මහතීර් මැලේසියාව දිනයි ද​?

 ඡායාරූපය:

මහතීර් මැලේසියාව දිනයි ද​?

මැයි 9 වනදා පවත්වනු ලබන මැලේසියානු මහ මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු මේ දිනවල සිදු වේ. පාලක බරිසාන් නැෂනාල් සන්ධානයේ නායක සහ මැලේසියානු අගමැති නජීබ් රසාක් මෙම මැතිවරණයේදී ප්‍රබල අභියෝගයකට මුහුණ දී ඇත​. ඒ මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් විපක්ෂ සන්ධානය වන පකටාන් හරපාන් (බලාපොරොත්තුවේ සම්මුතිය​) සන්ධානය සඳහා නායකත්වය දෙන බැවිනි.

ජීවන වියදම ඉහළ යාම සහ දූෂණ චෝදනා හේතුවෙන් නජීබ් රසාක් පිළිබඳ ජනතා ප්‍රසාදය අඩු වී තිබීම හේතුවෙන් මෙවර බරිසාන් නැෂනල් පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය සැලකිය යුතු පමණකින් අඩු වනු ඇතැයි අනාවැකි පළ වී ඇත​. සමීක්ෂණ ආයතනයක් වන මර්ඩෙකා මධ්‍යස්ථානය විසින් පළ කළ වාර්තාවට අනුව බරිසාන් නැෂනල් සන්ධානය සියයට 40.3 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇතැයි අපේක්ෂිත ය. මේ අතර පකටාන් හරපාන් සන්ධානය සියයට 43.7 ක් වැනි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇතැයි අනාවැකි පළවී ඇත​.

කෙසේ නමුත් මැලේසියාවේ ආසන බෙදී ඇති අන්දම සැලකීමේදී රජයට වාසි ප්‍රදේශවල ඡන්ද සංඛ්‍යාව කුඩා වන පරිදි ආසන බෙදී ඇති අතර එහෙයින් නජීබ්ගේ සන්ධානය මෙවර ද මැතිවරණය ජය ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2013 මහ මැතිවරණයේදී සියයට 47.3 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් බරිසාන් නැෂනල් සන්ධානය ආසන 133 ක් දිනා ගනිද්දී සියයට 50 ක් යන්තමින් ඉක්මවූ විපක්ෂ සන්ධානය ආසන 89 ක් පමණක් දිනා ගත්තේ ය​.

එමෙන් ම 2013 දී පැවති තත්ත්වයට වඩා වෙනස්, එමෙන්ම අවාසි සහගත තත්ත්වයකට විපක්ෂය මුහුණ දී සිටියි. එවකට විපක්ෂ සන්ධානයට අයත් වූ සර්ව​-මැලේසියානු ඉස්ලාමීය පක්ෂය (PAS) මෙවර වෙනම‍ තරඟ කරයි. එහෙයින් ආසන 150 ක පමණ තුන්කොන් සටන් ඇතිවීමේ ඉඩක් ඇතිව තිබේ. සර්ව​-මැලේසියානු ඉස්ලාමීය පක්ෂය වලංගු ඡන්දවලින් සියයට 16 ක පමණ ප්‍රතිශතයක් ලබාගනු ඇතැයි යටකී සමීක්ෂණ වාර්තාව අනාවැකි පළ කරයි.

දූෂණ චෝදනා

රටේ බහුතර මැලේ ජාතිකයන් අතර මහතීර් මොහොමඩ්ගේ සන්ධානයේ ජනප්‍රියත්වය ඉහළ ගොස් තිබෙන බවක් පෙන්නුම් කළ ද බරිසාන් නැෂනල් සන්ධානයට මැලේ ජාතිකයන් අතර ඇති ජනප්‍රියත්වයට එයින් දරුණු බලපෑමක් ඇති වූ බවක් පෙන්නුම් නොකෙරේ. එයින් වැඩිම හානියක් සිදු වී ඇත්තේ ඉස්ලාමික පක්ෂයට ය​. මෙම හේතුව නිසා, තුන්කොන් සටන්වලදී බරිසාන් නැෂනල් පක්ෂයට වැඩි වාසියක් සැලසීමේ ඉඩක් පවතී.

රජයට එරෙහිව එල්ල වන ප්‍රධාන දූෂණ චෝදනාව වන්නේ “වන් මැලේසියා ඩිවෙලොප්මන්ට් බර්හාර්ඩ්” (1Malaysia Development Berhard - 1MDB) නම්වූ අරමුදලට අයත් මැලේසියානු රිංගිට් බිලියන දෙකහමාරකට අධික මුදලක් නජීබ් රසාක්ගේ පුද්ගලික ගිණුමකට බැර කර ඇති බව ය​. රසාක්ගේ ක්‍රියාකලාපයන් හිටපු බරිසාන් නැෂනල් නායකයකු ද වන මහතීර් මොහොමඩ්ගේ අප්‍රසාදයට හේතු විය​. විශ්‍රාම ගෙන සිටි 92 හැවිරිදි මහතීර් යළි දේශපාලනයට පැමිණියේ එම පසුබිමේ ය​. ඔහු හා රසාක් අතර විරසකය කෙතරම් ද යත් මෙම සටන පුද්ගලික මට්ටමේ සටනක් බවට ප්‍රකාශ කරන තැනට මහතීර් ද පත්ව තිබේ.

