මිහිකතට සෙවණ දෙනු පිණිස තනිව රුක් රෝපණය කළ මිනිස්සු

 ඡායාරූපය:

මිහිකතට සෙවණ දෙනු පිණිස තනිව රුක් රෝපණය කළ මිනිස්සු

වයස අවුරුදු 14 ක කොලු ගැටයෙකුට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම ඇමතීමට අවස්ථාවක් හිමි වීම අතිශය විරල කරුණක්. නමුත් අන්තර්ජාතික වනාන්තර වර්ෂය ලෙස නම් කරන ලද 2011 දී ජර්මානු ජාතික ෆීලික්ස් ෆින්ක්බයිනර් එක්සත් ජාතීන්ගේ වේදිකාවට ගොඩ වුණේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉහළ යන ගෝලීය උණුසුම සහ එහි අහිතකර බලපෑම ගැන ලෝක ප්‍රජාව දැනුවත් කිරීම සඳහා යි. ඒ වන විට ද හරිත පැහැ ලොවක් ගොඩ නැගීමේ අරමුණ ඇති ව ඔහු ‘Plant-for-the-planet’ නමින් සංකල්පයක් ඉදිරිපත් කර තිබුණා. එවැනි කාර්යයක් සඳහා ඔහු යොමු වී ඇත්තේ ගෝලීය උණුසුම ඉහළ යාමෙන් ඇති වන බලපෑම පිළිබඳ ව වාර්තාවක් ඉදිරිපත් කරන ලද ඔහුගේ පාසල් ගුරුතුමිය නියම කිරීම හේතුවෙන්.

මේ වන විට 20 හැවිරිදි වියේ පසු වන ෆීලික්ස්, එක්සත් ජාතීන්ගේ සංගමය හා එක් ව රුක් රෝපණය කිරීමේ වැඩ පිළිවෙළක් පවත්වාගෙන යන අතර ඔහුගේ බලාපොරොත්තුව වන්නේ ට්‍රිලියනයක් පැළ (දළ වශයෙන් එක් පුද්ගලයෙකු වෙනුවෙන් පැළ 150 ක් පමණ) සිටුවීම යි. 1997 ඔක්තෝබර් 8 වැනි දින මියුනිච් නුවර දී උපත ලබා ඇති ඔහු මේ වන විට ‘Plant-for-the-planet’ සංවිධානයේ මුල් පුටුව හොබවන අතර එහි වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මේ වන විට ඔවුන් සිටුවා ඇති පැළ සංඛ්‍යාව

උතුරු ඉන්දියාවේ පිහිටි මාජුලී දූපත සැලකෙන්නේ ලොව විශාලතම මිරිදිය දිවයින (river island්) ලෙස යි. බ්‍රහ්මපුත්‍ර​ නදිය මධ්‍යයේ පිහිටා ඇති එය අතීතයේ දී වර්ග කිලෝමීටර් 1,100 ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී තිබුණ ද මේ වන විට එය වර්ග කිලෝමීටර් 352 ක බිම් කඩකට සීමා වී තිබෙනවා. එයට හේතු වී ඇත්තේ 1917 වර්ෂයේ පමණ සිට මාජුලී දූපතට මුහුණ දීමට සිදු වී ඇති පාංශු ඛාදන තත්ත්වය යි.

පාංශු ඛාදනයට පිළියමක් ලෙස 1979 වර්ෂයේ සිට මාජුලී දූපත ගසින් පුරවන්නට ‘ඉන්දියාවේ වනාන්තර මිනිසා’ ලෙස විරුදාවලිය ලත් ජාදව් පේයෙන් නම් පරිසරවේදියා කටයුතු කරනවා. ඔහු විසින් සිදු කරන ලද සේවය අගය කරමින් ඉන්දියානු රජය විසින් 2015 දී ඔහුට ‘පද්ම ශ්‍රී’ සම්මාන පිරි නමා ඇති අතර ඔහුට හිමි වන සියලු මුදල් ත්‍යාග ඔහු විසින් වැඩි වැඩියෙන් ඉඩම් මිල දී ගෙන ඒවායේ රුක් රෝපණය කිරීම සඳහා වියදම් කරන බව යි වාර්තා වන්නේ.

