නඩු තීන්දු කිහිපයක්ම ඇය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීමයි.

ඩුටර්ටේගේ ජනඝාතක ක්‍රියා පිළිවෙතට විරුද්ධ වු තවත් නීතිවේදිනියක් මෙන්ම අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරියක හා පසුව සෙනෙට් මන්ත්‍රීවරියක් වූ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධාරිනී ලීලා ඩි ලීමා ජාත්‍යන්තර විරෝධය නොතකමින් රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටියි.

ජනාධිපති දුටර්ටේ කිසි අණක් - ගුණක් නැති දළදඬු පුද්ගලයකු බව දැක්වෙන පුවත් ලොව මුල් පෙළේ සෑම මාධ්‍යයක ම සුලබය. ඒ ඔහු බල්ලන්- බළලුන් මතු නොව කැරපොත්තන් - මීයන් ගාණටවත් මිනිස් ජීවිත ගැන නොතකන හෙයිනි.

පිලිපීනයේ මිලියන තුනකට ආසන්න මත්ලෝලීන් ප්‍රමාණයක් සිටින බවත් මත්ද්‍රව්‍යවලට එරෙහි තමාගේ සටන අවසන් වනු ඇත්තේ ඔවුන් සියල්ලන් ඝාතනය කිරීමෙන් පසු බවත් පිලිපීන ජනාධිපතිවරයා වරින්වර පවසයි. සංඛ්‍යාලේඛන අනුව ඔහු ජනාධිපති වූ දා සිට මේ දක්වා නියමිත අධිකරණ ක්‍රමවේදයෙන් බැහැරව මරා දමනු ලද පිලිපීන වැසියන්ගේ සංඛ්‍යාව 4,500 කි. එහෙත් සත්‍ය ගණන එමෙන් දෙගුණය ඉක්මවන බව එරට මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ අදහසයි.

පසුගිය වසරේ ජුලි 30දා එරට පොලීසිය අලුයම දියත් කළ හදිසි මෙහෙයුමකදී එහි දකුණු දිග දූපතක් වන මින්දනාඕ හි ඔසාමිස් නගරයේ පුරපති රේනාල්ඩෝ පැරජිනොග් සහ ඔහුගේ බිරිඳ ඇතුළු 10දෙනකු මරා දැමූ බව වාර්තා වීමත් සමග ජනාධිපතිවරයාගේ මත් විරෝධී ඝාතන ගැන කතාබහ අන්තර් ජාතික වශයෙන් දැඩි විවේචනයට බඳුන් විය.

දුටර්ටේගේ මත් විරෝධී සටන ඔහු පිලිපීන ජනාධිපතිවරයා වීමෙන් පසු ඇරඹුණක් නොවේ. එහි අතීතය ඔහු 1998 පෙබරවාරි මින්දනාඕ දිවයිනේ දවාඕ නම් නුවර පුරපති ලෙස දිව්රුම් දුන් දා දක්වා දිව යයි. එවර ඔහු පුරපති ධුරය දැරුවේ මසක් පමණක් වුවත් ඉන්පසු 2001 සිට 2010 දක්වා ද නැවත 2013 සිට 2016 මැයි දක්වා ද නැවත නැවතත් පුරපති විය. එනුවර මත් උවදුරට ඔහුගේ විසඳුම වූයේ සැකකරුවන් මරා දැමීමයි. ‘දවාඕ ඝාතන බළකාය’ නම් කල්ලියක් විසින් සිදු කරන ලද මේ ඝාතනවල දී ඔවුනට පිටුබලය සැපයුවේ පුරපති දුටර්ටේ ය. මෙහිදී ප්‍රමුඛ වූයේ නීතිය නොව අනීතියයි. යුක්තිය පසිඳලීමක් සිදු වූයේ නැත. ඉංග්‍රිසියෙන් summary executions නමින් හැඳින්වෙන, පැමිණිල්ලෙන් පමණක් කරුණු විමසා තීන්දුව දීමේ ක්‍රමය ඔවුන් විසින් ක්‍රියාත්මක කරන ලදි. එමගින් අපරාධවල මුල් සිඳීමක් සිදු වනු ඇතැයි යන්න දුටර්ටේගේ විශ්වාසය වේ.