බ්‍රිතාන්‍යයේ "ද ගාර්ඩියන්" පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකදී මහතීර් කියා සිටියේ තමන් විශ්‍රාම සුවයෙන් කල් ගත කළ ද ජනතාව තමන්ට යළි දේශපාලනයට එන ලෙස ආරාධනා කළ බවයි. ඊට ප්‍රධාන හේතුව නජීබ් රසාක් පාලනයේ දූෂිත බව යයි ඔහු කියා සිටියේ ය​. තමන් එම පාලනය පෙරළා දැමීම සඳහා හැකි සියල්ලම කරන බව ඔහු කියා සිටියේය​.

නජීබ් රසාක් බිලියන ගණනින් මුදල් ගසා කෑ බවත් එයින් ඔහු විවිධ පුද්ගලයින් මුදලට බිලී බාගෙන තම ආරක්ෂාව සලසා ගන්නා බවත් මහතීර් කියා සිටියේ ය​. මේ අතර විවිධ නීති පනවමින් ඔහුගේ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව ප්‍රකාශ කිරීම පවා නජීබ් විසින් තහනම් කරන බවත් මහතීර් වැඩිදුරටත් කියා සිටියේ ය​. මුදල් තිබේ ඕනෑ දෙයක් කළ හැකි යයි නජීබ් තමන් සමඟම වහසි බස් දෙඩූ බව මහතීර් චෝදනා කරයි.

නජීබ් පාර්ශ්වයෙන් එල්ලවන ප්‍රතිචෝදනාව වන්නේ මහතීර්ගේ 22 අවුරුදු පාලන සමයේදී ද ඇති තරම් දූෂණ සහ අක්‍රමිකතා සිදු වූ බවත් ඒ පිළිබඳ දැන් මහතීර්ට මතකයක් නොමැති යයි දිස්වන බවත් ය​. තමන් ගේ පාලන සමයේදී ද දූෂණ සිදු වූ බව මහතීර් පිළිගන්නා නමුත් මෙතරම් බරපතළ දූෂණ කිසිසේත් ම සිදු නොවූයේ යයි ද කියා සිටියි.

මෙහි ඇති දෛවෝපගත සිද්ධිය නම් නජීබ් යනු මහතීර්ගේ ආධාරයෙන් ගොඩ නැගුණ දේශපාලන චරිතයක් වීමයි. එනම් මහතීර්ගේ පාලන සමයේදී ද ඔහු රජය තුළ සිටි අයකු වූයේ ය​.

මහතීර්ගේ මිතුරෝ

“මගේ වයස අවුරුදු 90 කටත් වැඩියි. තවත් විශාල කාලයක් මට ඉතිරිව නැහැ. නමුත් මගේ මිතුරන්ගේ ද සහයෙන් මැලේසියාව ගලවා ගැනීම සඳහා මම උපරිමයෙන් උත්සාහ කරනවා” යනුවෙන් ඔහු සඳහන් කළේ පසුගිය අප්‍රේල් 28 වනදා ය​.

ඔහුගේ මිත්‍රයින් හෙවත් පකටාන් හරපාන් සන්ධානයේ ප්‍රධාන පක්ෂ තුන වන්නේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාකාරී පක්ෂය (Democratic Action Party - DAP), මහජන සාධාරණත්ව පක්ෂයයි (People’s Justice Party - PKR) සහ මැලේසියානු එක්සත් ස්වදේශික පක්ෂය Malaysian United Indigenous Party (PPBM) ය​. මෙයින් DAP පක්ෂයට වැඩිපුර සහය ලැබෙන්නේ මැලේසියාවේ චීන ජාතික ප්‍රජාවගෙනි. PKR පක්ෂය බිහි කරන ලද්දේ 1999 දී අන්වර් ඊබ්‍රහීම්ගේ අනුගාමිකයන් විසිනි. PPBM පක්ෂයට නායකත්වය දෙනු ලබන්නේ මහතීර් ය​.

මේ අතර PAS පක්ෂයෙන් ඉවත් වූ ප්‍රගතිශීලී ඉස්ලාමික කොටසක් විසින් ජාතික විශ්වසනීයත්ව පක්ෂය (Amanah) පිහිටුවා ගන්නා ලදි. එයද පකටාන් හරපාන් සන්ධානයට අයත් ය​.

මෙවර මෙම සන්ධානය පෙර පැවති විපක්ෂ සන්ධාන මෙන් නොව එක පක්ෂයක ලකුණ යටතේ තරඟ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව PKR පක්ෂයේ ලකුණ ඔවුන් විසින් තෝරාගෙන ඇත​. මෙහි ප්‍රතිඵලයක් ලෙස අඩ සියවසක් තිස්සේ මැලේසියානු මැතිවරණවලදී දක්නට ලැබුණ ප්‍රජාතන්ත්‍රික ක්‍රියාකාරී පක්ෂයේ රොකට්ටුව සලකුණ මෙවර මැතිවරණයේදී දක්නට නොලැබෙන්නේ ය​.

[චාමර සුමනපාල]