වර්ග කිලෝමීටර් 1,572 භූමි ප්‍රදේශයක් ආවරණය කරන ලන්ඩන් නුවර, ඉහළ ජෛව විවිධත්වයක් පවතින නගරයක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. බර්ච්, ඇපල්, ඕක්, සිකමෝ සහ හෝතෝන් වැනි විශේෂයන්ට අයත් සුවිසල් ශාක මිලියන 8.4 ක් පමණ ලන්ඩන් නුවර දී දැක ගැනීමට ලැබෙන අතර සමස්ත නගරයෙන් 47% ප්‍රමාණයක් වෙන් වී ඇත්තේ රුක් ලතා වෙනුවෙන්. එසේ ම ලන්ඩන් නුවර උමං මාර්ග පද්ධතිය ආශ්‍රිත ව පරිණාමය වූ Culex molestus වැනි නව මදුරු විශේෂ පවා දැක ගත හැකි යි.

ලන්ඩන් නුවර උපන් ඡායාරූප ශිල්පියෙකු වන ඩැනියෙල් රේවන්-එලිසන් සඳහන් කරන්නේ අනෙක් නගර හා සැසඳීමේ ඉහළ ජෛව විවිධත්වයක් පෙන්නුම් කරන ලන්ඩනය, ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කළ යුතු බව යි. ලෝක ජනගහනයෙක් අඩකට වැඩි ප්‍රමාණයක් නගරාශ්‍රිත ව වාසය කරන විට ‘නාගරික ස්වභාව ධර්මය’ (urban nature) යන සංකල්පය කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.වොෂිංටන් අගනුවරට චෙරි මල් රැගෙන ආ ඩේවිඩ්

වසන්ත කාලයේ දී වොෂිංටන්, ඩී. සී. අගනුවර මැද පිහිටි ‘Tidal Basin’ වැව රවුම සම්පූර්ණයෙන් ම රෝස පැහැ චෙරි මලින් වැසී යනවා. සකුරා මලින් බර වූ ජපානයේ සුන්දරත්වයෙන් වසඟ වූ ඩේවිඩ් ෆෙයාචයිල්ඩ්, මේරිලන්ඩහි පිහිටි ඔහුගේ නිවසේ සිටුවීම සඳහා ජපන් චෙරි පැළ රාශියක් ඇමෙරිකාවට රැගෙන ආ බව සඳහන්. 1900 දශකයේ මුල් භාගයේ දී ඇමෙරිකානු රජය වෙනුවෙන් ආහාර ගවේෂකයෙකු ලෙස කටයුතු කළ ඩේවිඩ්, චෙරි ගස් පමණක් නොව පීච්, අලිගැටපේර සහ අඹ වැනි නිවර්තන පලතුරු වර්ග රැසක් බටහිර රටවලට හඳුන්වා දුන් අයෙක්.

පසු කාලීන ව ජපානය සමග පැවති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමේ අරමුණෙන් ‘Tidal Basin’ වැව රවුම වටා චෙරි ගස් සිටුවීමට සහ කොන්ග්‍රස් මණ්ඩලය තීරණය කරන ලද අතර වොෂිංටන්, ඩී. සී. අගනුවර අලංකාර කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස එය අරඹා ඇත්තේ ඩේවිඩ් ෆෙයාචයිල්ඩ්ගේ මග පෙන්වීම යටතේ යි. වැඩසටහනේ මුල් අදියර ලෙස වැව රවුම වටා චෙරි ගස් 2,000 ක් සිටුවා ඇති බව සඳහන් වෙනවා.

මෙම ලිපියේ අයිතිය 'Roar සිංහල' වෙබ් අඩවිය සතුයි

[ධරණී වීරසිංහ]

 

 

මාතෘකා