දවාඕ පුරපති භවනේ සිට මැනිලා නුවර ජනපති මැදුර දක්වා යන්නට ඔහුට යානයක් වී ඇත්තේ ඔහුගේ නීතියෙන් බැහැර කීම් සහ කෙරුම් නිසා බව 2016 මැයි 25 දින පළ වූ රොයිටර් වාර්තාවක දැක්වේ. එදින සිට ජනාධිපතිවරණයට තිබුණේ දින පහකි. ඒ වාර්තාවේ දැක්වෙන පරිදි දුටර්ටේ පුරපති ව සිටි සමයේ අබිරහස් ඝාතන 1,400 ඉක්මවන සංඛ්‍යාවක් එනුවර සිදු විණි. ඒවා ගැන එරට ජාතික විමර්ශන බියරෝව (NIB) සිව් වසරක් තිස්සේ විමර්ශනවල යෙදුණු නමුත් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට සමත් වූයේ නැත. ඔහු පොදු තර්ජන කරයි. මිනීමැරුම් පැහැර ගැනීම් යනාදිය සිදු වේ. එහෙත් කිසිවකට සාක්‍ෂි නොමැත. නොපෙනේ. ‘ඔබ මගේ නගරය තුළ අනීතික ක්‍රියාවල නිරත වන්නේ නම්, ඔබ අපරාධකරුවකු හෝ අපරාධ සංවිධානයක සාමාජිකයකු හෝ වන්නේ නම් එමගින් අහිංසක ජනතාවගේ දේපළ පැහැර ගන්නේ නම් මා මෙහි පුරපති ව සිටිනා තාක් ඔබ නීත්‍යනුකූල ඝාතනයක ඉලක්කය වනු ඇතැයි වරක් වාර්තාකරුවන් හමුවේ ඔහු පවසා ඇත.

ඔහු පුරපති ලෙස දිගටම ක්‍රියාත්මක කළේත්, දැන් ජනාධිපති ලෙස රට පුරා ම ක්‍රියාත්මක කරන්නේත් මේ අදහසයි.

දේශපාලනයට පිවිසෙන්නට පෙර වෘත්තියෙන් නීතිවේදියකු වූ දුටර්ටේ දවාඕ නුවර අභිචෝදක (prosecutor) කාර්යාලයයේ බලලත් නිලධාරියකු ලෙස 1972 - 1986 දක්වා සේවය කළේය. මේ නිසා ඔහුට නීතිය පිළබඳව න්‍යායයික දැනුමක් මෙන්ම ප්‍රායෝගික පරිචයක්ද ඇති බව පැහැදිලිය.

නීතිය ගැන දන්නා අය සාමය සහ යුක්තිය පිළිබඳ විශ්වාසය තැබීම සාමාන්‍ය ස්වභාවය වුවත් දුටර්ටේ ඉන් බැහැර පුද්ගලයෙකි. ඔහුට නීතිය ගැන කිසිත් විශ්වාසයක් ඇති බවක් නොපෙනේ.

2016 ජුනි 30 දින ජනපතිධුරයේ දිව්රුම් දීමෙන් අනතුරු ව සවස මැනිලා නුවර මුඩුක්කු පෙදෙසක කුඩා ජන රැළියකට සහභාගි වූ ජනාධිපති දුටර්ටේ එහි රැස්ව සිටි ජනතාව අමතා මෙසේ කීය: ‘මොවුන් (this sons of whores) අපේ දරුවන් විනාශ කරනවා. මං කැමතියි අවවාදයක් දෙන්නට. ‘මත්ද්‍රව්‍ය චෝදනාවලට අහු වුණොත් පොලිස් කාරයෙක් වුණත් මං මරන එක මරනවාමයි.’ ඒ සමගම ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ මත් ලෝලියකු හසු වුවහොත් දෙවරක් නොසිතා ඒකා මරා දමන ලෙසයි.

