ලොව සෙලවුණ රාත්‍රිය​

 ඡායාරූපය:

ලොව සෙලවුණ රාත්‍රිය​

මැලේසියාවේ "ද ස්ටාර්" පුවත්පත වෙනුවෙන් ලිපියක් ලියන ජොසෙලින් ටෑන් මැයි 9 වනදා රාත්‍රිය පිළිබඳ සඳහන් කරන්නේ "ලොව සෙලවුණ රාත්‍රිය​" යනුවෙනි. මැලේසියානු පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල එකින් එක නිකුත් වන්නට වූ එම රාත්‍රිය ගෙවී යද්දී වසර 61 ක් මැලේසියාව පාලනය කළ එක්සත් මැලේ ජාතික සන්ධානය ප්‍රමුඛ වන බරිසාන් නැෂනාල් සන්ධානය පරාජය වන බව පැහැදිලි විය​. ආසන 222 න් 180 ක පමණ ප්‍රතිඵල නිකුත් වෙද්දී බරිසාන් සන්ධානයට බහුතරයක් කිසි ලෙසකින් හෝ හිමි නොවන බව පැහැදිලි වූ අතර ඒ වනවිට තිබුණු ප්‍රශ්නය නම් විපක්ෂ පකටාන් හරපාන් සන්ධානය තනිව බහුතරයක් දිනාගනීද යන්නයි.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී අවසන් වෙද්දී බරිසාන් නැෂනාල් සන්ධානය ආසන 79 ක් ලබාගෙන තිබුණ අතර පකටාන් හරපාන් සන්ධානයට ආසන 113 ක් හිමි වී තිබුණි. තව ද පකටාන් හරපාන් සන්ධානයට සහය දෙන වරිසාන් නම් වූ ප්‍රාදේශීය පක්ෂය ආසන 8 ක් දිනාගෙන තිබුණි. මේ අනුව මැලේසියාවේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට අවශ්‍ය වූ ආසන 112 කඩ ඉම පකටාන් හරපාන් සන්ධානය ළඟා කරගත්තේ ය​.

අනපේක්ෂිත ජය​

හිටපු අගමැති මහතීර් මොහොමඩ්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ පකටාන් හරපාන් සන්ධානය මෙම මැතිවරණයේදී බරිසාන් නැෂනාල් සන්ධානයට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බව අනාවැකි පළ වී තිබුණි. කෙසේ නමුත්, අප මෙම තීරයෙන් පසුගිය සතියේ ද ප්‍රකාශ කළ පරිදි, බරිසාන් නැෂනාල් සන්ධානයට බහුතර ආසන ප්‍රමාණයක් නොලැබේ යයි සිතීම අසීරු විය​. ඊට හේතු වූයේ එක් අතකින් රටේ සීමා නිර්ණය කිරීම බරිසාන් පාර්ශ්වයට වාසිදායක ලෙස සිදු වී තිබීමත්, තුන්වන පක්ෂයක් ලෙස සර්ව මැලේසියානු ඉස්ලාමික පක්ෂය මතු වීමත් ය​.

මේ සඳහා නිතැතින් ම උදාහරණ ලෙස ගැනෙනුයේ 2013 මැලේසියානු පාර්ලිමේන්තු මැතිවරණය ය​. එහිදී එවකට විපක්ෂ සන්ධානය සියයට 50.87 ක ඡන්ද ප්‍රතිශතයක් සමඟ ලබාගත්තේ ආසන 89 කි. බරිසාන් නැෂනාල් සන්ධානය ආසන 133 ක් දිනාගත්තේ ය​.

මෙවර 2013 මෙන් සිදු නොවීමට බලපෑ ප්‍රධාන සාධක දෙක ලෙස ගිණිය හැක්කේ 2015 පටන් නජීබ් රසාක් වෙත එල්ල වන “වන් මැලේසියා ඩිවෙලොප්මන්ට් බර්හාර්ඩ්” (1MDB) අරමුදල පිළිබඳ දූෂණ චෝදනාව සහ මහතීර් මොහොමඩ්ගේ පුනරාගමනය ය​.

මැලේසියාව යාබද සිංගප්පූරුවෙන් වෙනස් වන ප්‍රධාන කරුණක් නම් දූෂණ සහ අක්‍රමිකතා ය. මැලේසියාවේ මහතීර් මොහොමඩ් පවා එය පාලනය කළේ නැත. මැලේසියාවේ මුදල් අක්‍රමිකතා සහ ඥාති සංග්‍රහය කවදත් පැවතුණි.

නමුත් නජීබ් රසාක් යටතේ මෙය කවදාවත් නොවූ තැනකට ගියේ ය. රජයේ ආයෝජන අරමුදලක් ලෙස බිහි වූ වන් මැලේසියා බර්හාර්ඩ් අරමුදල පාඩු ලබන්නට වූ අතර ඊට එක් හේතුවක් ලෙස චෝදනා නැගුණේ නජීබ්, එහි මුදල් සිය පුද්ගලික ගිණුමට බැර කර ගැනීමයි.

බොහෝ මැලේසියානුවන්ට 1MDB ගනුදෙනුව පිළිබඳ සියුම් කරුණු නොතේරුණ නමුත් ඉතිහාසයේ කවදාවත් නොවූ තරම් දැවැන්ත අක්‍රමිකතාවක් සිදු ව ඇති බව වැටහුණි.

