නිව්යෝක් නීතිපති සහ කාන්තා හිංසනය

 ඡායාරූපය:

නිව්යෝක් නීතිපති සහ කාන්තා හිංසනය

ශ්‍රී ලාංකීය සම්භාවයක් සහිත කාන්තාවක් ඇතුළු කාන්තාවන් හතර දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද අපචාර චෝදනා මුල්කර ගනිමින් 'නිව්යෝර්ක්' ප්‍රාන්තයේ නීතිපතිවරයාට පදවියෙන් ඉල්ලා අස් වීමට පසුගිය දිනෙක සිදු විය.

හැට තුන් හැවිදිරි එරික් ෂ්නයිඩර්මෑන් විවිධ අවස්ථාවල තමන්ට පහර දුන් බවට අදාළ කාන්තාවන් හතරදෙනා විසින් කරනු ලබන චෝදනා 'ද නිව් යෝකර්' සඟරාව මගින් වාර්තා කරනු ලැබ ඇත.

ඔවුන්ගෙන් දෙදෙනෙකු තමන් නීතිපතිවරයාගේ පැරණි පෙම්වතියන් ලෙසත් හඳුන්වා දී තිබුණි.

ඔවුන් අතර සිටින එක් කාන්තාවක් වන ටාන්යා සෙල්වරත්නම්, නීතිපති එරික් ෂ්නයිඩර්මෑන් විසින් තමාට සිදු කරන ලද හිරිහැර පිළිබඳව මාධ්‍ය හමුවේ දීර්ඝ වශයෙන් විස්තර කර ඇත.

ටාන්යා සෙල්වරත්නම් ලේඛිකාවක් සහ නිළියක්‌ වන්නීය.

නීතිපති එරික් ෂ්නයිඩර්මෑන්, ලිංගික හිංසනයට විරුද්ධ #MeToo හැෂ්ටැගය යටතේ ලෝකය පුරා දියත් වුණ ජනතා ව්‍යාපාරවල ආධාරකරුවකු ලෙස මෙන්ම, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එදිරිවාදියෙකු ලෙසත් ප්‍රසිද්ධියක් දරයි.

තමාට එල්ල කෙරෙන චෝදනාවලට එරෙහිව දැඩිව සටන් වදින බවත් ඉල්ලා අස් වූ නීතිපතිවරයා පවසයි.

"පෞද්ගලික සම්බන්ධතාවල දී මගේ භූමිකාව ඉටු කළා වගේම, ලිංගිකව එක් වුණේ ඔවුන්ගේ කැමැත්ත ඇතුව. මම කාටවත් පහර දී නැහැ. මම කිසි දිනක ඔවුන්ගේ අකමැත්තෙන් ලිංගිකව එක් වෙලා නැහැ. එය මම ඉක්මවා නොයන සීමාවක්" එරික් ෂ්නයිඩර්මෑන් විසින් කරන ලද ප්‍රකාශයේ දැක්වෙයි.

"මේ චෝදනා මගේ වෘත්තීය ජීවිතයට සහ රැකියා ස්ථානයේ ක්‍රියාකාරකම්වලට බලපාන්නේ නැති වුවත්, මෙවැනි අර්බුදකාරී තත්වයක් මත රැකියාවේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑම අපහසුයි" සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරන නිව්යෝක් නීතිපතිවරයා සඳහන් කළේය.

2010 වර්ෂයේදී නිව්යෝර්ක් ප්‍රාන්තයේ නීතිපති පදවියට පත් එරික් ෂ්නයිඩර්මෑන් නැවත වතාවක් එම තනතුරට පත් වීම සඳහා මෙම වසරේ පැවැත්වෙන ඡන්දයට ඉදිරිපත් වීමට නියමිතව තිබිණි.

නීතිපතිවරයා සම්බන්ධයෙන් පළ වෙමින් පැවති වාර්තා සැලකිල්ලට ගත් නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ කුඕමෝ පදවියෙන් ඉවත් වෙන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇත.

"නිව්යෝක්හි ප්‍රධාන නීති නිලධාරියාත් ඇතුළුව කිසිම පුද්ගලයෙක් නීතියට ඉහළින් නැහැ. එරික්ට තවදුරටත් නීතිපති ලෙස කටයුතු කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ" නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෘ කුඕමෝ පවසයි.

එරික් සමග සම්බන්ධතාවක් පවත්වා ඇති 'ටාන්යා' ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවකි. දෙදෙනා අතර සම්බන්ධය නතර කර දැමුවහොත්, ඇය පසුපස පැමිණෙන බවටත්, දුරකථන සංවාදවලට රහසේ සවන් දෙන බවට මෙන්ම ඇය මරා දමන බවටත් එරික් තර්ජනය කළ බව ටාන්යා පවසයි.

එරික් එක් අවස්ථාවක දී "දුඹුරු වහලිය" ලෙස තමන් ඇමතූ බව ටාන්යා පවසන්නීය.