son of a whore යන්න ඔහු අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඔබාමා හැඳින්වීමටද වරක් යෙදීය. එහෙත් එරට වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය වසරේ නොවැම්බර් මස 13දා ආසියාන් සමුළුවේ 30වන සැසිවාරයට සහභාගි වන්නට මැනිලා නුවරට සැපත් වූ අවස්ථාවේ රතු පලස එලා ඔහු පිළි ගන්නා ලදි. එය ජනාධිපති ට්‍රම්ප්ගේ බලවත් ප්‍රමෝදයට හේතු වූ බව එසමයේ මාධ්‍ය වාර්තා කළේය.

ජනාධිපති දුටර්ටේ යටතේ පොලිස් සහ හමුදා භටයන් 130,000ක් දෙනා පාබල හේවායන් (foot soldiers) ලෙස ක්‍රියාත්මක බව පැවසේ. ඔවුන්ට පැවරී ඇති රාජකාරිය වන්නේ මිනී මැරීම බවට චෝදනා එල්ල වෙමින් පවතී.

පසුගිය වසරේ මාර්තු මාසයේ සහ ඉන්පසු හියුමන් රයිට්ස් වොච් නිකුත් කළ වාර්තාවල පොලිසියට ඍජුවම ඝාතන චෝදනා එල්ල විය. විය යුතු පරිද්දෙන් ම පොලිසිය මේ චෝදනා ප්‍රතික්‍ෂෙප කරමින් කියා සිටින්නේ තමන් කිසිවිටෙක මිනිසුන් ඝාතනය නොකරන බවත් එහෙත් තමන් අතින් මිනිසුන් ඝාතනය වනවා විය හැකි බවත්ය.

සෝදිසි මෙහෙයුම්වලදී මත් ද්‍රව්‍ය පරිහරණය කරන්නන් සහ විකුණන්නන් තමන්ට ප්‍රහාර එල්ල කරන බවත් ප්‍රතිප්‍රහාරවලදී ඇතැම් විට ඔවුන් මිය යන බවත් පොලිසිය පෙන්වා දෙයි. පෙර සඳහන් ඔසාමිස් පුරපති ඝාතනය ගැනද පොලිසිය කියන්නේ එවැනි කතාවකි. එහෙත් පාන්දර 4ට සෝදිසි මෙහෙයුම සිදුවන අවස්ථාවේ නිවැසියන් සහ ආරක්‍ෂකයන් එවැන්නක් නොකළ බව වින්දිත පාර්ශ්වය පෙන්වා දී ඇත.

2016 ඔක්තොබර් 01දා ජනාදිපති දුටර්ටේ ප්‍රසිද්ධ වේදිකාවක පැවසුවේ ජර්මනියට හිට්ලර් කෙනෙකු සිටියා සේ පිලිපීනයටද එවැන්නකු සිටිය යුතු බවයි. ‘ඔහු යුදෙව්වන් මිලියන ගණනාවක් ඝාතනය කළා. පිලිපීනයේ මත් ලෝලීන් මිලියන තුනක් පමණ ඉන්නවා. ඔවුන් සියල්ලන් ඝාතනය කළොත් මට සතුටු විය හැකියි.’