මහතීර් කරලියට පැමිණ සිදු කළේ නජීබ් කෙතරම් දූෂිතයකු ද යන්න ජනතාවගේ හිතට කාවදින අයුරින් ප්‍රකාශ කිරීමයි. රටේ ආර්ථික අපහසුතාවලට වග කිව යුත්තේ ද, තමන්ට බදු ගසමින් සැප සේ ජීවත් වන්නේ ද, නජීබ් බව ජනතාවට කෙමෙන් ඒත්තු ගැන්විණ.

ඡන්ද දිනය වනවිට බොහෝ මැලේ ජාතිකයින් සිටියේ කුමක් කරන්නේද යන්න සිතමිනි. අවසානයේදී ඔවුහු මහතීර් කෙරේ විශ්වාසය තැබූ හ.

ශ්‍රී ලංකාවේ ද මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී රජය විවිධ ආකාරයෙන් පැහැදිලි කිරීම් කළ ද එය හරිහැටි පහදා දීමට නොහැකි වූ අයුරින් ම නජීබ් ද වන් මැලේසියා බර්හාර්ඩ් සිද්ධියේ දී අපහසුතාවට පත් වූයේ ය​. නජීබ් එහිදී රජය තුළින් ම මතු වූ විරෝධතාවලට පවා ලක් විය​. එහිදී ඔහු කළේ මැලේසියාවේ තිබෙන නීති සහ පාර්ලිමේන්තු බලය භාවිතා කොට මේ පිළිබඳ කතිකාවත මැඩලීම ය​. කෙසේ නමුත් මහතීර් එම අවස්ථාව මනාව රජයට පහර ගැසීම සඳහා මනාව යොදා ගත්තේ ය​.

ඉදිරිය

මහතීර් යටතේ මැලේසියාව කිනම් මාර්ගයක් ගනී ද යන්න කීමට තවමත් කල් වැඩිය​. ඔහු නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කරන බව ද ප්‍රකාශ කර තිබේ. දූෂණයෙන් රට ගලවා ගන්නා බව ද ප්‍රකාශ කර තිබේ. නමුත් 1981-2003 සමයේ ඔහුගේ පාලන කාළය තුළ අධිකරණයට ඇඟිලි ගැසීම සහ දූෂණ සඳහා අනුබල දීම පිළිබඳ මහතීර් ද වරදකරුවෙකි. එවන් තත්ත්වයක් යටතේ ඒවා නිවැරදි කරන බව ප්‍රකාශ කරමින් බලයට පත් වීම එක්තරා ආකාරයක දෛවයේ සරදමකි.

කෙසේ නමුත් මේ අවස්ථාවේ මහතීර් වටා සිටිනුයේ කලින් වතාවේ ඔහු අගමැති ධුරය දැරූ සමයේ මෙන් වූ තනි ප්‍රබල පක්ෂයක් නොව සන්ධානයකි. ඒ අනුව ඔහුට අවැසි අවැසි ආකාරයෙන් කටයුතු කිරීමට මහතීර්ට අපහසු වනු ඇත​. පෙර මෙන් නොව තම සන්ධානය පවත්වාගෙන යාමේ අභියෝගය ඔහුට ඇත්තේ ය​.

අනෙක් අතට බරිසාන් නැෂනාල් සන්ධානයෙන් ඉවත් ව පැමිණි අය හැරුණ කල​, මහතීර් සමඟ සිටින්නේ ජාතික තලයේ බලයක් දැරූ අය නොවේ. එහෙයින් මීළඟ වසර පහක කාලය තුළ රටේ ආර්ථික සහ පරිපාලන කටයුතු කෙරෙහි මෙම කරුණ ද බලපෑමක් කළ හැක​.​

සිංගප්පූරුවෙත් වෙනසක්?

මැලේසියාවේ සිදු වූ පෙරළිය පිළිබඳ නෙත් යොමා සිටින එක් රටක් වනු ඇත්තේ සිංගප්පූරුවයි. එරට වසර 60 ක් තිස්සේ එකම පක්ෂයේ පාලනය යටතේ පවතී. මෙම පක්ෂය එරට රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රමවත් ලෙස සකසා ඇත්තේ ය​. එහෙයින් එම පාලනය පිළිබඳ විවේචන තිබුණ ද සිංගප්පූරු වැසියෝ විපක්ෂයට ඡන්දය දීමට පෙර, තම ජීවන තත්ත්වයට නව පාලනයක් යටතේ කුමක් වේද යන්න කිහිප විටක් සිතති.

යම් හෙයකින් මැලේසියාවේ වෙනස තුලින් මතුවන රජය සාර්ථක ලෙස මීළඟ වසර පහ කළමණාකරණය කලහොත් සිංගප්පූරුවේ විපක්ෂ කණ්ඩායම් එය ආදර්ශයට ගැනීමේ ඉඩක් නැතිවා නොවේ.

බොහෝ විට මහතීර් මොහොමඩ් සිය හිටපු නියෝජ්‍ය අගමැති අන්වර් ඊබ්‍රහීම් වෙත යම් අවස්ථාවකදී බලය පවරනු ඇත​. නමුත් එතෙක් මැලේසියාව පාලනය කරනු ඇත්තේ අලුත් තත්ත්වයන් යටතේ බලයට පත් වූ හිටපු අගමැති මහතීර් මොහොමඩ් ය​. ලොව වයස්ගත ම නායකයා සිය රට පාලනය කරන අයුරු ලොව ම බලා සිටිනු ඇත​.

[චාමර සුමනපාල]