"සමහර වෙලාවට එයාට 'හාම්පුතා ' කියල අමතන්න කියනවා. මම එහෙම කියන තෙක් ඔහු මගේ කම්මුලට ගහනවා " ඇය තවදුරටත් සඳහන් කළාය.

එරික් ෂ්නයිඩර්මෑන් එකී සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

එරික්ගේ හැසිරීමට එකඟ නොවන අවස්ථාවල දී ඔහු බලය යොදා ගනිමින් තමාට කම්මුල් පහර එල්ල කළ බව ප්‍රසිද්ධ නීතීඥවරියක වන තවත් පෙම්වතියක් සඳහන් කළාය.

මේ අතර එරික්ගේ දික්කසාද වූ බිරිඳ පසුගිය සඳුදා ප්‍රකාශයක් කරමින් "ස්වාමිපුරුෂයකු , පියකු සහ යහළුවකු ලෙස මම අවුරුදු තිස් පහකට ආසන්න කාලයක් එරික් හඳුනනවා... ඔය කියන චෝදනා ඇත්තයි කියල මට පිළිගන්න බැහැ" යනුවෙන් කියා ඇත.

සේවා ස්ථානයේ දී, මහමග දී, පොදු ප්‍රවාහන සේවාවල දී සහ ඇතැම්විට සිය නිවසේදීම ලිංගික හිංසනයට ලක්වීම ලොව පුරා විවිධ රටවල වෙසෙන කාන්තාවෝ දිනපතාම මුහුණ දෙන ඉතා කටුක අත්දැකීමකි.

වචනයෙන්, අභිනයෙන් සහ ශාරීරිකව ලිංගික හිංසනවලට ගොදුරු වෙන්නේ දිළිඳු, නොදියුණු හෝ නූගත් සමාජවල වෙසෙන අනාරක්ෂිත කාන්තාවන් පමණක් නොවේ; සංවර්ධිත රටවල වෙසෙන සහ ප්‍රසිද්ධ සහ ඉහළ තනතුරු දරන කාන්තාවෝ ද බොහෝ විට එවැනි හිරිහැරවලට ලක්වෙති.

ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිංසන මාලාවක් පිළිබඳව හොලිවුඩ් පුරවරයේ බලගතු නිෂ්පාදකවරයෙකු වන හාවි වයින්ස්ටීන්ට එරෙහිව එල්ලවූ බරපතල චෝදනා මූලික කරගනිමින් හොලිවුඩයේ ආරම්භ වූ #MeToo ව්‍යාපාරය හරහා ලොව පුරා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත කාන්තාවෝ සිය කටුක අත්දැකීම් හෙළිකරමින් සිටිති.

බ්‍රිතාන්‍යයේ ද පොදු ප්‍රවාහන සේවාවලදී තරුණියන් ලිංගික අතවරවලට ලක්වීම ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බව පසුගියදා අනාවරණය කෙරිණ.

ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ඡායාරූප ශිල්පිනී එලීසා හැච් මහමග දී කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන සහ අත්දැකීම් වාර්තාකරණයේ යෙදෙන්නීය.

එවැනි අත්දැකීම් සහිත කාන්තාවන් සිය කැමරා කාචයට හසු කර ගනිමින් 'cheer up luv' නමැති ඡායාරූප මාධ්‍යකරණය හා සම්බන්ධ ප්‍රබල ව්‍යාපෘතිය දියත් කරන්නීය.

මෙ වනවිට එරික් ෂ්නයිඩර්මෑන් සිය තනතුරින් ඉල්ලා අස් වී ඇත්ත, තමන්ට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරමින් ඇත. එමෙන්ම මීට පෙර ඔහුට එරෙහිව මෙවැනි චෝදනා එල්ල වී ඇතැයිද වාර්තා වී නොමැති අතර එම පෙම්වතියන් සමඟ ලිංගික සම්බන්ධතා ඔවුන්ගේ කැමැත්ත මත පැවති බවත්, නමුත් ඔවුන් ප්‍රකාශ කරන ආකාරයේ කීසිම පහර දීමක් සිදු නොකළ බවත් ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරමින්ද සිටී. එමෙන්ම ඔහුට එරෙහිව නැඟෙන චෝදනාවලට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සම්බන්ධ බවටද මත පළ වෙමින් පවතී.

මේ වාතාවරණය තුළ චෝදනාවල ඔහු වැරදිකරුද නැද්ද යන්න තවමත් විසඳී නොමැති ගැටලුවකි. නමුත් වර්තමාන ආසියානු සහ යුරෝපියානු අධි ශිෂ්ට යැයි සම්මත සමාජය තුළ පිටුදැකිය යුතු බරපතළ හිංසනයක් දක්වා මෙම තත්ත්වය වර්ධනය වී ඇති බව ඔප්පු කිරීමට නම් එරික් ෂ්නයිඩර්මෑන් පිළිබඳ සිද්ධිය අවශ්‍යම වන්නේද නැත.

[ මංජුල සමරසේකර]

මාතෘකා