ඊට සතියකට පසු ප්‍රංශයේ ලිබරේෂන් පුවත්පත ජනාධිපති දුටර්ටේ හැඳින්වූයේ ‘දාම ඝාතක ජනපති’ යන අභිධානයෙනි. දුටර්ටේ පාර්ශ්වයෙන් ඊට බෙහෝ විරෝධතා එල්ල වෙයි. ‘එසේ නොකර මේ මත් උවදුර මුලිනුපුටා දමන්නේ කෙසේද’යි ජනාධිපතිගේ අන්තේවාසිකයෝ විමසති. ඔවුන් කවර තර්ක ඉදිරිපත් කළත් හිට්ලර් කෙනෙකු වන්නට පෙරුම් පුරන දාම ඝාතක ජනපති මේ වනවිට ලොව පුරා දෝෂාරෝපණයට බඳුන් ව සිටියි.

පිලිපීනය මාධ්‍යවේදීන්ට නපුරු තැනක් වූයේ බොහෝ ඈත කලෙක සිටය. මේ වන විට නැවතත් මාධ්‍ය වෙත වන තර්ජන වැඩිවෙමින් පවතී. ‘ඔබ ජනමාධ්‍යකරුවෙක්ය කියා ඔබට විශේෂ මුක්තියක් ලැබෙන්නේ නෑ. වැරදි කර නැත්නම් බියවන්නට හේතුවක් නෑ’ එහෙත් ඔහු අදහස් කරන වැරදි මොනවාද?

චුදිතයා වරදකරුද නැද්ද යන්න තීරණය කරන්නේ පොලිසියයි. එහෙත් පොලිසිය අති දූෂිත බවත්, පොලීසියට අල්ලස් දීමෙන් නොමැරී සිටින්නට හැකි බවත් ජනතාවගේ අදහසයි. එවැනි දේ බහුල බව මානව හිමිකම් සංවිධානද පෙන්වා දෙයි. එබන්දන් හසු වුවහොත් තමා ඔවුන් හෙලිකොප්ටරයකින අහසට ගෙන ගොස් බිමට වැටෙන්නට සලස්වා මරා දමන බව ජනාධිපතිවරයා පවසා ඇත. දවාඕ පුරපති සමයේ තමා එබන්දක් කළ බව ඔහු ප්‍රකාශ කර ඇතත් ඊට සාක්ෂි නැත. එසමයේ තමා පුද්ගලයන් සිව් දෙනෙකු සියතින්ම මරා දැමූ බව ඔහු පවසයි. ඒ ගැන නම් පරීක්‍ෂණයක් පැවැත්වෙන බව සඳහන් වුවත් ප්‍රතිඵලයක් නොමැත.

ජනාධිපතිවරයා සිය දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව මත් ද්‍රව්‍ය චෝදනා ගෙන එන බව ද ප්‍රකට කරුණකි. ඔහු ඒ සියල්ල කරන්නේ ජනාධිපති මුක්තියට මුවා වෙමින් බව එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ තවමත් විභාග වී අවසන් නොමැති ලීලා ඩි ලීමා නම් කාන්තාවක් විසින් පවරන ලද නඩුවක දී චෝදනා නැගී ඇති එක් චොදනාවක් වන්නේ ඇය අධිකරණ ලේකම් ධුරය දැරූ සමයේ මත්ද්‍රව්‍ය බෙදා හර්න්නන් සමග ගනුදෙනු පැවැත් වූ බවයි,

අපරාධකරුවන්ගේ මානව හිමිකම් ගැන කථාකරන්නන් මෝඩයන් ලෙස හඳුන්වන ජනාධිපති දුටර්ටේ මත් ද්‍රව්‍ය නිසා හිංසනයට ලක් වන්නන්ගේ මානව හිමිකම් ගැන කතා නොකරන්නේ මන්දැයි අසයි. මේ කිසිවකට පිළිතුරු සොයන්නට නොසමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසුරුවා හැරිය යුතු බව ඔහුගේ අදහසයි.

දැන් ජනාධිපතිවරයාට හිස නමන ශ්‍රේෂ්ඨාධිකරණයක් එරට පවතින බව පැහැදිලි බවත්, එයින් එරට ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් කෙරෙන බවත් මාධ්‍ය සඳහන් කරයි.

[එස්. නන්දලාල්]

මාතෘකා