බොහෝ ඉන්දියානුවන්ට වඩා මගේ අම්මා ඉන්දියානුවෙක්

 ඡායාරූපය:

බොහෝ ඉන්දියානුවන්ට වඩා මගේ අම්මා ඉන්දියානුවෙක්

- රාහුල් ගාන්ධි කියයි -

කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයේ අවසන් දිනයේදී පැවති රැස්වීමක් අමතමින් ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි, සිය මව බව සෝනියා ගාන්ධි ඉන්දියාවේ ජීවත් වෙන බොහෝ දෙනාට වඩා ඉන්දියානුවෙක් බව ප්‍රකාශ කර ඇත.

පසුගිය දිනක මැතිවරණ ප්‍රචාරක රැළි අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සෝනියා ගාන්ධිගේ විදෙස් ජාතිකත්වය අළලා විවේචන කිරීම රාහුල්ගේ මෙම ප්‍රකාශයට හේතු වී ඇත.

ඇමරිකානු සිරකරුවන්ට උතුරු කොරියාවෙන් නිදහස

උතුරු කොරියාව විසින් නිදහස් කළ ඇමෙරිකානු සිරකරුවන් තිදෙනා ඊයේ (10 දා) යලි ඇමරිකාවට පැමිණ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යළි සිය රට පැමිණී සිරකරුවන් පිළිගැනීමට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ශාන්ත ඇන්ඩෘස් ගුවන් හමුදා ගුවන් තොටුපොළ පැමිණ ඇති බවයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕගේ උතුරු කොරියානු සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සිරකරුවන් නිදහස් කිරීම සිදු වූ අතර ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනපති කිම් ජොන්-උන් අතර සාකච්ඡාවක් නුදුරේදීම පැවැත්වීමට නියමිතය. එම හමුව සිංගප්පූරුවේදී සිදුවනු ඇති බවට වාර්තා පළ වී ඇත.

මැලේසියාවේ පාලන බලය මහතීර් මොහොමඩ්ට

මැලේසියාවේ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට එරට විපක්ෂ සන්ධානය හැකි විය.

ඒ අනුව මැලේසියාවේ පාලන බලය නැවතත් තමන් යටතට ගැනීමට ආචාර්ය මහතීර් මොහොමඩ් සමත් වී තිබේ.

මැලේසියානු පාර්ලිමේන්තුවේ ආසන 222න් ආසන 113ක් මහතීර් මොහොමඩ් නායකත්වය දැරූ විපක්ෂ සන්ධානය විසින් ජයග්‍රහණය කර ඇති අතර පාලක සන්ධානයට දිනාගැනීමට හැකි වුයේ ආසන 79ක් පමණි.

මැලේසියාවේ අග්‍රාමාත්‍යධුරය වැඩිම කාලයක් (වසර 22ක්) දැරූ අග්‍රාමාත්‍යවරයා වන 92 හැවිරිදි මහතීර් ගේ ජයග්‍රහණය ඓතිහාසික එකක් වන්නේ ඔහු ලොව ඡන්දයකින් පත් වූ වයස්ගතම නායකයා බවට පත් වෙමිනි.

ඊශ්‍රායලයෙන් සිරියාවට දැවැන්ත පිළිතුරක්

පසුගියදා ගෝලාන් කඳුකරය වෙත ඉරානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස සිරියාවට දැවැන්ත රොකට් ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට ඊශ්‍රායලය කටයුතු කර තිබේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශයට අනුව ඊශ්‍රායල ජෙට් යානා 28කින් රොකට් ප්‍රහාර 60ක් පමණ මෙලෙස එල්ල කර තිබේ.

මෙම ප්‍රහාරය හේතුවෙන් සිරියාවේ ක්‍රියාත්මක ඉරාන ආයුද ගබඩා, මෙහෙයුම් මැදිරි මෙන්ම බුද්ධි තොරතුරු මධ්‍යස්ථාන රැසකට ද හානි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ නමුත්, තහවුරු නොකළ වාර්තා පවසන්නේ ඊශ්‍රායලයේ ඇතැම් ප්‍රහාර ඔවුන්ගේම ආරක්ෂක ඉලක්ක වෙත ද එල්ල වී ඇති බවයි.

මාතෘකා